- ගුරුනගර් හිදී යානය කඩාවැටිලා
- ඇමරිකානු දරුවාගේ මවුපියන් පෙර බව තොරතුරු ලියා පොතකුත් පළ කරලා
දිනපතා සිදුවන මාරක රිය අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බැව් දිනපතා ලැබෙන පොලිස් වාර්තාවලින් අනාවරණය වේ. එම අනතුරුවලින් මරණයට පත්වන පිරිසද අති විශාලය. එම අනතුරුවලදී එම අවස්ථාවේම මරණයට පත්වන අය මෙන්ම සිරුරේ කොටස් කැඩීබිඳී ටික කලක් ජීවත්ව සිට මරණයට පත්වන පිරිසද අධිකය. එසේ සිදුවන මාරක රිය අනතුරු අතර බස්, ලොරි, කාර්, බයිසිකල්, දුම්රිය සහ ගුවන් යානා අනතුරුද ඇතුළත් වේ.
මේ අයුරින් මරණයට පත්වූ අනතුරු හෙළි කළ පුනර්භව සාධක රැසක් ලොව පුනර්භව පරීක්ෂණ අතරද ඇත. මේ අතරින් පෙර භවය හෙළි කළ දරුවන් දෙදෙනකු ගුවන් යානා අනතුරු අනාවරණය කරනු ලැබුවේ අතිශය පුදුම අයුරිනි. ගුවන් යානා අනතුරු හෙළිකළ එක් දරුවකු උපත ලැබුවේ ඇමරිකාවේදීය. අනෙක් දරුවා උපත ලැබුවේ ශ්‍රී ලංකාවේදීය. පෙර භවයේදී පදවාගෙන ගිය ගුවන් යානා අනතුරට පත්වූයේ යුද ගැටුම්වලදී බැව් එම දරුවන් දෙදෙනාම අනාවරණය කිරීම සුවිශේෂී සිදුවීම් ලෙස පරීක්ෂණ අතරට එක්වී ඇත.
තමා පදවාගෙන ආ හෙළිකොප්ටර් යානය කඩා වැටීමකට ලක්වී තම මරණය සිදුවූ බැව් හෙළි කළ දරුවා පසිඳු නම් විය. 1998 නොවැම්බර් 01 වැනිදා කොළඹ උපත ලද පසිඳු මාස තුනක පමණ වියේදී ගුවන් යානාවක් පියාසර කරන හඬ ඇසෙන විටම මහත් සේ කලබලයට පත්වන බවක් මවට දක්නට ලැබුණි. කුඩා දරුවන් එවැනි හඬවලට දක්වන බියවීමත් තම පුත්‍රයා මගින්ද දක්නට ලැබෙන්නේ යැයි මව සිතුවාය. එහෙත් පසිඳු ගුවන් යානා හඬට බියපත්වීමක් නොව එය දැකගැනීමට දරන උත්සාහයක් ලෙස මවට පසුව දක්නට ලැබුණි.
එම දරුවාගේ හැසිරීම් රටාව ඒ අයුරින් දක්නට ලැබුණු අතර ඔහු බහ තෝරන වියට පත්වී සිටියේය. දිනක් ගුවන් යානාවක් පියාසර කරන හඬක් ඇසුණ විටම ඒ දෙසට අත දිගු කළ දරුවා “කොපර ප්ලේන්”, “කොපර ප්ලේන්” යනුවෙන් පවසන්නට විය. මවට එය තේරුම් ගැනීම තරමක් දුෂ්කර විය. එහෙත් කීප දිනක් එසේ පවසමින් සිටි පසිඳු එම වදන වෙනස් කරමින් “හෙලිකොප්ටර්” යනුවෙන් කියන්නට වීය.
තම පුත්‍රයා එසේ කියන්නේ කුමක්ද යන්න ඒ වනවිටත් මවට පැහැදිලිව දක්නට නොලැබිණි. තවත් සති කීපයක් ගතවීය. ගුවන් යානාවක් නිවස ඉහළින් පියාසර කරන දුටු දරුවා ඒ අසල සිටි මව ඇමතුවේය. “එහේදී අපි ගිය හෙලිකොප්ටරය මූදට කඩා වැටුණා.” යැයි එක්වරම පැවසීය. ඒ වනවිට ඔහු හෙළිකොප්ටර් යානාවක් සමීපව ඔහුට දක්නට හෝ නොලැබ තිබුණි. හෙලිකොප්ටර් යානය විස්තර කළ පසිඳු දරුවා “ඒකෙ අපි හතර දෙනාටයි යන්න පුළුවන්. එදා කඩා වැටුණ දවසෙත් අපි හතර දෙනෙක් හිටියා” යැයිද පැවැසුවේය.
