මාස දෙකකින් මස් බිත්තර නැත්තටම නැති වෙයි


 

කොවිඩ් වසංගතය නිසා මෙරට ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති විය. එයට කොවිඩ් වසංගතයටත් වඩා රටේ පරිපාලන දුර්වලතා හා සම්පත් කළමනාකරණයේ දුර්වලතාද බලපෑ බව බොහෝ ආර්ථික විශේෂඥයන්ගේ මතය වි තිබේ. මේ ආර්ථික කඩා වැටීම රටේ ඩොලර් හිඟයක් බවට පත්ව සෑම ක්ෂේත්‍රයකටම දැඩි බලපෑමක් එල්ල කළේය.   

ඩොලර් සංචිතය කඩා වැටෙන්නට පටන් ගැනීමත් සමග එය වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව ක්‍රියාමාර්ග තේරුවේය. එම ක්‍රියාමාර්ග අතර ප්‍රධාන තැනක් ගත්තේ පොහොර ආනයනය නැවැත්වීමය. එහෙත් ආණ්ඩුව රටට ඩොලර් හිඟය වසං කරමින් සඳහන් කළේ රසායනික පොහොර නිසා වකුගඩු ආබාධවලට ජනතාව ගොදුරුවීම වැළැක්වීම වෙනුවෙන් ඒවා තහනම් කර කාබනික පොහොර වලින් වගා කිරීම අරඹන බවය.   
යල කන්නය අරම්භ කරන්නට ඔන්න මෙන්න කියා තිබියදී ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ මෙම තීන්දුව නිසා ගොවීහු දැඩි අසීරුතාවකට මුහුණ දුන්හ. ඒ වන විට රටේ තිබුණ පොහොර භාවිත කරමින් ඔවුන් වගා කළ නිසා ඒ කන්නයේ අස්වැන්න එතරම්ම අඩු වූයේ නැත. එහෙත් ඉන්පසු ඇරඹි මහ කන්නයේදී ගොවීන් දැඩී අසීරුතාවකට ලක්වූහ. වගාව අසාර්ථක වීම තුළ වී ගොවියා මෙන්ම එළවළු ගොවියාද පීඩාවට පත්විය. එසේම එය බඩඉරිඟු වගාවටද දැඩිව බලපෑවේය. වී අස්වැන්න අඩුවන විට ජනතාවට කන්න දෙන්න නොහැකි වීමෙන් ආණ්ඩුවට එල්ලවන විරෝධය වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව සහල් ආනයනය කළේය. එය ජනතා විරෝධය වළක්වා ගැනීමට මෙන්ම කොමිස් වලින් සාක්කු පුරවා ගැනීමටද හොඳ විසඳුමකි. එහෙත් බඩ ඉරිඟු අස්වැන්න අඩුවීම නිසා සත්ව ආහාර නිෂ්පාදනය අඩාළ වීම සම්බන්ධයෙන් විරෝධතා දක්වන්නට කුකුළන් පාරට එන්නේ නැත. ඒ නිසා එයට ආණ්ඩුව ලබාදුන්නේ ඉතා පහළ තැනකි. එහෙත් එයින් ඇති කර තිබෙන බලපෑම කාටක් නොදැනීම අද ඉතාමත් නරක තැනකට ගමන් කරමින් තිබේ.   


පොහොර ආනයනය සඳහා දෙදාස් විස්ස වසරේදී වැය කර තිබෙන්නේ රුපියල් මිලියන 48227කි. ඒ සඳහා වැයවන ඩොලර් ඉතිරි කර ගැනීම වෙනුවෙන් කාබනික පොහොර භාවිතාව ගැන පවසමින් ගත් වගකීම් විරහිත නිසි කළමනාකාරිත්වයක්, සැලැස්මක් නොමැති තීන්දු නිසා සහල් ආනයනය සඳහා පමණක් මේ වසරේ අප්‍රේල් වන විට රුපියල් බිලියන 3600ක් (මිලියන 3600,000 ) පමණ වැය කර තිබේ. ඒ කාබනික පොහොර, දියර පොහොර ආදී ලෙස විවිධ නාමකරණයන් යටතේ ගෙන්වන ලද පොහොරවලටද රුපියල් මිලියන 31414 ක් වැය කරන අතරතුරය.   


