දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය දෙවැනි කොටස
පසුගිය සතියේ දී සාකච්ඡා කළ ආකාරයෙන් මෙරට සිටි බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ගේ ඉල්ලීමක් පරිදි ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ දුම්රිය සේවයක් ආරම්භ කිරීමේ අරමුණින් 1894 වසරේ දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මන්නාරම් දුම්රිය මාර්ගය සහ ඉන්දු ලංකා ඒකාබද්ධ දුම්රිය සේවාව 1914 පෙබරවාරි මස 24 වැනිදා උත්සවශ්‍රීයෙන් මගී අයිතියට පත්කෙරිණ .
සුවිශේෂී ඉදිකිරීම්
තල්ලඩි (තිලාඩි) දුම්රිය පාලම
කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම දක්වා ධාවනය වන දුම්රියකට දැනුදු සිය ගමනාන්තය වෙත ළඟා වීමට නම් අනිවාර්යයෙන්ම මන්නාරම් දූපත වෙත ප්‍රවේශ වීමට පාලමක් මතින් ගමන් කිරීමට සිදුවෙයි. දුම්රියක් මේ ආකාරයෙන් පාලමක් මතින් ධාවනය කිරීම අතිශයින්ම සාමාන්‍ය සිදුවීමකි. නමුත්, ඔබ දන්නවා ද ලංකාවේ ප්‍රධාන ගොඩබිම සහ මන්නාරම් දූපත එක් කරමින් ඉදිකළ තල්ලඩි (තිලාඩි) දුම්රිය පාලම යනු ලංකා ඉතිහාසය තුළ මහා මුහුදක් හරහා නිර්මාණය කළ පළමු හා එකම දුම්රිය පාලම වන බව....
තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගය ඉදිකිරීමට සමගාමීව මෙම තිලාඩි දුම්රිය පාලම ඉදිකරන්නේ ද ප්‍රධාන ගොඩබිම හා මන්නාරම් දූපත අතර දුම්රිය ධාවන කටයුතු පහසුවෙන්ම සිදුකිරීමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කිරීම වෙනුවෙනි. 1912 වසරේ දී මෙම පාලමේ වැඩ නිමකළ අතර 1913 වසරේ දී පරීක්ෂණ ගමන්වාර කිහිපයක් ද සිදුකර තිබේ.
ඉන්දියාවට යන නැව ළඟටම කෝච්චියටත් යන්න පුළුවන් විදිහේ ජැටි දෙකක්
මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට සමගාමීව ඉන්දියාවේ සිට පැමිණෙන නෞකාවන්ට පහසුවෙන් ළඟා වී නැංගුරම් දැමීමට හැකිවන පරිදි තලෙයිමන්නාරම් දූපතේ උතුරු ජැටිය (දිග මීටර් 923) හා දකුණු ජැටිය (දිග මීටර් 585) වශයෙන් ජැටි දෙකක් ඉදිකර තිබුණි. එසේම; මගීන් සහිත දුම්රියක් මෙම නෞකා ජැටිය මතට පහසුවෙන් ධාවනය කරවීමට මෙන්ම භාණ්ඩ පැටවීම ඇතුළු අනෙකුත් මෙහෙයුම් කටයුතු පහසුවෙන් සිදුකිරීම සඳහා ද අවශ්‍ය පහසුකම් සලසා තිබී ඇත.
1914 වසරේ දී ආරම්භ වන ඉන්දු ලංකා ඒකාබද්ධ දුම්රිය සේවයට සමගාමීව යාත්‍රා කළ පළමු නෞකාව ගමන් ආරම්භ කර තිබෙන්නේ ද ඉහත සඳහන් කළ තලෙයිමන්නාරම් දකුණු ජැටිය ආසන්නයෙනි. කෙසේ නමුත් 1917 - 1918 වසර අතර කාලයේ දී මෙම දකුණු ජැටිය භාවිතයෙන් ඉවත් කර තිබේ. ඊට බලපෑ ඇති ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ එම ජැටිය ආසන්න මුහුදු ප්‍රදේශය නිරන්තරයෙන්ම මුහුදු වැලි සහ රොන් මඩවලින් පිරී යාම නිසා ඉන්දීය යාත්‍රාවන් එම ජැටිය වෙත පැමිණීම ප්‍රතික්ෂේප කිරීමයි. අදටත් තලෙයිමන්නාරම් දූපතේ දකුණු කෙළවරට වන්නට සියවසකටත් එහා කාලයක දී මෙසේ අතහැර දමන ලද තලෙයිමන්නාරම දකුණු ජැටියේ කුඩා කොටසක් දැකගන්නට පුළුවන්කම තිබේ.