තම පුත්‍රයා කිසියම් පෙර භවයක තොරතුරු හෙළි කරන්නේ යැයි මව්පියෝ සැක කළහ. එහෙත් ඒ පිළිබඳව ඔවුහු වැඩි තොරතුරක් ඔහුගෙන් විමසීමක් සිදු නොකළහ. මේ වනවිට දරුවා කිසියම් ළදරු පාසලකට ඇතුළත් කිරීම පිළිබඳව මව්පියෝ දිනක් සාකච්ඡා කරමින් සිටියහ. එය ශ්‍රවණය වූ පසිඳු මව වෙත පැමිණ “මම යන්නෙ හමුදා ඉස්කෝලෙට” යැයි කීවේය. දරුවා පවසන එම වදනේ කිසියම් රහසක් ඇතැයි සිතූ මව “හමුදා ඉස්කෝලෙ තියෙන්නේ කොහේ ද?” යයි පුංචි දරුවාගෙන් විමසීමක් කළාය.
“එහේදී අපි විස්සක් විතර පන්තියේ හිටියා. හෙලිකොප්ටරේ යනකොට මයික් එකෙන් කතා කරනවා. හෙලිකොප්ටරේට තියෙන්නෙ දොර දෙකයි. අපි හතර දෙනා යන කොට මූදට කඩා වැටුණා. හිටපු හතර දෙනාම හමුදාවේ යාළුවෝ” යැයි කීවේය. තම පුත්‍රයා හෙළිකරන තොරතුරු විමර්ශනය කිරීමට මව උනන්දු වූවාය. එහෙත් පියා එයට එතරම් උනන්දුවක් නොදැක්වීය. “අපේ උඩිනුත් හෙලිකොප්ටරෙන් ගියා.” යැයිද ඔහු දිනක් පැවසීය.
පසිඳු තවත් වසර කීපයක් යනවිට තම පෙර භවය සොයා ගැනීමට අවශ්‍ය බැව් ඔහුද පවසන්නට විය. “ඔබගොල්ලො මගේ ඉස්සර ගෙදර හොයා දුන්නේ නැහැනේ!” යැයි දිනක් පසිඳු මවට කීවේය. ඇතැම් විට ඔහු දැඩිලෙස කල්පනාවේ යෙදී සිටින බවක්ද මවට දක්නට ලැබුණි.
හෙලිකොප්ටරයේ ගමන් ගනිමින් සිටියදී සිදුවූ අනතුරු හෙළි කළ ඔහු අනාවරණය කළ ප්‍රධාන කරුණු කීපයක් මෙසේය.
● හෙලිකොප්ටරයේ යන්නේ හතර දෙනයි
● හෙලිකොප්ටර් පදින්න ඉගෙන ගත්තා
● එදා හෙලිකොප්ටරය කඩා වැටුණේ අකුණු වෙලාවකදීයි
● එදා අකුණු ගසන නිසා ඒ එළියෙන් වතුර දැක්කා
● මුහුදකට වැටුණා යනුවෙනි
මේ අතර කිසි දිනෙක හෙලිකොප්ටරයක සමීප දර්ශනයක් ඒ වනවිටත් දැක නොසිටි දරුවා හෙලිකොප්ටරයක් චිත්‍රයට නඟා පෙන්වීය. ඒ සමගම ඔහු පෙර භවයේදී සිදුවූ අනතුර පැහැදිලිව හෙළි කළේය. පසිඳුගේ මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසු හෙලිකොප්ටර් අනතුරකින් මරණයට පත්වූ ගුවන් නියමු අජිත්ගේ සොහොයුරියක් ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීමට උනන්දු වූවාය.
