බුදුදහම තෙලිතුඩට


ඉන්දියාවේ පදිංචි ශ්‍රී ලංකාවේ විහාර බිතුසිතුවම් කලාවේ ප්‍රථම චිත්‍ර ශිල්පිනියක ලෙස හැඳින්වෙන චාමිනී වීරසූරිය සැප්: 1 සිට 5 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර විෂුවල් ආර්ට් ගැලරියේදී පැවැත්වූ අන්බවුන්ඩ් ඉමෝෂන්ස් සිතුවම් දැක්ම සඳහා ආරාධිත ශිල්පිනියක ලෙස ආරාධනා ලැබුවාය.

චාමිනිගේ තෙලිතුඩට ඇය ප්‍රධාන මාතෘකාව කර ගත්තේ බුදු දහමේ එන ඉගැන්වීම් සහ සංකල්පය. ඉන්දියාව වැනි හින්දු දහම මුල් බැසගත් රටක බෞද්ධ සංකල්පවලට මුල් තැන දෙමින් ඉදිරියට යෑමට හැකිවීම සිතුවම් කලාවේ ප්‍රබලත්වය තහවුරු කරන්නකි. 

චාමිනී වීරසූරිය පදිංචි වී සිටින්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් නගරයේය.

නාග්පූර් යනු ගණන් කළ නොහැකි තරමේ ලොකු කුඩා නිවාසවලින්ද මහා රථවාහන තදබදයකින්ද පිරි ඝෝෂාකාරී නගරයකි.

ඒ ජනාකීර්ණ නගරයේ චාමිනීගේ නිවෙසේ තැන් තැන්වල නිමවෙමින් පවතින බොදු සිතුවම්ය. තවත් තැනක බුද්ධ ප්‍රතිමාය. නාග්පුර් නගරයේ බොහෝ පිරිස් අම්බෙඩ්කාර් බෞද්ධයෝය. එනිසා බුද්ධ ප්‍රතිමාවලින් අඩුවක් නැත. එහෙත් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන සෞම්‍ය බවින් අග තැන්පත් ලොකු කුඩා බුද්ධ ප්‍රතිමාවලට නාග්පුර් බෞද්ධයෝ දැඩි ලෙස ඇලුම් කරති. ඒ නිසා මුර්ති ශිල්පයට ඇය නැඹුරුව තිබේ. 

අනුරාධපුරයේ නිස්කලංක පෙදෙසක පස් දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා වන චාමිනී අධ්‍යාපනය ලැබුවේ කැලැත්තෑව මහා විද්‍යාලයෙනි. එහිදී සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලද ඇය අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූවාය.

අනුරාධපුර පුරාණගම විහාරයේ චිත්‍රවලින් තමයි මට ආරාධනා ලැබෙන්න පටන් ගත්තෙ. ඒ අනුව ගම්පොළ නුවර අනුරාධපුර කිරුළපන වැනි නගරවල විහාර කීපයකම මම චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ අතරින් නුවර හන්තාන සඳගිරි සෑයේ ස්තූප ගර්භයේ ඇඳපු චිත්‍ර විශේෂිතයි. ඒ සිතුවම් සඳහා මම විශේෂ අධ්‍යයනයක් කරල මාස කීපයක්ම එහි නැවතිලා තමයි ඒ සිතුවම් නිර්මාණය කළේ. ඒ සියල්ල සම්පූර්ණ කරන්න මා ළඟදීම ලංකාවට එනවා.

උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික්කයේ අටවැනියා වූ ඇය පේරාදෙණිය සරසවියට ඇතුළත් වූවාය. ඇය එහිදී ලලිතකලා විශේෂවේදී උපාධියක් ලැබූ අතර කැලණිය විශ්විද්‍යාලයෙන් ලලිතා කලාධිපති පශ්චාත් උපාධියක් ලැබුවාය. ඇය පාසල් දෙකක චිත්‍රකලා ගුරුවරියක ලෙස සේවය කළේ 2015-2020 අතර කාලයේය. දන්නා කාලයේ පටන්ම සිතුවමට දස්කම් දැක්වූ ඇය විහාර සිතුවම් කලාවට විශේෂ දස්කම් දක්වන්නීය. පාසලේ චිත්‍ර විෂයට විහාර චිත්‍ර ගැන අවධානය යොමු කරද්දී මට හිතුණා ඇයි විහාර චිත්‍ර කලාවට කාන්තාවන් සම්බන්ධ වෙන්නෙ නැත්තෙ කියලා.

