මාලනී, පෙරදිග මාතෘත්වයේ කැඩපතයි


මාලනී ⁣ෆොන්සේකා දැයෙන් සමුගෙන සති කිහිපයක් ඉකුත්ව ගොසිනි. එහෙත් ඇගේ වියෝවෙන් ඇතිවූ සමාජ කම්පනය කෙතරම් බලවත් ද යත් - මෙතෙක් කිසිදු කලාකරුවෙකු ගේ වියොවක දී නොලිය වුණු තරමේ ලිපි, රචනා, කව් ඈ ගැන ලියැවෙයි. ඇගේ චිත්‍රපට රූප රාමු, චිත්‍රපට ගී නර්තන, ඡායාරූප සහ ජීවන සටහන් පළ වෙයි. හුවමාරු වෙයි. සමාජ මාධ්‍යයෙහි තවමත් වැඩි ම ඉඩකඩ ඇය වෙනුවෙනි. ඇගේ අභාවය සිදුවූ වහාම සමාජ මාධ්‍ය එය වාර්තා කළේය. අප විසින් මීට පෙරද නිරීක්ෂණය කර ඇති පරිදි උගත් නූගත් භේදයකින් තොර ව පාර්ශ්ව කිහිපයක් ඇගේ චරිතය වග විභාග කරමින් අපහාස සහ නින්දාලාප ලියන්නට පටන් ගත්හ. මේ අතර ඇතැම් සරසවි ඇදුරන් ද සිටීම ලැජ්ජා සහගත ය. එහෙත් කලාකාරිනියක ලෙස ඇගේ ප්‍රතිභානය සහ ඓතිහාසික කාර්යභාරය පිළිබඳ සංවේදී හදැති සාමාන්‍ය රසිකයන්ගේ පටන් වියත් විචාරකයන් දක්වා බොහෝ පාර්ශ්ව ඇගේ මෙහෙවර පිළිබඳ සංවාදය පවත්වාගෙන ගියහ. මේ මොහොත වෙන විට මඩ බළකාය දුර්මුඛ ව ගොසිනි. එයින් ඇතැම් පාර්ශ්වද දැන් මාලනියගේ හොඳ කියන්නට පටන්ගෙන ඇත. “වාදය ප්‍රතිවාදය හා ගැටීමෙන් සංවාදය බිහි වේ” යන කියමන සිහිපත් වෙයි.
 
1963 දී නව යොවුන් දැරියක ලෙස නර්තනයෙන්, රංගනයෙන් කලා ලොවට අවතීර්ණ වූ මාලනී 2025 වන විට ලංකාවේ රංගනවේදිනී නාමාවලියෙහි මුදුන්මල්කඩ බවට පත්ව සිටියා ය. එමතු නොව ඇගේ නම ජාත්‍යන්තරයට ද ගියේය. CNN මාධ්‍ය නම් කර ඇත්තේ ඇය ආසියානු කලාපයේ බලගතු ම රංගනවේදීන් 25 දෙනා අතර සිටින බවය. මාලනියටද ආභාසය දුන් කලා නිකේතනයක් වන් භාරතයේ බලගතු රංගවේදිනියන් හා කරට කර සිටින්නටත් ඔවුන් අබිබවා යන්නටත් ඇයට හැකි විය. එය ලේසි පහසු ගමනක් නොවේ. ඇතැම් ලක්ෂණ අතින් ඇය භාරතයේ මුල්ම තාරකාව වන වෛජයන්තිමාලාට සම කළ හැකි වුවද, භාවාත්මක රංගනය සහ ස්වභාවිකත්වය අතින් මාලනී වෛජයන්තිමාලා පහසුවෙන් අබිබවා යයි. ප්‍රේමවන්තියගේ හැඟීම් ප්‍රකාශනයෙහි දී ෂර්මිලා තාගෝර් යම් කෘත්‍රිම බවක් පෙන්වයි ද, මාලනිය ඊට වඩා සුකුමාර වෙයි. දෑසින් , මුහුණේ ඉරියව්වලින්, මාලනියට මඳක් ළං වන්නේ ජයා බහදූරි පමණි. ඒ අතින් මාලනිය මහා භාරතයේ සිනමා තාරකාවන්ට ළං විය නොහැකි තැනකට රංගවේදය ඔසවා තබා ඇත. මාලනියගේ රංගන සාර්ථකත්වය පසුපස එතරම් මිහිරි නොවන කතාවක් ඇත. එය අනන්ත වූ අභියෝග හිරිහැර මැදින් පැමිණි අධිෂ්ඨානශීලී ගමනකි. ඇගේ රංගන කුසලතා වියුක්ත කොට ගෙන සාකච්ඡා කළ නොහැක. එය සමාජ සංයුක්ත කරුණකි. එය ඇගේ චරිත ස්වභාවය සමග සම්බන්ධ වෙයි. නොසැලෙන ගුණය, ආත්ම පරිත්‍යාගය, මෘදු ගුණය හා මව් ගුණය, සාමුහිකත්වයට ගරු කිරීම සහ අධිෂ්ඨානශීලි බව හැටියට එම චරිත ලක්ෂණ කැටි කළ හැකිය. මේ එකිනෙක මඳක් සාකච්ඡාවට ගනිමු.
 
