මට අම්මා හදන විදියට තේ හදලා ඕනෑ


“දිනූ නංගි ඇත්තටම මොකක්ද එදා වුණේ..? ඇයි ඔයා එච්චර බය වුණේ..?”   සෙනසුරාදා උදේ වරුවේ දිනේෂි මිදුල අතු ගාමින් සිටිය දී වැට අද්දරට පැමිණි සකුණ විමසුවේය. ඇගේ පාසලේම උසස් පෙළ පන්තියේ සිසුවෙකු වූ සකුණ ශිෂ්‍ය නායකයෙකු ද වූ බැවින් ඇය තුළ ඔහු කෙරෙහි බියමුසු හැඟීමක් තිබිණි. අම්මා සිටි කාලයේ දී වුවත් යම් පණිවිඩයක් දැනුම් දෙන්නට හෝ ගෙදර හැදූ කෑමක් ගෙනැවිත් දෙන්නට ඔහු වැට අද්දරට එන පුරුද්දක් තිබිණි. ඇතැම් අවස්ථාවල වැටේ හිදැසින් රිංගා ගෙදරටත් ආවේය. පිරිමි ළමුන් සමඟ වැඩි ඇඟෑළුම් පෑමේ ආදීනව අම්මා විසින් කොතෙකුත් කියනු ලැබ තිබිණි. එහෙත් ඇය සකුණ සමඟ වැඩි කතාබහකට නොගියේ අර බියමුසු හැඟීම නිසාය. මේ වේලාවේ ඇයට ඒ බියට අමතරව විළියක් ද දැනිණි. තමා කී බොරුව සඳසීලී නැන්දා ඔහුටත් කියන්නට ඇත. එහෙත් ඔහු මෙසේ අසන්නේ එය විශ්වාස නොකළ බැවින් විය යුතුය.   

“ඔයාගෙ කෑ ගැහිල්ල ඇහිලා මම උඩ ගිහින් බිම වැටුණා..”   
ඔහු සිනාසෙන්නට තැත් දරමින් කීවේය. සුසුමක් හෙළුෑ ඇය ඉදල ද ඇදගෙන වැටට මඳක් කිට්ටු වූවාය.   
“මම ඇත්තම කියන්න ඔයා මට හිනා වෙන්නෙවත්, කාටවත් කියන්නෙවත් නෑ කියලා පොරොන්දු වෙන්න අයියෙ..”   
ඇය කීවේ බැගෑපත් ස්වරයෙනි. සම වයසේ යෙහෙළියකට වඩා ඔහු කෙරෙහි විශ්වාසය තැබිය හැකි යැයි ඇයට සිතිණි.   
“පිස්සු ද නංගි..? මම කවදාවත් එහෙම කරනව ද ..? මම ඇහැව්වෙ ඔයාට මගෙන් මොකක් හරි උදව්වක් ඕනැ ද කියල හිතුණ හින්දා..”   
ඔහු කීවේය.   
පාසලේ දී වුවත් අනෙක් සිසුන්ගේ සහායට වහාම ඉදිරිපත් වෙන අයෙකු ලෙස ඔහු ජනප්‍රිය වී සිටියේය.   
“උදව්වක් නම් ඕනැ නෑ අයියෙ.. ඒත් මං කියන දේ විශ්වාස කරන්න.. මම දැක්කා අම්මා මෙතන ඉඳලා යනවා..”   


ඇය පිච්ච පඳුර දෙසට අත දිගු කරමින් කියද්දී සකුණ මොහොතකට තිගැස්සී එදෙස බැලීය. එහෙත් ඊ ළඟ මොහොතේ අනුකම්පාව මුසු සිනාවකින් ඔහුගේ දෙතොල සැරසිණි.   
“නංගී.. මේක අහන්න.. මරණයක් කියන්නෙ අවසානයක්.. මැරුණ කෙනෙක් කවදාවත් ආපහු එන්නෙ නෑ.. ඒත් හුඟාක් ආදරේ කරන කෙනෙක් මැරුණම අපි හිතනවා එයාගෙ ආත්මෙ හරි අපි ළඟ තියෙනවා නම් හොඳයි කියලා.. එතකොට අපේ හිත්වලට ඔය වගේ මායාවල් පේන්න පටන් ගන්නවා..”   
ඔහු බොහෝ පරිණත හඬකින් කියන්නට පටන් ගත්තේය. එහෙත් අම්මා එතැන නොසිටියේ යැයි සිතන්නට ඇය සූදානම් වූයේ නැත.   


