පෙර භව හතරක් හෙළි කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම දරුවා වැලිවේරියේ වර්ණසිරි


වැලිවේරිය කිරිකිත්තේ පදිංචිව සිටි ජුලියස් අධිකාරි සහ රොස්ලින් නෝනා යන යුවළගේ වැඩිමල් දරුවා උපත ලැබුවේ 1957 නොවැම්බර් 9 වැනිදාය. තම පුත්‍රයාට වර්ණසිරි යනුවෙන් මවුපියෝ නම් තැබූහ. වයස අවුරුදු දෙකක් වන විට ඔහුට වචන හොඳින් උච්චාරණය කළ හැකි විය. එහෙත් පෙර භවය පිළිබඳව හෙළි කිරීම ආරම්භ කරන විට ඔහු සිවු වැනි වියේ පසු විය. දිනක් සිය පියා ඇමතූ වර්ණසිරි, “මම ඉස්සර හිටියේ කිඹුල්ගොඩ” යැයි පැවැසීය. එවැනි ගම් ප්‍රදේශයක් ගැන නිවෙසේදී හෝ කතාබහ කිරීමක් සිදු නොවී තිබියදී එවැනි ගමක නමක් තම පුත්‍රයා හෙළි කරන්නේ ඇයි ද යන්න ජුලියස් මහතාට ගැටලුවක් විය.

කිහිප දිනක්ම කිඹුල්ගොඩ ප්‍රදේශය ගැන අනාවරණය කළ වර්ණසිරි, “කිඹුල්ගොඩ තමයි අපේ ගම” යැයි පැහැදිලිව පැවැසීය. ඒ පිළිබඳව විමසීමට උත්සාහ කළ පියා, “ඔයාගේ ගම කිඹුල්ගොඩ නම් ඔයාගේ ගෙදර කොහේ ද?” යැයි ප්‍රශ්න කළේය.

“අපේ ගේ තිබුණේ ඉස්කෝලෙ ළඟ” යැයි පැවැසූ වර්ණසිරි, ඉන් අනතුරුව පෙර භවයේ තොරතුරු වරින් වර පියා සමග අනාවරණය කරන්නට විය. පෙර භව නිවෙස විශාල නිවෙසක් බවත්, එය පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ගයක බවත් කීය. මීට අමතරව කැලණිය ප්‍රදේශයේ ජීවත්ව සිටි බැව් අනාවරණය කළ පෙර භවයක් ද ඔහුගේ මතකයේ තිබුණි. එය මැටි කර්මාන්ත තිබූ ගමක් බැව් ද හෙළි කළේය.

පැවිදි වීමෙන් පසු ජිනසීහ හිමි ලෙස

කැලණියේ සිටියදී බෝට්ටුවක් ගිලීමෙන් සිදු වූ මරණයක් ගැන ද ඔහු අනාවරණය කළේය. ඔහු කැලණියේ සිටියේ කිඹුල්ගොඩ උපත ලැබීමට පෙර භවයක බැව් ද ඔහු මතකයෙන් හෙළි කළේය. එහෙත් එම ජීවිතයේ වැඩි තොරතුරක් ඔහුගෙන් අනාවරණය නොවීය. කිඹුල්ගොඩ සිටියදී මවගේ හැඩරුව ද ඉතා හොඳින් මතකයේ තිබුණු බැව් දක්නට ලැබුණි. “මේ අම්මාට වැඩිය අපේ කිඹුල්ගොඩ අම්මා මහතයි” යනුවෙන් ඔහු පැවැසීය. පියා පිළිබඳව ඔහු හෙළි කළේ “එහෙ තාත්තා මැරුණා” යනුවෙනි. නිවෙස ආසන්නයේ බෝක්කුවක් තිබූ බැව් ද, එම නිවෙසට ගොටුකොළ ගෙනා පුද්ගලයකු ගොටුකොළ මාමා යනුවෙන් හැඳින්වූ බව ද කීය.

පෙර භවයේදී මෝටර් රථයක් තිබූ බව ද, එය පැදවීමට ඔහුට හැකි බව ද වර්ණසිරි පැවැසීය. ඔහුට පෙර භවයේදී සුදු මහත්තයා යනුවෙන් ඇමතූ බව ද වර්ණසිරිගේ මතකයේ තිබුණි.