ස්ත්‍රිය පිළිබඳ චිරාගත ආකල්පය
 
ඇය රංගනයට පිවිසෙන හැටේ දශකය යනු ස්ත්‍රිය සම්බන්ධයෙන් ලාංකීය සමාජයෙහි චිරාගත ආකල්ප බරපතළ වෙනසකට ලක් නොවූ අවධියකි. එනිසා තම ගෙදර පරිසරයෙහි පටන්ම ඇගේ තෝරා ගැනීම සම්බන්ධයෙන් පැවතු⁣ණේ විරෝධයකි. එහෙත් ඇය කම්පාවට පත් නොවී මෘදු ලෙස එයට අවතීර්ණ වූවාය. මාලනීගේ මව පවුලේ සියලු දරුවන්ට දැක්වූයේ සමාන සැලකිල්ලකි. මාලනිය ක්‍රමයෙන් කාර්ය බහුල වෙන විට වුවද ගෙදරින් පිට වෙන්නට පෙර ගෙදර දොර වගකීම් ටික ඉටු කළ යුතු බව අමතක නොවන පාඩමක් හැටියට මාලනියගේ නළලේ කෙටී තිබිණ. ඒ මව දුන් දඬුවම් පහරක කැළලකි.
 
ඇය මුලින්ම කළේ වේදිකා නාට්‍යවල රඟපෑමය. අඩු පහසුකම් මධ්‍යයේ නාට්‍ය දර්ශනවලට පිට පළාත්වලට යෑමේ දී එකල තිබූ දුෂ්කරතා අනුව සුළු දෙයින් සැලෙන කෙ⁣නෙකු වූවා නම් ඇයට මේ සා දුරක් එන්නට ලැබෙන්නේ නැත. අකල් වැස්ස නාට්‍යයෙහි නුවර දර්ශනය සඳහා සුමන ආලෝක බණ්ඩාර ඇතුළු කණ්ඩායම කැලණියෙන් මාලනිය ද කැටුව ගමන් කර ඇත්තේ කබල් ලොරියකින් බව සුමන මතක ඔස්සේ ආලෝක බණ්ඩාර ලියා තැබීය. එපමණක් නොව දර්ශන වේලාව පමාවීමෙන් ඇතිවූ කලබැගෑනියට ද මුහුණ දෙමින් චරිත නිරූපණයට අවශ්‍ය ඇතැම් ආම්පන්න ද වාහනයේ තිබියදී තැනට සුදුසු නුවණින් කටයුතු කර සාර්ථක නාට්‍යාවසානයක් දක්වා චරිතයට උපරිම සාධාරණය ඉටු කරමින් අකල් වැස්සෙහි රඟපෑම වෙනුවෙන් හොඳම වේදිකා නිළියට හිමි සම්මානය ලැබීමට මාලනිය සමත්වීමෙන් පෙනුණේ ඇගේ නොසැලෙන ගුණයයි. එය පරම්පරා ගණනාවක් දක්වා නවක නිළියන්ට මතු නොව නළුවන්⁣ට ද කදිම ආදර්ශයකි.  පුංචි බබා චිත්‍රපටියෙන් සිනමාවට පිවිසි ඇය ඉන්පසු මුහුණ දුන් අභියෝග වේදිකා නාට්‍ය දිවියට නොදෙවෙනි ය. වේදිකා නාට්‍යයෙන් නොමැකෙන සලකුණක් තැබූ මාලනිය ගැන අකල්වැස්සේ ප්‍රධාන නළුවා තැබූ මේ සටහන අතිශය හෘදයග්‍රාහී සියුම් නිරීක්ෂණයකි.
 