එසේ ගත් කල රුපියල් මිලියන 48227කට එකල විනිමය අනුපාතය අනුව වැයවන ඩොලර් ප්‍රමාණය ඉතිරි කරගැනීම වෙනුවෙන් ඊට වඩා දහස් ගුණයක් ඩොලර් වැය කර තිබෙන බව රහසක් නොවේ.   
එසේම කුකුළු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් සියයට හැටක් බඩඉරිඟු වේ. මෙරට සත්ව ආහාර නිෂ්පාදනයට වාර්ෂිකව බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක අවශ්‍ය වේ. එයින් මෙට්‍රික් ටොන් 350,000ක් දේශීයව නිෂ්පාදනය කරනු ලැබීය. එවිට විදේශ වෙෙළඳපොළෙන් ආනයනය කරන්නට සිදුවූයේ ආසන්න වශයෙන් තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණ ප්‍රමාණයකි. එහෙත් පොහොර අර්බුදය නිසා පසුගිය මහ කන්නයේ දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 75,000 දක්වා පහත වැටුණ බව ගොවීහු පවසති. ඒ නිසා සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නට සිදුවූ බවද එහෙත් ආණ්ඩුවෙන් පසුගිය ඔක්තෝබරයේදී අවසර ලැබුණේ මෙට්‍රික් ටොන් 40,000ක් සඳහා පමණක් බවද සත්ව ආහාර නිෂ්පාදකයෝ පවසති.   


එය ප්‍රමාණවත් නොවන නිසා සත්ව ආහාර නිෂ්පාදකයන්ගේ දැඩි ඉල්ලීම මත පසුගිය පෙබරවාරි මාසයේදී නැවතත් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට මහ බැංකුව අවසර ලබාදී තිබේ. එහෙත් ඒ වන විට රටේ දැඩි ඩොලර් හිඟයක් මතුව තිබීම නිසා ඒ ප්‍රමාණය මේ දක්වා ආනයනය කර නැත. සත්ව ආහාර නිෂ්පාදකයෝ සඳහන් කරන්නේ මේ දක්වා ආනයනය කර තිබෙන්නේ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ විස්සක් පමණක් බවය. එය රටේ කුකුළු ගොවිපොළවල අවශ්‍යතාව හා සලකා බලන විට ඉතාමත් සොච්චමකි.   
ආනයනය සීමා වීමත් බඩ ඉරිඟු සඳහා වන ඉල්ලුම ඉහළ යාමත් නිසා දේශීය බඩ ඉරිඟු වෙළෙන්ඳන් නිෂ්පාදන තොග සඟවා තබා ගනිමින් තවදුරටත් මිල ඉහළ නැංවීමේ සැලසුමක සිටින බවටද සත්ව ආහාර නිෂ්පාදකයෝ චෝදනා කරති. මේ වන විටද බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 260 දක්වා ඉහළ නැග ඇති බවද ඒ මිලට ඒවා මිලදී ගෙන සතුන්ට ලබාදීම නිසා මස් හා බිත්තරවල මිල ජනතාවට දරා ගත නොහැකි ලෙස ඉහළ නැංවීමට සිදුව ඇති බවද ගොවිපොළ හිමියෝ පවසති. එහෙත් මේ මිල ඉහළ නැංවීම කිසියම් අවස්ථාවක නැවැත්වීමට සිදුවනු ඇති බවද එතනින් එහාට මිල ඉහළ නැංවීමෙන් සිදුවන්නේ ලාභ ලැබීම නොව පාරිභෝගිකයා වෙළෙඳපොළෙන් ඉවත් වීම පමණක් බවද ඔවුහු පවසති.   


ඉන්ධන හිඟය නිසා මාළු නිෂ්පාදනය පහළ වැටීමත් මාළු මිල ඉතා අධික ලෙස ඉහළ යාමත් නිසා කුකුළු මස් මිල ඉහළගොස් තිබුණද මාලුවලට සාපේක්ෂව එහි මිල අඩුය. එය තවමත් පවතින්නේ ජනතාවට අමාරුවෙන් හෝ දරාගත හැකි මට්ටමකය. ඒ නිසා තවම මස් සඳහා වන ඉල්ලුම සම්පූර්ණයෙන් බිඳ වැටී නැත. එහෙත් පවතින අර්බුද හේතුවෙන් තවදුරටත් මස් නිෂ්පාදනය පහත වැටුණහොත් එ් මිල දැඩිව ඉහළ යනු ඇත. එසේ වුවහොත් කුකුල් මස් සඳහා වන ඉල්ලුම පහත වැටෙනු ඇත. එයින් තවදුරටත් සිදුවන්නේ කුකුළු ගොවිපොළ වැසී යාමය.   