1984 වසරේදී හෙලිකොප්ටරයක් කඩා වැටීම නිසා මරණයට පත්වූ අජිත් 1959 වසරේදී උපත ලැබීය. විසිවන වියට පත්වනවිට ඔහු ගුවන් නියමුවෙකු බවට පත්ව සිටියේ. 1984 නොවැම්බර් 30 වනදා ඔහු තවත් හමුදා නිලධාරීන් තිදෙනකු සමග හෙලිකොප්ටරය පදවාගෙන යමින් සිටියේය.
ඒ වනවිට ත්‍රස්තවාදී ප්‍රහාර නිරීක්‍ෂණය කිරීම ඔවුන්ට බාරවී තිබුණි. එදා රාත්‍රි 7.30 – 8.00 අතර වේලාවේදී එය පදවාගෙන යනු ලැබුවේ අජිත් විසිනි. පලාලි ගුවන් තොටුපලේ සිට පියාසර කරමින් සිටි යානය ගුරුනගර්හිදී අනතුරට පත්වී තිබුණි. එහි ගමන් කරමින් සිටි හමුදා නිලධාරින් සිවි දෙනා අතරින් මරණයට පත්වූයේ අජිත් පමණක් වීය. අජිත්ගේ ජීවිත තොරතුරු හෙළිකළ පසිඳු දරුවාට ඔහුගේ පෙරභව ඥාතීන් කීප දෙනකු හමුවීමට අවස්ථාව ලැබුණි. එහිදී ඥාතීන් අතරින් අජිත්ගේ පියාව හඳුනාගැනීම සිදුවූයේ පුදුමාකාර අන්දමිනි. ඊට අමතරව නිවෙසේ භාණ්ඩ කීපයක්ද හඳුනා ගත්තේය.
එදින දානමය පින්කම පැවැති නිවෙසට නෑදෑ පිරිස රැස්ව සිටියහ. අජිත්ගේ පියාද ඒ අතර විය. පියා සමග ඔහුගේ සමකාලීන මිතුරෝ කීප දෙනකුද ඒ අතර වූහ. පසිඳු එදා එම නිවෙසට ගිය අවස්ථාවේ ඔහුගේ මව ඒ සමග සිටියාය. පසිඳු නිවෙසට පැමිණ සිටි බවක් අජිත්ගේ පියා දැන නොසිටියේය. පෙර භවය හෙළි කළ තොරතුරු කිසිවක් ඔහු නොදැන සිටීම විශේෂත්වය වීය. නිවෙසට ගොස් විනාඩි කීපයක් ඇතුළත පසිඳු නිවෙස තුළ සහ ගෙවත්තේ ඒමේ අත ඇවිදිමින් සිට එක්වරම මව සිටි තැනට පැමිණියේය.
“අම්මේ අපේ ඉස්සර තාත්තා ඉන්නවා” යැයි ඔහු පැවැසීය. එසේ නම් ගොස් ඔහු පෙන්වන්න යැයි, මව තම පුත්‍රයාට කීවේය. පසිඳු නිවෙස තුළට ගොස් පෙර භවයේ පියා සිටි ස්ථානයට ගියේය. එහි අජිත්ගේ පියා සහ තවත් සිව් දෙනකු අසුන්ගෙන සිටියහ. එක්වරම සිය පෙර භව පියා වෙත ගිය පසිඳු “මේ මගේ තාත්තා” යැයි ඔහු පෙන්වා පැවැසීය. අජිත්ගේ පියා ඒ වනවිට පසිඳුගේ පෙරභව තොරතුරු විමර්ශනයක් කර නොතිබුණි. ඒ අවස්ථාවේ පසිඳු හෙළි කළ තොරතුරු අනාවරණය කිරීමෙන් පසු සතුට විඳදරා ගත නොහැකිව ඔහු පසිඳුව තරයේ වැලඳ ගත්තේ “අනේ! මගේ පුතා” කියමිනි.