“මේ හුරුබුහුටි පුංචි දැරිවි හැදුණෙ වැඩුණෙ කණ්ඩායමේ කාගේත් ඇල්ම බැල්ම යටතේයි. අකල්වැස්සෙන් එයා ලොකු ළමයෙක් වුණාට පස්සෙ මුළු කණ්ඩායමේම හිත් පහන් වුණා විතරක් නොවෙයි එයා කණ්ඩායමටත් පහනක් වුණා. ඊට පස්සේ කරුගෙ එරබදු මල්, හිරු අවරට ගියාදෝ, මළවුන්ගෙන් , මහගෙදර, සයුරෙන් ආ ළඳ, ලියතඹරා නාට්‍යවල රඟපෑවේ කණ්ඩායමේ නිළියක් හැටියට ඉඳගෙන කාගෙත් අනුදැනුම ඇතිව. මෙහෙම කණ්ඩායමෙත් වේදිකාවෙත් පහනක් වෙලා ඉන්න අතරවාරෙ තමයි ඒ පාළු අඳුරු හිදැස ඇති කරලා එයා චිත්‍රපටි ලෝකෙට පිය නැඟුවෙ. මාලනී වේදිකාවෙන් දික්කසාද වෙලා චිත්‍රපටියත් එක්ක ගියාට පස්සෙ අපේ කණ්ඩායමේ මහා හිඩැසත් එක්ක මූසල පාළුවක් ඇති වුණා. හරියට පහනක් නැති ගෙයක් වගේ. අකල් වැස්සට එනකොටත් එයා දැන් ලොකු ළමයෙක් නොවෙයි පුංචි දැරිවියක් මයි. හැබැයි ලොකු වෙන්න ඔන්න මෙන්න කියලා. ඇඟපතේ මහත දෙහෙත නොවීම නිසා වෙන්නැති අපේ නාට්‍යකාර යාළුවන්ට හිතුණේ මාලනී අකල් වැස්සේ චරිතයට ගැළපෙන්නෑ කියලා.”
 
අකල් වැස්සෙන් නාට්‍ය කලාවට සමුදෙන විට ඇය නාට්‍ය දොළහක රඟපා සම්මානයට ද පාත්‍ර වී සිටියාය. ඒ අතර එවකට ප්‍රකටම නාට්‍යකරුවන්ගේ නිර්මාණ ද විය.
 
අකල්වැස්සෙන් පුංචි බබා චිත්‍රපටියට පැමිණි මාලනිය චිත්‍රපටි ලෝකයෙහි සුන්දර පෙම්වතියගේ භූමිකාවට පණපෙව්වේ තුරුණු විය එළිපත්තේ දීමය.
 
චිත්‍රපටි ලෝකයෙහි පෙම්වතාගේ ලෝකය සහ සැබෑ ලොව පෙම්වතාගේ වෙනස සසැඳීමේ අවස්ථාව ද ඇයට ලැබිණ.
 
 
ප්‍රේමයේ දී ඇය රැවටිල්ලට ලක්වූ වාර ගණනද එකක් නොවේ. ඒ දරාගැනීම පුදුම සහගතය. ඒ හැම වේදනාවක්, පීඩාවක් අබියස නොසැලී වෘත්තීය රංගනවේදිනියක ලෙස චරිතවලට පණ දීමෙහිදී ඇගේ බස, රංගන චර්යා මෘදු වීම සහ කරුණාබර වීම කෙරෙහි ඇගේ ආත්මීය වේදනාව බලගතු ඉන්ධන සැපයූවා වන්නටද පුළුවන.
 
