පරිගණක ක්‍රීඩාවකට ඇබ්බැහි වී ජීවිතය විනාශ කරගත් මනුලගේ කතාව


 

සයිබර් අවකාශය යනු ළමයාගේ සිට වැඩිහිටියා දක්වා සිය අවශ්‍යතා සපුරා ගැනීමට භාවිතා කරන ශ්‍රව්‍ය විද්‍යුත් මාධ්‍යයකි. කොරෝනා වසංගතයත් සමග අන්තර්ජාල භාවිතය සීඝ්‍රයෙන් වැඩි විය. ඔන්ලයින් අධ්‍යාපනයේ සිට රැකියාවේ නිරතවීම දක්වාත් නිවසට අවශ්‍ය බඩු මුට්ටු ගෙන්වා ගැනීමේ සිට අවශ්‍යතා අලෙවිය දක්වාත් සයිබර් තාක්ෂණය අත්‍යවශ්‍ය මෙවලමක් වූවේය. කොරෝනා වසංගතය තුරන්ව ගිය ද සයිබර් අවකාශයේ සැරිසැරීම පාලනයක් සිදුනොවිනි.

විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ අතට ස්මාර්ට් දුරකථන ලැබීමත් සමඟම එය වඳුරට කණ්ණාඩිය අසුවුනාක් බඳු වූවේය. මව්පියන්ටත් සිදුවූයේ දැලිපිහියෙන් කිරිකන්නට දී බලා සිටීමටය. එය දරුවන්ගේ සරල ජීවිතය ක්‍රීඩාවෙන්, කලාවෙන් හා අධ්‍යාපනයෙන් ඈත් කරවූවේය. අධි ක්‍රියාකාරී ගේම්වලට ඇබ්බැහි වීමත්, මත්ද්‍රව්‍ය අලෙවිය, ගණිකා වෘත්තිය හා වෙනත් නීතිවිරෝධී ක්‍රියා සිදුකිරීමටත් පිටුවහලක් වූවේය.  


මෙවර ලිපියෙන් අවධාරණය කරන්නේ සයිබර් අවකාශයේ අතරමන් වී ජීවිතය සෙවූ දරුවකුගේ කඳුළු කතාවකි. ඔහු මනුල නමින් හඳුන්වමි. මේ ඔහුගේ කතාවයි.  
පවුලේ බඩපිස්සා වූ මනුල අධ්‍යාපනයට දක්ෂ දරුවෙකි. අයියාටත් අක්කාටත් වඩා කැපී පෙනුණු හැකියා රාශියක් තිබූ ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට සාමාර්ථ නමයකින් යුතුව සමත් වූවේය. අම්මාටත් තාත්තාටත් ඔහු ආඩම්බරයක් වූයේය. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ මනුල අනාගත ඉංජිනේරුවකු කිරීමය. මනුල දුටු සිහිනය ද එයම විය. මනුලගේ විභාග ප්‍රතිඵලයෙන් ආනන්දයට පත් මනුලගේ පියා ඔහුට ලැප්ටොප් පරිගණකයක් මිල දී ගත්තේය. මනුලට එය ප්‍රීතිය ගෙන දෙන්නක් විය. සිය කාමරයෙන් පරිස්සමට පරිගණකය තැබූ ඔහු ඒ දෙස බලා සිටියේ ආශාවෙනි.  


සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමත් සමඟ පරිගණක පාඨමාලාවක් හැදෑරීමට මනුල යොමු වී සිටියේය. ඔහුගේ හොඳම යාළුවා වූයේ කළණය. තාත්තා ලැප්ටොප් එකක් අරගෙන දුන් බව මනුල කළණට පැවසුවේය. එම ආරංචියත් සමඟ කළණට එය බැලීමේ ආශාවක් ඇති විය. ඒ අනුව කළණ මනුලගේ නිවසට පැමිණියේය. ඒ ඔහුගේ පරිගණකයත් රැගෙනය. මනුල හා කළණ මනුලගේ කාමරයේ තනි වූහ.  


‘ඒයි මනුලයා නියම භාණ්ඩයක් බන් මේක. මාර ස්පීඩ් එකක් තියෙන්නේ. උඹ අර දවස්වල ගෙදරට වෙලා ඉන්න කම්මැලි කිය කියා නාහෙන් අඬ අඬානේ හිටියේ. හිටපන් මම නියම වැඩක් කියලා දෙන්නම් උඹට කාලේ ගෙවන්න.’ 

 
කළණ මනුලගේ පරිගණකයට ගේම් කීපයක් දැමුවේය. ඒවා සෙල්ලම් කරන විදිය ද කියා දුන්නේය. එදා මනුල ඒ දෙස ඔහේ බලා සිටියත් දිවා කාලයට නිවසේ තනිව සිටීම අප්‍රසන්න අත්දැකීමක් විය. අම්මාත් තාත්තාත් රැකියා නිම වී නිවසට එන්නේ රෑ බෝවීය. අයියාත් අක්කාත් බෝඩිම්වලය. මේ නිසාම මනුල කළණ සිය පරිගණකයට දමා දුන් ප්‍රීෆයර් ගේම් එක සෙල්ලම් කිරීමට සිතුවේය.  


මුලදි එය කම්මැලි වුවත්, සෙල්ලම් කරගෙන පියවරෙන් පියවරට යද්දී අතහැරීමට බැරි කාර්යයක් වූවේය. මනුලට වතුර බීමට අමතක විය. ආහාර ගැනීමට අමතක විය. සිය පෞද්ගලික පවිත්‍රතාවය පිරිහුණේය. ඔහු දවසින් දවස පැය ගාණක් පරිගණක තිරය දෙස බලා සිටියේය. සිය මව්පියන් සමඟ කතා කරන්නට කාලයක් නොවීය. අධ්‍යාපන කටයුතු අත හැරියේය. දින සති මාස ගෙවී ගියේය. කාර්යබහුල වූ මව්පියන්ට ද මනුල ගැන සෙවීම අමතකව තිබුණේය. ඒ නවයක් ගත් සිය දරුවා සැක නොකළ ඔවුන් සිතුවේ ඔහු කාමරයට වී අධ්‍යාපන කටයුත්තක නිරත වන බවය.  


මාස ගණනකට පසු මනුලගේ අයියා නිවසට ආවේය. ඔහුට මනුලගේ ලොකු වෙනසක් පෙණුනි. මනුල ගැන අවධානයෙන් පසු වූ අයියා මනුලගේ දවස ගෙවන හැටි දුටුවේය. සිය මව්පියන් සමඟ ඒ පිළිබඳව කතා කළ ඔහු මනුලගේ පරිගණකය පරික්ෂා කළේය. එහි තිබුණේ ඔහුට අදහාගත නොහැකි දේවල්ය.  
 ඒ පිළිබඳ මනුලට අවවාද කිරීමට යාමේ දී සිදුවූවේ අයියා මලෝ බහින්බස් වීමය. මේ ඝෝරනාඩුව සිය පියාට හිසරදයක් විය. ඔහු මනුලගේ පරිගණකය සිය භාරයට ගත්තේය. මනුල පිස්සෙකු සේ හඬන්නට විය. නොකා නොබී වැළපෙන්නට විය. මනුලගේ අසාමාන්‍ය චර්යාව පියා භීතියට පත් කළේය. ඒ නිසාම ඔහු වෛද්‍යවරයකුට පෙන්වීමට කටයුතු කළේය. මනුල පරික්ෂා කළ වෛද්‍යවරයා පවසා තිබුණේ මනුලගේ මොළයේ සියයට පනහක් පමණ අක්‍රියවී ඇති බවය. ක්‍රමක්‍රමයෙන් පරිගණකය ඈත් කළ යුතු බවට උපදෙස් දුන් වෛද්‍යවරයාය ඖෂධ ප්‍රතිකාර නියම කළේය.  


මනුලගේ මව්පියෝ භ්‍රාන්තියට පත්වූහ. මනුල දෙස බලා සිටි ඔවුහු විස්සෝප වූහ. ඔවුනගේ අවාධනය ලැබෙන විට මනුලගේ ජීවිතය අඩක් විනාශ වී අවසන්ය. විශිෂ්ට සාමාර්ථ නමයක් ගෙන අනාගත ඉංජිනේරුවෙකු වීමට සිහින දුටු මනුල මානසික රෝගියෙකු සේ කටයුතු කරන්නේය.  


ළමයින් යනු ජීවිතය සොයා යන වුන්ය. අත්හදා බැලීම් කරන වුන්ය. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග බව දන්නේ වැඩිහිටියන්ය. වත්මන් සමාජයේ මනුලලා තවත් ඇත. මව්පියෝ බොහෝ ඇත. එම නිසා දරුවන්ගේ අතට පරිගණකය හෝ ස්මාට් දුරකථනය පත් කිරීමේ දී මව්පියන්ගේ වගකීම කුමක් ද? යන්න පිළිබඳ අමතක නොකළ යුතුය. මේ ගැන පරිගණක විශේෂඥයකුගේ අදහස අපි විමසමු.  


මොබයිල් ගේම් හෝ වීඩියෝ ගේම් අධිකව භාවිත කරන ළමයින් පිළිබඳ සොයා බැලීමේ දී බොහෝ ළමයින් මව්පිය අවධානයෙන් ගිලිහුණ, නිසි වැඩිහිටි අධීක්ෂණයක් නොමැති, මව්පියන් කාර්යබහුල, එළිමහන් ක්‍රීඩාවල නොයෙදුනු, පාසල් අධ්‍යාපනය පමණක් කේන්ද්‍ර කරගත්, සමාජශීලිත්වය අඩු පිරිසක් බව හෙළිවී තිබෙනවා.  
වර්තමාන ළමයින් අතර වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ සී.බී.සී. කෝල් ඔෆ් ඩියුටි, පබ්ජි, ප්‍රීෆයර් වැනි මොබයිල් ගේම්. ඒවා බොහොමයක් ප්‍රචණ්ඩකාරියි.  