කුකුළු මස්, බිත්තර හා මාළු යනු ඉතා පහසුවෙන් ජනතාවට ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගත හැකි මාර්ගයන්ය. ඉන්ධන අර්බුදය නිසා දැන් මාළු යනු ජනතාවට සිහිනයක් වන තැනට පත්ව තිබේ. එය සාමාන්‍ය ජනතාවට සුපිරි ආහාරයක් බවට පත්ව ඇත. මාළුවලට සාපේක්ෂව මස් මිල තවමත් තිබෙන්නේ පහළ නිසා මාළු වෙනුවට ජනතාව මස් කෑමට පුරුදුව සිටියහ. එහෙත් අර්බුදය වැඩෙමින් පවතින ආකාරය අනුව මස් හා බිත්තර කෑමද ඉදිරියේදී අර්බුදයකට ලක්වනු ඇත. පසුගිය කාලයේ කරන ලද සමීක්ෂණයකදී දරුවන්ගෙන් සියයට තිහක් පමණ ප්‍රෝටීන මන්දපෝෂණයෙන් පෙළෙන බව තහවුරු වී තිබේ. මෙය රටේ අනාගතය පිළිබඳව සලකා බලන විට බරපතළ ප්‍රශ්නයකි. ප්‍රෝටීන ඌණතාව සපුරා ගන්නට මස් මාළු ආහාරයට නොගන්නා අයෙකු මුංඇට කව්පි හෝ කඩල වැනි ආහාරයක් පලාවර්ග සමග භාවිත කිරීම සුදුසු බවට වෛද්‍යවරු පවසති. එහෙත් අද ඒ ආහාරවල මිල පවතින්නේ ගුවනේය.   


කුකුළු ගොවිපොළ හිමියන් පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කුකුළු ගොවිපොළ හිමියෙකු වන ජී.ඩබ්.පී. ගුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වූයේය.   


මම මේ කර්මාන්තය කරන්නේ අවුරුදු දහඅටක දහනවයක පමණ සිටයි. මෙතෙක් කාලයකට මේ තරම් අර්බුදයකට අපි ලක්වෙලා නැහැ. මම බිත්තර නිෂ්පාදනය වගේම සත්ව ආහාර නිෂ්පාදනයත් කරනවා. බඩ ඉරිඟු හිඟය නිසා අපි කාලයක් ඒ වෙනුවට සහල් භාවිතා කළා. පස්සේ දේශීය සහල් සත්ව ආහාරවලට ගැනීම තහනම් කරමින් ගැසට්ටුවක් නිකුත් කළා. ඒ නිසා අපි විදේශීය සහල් ඒ සඳහා යොදාගත්තා. සතියකට කලින් ඒකත් වළක්වා ගැසට්ටුවක් ගැහුවා. දැන් අපි මොනවයින්ද සත්ව ආහාර නිෂ්පාදනය කරන්නේ? මොකද කුකුළන්ට වෙන මොනවා හරි කරන්න පුරුදු කරන්නද? බැහැනේ බඩ ඉරිඟු තොග තිබෙන අය ඒවා හංගාගෙන ඉන්නවා. කිලෝව රුපියල් තුන්සියට නග්ගන්න හිතාගෙන. එයාලා ඒවා එළියට දානකොට අපේ ෆාම් වැහිලා තියේවි. එතකොට එයාලට ඒවා විකුණන්න කෙනෙක් නැති වෙනවා.   


