‘ඩයලොග්‘ අන්තර් පාසල් රග්බි තරගාවලිය වර්තමානය වන විට පාසල් රග්බි තරගාවලියකට එහා ගිය බොහෝ පාසල්වල කීර්තිනාමය ඉහළ නැන්වීමේ සහ ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ අංගයක් බවට පත්ව තිබේ.
කොළඹ සහ මහනුවර ප්‍රධාන පාසල් කීපයක්ම මෙම ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලිය සඳහා පමණක් මාස කීපයකදී රුපියල් ලක්ෂ 500 ක්, 450 ක් වියදම් කරන බව ප්‍රසිද්ධ රහසකි.
එම පාසල්වල විදේශගත ආදි ශිෂ්‍යයන් තනි තනිවම රුපියල් කෝටි ගණනින් මුදල් වැය කරන බව ද අමුතුවෙන් කිව යුතු නැත.
මෙවර රග්බි තරගාවලියේ පළමු, දෙවැනි සහ තුන්වැනි කාණ්ඩවල ක්‍රීඩා කරන සියලුම පාසල් මෙවර තරගාවලිය සඳහා පමණක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වැය කරයි.
කොළඹ ප්‍රධාන පාසල් ඇතුළු රට පුරා ප්‍රධාන නගරවල ප්‍රබල පාසල් ගමේ පාසලේ එසේත් නැත්නම් ජනප්‍රිය නොවන පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ප්‍රබල පාසල්වලට ඇතුළත් කර ගැනීම අනාදිමත් කාලයක සිට සිදුවූ ක්‍රියාවලියකි. එම ක්‍රියාවලියට ක්‍රිකට්, රග්බි, මලල ක්‍රීඩා, වොලිබෝල්, පිහිනුම් සහ පාපන්දු ඇතුළු සියලුම ක්‍රීඩා විශේෂයකින් තොරව ඇතුළත් විය.
ශ්‍රී ලංකාවේ ප්‍රබල රග්බි ක්‍රීඩකයන් ජනප්‍රිය නොවුණද මෙරට ක්‍රිකට් ක්‍රීඩකයෝ විශාල ජනප්‍රියත්වයක් ලබා සිටිති. එම ජනප්‍රිය බොහෝ ක්‍රීඩකයන් කොළඹ ජනප්‍රිය පාසල්වලට ඇතුළත්ව ඇත්තේ ගමේ ජනප්‍රිය නොවන පාසල් වලිනි. ඇතැම් ප්‍රබල ක්‍රීඩකයන් මෙරට ප්‍රබල පාසල්වල සිට කොළඹ ජනප්‍රිය පාසල්වලට ඇතුළත්වූ අවස්ථාවලට ද ඕනෑ තරම් උදාහරණ තිබේ.
මෙරට බොහෝ නගරවල ඇති ප්‍රධාන පාසල්වල දක්ෂ රග්බි ක්‍රීඩකයන් කොළඹ සහ මහනුවර ප්‍රධාන පාසල්වලට ඇතුළත් කර ගැනීම කාලයක සිට සිදුවූ ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය එක් අතකින් ගමේ පාසලේ සිටින දක්ෂ ක්‍රීඩකයන්ට ලැබෙන මහඟු අවස්ථාවකි. කෙසේ වෙතත් වර්තමානය වන විට එසේ දක්ෂ රග්බි ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන ඇතැම් පාසල්වලට සමාජ මාධ්‍ය හරහා අපහාස කිරීමේ සහ මඩගැසීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක කරන ඇතැමුන්ගේ පාසල්වලට ද ඇතැම් ගමේ පාසල්වල ක්‍රීඩකයන් අප්‍රසිද්ධව ඇතුළත් කරගෙන තිබුණද එය ප්‍රසිද්ධ නොවන තත්ත්වයක් තුළ ඔවුහු සෙසු පාසල්වලට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරති.
පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගය හෝ අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව වෙනත් පාසලකට ඇතුළත් වන්නේ නම් ක්‍රීඩකයෙක්ට හෝ ක්‍රීඩිකාවකට කිසිදු බාධාවකින් තොරව නව පාසලට ඇතුළත් වූ වහාම ඕනෑම අධ්‍යාපන හෝ බාහිර ක්‍රියාවලියක නිරත විය හැකිය. එසේ නොවී අතරමැදි පන්තියකදී වෙනත් පාසලකට ඇතුළුවන්නේ නම් පෙර අධ්‍යාපනය ලැබූ පාසලේ විදුහල්පතිවරයාගෙන් පසුව ඇතුළත් වූ පාසලේ ආරම්භයේ සිට ක්‍රීඩා ඇතුළු සෙසු ක්‍රියාකාරකම් කිරීමට විරෝධතාවක් නොමැති බවට ලිපියක් ලැබිය යුතුය. එම ලිපිය නිකුත් කිරීම පෙර සිටි පාසලේ විදුහල්පතිවරයා ප්‍රතික්ෂේප කරන්නේ නම් අදාළ ක්‍රීඩකයාට හෝ ක්‍රීඩකාවට වසරක කාලයක් කිසිදු බාහිර ක්‍රියාවලියකට සහභාගි වීමේ අවස්ථාව අහිමි වේ.
අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයකින් දරුවන් හට මෙම වැටඳීම කර තිබුණද ඇතැම් පාසල් අධිකරණය වෙත ගොස් අවසර ලබාගත් අවස්ථාද පසුගිය කාලය දැකිය හැකි විය. මෙරට දරුවන්ගේ අනාගතයට බාධා පනවා ඇති මෙවැනි චක්‍රලේඛන ඉවත් කිරීමට මෙරට අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට කාලය එළඹ තිබේ.
තවද මෙරට ප්‍රධාන රග්බි කණ්ඩායම් සහිත පාසල්වලට සමාජ මාධ්‍ය හරහා අපහාස කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයට යුතුකමක් සහ වගකීමක් තිබේ.
ඒ සඳහා පාසල් රග්බි සංගමය තවදුරටත් වගකීම පැහැර හැරීම නොකර සියලුම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා තොරතුරු පද්ධතියක් සකස් කර අන්තර්ජාලය හරහා ඕනෑම පුද්ගලයකුට ඕනෑම අවස්ථාවක පරිශීලනය කිරීමේ අවස්ථාව සැලසිය යුතුය. එම තොරතුරු පද්ධතිය තුළ අදාළ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවගේ සියලුම පාසල්, ඔහු හෝ ඇය ක්‍රීඩා කළ තරගාවලි, ඔහු හෝ ඇයගේ පුහුණුකරුවන් ඇතුළු සියලුම තොරතුරු ඇතුළත් කළ යුතුය.
එසේ වුවහොත් තමන්ගේ පාසල ද එම වැරැද්ද කරමින්ම සෙසු පාසල්වලට දොස් කියන සමාජය මාධ්‍යකරුවන් හෙළි කිරීමේ අවස්ථාව උදාවේ. ඇතැම් පුද්ගලයන් ව්‍යජ නමවලන් ‘ෆෙස්බුක්‘ ගිණුම් සකස් කරමින් කරගෙන යන මඩ ව්‍යාපාරයෙන් පාසල් ප්‍රධානීහු, පුහුණුකරුවෝ, කණ්ඩායම් බාර ආචාර්යවරු සහ ක්‍රීඩකයන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
අධ්‍යාපන අමාත්‍යංශය සහ පාසල් රග්බි සංගමය එකතුව මේ සඳහා නොපමාව කටයුතු කරනු ඇතැයි මෙරට රග්බි ලෝලීහු බලාපොරොත්තු වෙති.
සස්මින් ගමගේ