පියාගේ නම මහීපාල බැව් ද වර්ණසිරිට මතක තිබුණි. පෙර භවයේදී දිනක් පලතුරු වර්ගයක් කෑමෙන් පසු ආහාර ගත් බවත්, ඉන් අනතුරුව මරණයට පත්වූ බවත් වර්ණසිරි ප්‍රකාශ කළේය. මේ අයුරින් පෙර භවය පිළිබඳව කරුණු තිහකට ආසන්න සංඛ්‍යාවක් වර්ණසිරි ප්‍රකාශ කළේය. එම ජීවිතය අවසන් වීමෙන් පසු වර්ණසිරිගේ මව් කුසයෙන් උපත ලැබුවත් ඉතා සුළු වේලාවකින් මරණයට පත්වූ බවත් කීය.

තම සිරුර පෙට්ටියක දමා රෝහලේදීම භූමදානය කළ බවත් වර්ණසිරි ප්‍රකාශ කළේය. වර්ණසිරි හෙළි කරන ලද මෙම තොරතුරු ඔහුගේ පෙර භවයේ කිඹුල්ගොඩ මවට අසන්නට ලැබුණි. ඒ අනුව වර්ණසිරිට පෙර භවයේ මව ඇතුළු ඥාතීන් හඳුනා ගැනීමටත්, කිඹුල්ගොඩ නිවෙසට යාමටත් අවස්ථාව ලැබුණි. වර්ණසිරිගේ පෙර භවය ලෙස සනාථ වූ ආනන්ද මරණයට පත්ව තිබුණේ වයස අවුරුදු 30ක්ව සිටියදීය. ඔහු 1926 ඔක්තෝබර් 26 වැනිදා ඉපදී 1956 ඔක්තෝබර් 26 වැනිදා මරණයට පත්වී තිබිණ.

එකම මවු කුසයේ දෙවරක් ඉපදිලා

වර්ණසිරි පිළිබඳව සිදු කළ පර්‌යේෂණයේදී ඔහු විසින් සිදු කළ හඳුනා ගැනීම් ද රැසක් අනාවරණය විය. ඒ අතර ප්‍රධානතම හඳුනාගැනීම් බවට පත්වූයේ, පෙර භව නිවෙස හඳුනාගැනීම, පාසල හඳුනාගැනීම, මව හඳුනාගැනීම, ආනන්දගේ ඡායාරූපයක් හඳුනාගැනීම සහ සොහොයුරියක් හඳුනාගැනීම ද විය.

වර්ණසිරි පෙර භවය හෙළි කරමින් අනාවරණය කළ සුවිශේෂි කරුණක් වූයේ, පෙර භවය හෙළි කළ දරුවන් අතරින් අනාවරණ නොවූ දුර්ලභ සිදුවීමක් ප්‍රකාශ කිරීමය. වර්ණසිරි වරක් මවගේ කුසයෙන් උපත ලැබූ බවත්, සුළු වේලාවකින් මරණයට පත්වූ බවත් ඔහු හෙළි කළේ මව පුදුමයට පත්කරවමිනි.

උපත ලැබීමත් සමග මියගිය තම සිරුර කුඩා පෙට්ටියක බහා රැගෙන ගිය බව ද ඔහුට මතක තිබුණි. ඉන් අනතුරුව සත්ව ජීවිතයක් පිළිබඳව ද හෙළි කළ වර්ණසිරි, වැලිවේරිය නිවෙස අසල ගල්තලාවක් අසල හාවකු ලෙස ජීවත්ව සිටි බවත්, එහිදී දඩයම්කරුවකුගේ වෙඩි පහරකට ගොදුරු වූ බවත් කීය. ඉන් පසුව දෙවැනි වරටත් තම මවගේ කුසයෙන් දරුවකු ලෙස උපත ලැබූ බව ද පැවැසීය.

වර්ණසිරි පැවිදි වීමට පෙර නාහිමියන් සමග

මවගේ කුසල තුළින් දෙවරක් උපත ලැබීමේ සිදුවීම පිළිබඳව වර්ණසිරිගේ පුනර්භව පර්‌යේෂණයේදී අවධානය යොමු කෙරිණි. එහිදී වර්ණසිරිගේ මව සිදු කළ ප්‍රකාශයක් ප්‍රබල සාක්කියක් බවට පත්විය. එනම් වර්ණසිරිගේ උපත සිදු වීමට ප්‍රථම වසරකට උඩදී ඇය දරුවකු බිහි කළ නමුත් එම දරුවා මළ දරු උපතක් වී තිබීමය. නැවත උපත ලබා තිබුණේ වර්ණසිරිය.