මේ හා සමානවම ගුවන් යානා අනතුරක් හෙළි කළ ජේම්ස් නම් දරුවකුගේ පුනර්භව සාධකය මවුපියන් විසින් ග්‍රන්ථයක්ද නිර්මාණය කරනු ලැබීය. ගුවන් යානා අනතුරකින් මරණයට පත්වූ බැව් හෙළි කළ එම දරුවා වූයේ ඇමෙරිකාවේ උපත ලැබූ ජේම්ස් ලෙනින්ජර්ය. ජේම්ස් අනාවරණය කළේ දෙවැනි ලෝක යුද්ධයේදී අනතුරට පත්වූ ගුවන් නියමුවකු පිළිබඳව වීම විශේෂත්වයක් වීය. 1998 වසරේදී ලුසියානා ප්‍රදේශයේදී උපත ලද ඔහු දෙවන උපන් දිනය පසුවීමත් සමග නිදි යහනේදී අධික ලෙස බියපත්වන බවක් මවට දක්නට ලැබුණි. ජේම්ස්ගේ පියා පෞද්ගලික සමාගමක විධායක නිලධාරියකු වීය. ජේම්ස්ගේ දෙවන උපන් දිනය පසුවී හරියටම සති තුනක් ගතවී තිබුණි.
දිනක් නිදි යහනේ සිටි ජේම්ස් දරුවා නින්දෙන් බියපත්වී කෑගසන්නට විය. මව වහා දුව ගොස් දරුවා ඔසවා වඩා ගත්තාය. ඔහු අතිශය බියට පත්ව සිටි බැව් දක්නට ලැබුණි. එය සාමාන්‍ය සිදුවීමක් ලෙස එදින මව සිතුවාය.
පසු දිනද ජේම්ස් ඒ අයුරින්ම නින්දෙන් බියපත්වී කෑගැසීය. ඒ සමගම ඔහුගේ මුවින් පිටවූ වදනක් වීය. (‘’Air Plane Crash! Plane on Fire’’) “එයාර් ප්ලේන් ක්‍රෑෂ් ප්ලේන් ඔන් ෆයර්” යනුවෙනි.
තම දරුවාගේ මෙම බියපත්වීම ජේම්ස්ගේ පියාටත් මහත් ගැටලුවක්වීය. නිතරම නිදියහනේදී බියට පත්වී කෑගසන්නේ එකම අයුරින් වීමද විශේෂත්වයක් වීය. ඒ සෑම අවස්ථාවකම ඔහු පවසන්නේ ගුවන් යානය ගිනිගෙන විනාශ වූ බවකි. දිනක් මව්පියන් සමග වෙළෙඳසලක් වෙත ගිය ජේම්ස් එහි තිබූ ක්‍රීඩා භාණ්ඩ අතරින් ගුවන් යානාවක් පෙන්වා “මේකෙ නම් බෝම්බ සවිකර නෑ.” යැයි කීවේය. බෝම්බ ගෙන යන ගුවන් යානාවක් ගැන ජේම්ස් කතා කරන්නේ කෙසේද යන්න පියාට මහත් ගැටලුවක් වීය. ඔහු කිසියම් පෙර භවයක් ගැන හෙළි කරන්නේද යන්න මව්පියන්ට සැක පහළ වී තිබුණි.
මේ අතර දිනක් ජේම්ස් ගුවන් යානා චිත්‍රයට නැගීමටද සමත් බවක් දැක්වීය. ජේම්ස්ගේ ප්‍රියතම ක්‍රීඩා භාණ්ඩය වූයේද ගුවන් යානාය. හැමවිටම ඔහු ඉල්ලා සිටියේ ගුවන් යානාය. දිනක් මව ඇමතූ ජේම්ස් “එදා ප්ලේන් එක ගිනි ගන්නකොට එයාට එළියට එන්න බැරිවුණා.” යැයි පැවැසීය. එය ඇසුණු මව “එයා කවුද?” යැයි ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දුන් ජේම්ස් දරුවා “ඒ මම” යැයි පිළිතුරු දුන්නේය. මේ වනවිට තම දරුවා හෙළිකරන පෙරභව තොරතුරු විමර්ශනය කිරීමට මවුපියෝ තීරණය කළහ.
ජේම්ස්ගේ පියා ඔහුගෙන් ඒ පිළිබඳව තව තවත් තොරතුරු විමසන්නට විය. “ඔයා එහෙදි ගිය ප්ලේන් එක කොහොමද?” යැයි පියා දිනක් කුඩා ජේම්ස්ගෙන් ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දුන් ජේම්ස් ගුවන් යානා වර්ගයක නමක්ද පැවැසීය. ගුවන් යානාවල පින්තූර ඇති පොතක් ඔහුට පෙන්වූ විට එහි තිබූ යුද ගුවන් යානාවක් පෙන්වූ ජේම්ස් එම වර්ගයේ ගුවන් යානාවක් ඔහු පැදවූ බැව් කීවේය. ඒ සමගම එදා ඔහු සමග ගුවන් යානයේ සිටි මිතුරකුගේ නමක්ද ඔහු මතකයෙන් හෙළි කළේය. ගුවන් යානා අනතුර සිදුවූ ස්ථානය Natoma යනුවෙන්ද ඔහු හඳුන්වා දුන්නේය.