අනුරාධපුර පුරාණගම විහාරයේ චිත්‍රවලින් තමයි මට ආරාධනා ලැබෙන්න පටන් ගත්තෙ. ඒ අනුව ගම්පොළ, නුවර, අනුරාධපුර, කිරුළපන වැනි නගරවල විහාර කීපයකම මම චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ අතරින් නුවර හන්තාන සඳගිරි සෑයේ ස්තූප ගර්භයේ ඇඳපු චිත්‍ර විශේෂිතයි. ඒ සිතුවම් සඳහා මම විශේෂ අධ්‍යයනයක් කරල මාස කීපයක්ම එහි නැවතිලා තමයි ඒ සිතුවම් නිර්මාණය කළේ. ඒ සියල්ල සම්පූර්ණ කරන්න මා ළඟදීම ලංකාවට එනවා.*

ඇයට ඉන්දියාවේ පදිංචිවීමට අවස්ථාව ලැබෙන්නේද සිතුවම් කලාව නිසාමය.

‘‘&මම මුලින්ම ඉන්දියාවට ආවෙ 2018 දි. ඒ සතියක කාලයකට. ඉන්දියාවෙ අජන්තා ලෙන් විහාර චිත්‍ර බලන්න ආපු ගමනෙදි තමයි මගෙ මිත්‍රයකු වන පරිතෝෂ් සර්දාරිත් තමන්ගෙ පවුලෙ උදවිය සමග ඒ ගමනට සහභාගී වෙන්නෙ. එයා ඒ වන විටත් ඉන්දියාවෙ බෞද්ධ දරුවන්ට නොමිලේ උසස් අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යනවා. ඉන්දියාවෙ අම්බෙඩ්කාර් බෞද්ධයන්ට ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය සමීප කරවීමේ දැඩි වුවමනාවක් එයාට තිබුණ. අජන්තා ලෙන් විහාරයෙදි තමයි පරිතෝෂ්ගෙ අම්මා ඔහු හා විවාහ වන ලෙස විවාහ යෝජනාවක් ගෙනාවෙ. ඔහු ඉන්දියානුවෙක්. හැබැයි බෞද්ධයෙක්. කලක් තිස්සෙ දන්නා හඳුනන පරිතෝෂ් හා විවාහ වෙන්න මම තීරණය කළා. ඒ අනුව මම ඔහු හා විවාහවෙලා නාග්පුර් නගරයට ආවා.

මගේ කලා ජීවිතයට ඔහුගෙන් ලැබෙන්නෙ විශාල ධෛර්යයක්.

මගේ චිත්‍ර ශෛලිය ගොඩනැගෙන්නෙ ඈත පෙරදිග චීන, ජපන්, තායිලන්ත, ඉන්දියානු වගේම ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය ඔස්සේ. එය මට අනන්‍ය ශෛලියක්. තෙල් සායම් හා ඇක්‍රලින් යන ශිල්ප ක්‍රම දෙකම භාවිත කරනවා.* ඇය කියයි.

දැනට ශ්‍රී ලංකාවේ වගේම ඉන්දියාවෙ ලක්නව්, මීරට්, නාග්පුර්, මුම්බායි නගරවල චිත්‍ර ප්‍රදර්ශනවලට සහභාගිවෙලා තියෙනවා. නාග්පුර් නගරයේ වසරකට දෙවතාවක් කණ්ඩායම් චිත්‍ර ප්‍රදර්ශන පවත්වනවා. ඒ වගේම අම්බෙඩ්කාර් ජයන්තිය වෙනුවෙන් ඇමෙරිකාවෙ පැවැත්වූ ප්‍රදර්ශනයක මගේ බෞද්ධ චිත්‍ර ප්‍රදර්ශනය කර තියෙනවා. උත්තර් ප්‍රදේශයේ මහ ඇමතිතුමා පවා මගේ චිත්‍ර අගය කරල තියෙනවා.

ලක්නව් අන්තර් ජාතික බෞද්ධ මහා සම්මේලනයෙදිත් මගේ චිත්‍ර ඇගයීමට ලක්වෙලා තියෙනවා.

පුංචි කාලේ අනුරාධපුර ගෙදර මිදුලෙ ගහක් යටට වෙලා චිත්‍ර අඳිද්දි බොහෝ දෙනා විහිළු කරනවා චිත්‍ර ඇඳල මොනව කරන්නද කියලා. උසස් පෙළට චිත්‍ර තෝරා ගත්තමත් බොහෝ අය හිනා වුණා ඒ කාලෙ මම රුපියල් සීයට දෙසීයටත් චිත්‍ර ඇඳල තියෙනවා. ඒත් දැන් මට ලක්ෂ තිහ හතළිහකට වැඩ කරන්න අවස්ථාව ලැබිල තියෙනවා. තමන් ප්‍රියකරන කලාව කවදාවත් අත හරින්න නරකයි අවසානය දක්වාම රැඳී ඉන්න ඕනැ’ චාමිනි කියන්නීය.

රොඩ්නි විදානපතිරණ