වර්ණසිරි පිළිබඳව මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් සිදු කළ පර්යේෂණයේදී ඔහු අනාවරණය කළ වෙනත් පෙර භව පිළිබඳව Warnasiri’s Statement About Memories of Other Lives යටතේ සඳහන් කර ඇත්තේ Warnasiri said he remembered three other lives යනුවෙනි. හාවාගේ ජීවිතය පිළිබඳව ද වර්ණසිරි කළ අනාවරණය ද එම පර්යේෂණ වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මෙසේය.

Warnasiri also claimed to recall a previous life as a hare which ate leaves and had shot. He said he had lived this life near the house in Kirikita යනුවෙනි. ඔහු එම ජීවිතය ගත කළේ කිරිකිත්තේ නිවෙස අසල බවය. වර්ණසිරිගේ පුනර්භව පර්‌යේෂණයේදී නිවෙස අසල පිහිටි දේවාලකැලේ යන ප්‍රදේශයේදී දඩයම්කරුවන් විසින් හාවුන් වෙඩි තැබීම් සිදුකර ඇති බැව් සනාථ විය. එක්දහස් නවසිය හැත්තෑහයේ වසරේදී මහාචාර්ය ස්ටීවන්සන් සමග වර්ණසිරිගේ පුනර්භව පර්යේෂණය සඳහා ඔහුගේ මව හමු වී ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට අපට ද අවස්ථාව ලැබුණි. එහිදී වර්ණසිරිගේ මව වූ රොසලින් නෝනා මහත්මියට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරුත් ඒ අයුරින්ම මෙසේය.

ප්‍රශ්නය:- ඔබේ පළමු දරුවා කවුද?
පිළිතුර:-
පළමු දරුවා ඉපදුණේ මලදරු උපතක් ලෙසයි.
ප්‍රශ්නය:- ඒ දරුවා ඉපදුණේ නියමිත මාස ගණන සම්පූර්ණ වෙලා ද?
පිළිතුර:-
නෑ. මාස හතක් වෙලා තිබුණා.
ප්‍රශ්නය:- ඊට පසුව ඉපදුණු දරුවා කවුද?
පිළිතුර:-
ඒ දරුවා තමයි වර්ණසිරි
ප්‍රශ්නය:- ඒ වන විට පදිංචිව සිටියේ කොහේද?
පිළිතුර:-
කිරිකිත්තේ ගෙදර
ප්‍රශ්නය:- වර්ණසිරි එයාගේ පෙර භව ගැන මොනවා ද කිව්වේ?
පිළිතුර:-
මුලින්ම කිව්වේ එයා කිඹුල්ගොඩ හිටියා කියලා.
ප්‍රශ්නය:- පෙර භවයේ මැරුණ හැටි කිව්වා ද?
පිළිතුර:-
මගේ ළඟම එක පාරක් ඉපදිලා මැරුණයි කියලා කිව්වා.
ප්‍රශ්නය:- වෙන මොනවා ද කිව්වේ?
පිළිතුර:-
හාවෙක් වෙලා හිටිද්දී වෙඩි තියලා මැරුණා කිව්වා. ඊට පස්සෙ තමයි මා ළඟ ආයෙත් උපන්නේ කිව්වා.
ප්‍රශ්නය:- වෙඩි තිබ්බේ කොහේ හිටිද්දි ද කියලා කිව්වා ද?
පිළිතුර:-
ඔව්. අපේ ගෙවල් ළඟ ගල්පොත්ත උඩදී කිව්වා.
ප්‍රශ්නය:- ඒ ප්‍රදේශයේ දඩයක්කාරයෝ එනවා ද?
පිළිතුර:-
ඔව්. හාවෝ වෙඩි තියන්න එන අයව වර්ණසිරිගේ තාත්තා ඔවුන්ව එළවන වේලාවලුත් තිබුණා.

මේ අයුරින් වර්ණසිරි කළ ප්‍රකාශය අනුව එම මවගේම කුසයෙන් දෙවරක් උපත ලැබූ බැව් මවගෙන් ද සනාථ විය.