තම පුත්‍රයා නියත වශයෙන්ම යුද ගුවන් යානාවක සිටියදී අනතුරට පත් වී ඇති බැව් ඔහුගේ ප්‍රකාශ වලින් දක්නට ලැබෙන බැව් පියාට අවබෝධවීය. පෙර භවයේ තොරතුරු හෙළිකරමින් ජේම්ස්කරන ප්‍රකාශ ලිඛිතව සටහන් කරගත් පියා ඒ පිළිබඳව සියුම් පරීක්ෂණයක් කිරීමට තීරණය කළේය. ජේම්ස් දරුවා ප්‍රකාශ කළේ පෙර භවයේදීද ඔහුගේ නම ජේම්ස් ලෙස තිබූ බවය. ඒ අනුව යුද සමයේදී භාවිත කළ ගුවන් යානා හැඩය ජේම්ස් පෙන්වාදීම නිසා එම ගුවන් යානා භාවිතා කර ඇත්තේ යුද සමයේදී බැව් දක්නට ලැබුණි. ඒ අනුව යුද සමයේ තොරතුරු සහ ගුවන් යානා අනතුරු සොයා ගිය පියාට 1945 වසරේදී ලෝක යුද්ධයේදී මරණයට පත්වූ ගුවන් නියමුවන්ගේ නම් ලැයිස්තුවක් සොයා ගැනීමට හැකිවිය.
1945 මාර්තු 3 වැනිදා යුද්ධයේදී ජේම්ස් හුස්ටන් නම් නියමුවකු මරණයට පත්වී ඇති බැව් ජේම්ස් දරුවාගේ පියාට සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව ජේම්ස් හුස්ටන්ගේ පවුලේ ඥාතීන් සොයාගැනීමටද ඔහුට අවස්ථාව ලැබුණි. එහිදී ජේම්ස්ගේ සොහොයුරියක්ද සොයා ගැනීමට හැකිවිය. ඒ වනවිටත් ඇය 84 වන වියේ පසුවූ කාන්තාවක් වූවාය. ඇය හමුවූ ජේම්ස්ගේ පියා ජේම්ස්ගේ මරණ පිළිබඳව විමසා සිටියේය. එයට පිළිතුරු දුන් පෙරභව ජේම්ස්ගේ සොයුරිය “එයා මිය ගිය දවසේ අපි හිටියේ කැලිෆෝනියාවල. මගේ අම්මයි තාත්තයි මට ඒ බව දැනුම් දුන්නා. එදා 1945 මාර්තු 3 වැනිදා” යැයි ඇය පිළිතුරු දුන්නාය. ජේම්ස්ගේ මෙම පුනර්භව කතා පුවත සැලවීමෙන් පසු ජේම්ස්ගේ මිතුරෙක් වූ ජෝන් නමැත්තෙක් ජේම්ස් දරුවා ඔහු දුටු සැනින් මිතුරාගේ නම කියා ඇමතීය. “ඔබ මාව අඳුනාගත්තේ කෙසේද?” යැයි ඔහු ජේම්ස්ගෙන් ප්‍රශ්න කළේය. එවිට ජේම්ස් එයට පිළිතුරු දුන්නේ -
“මට ඔයාගේ කටහඬ හොඳට මතකයි. මම ඔයාව හඳුනාගත්තේ කටහඬින්” යැයි ප්‍රකාශ කළේය. මිතුරා පුදුමයට පත්කරවමිනි. ජේම්ස්ගේ පුනර්භව සාධකය පිළිබඳව සියුම් පර්‌යේෂණයක යෙදුණු ඔහුගේ පියා වූ බෘස් සහ මව වූ ඇන්ඩ්‍රියා විසින් එම පර්යේෂණ ඇතුළත්කර Soul Survivor නමින් විශේෂ ග්‍රන්ථයක්ද ප්‍රකාශයට පත් කළහ.
තිස්ස ජයවර්ධන