- උපත
“බුලත්” යන නාමය සෑදී ඇති ආකාරය පිළිබඳව වියතුන් විවිධ අදහස් දක්වා තිබේ. ඒ අතුරින් වඩාත් ප්‍රචලිත අරුත් ගැන්වීම වනුයේ නා ලොවින් භූමියට ලැබුණා යන අරුත මත භූ + ලත් = බුලත් වූ බව වේ.
“කොළත් මලුත් මිස ගෙඩි නැත මේ කපට
අලුත්, කොළත් මල් එක සරි කෑමට
මේ ලක් භූමියේ පළවුනි අළුපිට
බුලත් නම කියා තිබුණා රජසිට”
නාගයා ගේ පෙණය මෙන් බුලත් කොළය පෙනෙන නිසා බූ + ඉලත් = බුලත් වී ඇති බව දෙවැනි මතයයි. ඉලත් යනු දෙමළෙන් කොළය යන අර්ථය යි. බජග නාගයාට නමකි. සංස්කෘතික භාෂාවෙන් බුලත් වලට “භුලතා” යැයි යෙදෙයි.
“දළු මුර උපත” නම් කාව්‍යය තුළ සඳහන් වන්නේ සකා සවා උපන් බෝසතුන් ගේ රුව සඳ මඬලේ ඇද හමාර වී තෙලිකූර (පින්සලය) ගුවනට හෙළූ විට එය නා ලොවට වැටී මුචලින් ද නාරජු ගේ මුවේ රැඳුනේය. නා රජු මිය ගිය බවත් සඳහන් වේ. සෙසු නාගයෝ මුචලින්ද සිරුර දවන විට නාග බඳින් බුලත් වැල හටගත් බවත් පෙනයෙන් බුලත් කොළය ඇතිවූ බවත් සඳහන් වේ. බුලතට “නාගවල්ලී” යන නාමය ඇතිවූයේ මේ නිසා යැයි පැරැන්නෝ විශ්වාස කරති. කැලණියේ සිදු වූ චූලෝදර මහෝදර නා රජුන් ගේ මිණි පළඟ සම්බන්ධ යුද්ධයේ දී නා ලොවෙන් මිනිස් ලොවට බුලත් ගෙන එන ලදී. එහිදී උමා දේවිය බුලත් වැලක් රෝපණය කොට ඉක්බිතිව බුලත් ලෝකය පුරා ව්‍යාප්ත වී ගියේය. පොළොව මේ භෝගය ලැබූ නිසා බුලත් යන නාමය ඊට තැබූ බවද සඳහන්ය.
ගැමියෝ බුලත් කෑමට පෙර මුල හා අග නැට්ට කඩා ඉවත් කිරීම කරන්නේ නාලොවින් නාගයන් මුවේ තබාගෙන ආ නිසා එහි විෂ ඇතැයි යන මතය අනුවයි. බුලත් කඩනු ලබන්නේ නියපොත්තෙන් නිසා එහි විෂ ඇතැයි ද ගැමියන් කියති. තවත් මතයක් නම්, බුලත් කොළයේ මකුණු දැල් බඳින්නේ නැට්ටේ නිසා එය ඉවත් කළ යුතු බවයි. විද්‍යාත්මක මතය නම්, බුලත් කොළය පහළ කොන එල්ලී ඇති බැවින් එහි විෂබීජ එකතුවන හෙයින්ද නියපොත්තෙන් බුලත් කඩන බැවින් ද විෂබීජ ඇති නිසා කොන්දෙක කඩා ඉවත් කරනවා යන්නයි.
