පිලිපීනය භාරගත් ඒකාධිපතියාගේ පුතානෝ


 

  • රටින් පලවා හැරිය ඒකාධිපතියාගේ පුතා ජනපතිවරණයෙන් ජයගනියි

වසර හයකට වරක් මැයි මස දෙවැනි සඳුදා දිනයේදී ජනපතිවරණ ඡන්ද විමසීම සිදුකළ යුතු බවට පිලිපීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වගන්තියකි. ඒ අනුව එරට 17 වැනි ජනපතිවරයා තෝරා ගැනීමේ ඡන්දය පැවැත්වුණේ ඉකුත් 9 වැනිදාය.   

ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද ලක්ෂ ගණනක් සහිතව ඡන්ද මිලියන 25.9ක් ලබාගනිමින් එරට ජනාධිපති පදවිය හිමිකර ගත්තේ ෆර්ඩිනන්ට් මාකෝස්ය. ෆර්ඩිනන්ට් මාකෝස් යනු පිලිපීනයේ පමණක් නොව මුළු ලෝකයම කටපාඩමින් දන්නා නමකි. හැබැයි ඒ වර්තමාන ජනාධිපතිගේ අසීමිත ජනප්‍රියත්වය නිසා නොව, ඔහුගේ පියාගේ කුප්‍රසිද්ධිය නිසාය.   


ඉතින් කනිෂ්ඨ ෆර්ඩිනන්ට් මාකෝස් ගැන ලියන්නට කලින් ජ්‍යෙෂ්ඨ ෆර්ඩිනන්ට් මාකෝස්ගේ වංහුං ටිකක් ලියා තැබිය යුතු වේ.   


ෆර්ඩිනන්ට් එම්මානුවෙල් ඒඩ්‍රලින් මාකෝස් නම් වූ ඔහු ලොවේ පතල වූයේ ෆර්ඩිනන්ට් මාකෝස් යන නමිනි. දේශපාලකයකු, නීතිඥයකු ලෙස කැපී පෙනුණු ඔහු 1965 වර්ෂයේදී පිලිපීනයේ 10 වැනි ජනාධිපති ලෙස තේරී පත්වූයේය. එතැන් පටන් 1986 වසර දක්වාම පිලිපීනයේ පාලකයා වූ ඔහු 1972 සිට 1981 දක්වා වසර නවයක්ම රට පාලනය කළේ ‘මාෂල් ලෝ’ යටතේය.   


කළ හැකි දුෂ්ට ක්‍රියා සියල්ලම කරමින් රටවැසියා පීඩාවට පත්කළ මේ ඒකාධිපතියා ඔහුගේ විරුද්ධවාදීන් ඝාතනය කළේ කිසිම බයක් හිරිකිතයක් නැතුවය. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධම චරිතය විපක්ෂ නායක බෙනිග්නෝ අකිනෝ ය. මේ ඝාතනය ඇතුළු අනෙකුත් ප්‍රතිවාදීන් විනාශ කිරීමට එරෙහිව මතු වූ යම් යම් විරෝධතා තුවක්කුවෙන් මර්දනය කළ මාකෝස් ඒකාධිපතියකු ලෙස ගෙන ගියේ දරුණුතම පාලනයකි.   
ඔහුගේ කාලයේදී පුද්ගලයන් අතුරුදන් වීම සාමාන්‍ය දෙයක් විය. මේ නිසා රටවැසියන් ජීවත් වූයේ බයේ ගැහෙමිනි. කට ඇරියා නම් ඒ බත් කටක්, කටට ඔබා ගැනීමට පමණි. ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කළ අසාධාරණයට එරෙහි වූ යමෙක් වී නම් ඔහුට උරුම වූයේ ක්ෂණික, අභිරහස් මරණයකි. මාකෝස්ගේ පාලන සමයේදී එසේ මියගිය සමාජ ක්‍රියාකාරිකයන් ගණනින් දහසකට වැඩිය.   


අනෙක් පැත්තෙන් ඔහු රටේ මුදල් හොරකම් කළේය. එසේ හොරකම් කළේ සුළු පටු මුදලක් නොවේ. එක්සත් ජනපද ඩොලර් බිලියන දහයකට ආසන්න මුදලකි. මේසා මුදල් කන්දරාවකින් ඔහු කළේ සිය රූමත් බිරිය හා දරුවන් සමග ලෝකය වටා සංචාරය කිරීමය. ෆර්ඩිනන්ටත් වඩා ලෝකය වටේ ගියේ බිරිඳ ඉමෙල්ඩා ය. නිතර නිතර එක්සත් ජනපදයට ගිය ඇය වඩාත්ම ප්‍රිය කළේ සාප්පු සවාරි යන්නටය. ඒ ගමන්වලදී මිලාධික ඇඳුම් පැලඳුම්, ආභරණ පමණක් නොව සෙරෙප්පු ද ඇය මිලට ගත්තාය. ඒ කොයිතරම් ද යත් ඇගේ නිවසේ සෙරෙප්පු කුට්ටම් තුන්දහසකට වඩා තිබිණි. ඒ තරම් සෙරෙප්පු කුට්ටම් තිබුණත් අවාසනාවකට මෙන් ඇයටද තිබුණේ කකුල් දෙකක් පමණි. එහෙත් ඇගේ පෙරේතකමේ නම් අඩුවක් නොවීය.   