 ලෝකයේ පරිගණක ක්‍රීඩාවල තත්වය අත්හදා බලා නිර්දේශ කරන්න ESRB වැනි ආයතන තිබෙනවා. ඒ අනුව E අකුර සහිත පරිගණක ක්‍රීඩා ඕනෑම කාණ්ඩයකට සුදුසු බවත් EC සලකුණ සහිත පරිගණක ක්‍රීඩා අවුරුදු 3ට ඉහළ දරුවන්ටත්, 10*E කේත ගත ක්‍රීඩා අවුරුදු 10 ට වැඩි අයටත් T කේතගත ක්‍රීඩා 13 ට ඉහළ අයටත් M කේතගත ක්‍රීඩ 17ට වැඩි අයටත් AO කේතගත ක්‍රීඩා 18 වැඩි අයටත් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. ඒත් ලංකාවේ මෙම නියාමන ක්‍රමවේදය තිබෙනවා ද යන්න ගැටලුවක්. ඒ පිළිබඳ මව්පියන්ට ඇති අවබෝධයත් අඩුයි. ලංකාවේ තිබෙන තත්වය අනුව ඕනෑම අයෙකුට ඕනෑම පරිගණක ක්‍රීඩාවක නිරත විය හැකියි. එය ළමා අපයෝජනයට හේතුවක්.  


කිසිදු නියාමනයක් නොමැති ගැටලු මතුකරන මේ වගේ වාතාවරණයක දී බොහෝ මව්පියන් ඉල්ලා සිටින්නේ අන්තර්ජාලය තහනම් කළ යුතු බව. ඒත් අන්තර්ජාලය කියන්නේ දරුවන්ගෙන් ඈත් කළ යුත්තක් නොවෙයි. එම ඥානය අනාගත ලෝකයට යන දරුවන්ට තිබිය යුතුයි. ඒත් වැඩිහිටියන් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි. තමන්ගේ වැඩ පහසුකර ගැනීමට සිතා කුඩා දරුවන්ගේ අතට දුරකථනය ලබාදෙන මවුපියෝම තමයි ඔවුන් ඊට ඇබ්බැහි කරවන්නේ. ඉන්පසු දරුවා එයින් මුදවාගත නොහැකි තැන මව්පියෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවන් සියදිවි නසාගන්නටත් පුළුවන්. අධික වේගයෙන් රිය පදවන, ලේ වැගිරීම්, කොල්ලකෑම්, මිනීමැරීම් වැනි දේ අන්තර්ගත පරිගණක ක්‍රීඩාවල නිරත වන දරුවන් සාමාන්‍ය ජීවිතයේ දී කළහකාරී බව පර්ෙ‌ය්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා.  
මහාචාර්ය එෆ්ෆිගර්මන් විසින් කළ පර්​ෙ‌ය්ෂණයකින් අධිවේගී මෝටර් රථ ධාවනය කරන පරිගණක ක්‍රීඩාවල නිරතවන අයගෙන් 40% ක් සාමාන්‍ය ජීවිතයේදීත් අධික වේගයෙන් රිය ධාවනය කරන බව අනාවරණය වෙලා තිබෙනවා. 


මෙවන් තත්ත්වයක් හමුවේ ළමයින් ඉන් ගලවා ගැනීමට නම් මව්පියන් ඉවසීමෙන් කටයුතු කළ යුතු වෙනවා. එහිදී ළමයාගේ සොබාවය, තීරණ ගැනීමේ හැකියාව, මානසික මට්ටම, පෞරුෂය, ගැටලුවලට මුහුණ දෙන ආකාරය, සියදිවි නසා ගැනීමේ සිතුවිලි සහිත ද යන වග අවබෝධ කරගත යුතුයි. එසේ නොවුනහොත් මෙම ප්‍රශ්නය දෙගුණ තෙගුණ විය හැකියි. වර්තමානය වන විට පරිගණක ක්‍රීඩා පිළිබඳව විද්‍යාත්මක අධ්‍යනයේ ප්‍රතිඵලයක් ලෙස මානසික රෝග වර්ගීකරණය තුළ (DSM-5) Internet Gaming Disorder හෙවත් අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහි වීමේ අක්‍රමතාව ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක් බව හඳුනාගෙන තිබෙනවා. ඔබේ දරුවා එවන් තත්වයකට පත්ව ඇත්නම් මනෝ වෛද්‍ය උපදේශනයට යොමුකළ යුතුයි.  


මෙවන් ගැටලුකාරී තත්ත්වයක දී ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ළමා දුරකතන සේවය වන 1929 ඔබේ ප්‍රයෝජනයට ගත හැකියි.

 

 

සටහන
කුමාරි හේරත්