පාලි භාෂාවෙන් පුවක්වලට “පූන” යැයි කියනු ලැබේ. “පුවක්” යනු ගෙඩියයි. පූග + ප යන්නෙන් පුවක් නාමය හැදී තිබේ. හුනු යන්න පාලියෙන් චුන්න, යන පදයෙන් බිඳී ආවෙකි. භාවිතයේ දී චුනු හුනු වී ඇතැයි සිතිය හැකිය. පුරාණ සිංහලයන් බුලත් විටකට දුම්කොළ භාවිතා කිරීමක් නැත. ලන්දේසීන් මෙරටට දුම්කොළ ගෙන ඒමෙන් පසුව බුලත් විටට දුම්කොළ එකතු වී තිබේ. මෙය 16 වන ශත වර්ෂයේ දී පමණ සිදුවිය.
පුවක්, කරදමුංගු, ඉඟුරුපියලි, වැල්මී, හුණු, කස්තුරි යන මේවා එදා ආර්යයෝ බුලත්විට සැපීමේ දී භාවිතා කර තිබේ. බුලත් විටට විශේෂ එකතු කිරීමක් නම් කයිප්පු ය. උදේ වරුවේ පුවක් සමග ද මධ්‍යහනේ කයිප්පු සමගද රාත්‍රී කාලයේදී හුණු සමග ද බුලත් විට රසවත් ලෙස මිනිස්සු කෑමට ගත්හ.
බුලත්විටට පසුකාලීනව එකතු වූ පස් වර්ගය නම් - සාදික්කා, තකුල්, හීන් එනසාල්, අරලු සහ පුවක් ය. තකුල් යනු කපුකිනිස්සා ය. කයිප්පු සාදන්නේ රත්කීරිය අරටු කකාරා ගත් ජලය උණු කිරීමෙන්ය. පසුව ඒවා හිඳවනු ලැබේ. ශ්‍රීමත් වාත්ස්යායණාචාර්යන් ගේ “කාම සූත්‍රය” ග්‍රන්ථයේ මෙසේ දැක්වෙයි. “යුවතිය වැලඳ ගැනීම ඉවසා සිටින්නේ නම්, පෙම්වතා ඇගේ කට යුග බුලත් විටක් තැබිය යුතුය. ඇය එය නොපිළිගනී නම් ඉතා මිහිරි බසින් පිළිගන්නා ලෙස පෙරැත්ත කළ යුතුය. බුලත් කවන අතර, ඉතා ආදරයෙන් මොලොක් ලෙස ඇගේ මුව සිඹගත යුතුය.”
සංවාසයෙන් පසුව බුලත්විටක් කෑ යුතු යැයි කියන වාත්ස්‍යායනයන් බුලත්විට පෙම්වතුන් ගේ කාමරේ තිබිය යුතු අත්‍යවශ්‍ය දෙයක් බව සඳහන් කරයි. ලාංකීය සිංහල රජවරුන්ට බුලත් සැපයීමට බුලත් ගම් 500 තිබුණු බව “මන්දාරම්පුර පුවතේ” සඳහන් වේ. දඹදෙණිය ආසන්නයේ 300ක් බුලත්ගම් තිබුණු බව කියවේ. රජුට බුලත් සැපයීම නිසා “බුලත්සිංහල” නාමය හැදී තිබේ. බුලත් කෑමට ඇබ්බැහි වූ සිංහලයින් ඒ සඳහා වෙනම උපකරණ නිපදවා තිබේ. බුලත් හෙප්පුව, හුනු කිල්ලෝටය, ගිරය, පඩික්කම මේ අතර වේ. ගෙදරක තිබෙන “බුලත් හෙප්පුව” ලියෙන් සෑදූ පෙට්ටියකි. පිත්තලයෙන් සෑදුව “ඉලත්තට්ටුව” ද දැකිය හැකිය. “පඩික්කම” නිර්මාණය වූයේද මේ බුලත් විට කෑම නිසාය.