ෆර්ඩිනන්ට් මාකෝස්ගේ ඒකාධිපති පාලනයේ අවසාන කාලයේදී ඔහුගේ දරු දෙදෙනෙක් ද දේශපාලනයට එක්ව සිටියහ. ඒ ඉමී නම් දුව හා ෆර්ඩිනන්ට් බොන්බොන් නම් වන පුත්‍රරත්නය ය.   


1986 වසරේදී කැඳවූ ජනපතිවරණයේදී හොර බොරු වංචා රාශියක්ම එළිපිටම කළ මාකෝස් තම ජනපති ධුර කාලය තවත් වසර හයකින් දීර්ඝ කර ගැනීමට උත්සාහ ගත්තේය.   


එහෙත් ගිනි කන්දක් මෙන් ඉදිමි ඉදිමී තිබූ ජනතා විරෝධය එකවරම පුපුරා ගියේය. මහා ජන ගංගාවක් පිලිපීනයේ නගර ගම් දනව් පුරා ගලායන්නට විය. හමුදා නීතියෙන්වත් තුවක්කුවෙන්වත් ජනතාව මෙල්ල කරන්නට නොහැකි වූ තැන ෆර්ඩිනන්ට් කළේ රටින් පලා යෑමය. ඒ හවායි හි හොනලු‍ලු‍ වෙතටය.   
මේ දුෂ්ට මිනිසාගේ කෙරුම් කියුම් මෙන්ම හොරකම් ද ලෝකයට අනාවරණය වූයේ ඉන් පසුවය. ඒ අනුව මහජන මුදල් හොරා කෑමෙන් ලෝකයේ පළමුවැනියා ලෙස ගිනස් වාර්තාව තැබුවේ මෙන්න මේ මාකෝස් බව හෙළිදරව් විය.   


රටින් පලා යද්දී ෆර්ඩිනන්ට් සමඟ බිරිඳ ඉමෙල්ඩා ද දරු දෙදෙනා ද ඔහු සමගම ගියෝය. රටේ පාලනය බාරගත් අලු‍ත් පාලකයන්ගේ පළමු රාජකාරිය වුණේ මාකෝස්ලාගේ හොරකම් මැරකම් හෙළිකර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීමය. ඉමෙල්ඩාගේ සෙරෙප්පු කුට්ටම් තුන්දාහ සොයාගත් ඔවුන් ඒවා කෞතුකාගාරයට යැව්වේ සදාකාලිකවම ජනතාවට දැක බලා ගන්නටය. කොටින්ම ඔවුන් මාකෝස් පවුලේම රෙදි ගැලෙව්වේය. මාකෝස් පවුලේ හත්මුතු පරම්පරාවටම යළි පිලිපීනයේ පස් පාගන්නට බැරිවෙන තරමේ ප්‍රබල විරෝධයක් ගොඩනැගුවේය. එහෙත් ෆර්ඩිනන්ට් මියගිය පසුව ඔහුගේ පුතානෝ සහ ඉමෙල්ඩා ආපසු පිලිපීනයට පැමිණියහ. ඒ 1991 දී පමණය.   


රටින් පලායන විට මාකෝස් පුතානෝ සිටියේ සිය උපන් ගම් පළාතේ (ඉලොකොස්නෝර්ටේ) ආණ්ඩුකාරයා ලෙසය. යළි මව්බිමට පැමිණි පසු නැවත වතාවක් දේශපාලනයට අවතීර්ණ වූ ඔහු ඡන්ද දිනාගෙන හුරු පුරුදු ආණ්ඩුකාර වෘත්තියේම කටයුතු කළේය. පසුකලෙක ඔක්ස්ෆර්ඩ් සරසවියට බැඳී දර්ශනය, දේශපාලනය හා ආර්ථික කටයුතු පිළිබඳ උපාධියක් ද හැදෑරූ ඔහු දේශපාලනයට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ගත්තේය. එතැන් පටන් ක්‍රම ක්‍රමයෙන් ජාතික දේශපාලනයට අවතීර්ණ වූ ඔහු මෙවර ජනාධිපතිවරණයට ද ඉදිරිපත් විය.   