වාණිජ සිනමාව, කලාත්මක සිනමාව සහ සමාන්තර සිනමාව යන තල තුනෙහි ම අනන්‍යතා ලක්ෂණ හඳුනාගනිමින් අය කළ රංග කාර්යය හඳුනාගත හැකි ගොනු කිහිපයක් දක්වමි.
 
1.තුෂාරා, ගංගා,  මේ දෑස   කුමටද, ආවා සොයා  ආදරේ  2.නිධානය, බඹරු ඇවිත්, බැද්දේගම, සොල්දාදු උන්නැහේ, 3.ආරාධනා, ස්ත්‍රී, එයා දැන් ලොකු ළමයෙක්, සරදියෙල්ගෙ පුතා
 
මාලනියගේ රංගවේදය නමින් වෙන ම අධ්‍යයන කලාපයක් සිනමා විෂයෙහි ආරම්භ කිරීමට සිනමා ඇකඩමියක් තිබිය යුතුය.
 
ආත්ම පරිත්‍යාගය
 
මාලනී එක් අතකින් කලාව වෙනුවෙන් අතිමහත් කැපවීමක් කරන අතරතුර පෞද්ගලික ජීවිතයෙහි දී ආත්ම පරිත්‍යාගයක් කළ තැනැත්තියකි. 11 දෙනෙකුගෙන් යුතු පවුලේ සාමාජිකයන් ජීවත්වූයේ පොල් අතු සෙවිලි කළ ගැමි ගෙදරකය. අඟහිඟකම් මැද ගෙවූ දුෂ්කර ජීවිතයෙන් පවුලේ සාමාජිකයන් ඔසවා තබන්නට ඇය තම දිවියෙහි වටිනාම අවධියෙහි සෑහෙන කැපවීමක් කර ඇත. ලංකාවේ පුළුල් රසික සමාජයක සිනමා තාරකාවකගේ වුවද ආර්ථිකය ඉන්දියානු කලාපයට සාපේක්ෂ්ව පැවතුණේ පහළ තැනකය. ජනප්‍රිය සිනමාව මුදුන් තලයේ පැවති 70දශකයෙහි වුව සිනමා තාරකාවක් යනු ධනපති පන්තියේ සුර දූතිකාවක් නොවේ. මාලනිය තමාගේ දරුවන්ට මෙන් තම සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට යුතුකම් කර ඇත්තේ අතිමහත් කැපවීමෙනි. ඒ බවට එම දරුවෝ සාක්ෂි දරති. රටෙහි කීර්තිමත් නමක් හිමි තම අක්කණ්ඩිය, නැඟණිය, නැන්දනිය වූ මාලනිය තම ගැලවුම්කාරිනිය ලෙස ඔවුන්ට දැනීම යුක්ති යුක්තය.
 
මාලනියගේ ආත්ම පරිත්‍යාගශීලී ගුණය කලාවෙහිදී වඩාත් කැපී පෙනෙයි.ඇය දායකත්වය ලබා දුන් සිනමා කෘතිවල අධ්‍යක්ෂවරුන්ට, සහෝදර ශිල්පීන්ට, ශිල්පිනියන්ට ඇගේ ආත්ම පරිත්‍යාගය පිළිබඳ අපූරු මතක පවතී. ඒ අතරින් දැනට ජීවතුන් අතර සිටින්නේ ස්වල්ප දෙනකු වුවත් ඔවුහු ඒ පිළිබඳ සාක්ෂි දරති. වයෝවෘද්ධ නළුවෙකු වන සිරිල් වික්‍රමගේ එයින් එක් අයෙකි.
 
ධර්මසේන පතිරාජයන්ගේ බඹරු ඇවිත් චිත්‍රපටිය සිංහල චිත්‍රපටි නාමාලියෙහි හොඳම නිර්මාණ දහයට ද ඇතුළත් ය.
 
බඹරු ඇවිත් කණ්ඩායම එය රූපගත කළේ කල්පිටිය වෙරළේ ය. වාඩි බත කමින්, ලවණ වැල්ලේ කට්ට කමින් කාසි හිඟයට මුහුණ දෙමින් ඔවුහු ඉමහත් කැපවීමකින් තම කාරිය ඉටු කළහ. රූගත කිරීම් අතරමග ඇණහිටීමේ තත්ත්වයක් ඇති විය. මුදල් ප්‍රශ්නය බලවත් විය.
 