- සිරිත් විරිත්
“චාරිත්‍ර වාරිත්‍ර” යන්න වෙනත් විදියකින් කියන්නේ නම් - ඒ “සිරිත් විරිත්” යන්නයි. “සිරිත්” නම් චාරිත්‍ර යන පදයෙන් බිඳී ආ අතර “වාරිත්‍ර” නම් “විරිත්” යන්නෙන් පැවසේ. චරිතවත්ව සිටීම සඳහා කළ යුතු හැසිරීම් චාරිත්‍ර වන අතර වැළකිය යුතු නොකළ යුතු දෑ වාරිත්‍ර වේ. උපන්දා සිට මරණය දක්වා අපට සිරිත් විරිත් රාශියක් උරුමව තිබේ. රන්කිරි කටගෑම, බත් කැවීම, කෙස් කැපීම, ගැහැනු දරුවකු ගේ කන් විඳීම, නැකතට අකුරු කියවීම, දියණියකගේ කොටහළු මංගල්‍යය, නම්දීම, විවාහ මංගල්‍යය, අවමංගල්‍ය සිරිත් විරිත් ආදිය ද, අවුරුදු සිරිත් විරිත් ආදිය ද, ආගමික සිරිත් විරිත්, ගොවිතැන් කටයුතුවල සිරිත් විරිත්, දෙවි දේවතාවුන් සඳහා සිරිත් විරිත්, වැඩිහිටියන් සඳහා සිරිත් විරිත් ආදී වශයෙන් සිරිත් විරිත් බොහෝ ඇත.
ජ්‍යෝතිෂයට අනුව සුභ අසුභ වේලාවල් බලා වැඩ කටයුතු සිදු කිරීමට හුරු පුරුදු වී ඇත. ජීවිතයේ සියලු කටයුතු චාරිත්‍ර වලට අනුකූලව නැකැත් වෙලාවට ඉටු කිරීමට හුරු පුරුදුව සිටිති.
වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම, ගුරු දෙගුරුන්ට ආචාර කිරීම, බුලත් දී සමාව ඉල්ලීම, සමාව දීම ආදී බොහෝ චාරිත්‍ර අතර ප්‍රධාන තැනක් ගනී. මෙම කටයුතු වලදී බුලත් අති ප්‍රබල තැනක් ගනියි. දුම් කොළයක් සමග බුලත් දෙවිස්සක් දී ගුරුදෙගුරුන් නැමදීම, සමාව ගැනීම, ඈත අතීතයේ පටන්ම පැවතුණි. පින්කමක දී ස්වාමීන් වහන්සේලාට ආරාධනා කිරීම, මඟුල් තුලාවලට, ගෙට ගෙවිදීමට, ආරාධනා කිරීමට උපයෝගී කරන්නේ බුලත් හෙප්පුව හා බුලත් අතයි. මල්, බුලත්, නාගවල්ලි, ගැට තවාලු හීන් තවාලු, දලු බුලත්, කොරිකං ආදී නම්වලින් ගැමියන් බුලත් හඳුන්වයි. බුලත් ගැන නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපියක් වන “ප්‍රීති දානක මණ්ඩප” හි ද සඳහන් වේ.
බුලත්වල ගුණ ජේම්ස් ද අල්විස් පඬිතුමා මෙසේ දක්වා ඇත.
බුලත මිහිර තිත්වේ කාර කාසා කුළුත් වේ
පණු දුගඳ කොසුත්වා සෙම් නසාවත් සරාලයි
මළහැර මන යෝතා ගින්න දල්වයි බුලත් ගී
ගුණ කෙලෙසක මින් වේ දෙව්ලොවේ වත් සුදල් බෝ
බුලතේ ගුණ දහතුනක් ඇති බව සඳහන් වේ. මංගල පෝරුවේදී හාල්, පොල්, බුලත් තැබීමෙන් අදහස් කරන්නේ මනුෂ්‍යත්වය වගාවීම නොහොත් වර්ධනය වීම යන්නයි. බුලත් මනුෂ්‍ය වර්ගය ඇති කිරීම හෙවත් බෝ කිරීම මහඟු දායාදයක් ලෙස සිංහල සමාජය සලකන ලදී.
