දකුණු පැසිෆික් සාගරයේ ‘පොයින්ට් නීමෝ’ ගැන ඔබ දන්නවද? මුළින්ම දකුණු පැසිෆික් සාගරය ඇත්තේ කොහේ දැයි බලමු.
පැසිෆික් සාගරය පිහිටා ඇත්තේ - ජපානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, උතුරු සහ දකුණු ඇමෙරිකා රටවලට මැදිව සහ ඇන්ටාක්ටිකාවට ඉහළිනි. ‘පොයින්ට් නීමෝ‘ යනු දකුණු පැසිෆික් සාගරයේ හුදෙකලා ස්ථානයකි. “චන්ද්‍රිකා සොහොන” ඇත්තේ ‘පොයින්ට් නීමෝ‘ නමැති මෙම සාගර කලාපයේය.
ඉංග්‍රීසියෙන් මෙම චන්ද්‍රිකා සොහොන හැඳින්වෙන්නේ, “ස්පේස් ග්‍රේව්යාඩ්” යනුවෙනි. හරියටම කියනවා නම් පොයින්ට් නීමෝ පිහිටා ඇත්තේ - නවසීලන්තය, ඇන්ටාක්ටිකාව සහ ආජන්ටිනාවට මැදිවය. පොයින්ට් නීමෝ සාගර කලාපය ලොකු ගැඹුරක් ඇති තැනක් නොවේ. එහි ගැඹුර කිලෝ මීටර් 4 ක් පමණය. පොයින්ට් නීමෝ ට ආසන්නයෙන්ම පවතින ගොඩබිම් ප්‍රදේශය ඇත්තේ කිලෝ මීටර් 3 ක් පමණ දුරිනි. පොයින්ට් නීමෝ චන්ද්‍රිකා සොහොනක් ලෙස භාවිතයට ගැනෙන්නේ - මෙය ලොව හුදෙකලා වූ සාගර කලාපයක් බැවිනි. එමෙන්ම පොයින්ට් නීමෝ නාවික කටයුතු හෝ ධීවර කටයුතු හෝ සිදුවන ස්ථානයක් ද නොවෙයි. මෙම සාගර කලාපය රළුය. තරණය කිරීම අසීරුය. කුණාටු බහුල යැයි ද පැවැසෙයි.
‘පොයින්ට් නීමෝ’ යන නමින් මෙම සාගර කලාපය හැඳින්වෙන්නේ - ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධ ලේඛක ජූල්ස් වර්න් ගේ “ලීග විසි දහසක් සාගර පතුළේ” විද්‍යා ප්‍රබන්ධ නවකතාවේ “නොටිලස්” සබ්මැරීනයේ කපිතාන් “නීමෝ” සිහි ගන්වමිනි.
1971 වසරේ සිට පෘථිවි කක්ෂයට යැවෙන සහ පෘථිවි කක්ෂයේ රැඳවෙන අභ්‍යවකාශ නැවැතුම්පොළ රොකට්ටු සහ විශාල චන්ද්‍රිකා ආදිය අක්‍රිය වීමෙන් පසු යළි පෘථිවියට වැටෙද්දී ඒවා සියල්ල යොමු කරන්නේ පොයින්ට් නීමෝ සාගර පතුළටය. ඒ අනුව කාටවත් අනතුරක් සිදු නොවෙයි. එම තතු කෙසේ වෙතත් - මේ මොහොතේ මෙම චන්ද්‍රිකා සොහොන එසේත් නැතිනම් පොයින්ට් නීමෝ ව ප්‍රස්තුත කරගත්තේ සුවිශේෂ හේතුවක් පදනම් කරගෙනය.
ඒ ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක් හේතුවෙනි.
පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ගැන නොදන්නා කෙනෙකු නොමැත. කෙටියෙන් මෙය හැඳින්වෙන්නේ අයි.එස්.එස්. නමිනි. ‘ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ’ ලෙස මෙය හැඳින්වෙන්නේ - ඇමෙරිකාවේ නාසා ආයතනය මුල්වී, රුසියානු අභ්‍යවකාශ ආයතනය රොස්කොස්මොස්, ජපාන අභ්‍යවකාශ ආයතනය ජැක්සා සහ කැනඩා අභ්‍යවකාශ ආයතනය හවුල් කර ගනිමින් මෙහි ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු කරගෙන යන බැවිනි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ “මුල්ගල” තැබුවේ රුසියාවය. ඒ ආරම්භයේ දී අභ්‍යවකාශයේ “සොයුස්” ගගන යානා දෙකක් එකිනෙක සම්බන්ධ කරමින් පුංචි නවාතැන්පොළක් ස්ථාපිත කරමිනි. 1998 වෙද්දී ඇමෙරිකාව සහ රුසියාව - සෙසු අභ්‍යවකාශ ආයතන ද හවුල් කර ගනිමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීම අවසන් කර තිබුණි.
නාසා ආයතනය යළි යළි භාවිතයට ගත හැකි අභ්‍යවකාශ ෂටල යොදාගනිමින් ඉදිකිරීම් කළේය. 1981 වසරේ ආරම්භ කළ ෂටල වැඩසටහන විශ්‍රාම යැවීම සිදු වූයේ 2011 වසරේ දී අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකර අවසන් කිරීමෙන් අනතුරුවය. ඒත් ඕනෑම දෙයක අවසානයක් තිබේ. ජාත්‍යන්තර අභ්‍යවකාශයේ ආයු කාලය ද අවසන් වෙමින් පවතී. එය සිදුවනු ඇත්තේ මීළඟ වසර 10 ඇතුළතය.
2031 වසරේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ විශ්‍රාම යැවීමට බලාපොරොත්තු වන බවත්, භාවිතයෙන් ඉවත් කෙරෙන අභ්‍යවකාශ නැවැතුම්පොළ ‘පොයින්ට් නීමෝ’ සාගර සොහොනට කඩාවැටීමට සලස්වන බවත්, නාසා ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. සාමාන්‍යයෙන් අක්‍රිය වුණු හෝ පාලනයෙන් ගිලිහුණු හෝ චන්ද්‍රිකා කොටස් සහ රොකට් කැබලි පෘථිවි වායුගෝලය හරහා පහළට එද්දී ගිනි ගෙන දැවී විනාශ වෙයි. ඒවා පොළොවට පතිත වීමට පෙර දැවී අළු වී යයි.
අභ්‍යවකාශ නැවැතුම්පොළ ද පහළට වැටෙද්දී - ගිනිගෙන දැවෙනු ඇති නමුත් එය මුළුමනින්ම විනාශ නොවෙයි. එය ජනාකීර්ණ ස්ථානයකට පතිත වුවහොත් සිදුවන්නේ මහා විනාශයකි. ඒ අනුව 2031 වසරේ දී ‘පොයින්ට් නීමෝ’ සාගර සොහොනට කඩා වැටෙන්න සලස්වන බවත්, අභ්‍යවකාශ නැවැතුම් පොළේ අවසානය සාගර පතුළ වනු ඇති බවත් නාසා ආයතනය පැහැදිලි කර ඇත.
1998 වසරේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ක්‍රියාකාරී වූයේ වසර 15 ක කාලයක් සඳහාය. කෙසේ නමුත් එය වසර 30 තෙක් දීර්ඝ කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති. 2031 වසරේ දී ඇමෙරිකන් සහ රුසියන් අභ්‍යවකාශ යානා යොදා ගනිමින් අභ්‍යවකාශ නැවැතුම්පොළ පෘථිවියේ පහළ කක්ෂයට තල්ලු කිරීම සිදු කරන බවත්, ඒ අනුව එය නියමිත ඉලක්කයට පතිත වනු ඇති බවත්, නාසා ආයතනය වැඩි දුරටත් පවසා තිබේ.
තවදුරටත් භාවිතයට ගැනීම කළ නොහැකි වන ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ 2031 වසරේ දී, පොයින්ට් නීමෝ සාගර සොහොනට කඩා වැටීමට සලස්වන බව නාසා ආයතනය නිවේදනය කළේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. පොළොව මට්ටමේ සිට කිලෝ මීටර් 408 ක් ඉහළින් රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතු ආරම්භ වූයේ 1998 නොවැම්බර් 20 වැනිදාය.
ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 150 කි. එහි බර කිලෝ ග්‍රෑම් 444 කි. දිග මීටර් 73 කි. පළල මීටර් 109 කි. එකවර ගගනගාමීන් 7 දෙනකුට නවාතැන් ගැනීමට හැකිය. නැවැතුම්පොළට සියලු පහසුකම් පිරි විද්‍යාගාර සහ පර් යේෂණාගාරය අයත් වෙයි. මාරුවෙන් මාරුවට ගගනගාමීහු අභ්‍යවකාශයේ විවිධාකාරයේ පරීක්ෂණ සිදු කරති. සාරවත් එළවළු කොටුවක් සහ ගෙවත්තක් ද කෘත්‍රිම පරිසරයක් තුළ නිර්මාණය කර තිබේ. ගගනගාමීන්ට ව්‍යායාම කිරීමට ව්‍යායාම මධ්‍යස්ථානයක් ද නැවැතුම්පාළේ ඇත. රුසියානුවන්ට වෙනම කොටසක් ද මෙහි ඇත. දේශපාලනික වශයෙන් ඇමෙරිකාව සහ රුසියාව අතරේ එදිරිවාදිකම් පැවැතියත්, අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය මිත්‍රශීලීව කටයුතු කරති.
1971 වසරේ සිට පොයින්ට් නීමෝ චන්ද්‍රිකා සොහොනක් ලෙස භාවිතයට ගැනෙන අතර, මේ වනවිට චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ යානා කොටස් ඇතුළු සුන්බුන් 260 කට වැඩි ප්‍රමාණයක් පොයින්ට් නීමෝ සොහොනේ ගිල්වා තිබේ. ඒවායින් වැඩි ප්‍රමාණයක් රුසියානු අභ්‍යවකාශ යානා අභ්‍යවකාශ නැවැතුම්පොළ ඇතුළු සුන්බුන්ය. ලොව පළමු අභ්‍යවකාශ නැවැතුම්පොළ ලෙස සැලකෙන්නේ “මීර්” ය. මීර් සෝවියට් දේශය පවතිද්දී රුසියාව විසින් අභ්‍යවකාශයේ රඳවනු ලැබූවකි. මීර් කඩා වැටීමට සැලැස්වූයේ ද පොයින්ට් නීමෝ සොහොනටය. අක්‍රිය වීමෙන් පසු ප්‍රමාණයෙන් කුඩා රුසියානු ‘සලියුත්’ අභ්‍යවකාශ නැවැතුම්පොළ 6 ක් ද, රුසියන් භාණ්ඩ ප්‍රවාහන සහ ඉන්ධන ප්‍රවාහන අභ්‍යවකාශ යානා 140 ක කොටස් ද, සාගර සොහොනට පතිත කර තිබේ.
යළි භාවිතයට ගත නොහැකි ජපාන භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානා හයක් සහ ‘ජූල්ස් වර්න්‘ යන නමින් නම් කළ රොබෝ යානයක් ද පොයින්ට් නීමෝ සාගර කලාපයට වැටෙන්න සලස්වා ඇත. ඊට අමතර ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස්‘ සමාගමේ රොකට්ටුවක් හා යුරෝපා අභ්‍යවකාශ ආයතනයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානා කොටස් තොගයක් මෙහි ඇත. අක්‍රිය වී විශ්‍රාම යැවෙන අභ්‍යවකාශ යානා සහ අභ්‍යවකාශ නැවැතුම්පොළ පමණක් නොවෙයි; පාලනයෙන් ගිලිහී ගිය රොකට්ටු ආදියත් කෙසේ හෝ මෙම ස්ථානයට පතිත කර තිබේ. චීනය අභ්‍යවකාශයට යැවූ “ටියැංගොන් 1” නමැති අභ්‍යවකාශ පර් යේෂණාගාරය පාලනයෙන් ගිලිහී එය පොළොවට කඩා වැටීමේ බියක් හටගත්තේ 2018 වසරේදීය. චීනය උපරිම උත්සාහයක් ගනිමින් ටියැංගොන් 1 පර් යේෂණාගාරය ‘පොයින්ට් නීමෝ‘ සාගර කලාපය අසල ස්ථානයකට පතිත කළේය. ටියැංගොන් 1 හරියටම වැටුණු ස්ථානය දන්නේ චීන විද්‍යාඥයන් පමණි.
ලුසිත ජයමාන්න
ලයිව් සයන්ස් ඇසුරිනි