අපායේ දොරටුව යනු ගිනි ආවාටයකි. පසුගිය පනස් වසරක කාලය පුරා, මෙම ආවාටය නොකඩවා ගිනි ගනිමින් පැවැතිණි. ඒත් දැන් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, මෙම ගිනි ආවාටය සෙමින් සෙමින් නිවී යෑමට පටන් ගෙන ඇති බවය.
මෙම ගිනි ආවාටය එසේත් නැතිනම් අපායේ දොරටුව ඇත්තේ ටර්ක්මෙනිස්ථානයේය. ටර්ක්මෙනිස්ථානය යනු වැඩිය අපට අහන්න ලැබෙන රටක් නොවෙයි. ටර්ක්මෙනිස්ථානය අයත් වන්නේ මධ්‍යම ආසියාවටය. ටර්ක්මෙනිස්ථානය ගැන විස්තර මේ සටහන අවසානයේ ඔබට කියවන්න ලැබෙනු ඇත.
දැන් අපි යමු අපායේ දොරටුව දෙසට.‘
අපායේ දොරටුව ඇත්තේ - ටර්ක්මෙනිස්ථානයේ, දර්වේසා නමැති ගම්මානය අසලය. මෙය විශාල ස්වාභාවික ගිනි ආවාටයකි. මෙහි නිල නාමය වන්නේ “දර්වේසා වායු ආවාටය” යන්නය. ස්වභාවික ආවාටයක් වුවත්, මෙම ආවාටය නිර්මාණය වූයේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය.
1971 වසරේ දී සෝවියට් භූ විද්‍යාඥයෝ ස්වභාවික ගෑස් (වායු) සොයමින්, මෙම පළාතේ කැණීම් කරන්න වූහ. එසේ කැණීම් කරමින් සිටිද්දී භූගත ගුහාවක් කඩා වැටීමෙන්, විශාල ආවාටයක් නිර්මාණය විය. මෙම ආවාටයෙන් විශාල වශයෙන් මීතේන් වායුව නිකුත් විය. මීතේන් පරිසරයට අහිතකරය. එමෙන්ම දර්වේසා ගම්මානයේ වැසියන්ට ද එය තර්ජනයක් විය. ඒ අනුව විද්‍යාඥයන් සහ බලධාරීන් එක් වී තීරණය කළේ ආවාටයෙන් නිකුත් වන්න වූ මීතෙන් වායුව ගිනි තබා පුලුස්සා දැමීමටය. එසේ ගිනි ඇවිළුවීමෙන් පසු දින දෙක තුනක් යද්දී මීතේන් වායුව ඇවිළී නිවී යනු ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කළහ. ඒත් ඒ අනුමානය වැරදි විය.
එදා මීතේන් වායුවට ඇවිළු ගින්න වසර 50 ක් තිස්සේ නොනැවතී ඇවිළෙන්න විය. විශේෂයෙන් රාත්‍රීයේ දී මෙය බොහෝ දුරට හොඳින් පැහැදිලිව දිස්විය. ඒ අපායට යන දොරටුවක් ලෙසිනි. අපායේ දොරටුව යන නාමය ඊට ලැබුණේ ද එබැවිනි. කෙසේ නමුත් වසර ගණනාවක් තිස්සේ දර්වේසා ගිනි ආවාටය ටර්ක්මෙනිස්ථානයේ ජනප්‍රියම සංචාරක ආකර්ෂණයක් බවට පත් වී තිබුණි. ලොව නන්දෙසින් මෙම අපූරු ගිනි ආවාටය නැරැඹීමට බොහෝ දෙනෙක් පැමිණෙමින් සිටිති. සාමාන්‍යයෙන් මෙම ආවාටය නැරැඹීමට වසරකට පැමිණෙන විදෙස් සංචාරකයන් ගණන 6,000 ක් බව පැවැසෙයි. රාත්‍රී කාලයේ ආවාටයෙන් නැගෙන ගිනි දැල් රාත්‍රී අහස අලංකාරය කරන්නේ අපූර්වත්වයකිනි. ගිනි ආවාටය අඩි 230ක් පළලය. (මීටර් 70ක්) අඩි 98ක් ගැඹුරුය. (මීටර් 30ක්) 2013 වසරේ දී කැනඩා ගවේෂක ජෝර්ජ් කූරුනිස් මෙම ආවාටය තුළට බැස පස් සාම්පල එකතු කළේය. ඒ විශේෂිත ඇඳුම් කට්ටලක් පැලඳගෙනය. ජෝර්ජ් කූරුනිස් ආවාටය සම්බන්ධයෙන් කළ අධ්‍යයනය ඉතා වැදගත් එකක් විය. දැවෙන ආවාටය ඇතුළේ පවා සරල ජීවීන් ජීවත් වන බවට ජෝර්ජ් කූරුනිස් අනාවරණය කළේය.