මනාල යුවළ සේ ඥාතීන්ට බුලත් හුරුලු පිළිගැන්වීම චාරිත්රයකි. මෙමගින් ඥාති සබඳතා ආරක්ෂා කිරීම අදහස් කරන අතර, ඇතැම් නිවෙස්වල මනාලයාට මනාලිය පෙන්වන්නේ බුලත් හෙප්පුවක් පිළිගැන්වීමෙනි.
මංගල අවමංගල අවස්ථාවල දී බුලත් ජන ජීවිතය තුළ එකට බැඳී ඇත. අවමඟුලේ දී බුලත් පිළිගන්වන්නේ යටි පස උඩුකුරු කොටය. එමගින් කනගාටුවේ හා සංවේගයේ සංකේතය කියාපාන්නකි. ළමයාට අකුරු කියවීමේ දී පටන් ගුරුවරයා හෝ ස්වාමීන් වහන්සේ ළඟට යාමේදී බුලත් හුරුල්ලක් පෙරටු කරගෙන ගුරු භක්තිය පිළිබිඹු කිරීමට බුලත් හුරුල්ල පිළිගන්වයි.
ගණදෙවි හෑල්ල අපට විස්තර කරන්නේ මෙසේය.
තනා පස් රස මියු රූ - කුසුම් හැම ඇඟ තැවරූ
දෙවා බුලතුත් කපු රූ - තමා ඉටු දෙවියන්දැරූ
වෙදුන් හමුවී බෙහෙත් ගැනීමේ දී ගම්මුන් බුලත් හුරුල්ල පිළිගන්වා අවශ්‍ය ප්‍රතිකර්ම ලබාගත්තේය. බෞද්ධයා බුදුරදුන්ට පුද පූජා කිරීමේ දී බුලත් දැහැත් මෙන් ගෞරවාන්විත වචනයෙන් පූජාවට තබයි. මහා සංඝරත්නයට කරනු ලබන සියලු ආරාධනා දැහැත් වට්ටියක් පිළිගන්නවා සිදුකිරීම චාරිත්‍රයයි. තොවිල් පවිල්වලදී මල් බුලත් තට්ටුවක් තැබීම යකදුරා සිදුකරයි. ආගමික වතාවත් මෙන්ම සියලු සිරිත් විරිත් අනුවද බුලතට විශේෂ ස්ථානයක් හිමිවන බව මින් පෙනී යයි.
භූත්වා සත පදං ගන්ත්වා - තාම්බූලේ තදනන්තරේ
වාම හත්ථෙ න සයනං - වෛභ්යාන කිම් ප්‍රයෝජනං
කෑමෙන් පසු අඩි 100 ගමන් කිරීම, ඒ අතර බුලත් හා පුවක් දෙවර්ගය පමණක් කෑමට ගැනීමද දකුණු ඇලයෙන් කෙටි නින්දක් ගැනීමෙන් ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් තිබෙන ඵලය කුමක්ද? යනුවෙන් සඳහන් කරයි. පුද්ගල ජීවිතයේ නිරෝගී කමටද බුලත් වැදගත්වන බවද මින් පැහැදිලි වේ.
- බුලත් කවි
ශ්‍රී ලාංකීය සිංහලයා හා බුලතේ සැබැඳියාව පුරාණයේ සිට නොසිඳී එන්නකි. බුලත් හුරුළු දීම, බුලත් කෑම අනාදිමත් කාලයක සිට පැවත එන සිංහල සම්ප්රදායකි. සභ්‍යත්වයට නෑකම් කීමකි. මංගල උත්සවය දැනුම් දීම තවමත් බුලත් පිළිගැන්වීමෙන් කරති. බුලත් විට කෑම සිංහලකම පෙන්වීමේ ලක්ෂණයක් වශයෙන් ගම්බද පෙදෙස්වල තවමත් පවතී. ගෙදරකට නෑදෑ හිතවතුන් පැමිණි පසු කරන පළමු සැලකීම වනුයේ බුලත් වට්ටිය (ඉලත්තට්ටුව) පිළිගන්වමින් කරන ආදර සංග්‍රහයයි. අනෙක් සියලු සත්කාර ඊට පසුව සිදුවේ.