ඉන් අනතුරුව තලෙයිමන්නාරම උතුරු ජැටිය හරහා පමණක් දෙරට අතර මගීන් හා භාණ්ඩ හුවමාරුව සිදුවූ අතර, අදටත් තලෙයිමන්නාරම් තොට දුම්රිය ස්ථානයට මදක් ඉදිරියෙන් මෙම උතුරු ජැටියේ දිරාපත්ව ගිය කොටසක් දැකගත හැකිය.
කෝචිචිය හරවන්න ත්‍රිකෝණාකාර දුම්රිය මාර්ගයක්
තනි එන්ජිමක් සහිත දුම්රියක් ගමනාන්තයට ළඟා වූ පසුව ඊළඟ ගමන් වාරයට සූදානම් කිරීමේ දී බොහෝ විට අදාළ දුම්රිය එන්ජිම ද හරවාගැනීම සිදුකෙරේ. මේ වෙනුවෙන් “දුම්රිය හැරවුම් මේසය” (Turntable) ක් භාවිත කිරීම බහුලව සිදුවන ආකාරය දැකගත හැකිය.
නමුත්; තලෙයිමන්නාරම් මාර්ගයේ ගමනාන්තය වන තලෙයිමන්නාරම් තොට දුම්රිය ස්ථානයේ මේ ආකාරයෙන් දුම්රිය හැරවුම් මේසයක් භාවිත නොකළ අතර, ඒ වෙනුවට “ත්‍රිකෝණාකාර දුම්රිය මාර්ගයක්” මගින් දුම්රිය හරවාගැනීම සිදුවූයේය.
1914 වසරේ දී ඉදිකළ දුම්රිය ත්‍රිකෝණය නැවත 1918 වසරේ දී ගලවා ඉවත්කොට තරමක් උතුරු දෙසට වන්නට නැවත ඉදිකරන්නේ තලෙයිමන්නාරම් දකුණු ජැටිය භාවිතයෙන් ඉවත් කිරීමත් සමගයි. යුද්ධය නිසා 1990 වසරේ දී දුම්රිය මාර්ගය අතහැර දමන ලද අතර, 2015 වසරේ දී සිදුකළ ප්‍රතිසංස්කරණයන් ගෙන් පසුව 2021 වසරේ මුල් භාගයේ දී වත්මන් දුම්රිය ත්‍රිකෝණය නැවත ඉදිකර ඇත.
සුවිශේෂී සේවාවන්
“තිරුකේතීෂ්වරම් ස්පෙෂල්”
හින්දු ජනතාවගේ ගෞරවාදරයට පත් තිරුකේතීෂ්වරම් කෝවිල පිහිටා ඇත්තේ මන්නාරම් මාර්ගයේ තිරුකේතීෂ්වරම් උප දුම්රිය ස්ථානයට ආසන්නව යි. මෙම කෝවිලේ වාර්ෂික උත්සව අවස්ථා වෙනුවෙන් සහභගීවන බැතිමතුන්ට ප්‍රවාහන පහසුකම් සපයා දීමට ලංකා දුම්රිය සේවය අතීතයේ දී කටයුතු කර තිබෙන බව පැරණි වාර්තා පරිශීලනය කිරීමේ දී දැකගත හැකිය. විශේෂයෙන්ම තිරුකේතීෂ්වරම් කෝවිලේ උත්සව පැවැත්වෙන කාලයන්වල දී එම මාර්ගයේ ගමන්කරන දුම්රියවලට අමතර මගී මැදිරි එකතු කිරීම, යාම් ඊම් ප්‍රවේශ පත්‍ර (රිටන් ටිකට්) නිකුත් කිරීම බහුලව සිදුවී ඇත.