මේ වනවිට විද්‍යාඥයන්ට අනුව නොකඩවා ස්වභාවිකව නිකුත් වුණු මීතේන් වායුවේ ගලා ඒම අඩු වීමට පටන් ගෙන ඇත. ඒ අනුව ගිනිදැල් ක්‍රමයෙන් නිවී යෑමට පටන් ගෙන ඇත. මේ වනවිට මීට වසර ගණනකට පෙර පැවැති අයුරින් ගිනිදැල්වල දීප්තිය අඩුවෙමින් පවතින බව ටර්ක්මෙනිස්ථානයේ රාජ්‍ය බලශක්ති සමාගමක් වන වනිටර්නිමෙන්ගාස් හි අධ්‍යක්ෂවරියක වන ඉරීනා ලූරියෙවා පසුගිය දා පොසිල ඉන්ධන සමුළුවකදී පැහැදිලි කළාය.
“ආවාටයේ මීතේන් නිකුත් වීම සෙමින් අඩු වෙනවා. ඒ නිසා ගින්නත් අඩු වීමට පටන්ගෙන තිබෙනවා. එම ගිනිදැල් අතීතයට වඩා තුන් ගුණයකින් අඩු වී තිබෙන බව අපට නිරීක්ෂණ කිරීමට හැකිවුණා. දැන් ගිනිදැල් දකින්න ලැබෙන්නේ, ආවාටය ආසන්නයටම ගියොත් පමණයි. කිලෝ මීටර් ගණනාවක් ඈතට පෙනෙන්නේ නැහැ” යැයි ඉරීනා ලූරියෙවා පවසා ඇත.
මීතේන් යනු ගන්ධයක් හෝ වර්ණයක් නැති, ස්වාභාවිකව හමුවන වායුවකි. මෙය ස්වාභාවික ගෑස්වල ප්‍රධානම සංඝටකය වෙයි. ස්වාභාවික ගෑස් යනු පොළොව යට තැන්පත් වෙලා තියෙන ඉන්ධනයකි. මීතේන් සෑදෙන්නේ ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකිනි. ශාක හා සත්ත්ව ද්‍රව්‍ය, වගුරු බිම්, ජලාශ හෝ පොළොව යට ඔක්සිජන් රහිත පරිසරවල දී දිරාපත් වන විට බැක්ටීරියා මගින් මීතේන් නිපදවයි. මෙය ජීව මීතේන් ලෙස හැඳින්වෙයි. පොළොව යට ඉතා ගැඹුරින්, අධික පීඩනය හා තාපය යටතේ කාබනික ද්‍රව්‍ය තෙල් හා ගෑස් බවට පත් වෙයි. මෙම ක්‍රියාවලියේදී නිර්මාණය වන මීතෙන් හැඳින්වෙන්නේ තාප-රසායනික මීතේන් යනුවෙනි.
ටර්ක්මෙනිස්ථානය, තුර්ක්මෙනිස්ථානය යනුවෙන් ද හැඳින්වෙයි. මධ්‍යම ආසියාවට අයත් ටර්ක්මෙනිස්ථානය බටහිරින් කැස්පියන් මුහුදට මායිම් වෙයි. උතුරින් කසක්ස්ථානයටත්, නැගෙනහිරින් උස්බෙකිස්ථානයටත්, දකුණින් ඉරානයට සහ ඇෆ්ගනිස්ථානයටත් මායිම් වී පිහිටයි. ටර්ක්මෙනිස්ථානයේ වැඩි කොටසක් වියළි කාන්තාරවලින් වැසී පවතී. කාරාකුම් කාන්තාරය ටර්ක්මෙනිස්ථානයේ ප්‍රධාන කාන්තාරයයි. රටේ දේශගුණය ගැන කියනවා නම්, ග්‍රීෂ්ම කාලය ඉතා උණුසුම් වන අතර, ශීත කාලය දැඩි සීතලය. ටර්ක්මෙනිස්ථානයේ අගනුවර අෂ්ගාබාත්ය. මේ නගරය ඉතා නවීන සහ සුදු කිරිගරුඬ ගොඩනැගිලිවලින් සෑදුණු සුන්දර නගරයක් ලෙස ප්‍රසිද්ධයි. ටර්ක්මෙනිස්ථානය ස්වාභාවික ගෑස් සහ තෙල් සම්පත්වලින් ඉතා පොහොසත්ය. ලෝකයේ විශාලතම ස්වාභාවික ගෑස් නිධි කීපයක්ම තුර්ක්මෙනිස්තානයේ පිහිටා ඇත. මේ ස්වාභාවික සම්පත් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයයි. ටර්ක්මන් ජාතිකයන් රටේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායමය. ඔවුන්ට සුවිශේෂී සංස්කෘතියක් ඇත. ටර්ක්මන් කාපට් (කලාල) ලෝක ප්‍රසිද්ධය. මේවා ඉතා උසස් තත්ත්වයේ සහ අලංකාර මෝස්තරවලින් යුක්තය. ඔවුන්ගේ සාම්ප්‍රදායික සංගීතය, නැටුම් සහ ඇඳුම් පැලඳුම් ද ඉතා වර්ණවත්ය. පුරාණයේ සේද මාවතේ නගර වන මර්ව් සහ කොන්යා-උර්ගෙන්ච් වැනි ඓතිහාසික ස්ථාන ඇත්තේ ද ටර්ක්මෙනිස්ථානයේය.
ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි