පාසල් දරුවන්ට, ගොක් කලාව නොමිලේ උගනවන අපුරු මිනිසා


 

ඔහු සැබෑම කලාකරුවෙකි. ගොක් කොළ කලාව තුළින් සිය සහජ හැකියාව ඔපවත් කරන නිශාන්ත ප්‍රදීප් කුමාර කලාකරුවා එම ක්ෂේත්‍රය තුළ දක්වන දක්ෂතාව හා නිපුණතාව වෙනුවෙන් දේශ්‍යමාන්‍ය, කලා විභූෂණ, කීර්ති ශ්‍රී ජනරංජන යන ගෞරව නාමයන් ගෙන් ද සම්මානයට පාත්‍රවී සිටී.  මෙම කලාකරුවා ගණේමුල්ල - බුළුගහගොඩ පදිංචිව සිටියි.

තම ශිල්පය අනාගත පරපුරට තිළිණ කිරීමට මෙම කලාකරුවා  නොපැකිළව කටයුතු කිරීම ඇගයිය යුතුය.

නිස්සරණාධ්‍යාසයෙන් නිශාන්ත සිදු කරන සේවය පිළිබදව තොරතුරු සොයා අප ගිය ගමනේදී හෙතෙම තමන්ගේ ගමන් මග පිළිබඳව මෙසේ පැවසීය.

“නුවරඑළිය - වලපනේ කුරුපනාවෙල මම උපන් ගම. උඩපුස්සැල්ලාව විමලධර්ම ප්‍රාථමිකය සහ කුරුපනාවෙල සෙනරත් මහා විද්‍යාලයෙන්  ද්විතීයික අධ්‍යාපනය  ලැබුවා. පාසල් අධ්‍යාපනය ලබන අවදියේ සිටම කලාව මගේ ඇඟේ තිබුණා.මගේ ඒ හැකියාවන් හොඳටම හඳුනාගත් පුද්ගලයා තමයි සෙනරත් විදුහලේ විදුහල්පති රෙජී ප්‍රනාන්දු මහත්මා.  එතුමාගේ මග පෙන්වීම මේ ගමන එන්න මට මහත් රුකුලක් වුණා.”

“අද මා සිටින විශිෂ්ටත්වයට අත් විඳින්නට මග පෙන්වූයේ එතුමායි. කාලයත් සමග ප්‍රවීණයන්ගේ ඇසුර 

ආශ්‍රයෙන් සාමුහික අත්දැකීම් හුවමාරු කර ගනිමින් ගොක් කලාවට අමතරව - චිත්‍ර ඇඳීම, මූර්ති නිර්මාණය මෙන්ම දියසායම්, කොලාජ් නිර්මාණකරණයේ ද සුවීශේෂී නිපුණතාවක් අත්පත් කරගැනීමට මට හැකියාව ලැබුණා.”

“මගේ සහජ හැකියාවන් මා සමග කවදා හෝ මිය යා යුතු නැහැ. ඒක මම තරයේ විශ්වාස කරනවා. ඒ නිසාම මගේ ශිල්පීය හැකියාවන් අනෙකාට ලබාදීම මා විසින් ම සිදු කරනවා. මේ කලා ශිල්පයන් අනාගත පරපුර දැනගත යුතුයි. මෙම කලාව පිළිබඳව නිසි ආකාරව කියා දීම අවශ්‍යයි. ඊට හොඳම තැන පාසලයි. කලාව ඇඟේ තියන දරුවන් විශාල පිරිසක් පාසල තුළ සිටිනවා. ඒ දරුවන් සතු සැඟවී තිබෙන කලා හැකියාවන් හඳුනාගෙන, ඊට නිසි මග පෙන්වීමයි කළ යුත්තේ. ඒ දේ අද මම පාසල් දරුවන් තුළින් සිදු කරනවා. විශේෂයෙන් අභාවයට යන ගොක්කොළ කලාව නගා සිටුවීමට ස්වෙච්ඡාවෙන් දේශන වැඩමුළු මම පවත්වනවා.”

“ගම්පහ සංස්කෘතික බල මණ්ඩලයේ සාමාජිකත්වය දරන මම  දිස්ත්‍රික්කය තුළත් ඉන් බැහැරවත් ගොක් කලාව පිළිබඳව ප්‍රායෝගිකව දේශන පවත්වනවා. ගුරු මුෂ්ඨියෙන් තොරව ඒවා කියලා දෙන්න ඕනේ. මා ළඟ ගුරු මුෂ්ඨියක් නැහැ. මම දන්න කලාව ඉගෙන ගන්න ආස අයට දක්ෂ අයට කියලා දෙනවා.”‍

ජාතික ශිල්ප සභාවේ ද සාමාජිකත්වය දරන නිශාන්ත කලාකරුවා එම සභාව වාර්ෂිකව ඉදිරිපත් කරන ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත උලෙළේ  නොකඩවා වර්ෂ කීපයකම ජයග්‍රහණ හිමි කරගෙන ඇති අතර, සම්මාන රාශියක් ද හිමි කරගෙන ඇත. එසේම මොහු ගෞරව සම්මානයන්ගෙන්ද පිදුම් ලබාගෙන ඇති විශිෂ්ඨ නිහතමානී කලාකරුවෙකුද වේ.

සටහන හා ඡායාරූප ඉඹුල්ගොඩ

මදූශා දිල්ශානි