“අම්මා ආපහු එන්නෙ නෑ, දැන් ඔයාලා තනියෙන් ජීවිතේට මූණ දෙන්න ඕනැ කියලා ඔයාගෙ හිතට තේරුම් කරලා දෙන්න නංගී.. මම යන්නම්.. මොනවා හරි උදව්වක් ඕනැ නම් හිතේ හංගාගෙන ඉන්නෙ නැතුව මට කියන්න..”   


කියූ ඔහු වත්ත හරහා ඔහුගේ නිවස දෙසට ඇවිද ගියේය. ඔහු ගස් අතරින් නොපෙනී යන තුරුම දිනේෂි දෙනෙත් අයාගෙන එදෙස බලා සිටියාය. ඔහුගේ වදන් ඇගේ සිත තුළ දෝංකාර දෙමින් පැවතිණි.   
ජීවිතයට එළඹෙන අටලෝ දහමට අදාළ සියල්ල තාවකාලික බව සැබෑවකි. එහෙත් උසුලා දරා ගත නොහැකි අහිමි වීමක් තුළින් සිත අල්ලා බදා ගන්නා ශෝකය නම් සදාකාලික වන්නේය. මොන තරම් බල කළත් එය සිතින් පිට වී යන්නේ නැත. අවසානයේ දී එය ශුන්‍යයක් බවට පත් වී ජීවිතයේ කොටසක් හිස් කරන්නේය. මොන දහංගැටය දැමුවත් එම හිස් කොටස පුරවන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැත. සිරුරේ අවයවයක් ලෙසින්ම එය ජීවිතයට බද්ධ ​ෙවන්නේ කාලයාගේ ඇවෑමෙනි.   
දිනේෂිගේ පවුලේ ඇත්තෝ ද ජිනාදරීගේ වියෝගයේ වේදනාව දරාගෙනම කඩා වැටුණ සිය ජීවිත කෙමෙන් කෙමෙන් පිළිසකර කර ගනිමින් උන්හ. එහෙත් ඇගේ ස්පර්ශයෙන් තොර හැම දෙයකම කුමක් හෝ අඩුවක් තිබිණි.   
“මට අම්මා හදන විදිහට තේ හදලා ඕනෑ..”   


තාත්තා තේ හදා දුන් කල සත් හැවිරිදි නිසංක ඉකි ගසා හැඬුවේය. ඒ තේවල මහා ලොකු වෙනසක් අනෙක් අයට නම් දැනුණේ නැත. ඔහු එසේ හඬන්නේ අම්මා නැති පාළුව දරා ගන්නට නොහැකි නිසා බැව් දිනේෂිට වැටහුණේය. කිත්සිරි ගේ මුහුණේ ජිනාදරීගේ වියෝවෙන් පසුව තුරන් වී නොගිය ශෝකී රේඛා තීව්‍ර වී මතු වූයේය. ඔහු බාල පුතු වඩා ගත්තේ දිගු සුසුමක් හෙළමිනි. නිසංක ඉකි ගසා හඬමින් තාත්තාගේ ගෙල බදා ගත්තේය. දිනේෂි සුපුරුදු ලෙසම ආයාසයෙන් කඳුළු පාලනය කර ගත්තාය. තමා හැඬුවොත් අම්මාගේ ආත්මයට නිදහසක් නොලැබෙන බවට හැඟීමක් තව දුරටත් ඇය තුළ නොවිණි. අම්මා මේ අවටම සැරිසරන්නේ යැයි හැඟීම ඇයට ප්‍රිය වූයේය. එම නිසාම ඇය සකුණ විසින් කියන ලද දේවල් ද අමතක කර දැමුවාය.   


නංගී හැම විටම සිටියේ බියපත් මුහුණින් යුතුව දිනේෂි ගේ ගවුම් පොටේ එල්ලී ගත්වනමය. බොහෝ කෙලිලොල්ව සිටි ලොකු මල්ලී කෑමට පවා උනන්දුවක් නැති උදාසීන චරිතයක් බවට පත් වූයේය. දිගු කෝටුවක් ගෙන ගස්වලට, පඳුරුවලට පහර දෙමින් වත්ත පුරා ඇවිදින අමුතුම පුරුද්දක් ඔහු තුළ ඇති වූයේ කවදාදැයි දිනේෂි දැන සිටියේ නැත. අසන යමකට කෙටියෙන් පිළිතුරු දුන්නා මිස ඔහු කිසිවෙකු සමඟ වැඩි කතාබහකට නොඑළඹියේය.   