වර්තමානයේ තරුණියෝ තොල් රතු කිරීම කෘත්‍රිම ලෙස කරති. එකල මෙම ආලේපන නොතිබුණි. එදා ගැහැනු තොල් රතු කළේ බුලත් විට කෑමෙනි. ඒ බව මෙසේ දැක්වේ.
කපුරු බුලතින් රත් ලවනත වතල පැහැපත්
පියුම්රාමිණි වත්දසන් අග මඳහසින් සිත් ගත්
(කාව්‍යශේකරය)
බුලත්විට සැපීමෙන් දෙතොල රතු කිරීම මුහුණේ සිරියාව කිහිප ගුණයකින් වැඩිවීම පුෂ්පලවතින් යුතු බුලත් විට මුඛ වාසය සඳහා උපයෝගී කරගත් බව ඔප්පු කිරීමට වෙහෙසීම අනවශ්‍යය. ආහාරයෙන් අනතුරුව බුලත් විටක් කෑම ප්‍රියකරන අය දැනුත් සිටිති. රසවත් ආහාරපාන කොතෙක් අනුභව කළත් බුලත්විට නොලැබේ නම් විශාල අඩුවකි. “බතින් සාදා සාදා විද සිටියවුන්ට බුලත් දෙවා සාදයනිමවන්නා සේ” (සද්ධර්මරත්නාවලිය) මේ කීම මේ සඳහා ඈත අතීතයට තටු දීමකි.
බුලත් අගරු නිගරු ලෙස අතන මෙතන පිල්කඩ ගානේ තබා විකිණීම දඬුවම් ලැබීමේ වරදක් බව “බුලත් පුවත් මණ්ඩපයේ තබා විකුණනු කොට් ඉසා නොතැන” (බදුලු සෙල්ලිපිය) තෙවැනි උදය රජුගේ කීම බුලතට අපේ මුතුන් මිත්තන් කෙසේ සැලකීදැයි සිතාමතා ගැන්මට හොඳ නිදසුනකි. දිනපතාම ජීවිතයට බුලත් නැතිවම බැරි දෙයක් බව එදා සිංහලයන්ගේ මේ කීම්වලින් ඉඳුරා පැහැදිලි වේ. මේ සමාජ සිරිත (බුලත් සැපයීම) සිංහල සංස්කෘතිය කෙරෙහි කොතරම් බලපෑවේ ද යන්න මින් පෙන්වා දෙයි. සිංහලයා කැවුම් වලටත් වඩා බුලත්විට ප්‍රිය කරයි. ඔවුන් නිදි පැදුරෙන් නැගිට්ට වහාම බුලත් සැපයීම නොවරදවාම කරති. රොබට් නොක්ස්ගේ “එදා හෙළදිව” ඊට සාධකයකි. දුකේදී සැපේදී, පූජාවේදී, වැඳුම් පිදුම් කිරීමේදී, දානයේදී මඟුලේදී වැරැද්ද නිවැරදි කිරීමේදී උසස් වීමේදී ආදී බොහෝ කටයුතුවලදී බුලත නැතිවම බැරි විය.
මේ ගමේ සිරිත අකුරටම පිළිපදින්නා මැහැල්ලකට කෑම්බීම්වලින් කළ සංග්‍රහයේදී ඌනතාව වූයේ බුලත්විට නොලැබීමයි. ඇගේ හිමියාගේ බිරිඳට ඒ බව සමච්චලයක නියාවෙන් පැවසූ අන්දම මේ ජන කවියේ දැක්වේ.