මේ ආහාර ප්‍රශ්නය වගේම එන්නත් හා විටමින් වර්ග හිඟය නිසා අලුතෙන් පැටව් බෝකරන්න ගොවියන් කැමති නැහැ. ඒ නිසා දැන් මාස කිපයක සිට අලුත් පැටව් හදන්නේ නැහැ. අපි ඒකට කරන අයෝජනයට අනුව උපයන්න බැහැ. අපි පැටව් දාහක් හදන්න ලක්ෂ දහඅටක් විතර දැන් වියදම් කරන්න ඕන. මේ වෙනුවෙන් කලින් වියදම් කළේ ලක්ෂ හයක් හතක් විතර. ඒ නිසා අපිට මේක දරාගන්න බැහැ. ඉතිං අපි පැටව් හදන්නේ නැහැ. මව් කිකිළියන් පවා දැන් මසට විකුණනවා. බිත්තරයක් ඇත්තටම අපි දැන් තොග දෙන්නේ රුපියල් 38ට. ඒකත් ලාභයක් නැතිවයි දෙන්නේ. තව ටික දවසකින් තවත් ඉහළ දාන්න වෙනවා. තව මාස තුනක් විතර යද්දී අපිට කොයි මිලකට දෙන්නවත් බිත්තර නැති වෙයි. ඒක තමයි තිත්ත ඇත්ත. අපිට සිදුවන්නේ ෆාම් වහලා දාලා ගෙවල්වලට වෙලා ඉන්න.   


සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතාද අප සමග සිය අත්දැකීම් විස්තර කළේය.   
දැන් කුකුළු ගොවිපොළ රැසක් වැහිලා ගිහින්. ඒ වගේම අපේ දැනට ඉතිරිව සිටින ගොවියොත් තමන්ගේ ගොවිපොළේ පවත්වාගෙන යන්නේ කලින් ඇති කළ කුකුලන් ප්‍රමාණයෙන් සියයට තිහත් පනහත් අතර ප්‍රමාණයක්. මේ ප්‍රශ්නයට මුල බඩ ඉරිඟු හිඟයයි. පොහොර හිඟය නිසා බඩ ඉරිඟු නිෂ්පාදනය කඩා වැටුණා. ආනයනය කරන්න සිදුවුණා. ඒත් ආනයනය කරන්න දැන් ඩොලර් නැහැ. ආර්ථික කඩා වැටීම තුළන් ඇති කළ අර්බුදය නිසා අපේ රටේ බැංකු ගැන විදේශ රටවලට විශ්වාසයක් නැහැ. ඒ නිසා ඔවුන් අපේ රටට භාණ්ඩ ආනයනයට ණයවර ලිපි නිකුත් කරන්න කැමති නැහැ. මේ නිසා අපේ සත්ව ආහාර නිෂ්පාදකයන් දැඩි අර්බුදයකට ලක්වෙලා සිටිනවා.   
ඒ විතරක් නෙවෙයි අපි පැටව් හදනවා නම් ඒකට විශාල මුදලක් ආයෝජනය කරන්න ඕන. ඒ ආයෝජනය කරන මුදල අපිට උපයන්න පුලුවන් වෙන්න ඕනෑ වගේම ලාභයකුත් තියෙන්න ඕනෑ. නමුත් දැන් පැටවුන්ට අවශ්‍ය එන්නත් වර්ග විටමින් වර්ග වෙනත් ඖෂධ කිසිවක් රටට ගෙන්වන්නේ නැහැ. ඒ නිසා පැටව් බෝ කිරීම පහසු නැහැ. අපි විශාල මුදලක් ආයෝජනය කරලා ඒ අතර ලෙඩක් බෝවෙලා පැටව් හදලා උන් මැරිලා ගියොත් අපි අමාරුවේ වැටෙනවා. ඒ නිසා දැන් කවුරුවත් පැටව් හදන්න කැමති නැහැ. මේ තත්ත්වය නිසා අගෝස්තු සැප්තැම්බර් වලින් පස්සේ අපිට කුකුල් මස් හා බිත්තර කියන්නේ වෙළඳපොලේ හොයන්න බැරි දෙයක් බවට පත් වෙන්න පුළුවන් අහාර ද්‍රව්‍යයක්.   


අපි දේශීය පරිභෝජනයට විතරක් නෙවෙයි අපනයනයටත් මස් හා බිත්තර නිෂ්පාදනය කළා. මේ වෙනකොට මැද පෙරදිග රටවල් ගණනාවකින් අපට ඇණවුම් ලැබී තිබෙනවා. එහෙත් නිසි ප්‍රමිතියෙන් යුක්තව මස් හා බිත්තර නිෂ්පාදනය කරගන්න ව්‍යාපාරිකයන්ට නොහැකි වීම නිසා අද අපනයනය සීමා වෙලා. ඇත්තටම අපි මේ නැති කරගෙන තිබෙන්නේ ඩොලර් උපයන්න පුළුවන් මාර්ගයි.

 

සටහන
මුදිතා දයානන්ද