“මඩු ස්පෙෂල්”
දෙස් විදෙස් කිතුනු ජනතාවගේ වන්දනීයත්වට පාත්‍ර වූ මරඳමඩු දේවස්ථානය පිහිටා තිබෙන්නේ ද මන්නාරම් දුම්රිය මාර්ගයේ මඩු පාර දුම්රිය ස්ථානයට සමීපව යි. මෙම දේවස්ථානයේ වාර්ෂික උත්සව අවස්ථා සඳහා ද තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගය භාවිතයට ගනිමින් විශාල බැතිමතුන් ප්‍රමාණයක් සිය ගමන් පහසුව සලසා ගෙන තිබේ. එම බැතිමතුන් සඳහා අමතර දුම්රිය ගමන්වාර ධාවනය කිරීම, දෛනික ගමන් වාරවලට අමතර මගී මැදිරි එකතු කිරීම, සහනදායී ගාස්තු ක්‍රමයකට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම වැනි කාර්යයන් රැසක් අතීතයේ දී මෙරට දුම්රිය සේවය විසින් සිදුකර තිබේ. දැනුදු වාර්ෂික මඩු වන්දනා කාලයේ දී “මඩු ස්පෙෂල්” නමින් ප්‍රචලිත විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කරනු ලබයි.
“වතුර කෝච්චිය”
මන්නාරම් දුම්රිය මාර්ගය දෙපස පිහිටි මානව ජනාවාසවල පදිංචිකරුවන්ට අතීතයේ දී තිබුණු ප්‍රධානතම ගැටලුවක් වූයේ පිරිසිදු පානීය ජලය සපයාගැනීමයි. එම මාර්ග කොටසේ දුම්රිය ස්ථානයන් රැසකටම ස්ථිර ජල සැපයුමක් ලබා දී නොතිබීම නිසාවෙන් මන්නාරම් මාර්ගයේ සේවයේ නියුතුව සිටි දුම්රිය සේවකයන්ටත් මෙම ගැටලුවට මුහුණ දීමට සිදුවිය. වාෂ්ප බලයෙන් ධාවනය කරන දුම්රිය එන්ජින් යන්ත්‍ර ක්‍රියාකරවීම සඳහා ද පිරිසිදු ජලය අවශ්‍ය වූයේය.
මේ නිසාවෙන් මන්නාරම් මාර්ගයේ ධාවනය කරන දුම්රිය සඳහා අවශ්‍ය අවස්ථාවලදී ජලය පුරවා ගැනීමට මනල්කුලම් (මාතෝට්ටම්) සහ මුරුන්කන් දුම්රිය ස්ථාන අතර විශේෂ ජල කුලුනක් පිහිටුවා තිබුණි. එසේම, දුම්රිය කාර්ය මණ්ඩල සේවකයන් සඳහා අවශ්‍ය ජලය ලබා දීම වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් ද දෛනිකව අනුරාධපුරය සහ තලෙයිමන්නාරම් තොට දුම්රිය ස්ථාන අතර ධාවනය වී තිබේ.
සුවිශේෂී කරුණ වන්නේ මෙම දුම්රිය පැමිණෙන වේලාවට හිස් භාජන රැගත් සාමාන්‍ය ජනතාව දුම්රිය මාර්ගය දෙපස පෙළ සැදී බලා සිට ඇත්තේ මෙම දුම්රිය මගින් සිය පරිභෝජනය සඳහා අවශ්‍ය කරන ජලය ලබාගැනීමේ අරමුණින් වීමයි. ඒ හේතුවෙන් ඔවුන් මෙය හඳුන්වා තිබෙන්නේ “වතුර කෝච්චිය” නම් අන්වර්ථ නාමයෙනි.
“ක්ලේ ස්පෙෂල්”
1950 වසරේ දී කන්කසන්තුරය සිමෙන්ති කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් අනතුරුව එහි නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කරන මැටි ලබාගෙන තිබෙන්නේ ද මන්නාරම් දුම්රිය මාර්ගයේ මුරුන්කන් දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටා තිබුණු මැටි කොරියකින් ය. මුරුන්කන් දුම්රිය ස්ථානයේ සිට මන්නාරම දෙසට වන්නට පිහිටා තිබූ මෙම මැටි ඉල්ලම පිහිටි ස්ථානය දක්වා පැති දුම්රිය මාර්ගයක් (සයිඩිමක්) ඉදිකර තිබුණි. ඉන් ලබාගන්නා මැටි තොග මුරුන්කන් සිට මැදවච්චිය හරහා කන්කසන්තුරය සිමෙන්ති කර්මාන්ත ශාලාව දක්වා ප්‍රවාහනය කර තිබෙන්නේ ද ලංකා දුම්රිය සේවය අයත් “ක්ලේ ස්පෙෂල්” නමින් හදුන්වන ලද විශේෂ දුම්රියක් උපයෝගී කරගනිමින් ය.
එම්.ජී. නාපේවිතාන
ලබන සතියේ -: ඉන්දු ලංකා දුම්රිය සේවය ක්‍රියාත්මක කිරීමට දායක වූ ආයතන