කන්නට අපට බත් දුන්නා - බොන්න වතුර ගෙන දුන්නා
කන්න බලන් තැන ගෙන්නා - යන්න ගමට සිහි වෙන්නා
(බුලත් වැලේ ප්‍රහේලිකාව)
කදේ නිමල් කඳේ නිමල් කදේනි - ගින්නේ නෙලා කෑ කදටයි තිරේනි
යනෙනා ගමන තද සයුරේ බලේනි - යන්නේ තුනයි තෝරාපන් බෑණනි
උත්තරය
පෙරත් නාග ලොව සිටමද ගෙන ආවේ - දලුත් කඩා දැමීමයි පැල වුනාවේ
දියත් ඇදලා ම ඒ වැල වැවීමේ - බුලත් වැලට කිව පන්නේද මාමේ
(බුලත් විට ගැන ප්‍රහේලිකාව)
බුලත් විට ගැන තේරවිල්ලක්
ගහෙන් වැටිලා හතරට පැළිලා ඔහේ එක මිනිහෙක් ගෙයි
නාග ලොවින් ආ කළු වැදි සාමි බොටුව කඩාගෙන ගෙයි
ගින්නෙන් දා-ලා වැස්සට තෙමි-ලා තව එක මිනිහෙක් ගෙයි
මෙකී මෙතුන්දෙන සමගි කරන්නට මැරිච්ච මිනිහා කොයි
තේරුම
රබ්බඩ පුවකේ දෙකට පළා - ලා සතරට ඉරු කරතෙයි
තෙතෙයි - සතරට ඉරු කරතෙයි
වෙත්තිල නැට්ට කඩා- ලා සුනම්බු ගා තෙයි
තෙතෙයි තෙයි සුනම්බු ගා තෙයි
දී කොට නැන්දට මස්සක් දී - ලා දුම්කොළ ඉල්ලා-
තෙයි තෙතෙයි තෙයි- දුම්කොළ ඉල්ලා තෙයි
පිත්තල පොත්තක් දත මුල ගහ ගෙන
පාතට දත තිය තෙයි
තෙතෙයි තෙයි - පාතට දත තිය තෙයි
- බුලත් අත
චූලෝදර මහෝදර නා රජුන් අතර ඇතිවූ ආරවුල සමථයකට පත්කිරීමේ අවස්ථා මීට හේතු වී ඇත. බුදුරජුන් වැඩම කොට නාගදීපයේ දී මෙම රජවරු චූලෝදර සමග දස දෙනෙක් මහෝදර සමග දස දෙනෙක් ද බුලත් කොළ දෙක බැගින් බුදුරජාණන් වහන්සේට පිළිගන්වා සමාව අයද සිටියේය. බුලත් කොළ විස්සක් දෙපාර්ශ්වයටම ලැබුණි. එය එකට එකතු කොට පෙන්නා මෙසේ ඔබලාද සමගි සම්පන්නව කටයුතු කරන මෙන් ඉල්ලා සිටියේය. මෙසේ බුලත් අතේ ආරම්භය සිද්ධ විය.
වර්තමානයේදී ද මෙවැනි සිදුවීම් සඳහා බුලත් අත යොදා ගැනේ. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්දේ ගුරු දෙගුරුන් දෙමාපියන් බැහැදැක බුලත් අතක් පිළිගන්නවා ගරුබුහුමන් කිරීමේ චාරිත්‍රයක් වේ. වරදක් සිදුවූවා නම් සමාව ගැනීමද බුලත් අතින් සිදුවන බව දැක ගත හැකිය. සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂ ස්ථානයක් බුලත්වලට හිමිවන බව සඳහන් කළ යුතුය.
උද්දේස මහා පණ්ඩිත,
ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල මංගල හිමි,
දිවයිනටම සාම විනිසුරු,
ගාල්ලේ සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ධර්මාචාර්ය, මෛත්‍රී ධර්මායතනාධිපති,
මානවිල ඛෙත්තාරාමාධිපති.
ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල මංගල හිමි,
දිවයිනටම සාම විනිසුරු,
ගාල්ලේ සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ධර්මාචාර්ය, මෛත්‍රී ධර්මායතනාධිපති,
මානවිල ඛෙත්තාරාමාධිපති.