පිච්ච පඳුර අසල අම්මා සිටිනවා ඇතැයි හැඟීම දිනේෂට ශක්තියක් වූයේය. ඇය විවේකී හැම විටෙකම පිච්ච පඳුර අසළට ගියත්, ඉතා ආදරයෙන් එහි කොළ මල් පිරිමැද්දේ වුවත් තමා එයට ඇලු‍ම් කරන හේතුව තාත්තාටවත් කීවේ නැත. පහන් පැලේ පහන් පත්තු කර ගාථා කියද්දී අම්මා තමා ආසන්නයේම සිට ඒවා මුමුණනවා ඇයට ඇසිණි. අම්මාට ආවේණික සුවඳ පවා ඇයට දැනිණි. ඉදින් ඇය මිය ගියේ යැයි කෙසේ නම් කියන්න ද..? එම නිසාම ඇය දෑස් පියාගෙන දන්නා හැම ගාථාවක්ම මුමුණමින් බොහෝ වේලාවක් පහන් පැළ ළඟ ගැවසෙන්නට පටන් ගත්තාය.   


“ලොකු දුවේ කරුවල වැටෙන්න ඉස්සර පහන පත්තු කරන්න පුරුදු වුණොත් හොඳයි.. තනියෙන් එතෙන්ට යන්නත් එපා.. නැත්තං ලොකු මල්ලිට හරි තාත්තට හරි කියපන් පත්තු කරන්න කියලා..”   
දිනේෂි මුහුණ දුන් සිද්ධිය කිත්සිරි විසින් හීන් නෝනාට පවසනු ලැබීමෙන් පසුව ඇය මිනිපිරියට අවවාද දුන්නාය. කාටවත් නොකිව්වත් ඇය සිටියේ මිනිපිරියගේ හෙට දවස ගැන තැවෙමිනි. නැකැත් ඇදුරා විසින් ඇගේ මල්වර නැකත පිළිබඳ කියන ලද හැම වචනයක්ම හීන් නෝනා විශ්වාස කළාය. සිය ව්‍යාපාරයත්, රේණුකාගේ හෙට දවසත් වෙනුවෙන් වෙහෙසෙන ඇයට හැමදාම පුතුගේ නිවසට පැමිණෙන්නට ඉඩ ලැබුණේ නැත. එහෙත් ඒ එන මොහොතේ දී පවා දරුවන්ගේ වෙනස්කම් ඇගේ ඇස්වලට හසු වූයේය. සිහිනයෙන් ඇවිදින්නාක් මෙන් සිටි කිත්සිරිට ඒවා නොදැනිණි. කොටින්ම කියනවා නම් දරුවන් දෙසතියකින් පාසල් නොගිය බව පවා ඔහුට සිහිපත් වූයේ නැත.   


ආච්චි විසින් දෙන ලද ඔවදන් පිළි ගන්නා බැව් ඇඟවුවත් දිනේෂි තනිවම පහන් පැල ළඟට යන පුරුද්ද වෙනස් කළේ නැත. තමාගේ සහනය ඇත්තේ එතැන යයි ඇය විශ්වාස කළාය.   
“මම පහන පත්තු කරලා, මල් පූජා කරලා එනකම් ඔයා මල්ලි එක්ක ඉන්න..”   
කියමින් ඇය නිතරම ඇඟේ දැවටෙන නංගීත් ඉවත් කළාය. කළුවරට බිය බැවින් අනුෂි, අක්කා සමඟ යන්නට උනන්දුවක් දැක්වූයේ නැත.   


“අම්මා.. ඊ ළඟට මොකක්ද කරන්නෙ කියලා මට හිතා ගන්න බෑ.. ආච්චි මෙහෙ එන්නෙ ආපහු ගෙදර දුවන්නෙ කොයි වෙලාවෙ ද කියලා බලාගෙන.. ඔයා මැරුණේ මගෙ වරදෙන් කියලා ගමේ හැමෝම හිතනවා.. තාත්තා විතරයි එහෙම කියන්නෙ නැත්තෙ.. ඒත් වෙනදා වගේ තාත්තගෙ තුරුල්ලට යන්න එපා කියලා ආච්චිත් කිව්වා සඳසීලී නැන්දත් කිව්වා.. එහෙම කියන්නෙ ඇයි කියලා මට හිතා ගන්න බෑ අම්මෙ.. ඔයාවත් කියන්නකො මම මොකද කරන්නෙ කියලා..”   


ඇය ඇස් පියාගෙන පහන් පැල ඉදිරිපිට සිටගෙන මිමිණුවාය. අම්මාගේ රුව ඇගේ සිත පුරාම ඇඳී තිබිණි. හිටි හැටියේම කොහෙන්දෝ සරසර හඬක් ඇසිණි. එහෙත් දිනේෂි දෙනෙත් විවර කළේ නැත.   


෴ ලබන සතියට ෴