ඡන්ද ව්‍යාපාරය ගෙන ගියේ සමාජ මාධ්‍ය යොදා ගනිමිනි. පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා දීමටවත් විද්‍යුත් මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමටවත් ඔහු ඉදිරිපත් නොවීය. විද්‍යුත් මාධ්‍යවලින් ලැබුණු සියලු ආරාධනා ප්‍රතික්ෂේප කළ ඔහු ‘සුරංගනා ලෝකයක්’ මැව්වේ සමාජ මාධ්‍යවලින් පමණි.   
ඔහු කීවේම පිලිපීනයේ ස්වර්ණමය යුගය, සිය පියා වූ මාකෝස්ගේ පාලන සමය බවය. මැනිලා අගනුවරට තට්ටු ගණන් උස මන්දිර ඉදිකරමින් රට සංවර්ධනය කරා ගෙන ගියේ මාකෝස් යුගයේදී බවය. යළිත් එවැනිම වූ ස්වර්ණමය යුගයකට රට ගෙනයන්නට තමාට හැකි බව මාකෝස්ගේ පුතානෝ නිතර නිතරම ප්‍රකාශ කළහ.   


මේ අතරතුරේ විරුද්ධ අපේක්ෂකයෝ මාකෝස් තාත්තාගේ යුගයේ සිදුවූ ඝාතන, ඒකාධිපති පාලනය, භීෂණ ක්‍රියා, හොරකම් ගැන ද සඳහන් කළේය.   


එහෙත් ඒ භීෂණය අත්දැක නොසිටි තරුණ ඡන්ද දායකයෝ ඒ චෝදනා ගැන අවධානයක් යොමු නොකළහ. ඔවුන් කීවේ හොරකම් කළේ රටේ සල්ලි තිබූ නිසා බවය. රට සුරපුරයක් කරන්නේ නම් හොරකම් කළත් මොකදැයි මේ ඉලන්දාරි විමසූහ.   


අනෙක් අතට මාකෝස් පුතානෝ කීවේ තම තාත්තා හෝ අම්මා පිලිපීනයේ මුදල් හොරකම් නොකළ බවය. ඒ හොරකම් චෝදනා විරුද්ධවාදීන්ගේ මඩ ප්‍රචාර බව ඔහු පුන පුනා සඳහන් කළේය. මේ පුතානෝට ආකර්ෂණයව සිටින තරුණ පරපුර ඒ කතා විශ්වාස කළහ. හොරා යනු හොඳම රාජ්‍ය නායකයා හඳුන්වන කෙටි නම යැයි මේ පුතානෝට අභිමානයෙන් සඳහන් කළ නොහැකි වූයේ පිලිපීන ජනතාවට සිංහල බැරි නිසාය. නැත්නම් ඔහු එවැනි ප්‍රකාශයක් ද කරමින් ජාමෙ බේරාගනු නියතය.   


දැන් මාකෝස් පුතානෝ පිලිපීනයේ ජනාධිපති ය. ඔහුට තිබෙන ලොකුම අභියෝගය පිලිපීනයට සෞභාග්‍ය උදාකිරීමය. සෞභාග්‍යය උදාකිරීම සුළුපටු වැඩක් නොවන බව ලංකාව දෙස බලාවත් ඔහු තේරුම් ගත්තොත් හොඳය. මොකද ලංකාවේ සෞභාග්‍යය තියා ‘සව්’ භාගයක්වත් නැතුව ගිය නිසාය.   


කෙසේ වුවත් ලෝකයේ ගමන ගැන මට හිතෙන්නේ පුදුමාකාර බවකි. කලෙක වීරයෝ, කලෙකදී ද්‍රෝහියෝ වෙති. කලෙක ද්‍රෝහියෝ තව කලෙක වීරයෝ වෙති. මාකෝස් පවුල රටින් පිටුවහල් කළ එරට ජනතාව ජය පැන් බිව්වේ පිලිපීනයේ හොර හැත්ත පලවා හැරීමේ අභිමානයෙනි. අද ඒ හොර පවුලේ පුතානෝට යළිත් වරක් කිරුළ පලඳා තිබේ. බලාගෙන යනවිට ද්‍රෝහීන් වන්නේ වීරයන්මය. වීරයන් වන්නේද ද්‍රෝහීන්මය.   
පිලිපීනයේ ද්‍රෝහියාගේ පුතානන් වීරයා වෙද්දී, ලංකාවේ වීරයා ද්‍රෝහියා වී තිබෙන හැටි!   


අනේ සංසාරේ...   
අනිච්චේ දුක්ඛේ...   


අද වෙසක් පෝය නිසාදෝ මගේ කටට ආවේ මේ වචන ටිකය!

 

 

ශාන්ත කුමාර විතාන