වර්ණසිරිට පෙර භවයේ නෑදෑ හිතවතුන් හඳුනාගැනීමටත් එම නිවෙසට යාමට අවස්ථාව ලැබීමෙන් පසුව ඔහු තුළ ඇති වූ ආශාවක් ඔහු ප්‍රකාශ කළේය. එනම් පැවිදි වීමට අවශ්‍ය බවය. දෙමාපියන්ගෙන් කරන ලද එම ඉල්ලීම අනුව වර්ණසිරිට පැවිදි වීමට අවස්ථාව ලැබුණි. ඒ අනුව වර්ණසිරි පැවිදි වීමේ බලාපොරොත්තුවෙන් ගෝනහේන විහාරස්ථානයට පැමිණියේය. එහිදී පාලි සහ බුද්ධ ධර්මය විෂයයන් පිළිබඳව ඉගෙනීමටත් භාවනානුයෝගීව සිටීමටත් වර්ණසිරි දැඩි ආශාවක් දැක්වීය. වයස අවුරුදු දහසයේදී පැවිදි බව ලබා ගැනීමට ද වර්ණසිරිට හැකි විය. කිරිකිත්තේ ජිනසීහ හිමි ලෙස පැවිදි වූ ඔහු 1978 ජූනි 17 වැනිදා උපසම්පදා සීලයෙහි ද පිහිටුවනු ලැබූහ.

හාවකු ලෙස ඉපදී දඩයක්කරුවකුගේ වෙඩි පහරකින් මියගිහින්

 

වර්ණසිරිගේ අධ්‍යාපන කටයුතු ජිනසීහ හිමියන් ලෙස නව මුහුණුවරකින් ආරම්භ කෙරිණි. දිගින් දිගටම පිරිවෙන් අධ්‍යාපනයට නැඹුරු වූ ජිනසීහ හිමියෝ ගම්පහ, සඳලංකාව සහ දෙල්ගොඩ යන ප්‍රදේශවල පිරිවෙන් අධ්‍යාපනය සපුරා ගැනීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ගුරු වෘත්තියට ද ඇතුළත් වූහ. එම සේවාව කරමින් සිටියදී ඔහුට මතු වූ ගැටලු කිහිපයක් නිසා යළිත් ගිහි ජීවිතයට ඇතුළත් වීමට සිදු විය. ඒ අනුව ඔහු නැවත වර්ණසිරි බවට පත්විය.

වර්ණසිරිගේ පුනර්භව සාධකය පිළිබඳව වසර ගණනාවක සිට නැවත නැවත ඔහු හමු වීමට අපට අවස්ථාව ලැබුණි. එවැනි හමු වූ අවස්ථා කිහිපයකදීම ඔහුගේ පෙර භව මතකයන් පිළිබඳව විමසීමට හැකි විය. කුඩා කල සිට කරපු ප්‍රකාශ නැවත නැවත ආවර්ජනය වීම නිසා ඇතැම් සිදුවීම් තවමත් මතකයට නැගෙන බැව් වර්ණසිරි පැවැසීය.

මීට දින කිහිපයකට උඩදී ද යළිත් වර්ණසිරිගේ පුනර්භවය පිළිබඳව විමර්ශනය කිරීමට නැවත අපට අවස්ථාව ලැබුණි. කිරිකිත්තේ නිවෙසේ පදිංචිව සිටින ඔහුගේ මව දැනට අනූපස් වැනි වියේ පසු වෙයි. ඔහුගේ සොහොයුරු කුලසිංහ මහතාගෙන් ද වර්ණසිරිගේ පුනර්භව පර්‌යේෂණය පිළිබඳව විමසීමක් කළෙමු.

“අයියා පෙර භවය පිළිබඳව කළ ප්‍රකාශ මවගෙන් සහ ඇතැම් දේවල් ඔහුගෙන් ද අසන්නට ලැබුණා. හාවකු ලෙස සිටි ස්ථානය සහ වෙඩි වැදුණු ස්ථානයත් අපට පෙන්වා දුන්නා. කැලණියේ ගත කළ ජීවිත තොරතුරු ද ඔහු හෙළි කළ බැව් මවගෙන් දැනගන්නට ලැබුණා. එය ඉතා අතීත සිදුවීමක් ලෙස දක්නට ලැබුණා. ඒ නිසා අයියාගේ පුනර්භවය පිළිබඳව පර්‌යේෂණවලට පැමිණි දේශීය සහ විදේශීය පර්යේෂකයන්ට කැලණියේ ජීවිතය සනාථ කරගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ඔහු පෙර භව හතරක් පිළිබඳව කළ ප්‍රකාශ සනාථ වුණා.” යැයි කුලවංශ මහතා පැවැසීය. පුනර් පර්යේෂකයකු වූ ප්‍රැන්සිස් ස්ටෝරි සහ වර්ජීනියා විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් පූර්ණ පර්‌යේෂණයක නිරත වූහ. අනතුරුව ඔවුන් විසින් ප්‍රකාශයට පත්කළ ග්‍රන්ථවලට ද මෙම කතා පුවත ඇතුළත් කර තිබේ.