මාලනිය අගනුවරට පැමිණ ඊට විසඳුමක් හොයාගෙන පැමිණියාය.
 
චිත්‍රපටියේ ඉතිරි වැඩ ටික කෙරිණ. ධර්මසේන පතිරාජ වැනි අසහාය සිනමාකරුවෙකුට ද මාලනීයගේ ආත්ම පරිත්‍යාගශීලී ගුණය කෙතරම් වැදගත් වූවා ද යන්න ⁣බඹරු ඇවිත් පුරාවෘත්තයෙන් පෙනේ.
 
මාලනියට තිබුණේ මුදු බසකි. කරුණාබර ඇමතීමකි. සිනමාවේදී ඇතැම් චරිත නිරූපණයක රළු පරළු අවස්ථාවක ඇගේ උච්ච ස්වරයට යටින් ඒ මුදු බව ද දැනේ. ලංකාවේ පිටිසරබද ගමක නොයෙක් දුක් ගැහැට විඳ හැලහැප්පීම්වලට ලක්ව බැඳීම් දුරස්ථ කරගෙන අතිමහත් කරුණා ගුණයෙන් මෙරමා අමතන මවකගේ රන් ස්වරය මාලනියගේ ස්වරය බවට පත් වූ සෙයකි.
 
මාලනී සාමූහිකත්වය ගරුකොට කටයුතු කළ දුර්ලභ ගණයේ රංගවේදිනියකි.
ජනතා ප්‍රසාදය මැද
 
මාලනියගේ චර්යා ලක්ෂණ ගැන ඉතා හොඳ නිරීක්ෂණයක් අකල්වැස්ස නාට්‍යයේ රමණීය අත්දැකීම් සමග සුමන ආලෝක බණ්ඩාර සිහිපත් කරන්නේ එය පෙරදිග කාන්තාවගේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ලෙසය. එම අනන්‍යතාව ලෙස ඔහු දකින්නේ පොළෝ මහී කාන්තාවගේ ප්‍රතිරූපයයි. පොළෝ මහී කාන්තාව ගංගා ඇළ දොළ ගහ කොළ, සතා සිවුපාවා වගේම ගිනි කඳුත් දරන බව ද  සියලු දුක් වේදනා සන්තෝස සන්තාප දරාගැනීම පෙරදිග කාන්තාවගේ තිබෙන ශක්තියක් බවද ඔහු දකියි.
 
සමාජ සත්කාර
 
මාලනී ⁣ෆොන්සේකාගේ රංග කාර්යෙහි පුළුල් බව, ඇය තම පවුලේ අයට කරන යුතුකම් යන මේ සියල්ල සාකච්ඡා කරන අතර නොදැනීම යටට යන සිදුවීම් ද පවතී. මේවා ජනප්‍රිය මාතෘකා ගණයට ද නොවැටේ. සෑම චරිතයකම සංසිද්ධියකම නරක පැත්ත හොයන පෑන්තුඩුවලට මේවා දැනෙන්නේද නැත. සමාජය ප්‍රශ්න කරන්නා කුණු අවුස්සන්නාගේ කාරිය කරන්නට ගිය විට ඉතාම වටිනා රන් කැබලි ද ඒ කුණුවලට ම යටවේ යැයි ඉන්දියානු විද්වතෙක් පැවසීය.
 
මාලනී රංග පාඨශාලාවක් පත්වාගෙන ගිය තැනැත්තියක නොවූවද ඇය තම කලා දිවියම රංග පාසලක් බවට පත්කරගෙන සිටි අයුරු එම ක්ෂේත්‍රයෙහි සමකාලීන මෙන්ම ඊළඟ පරම්පරාව ද සාක්ෂි දරයි. සම්මානලාභී නිළියක වන අනෝජා වීරසිංහ හොඳම සාක්ෂියයි . ඇය තමා සමග රංග කාර්යයට පැමිණි ශිල්පීන්ට ගුරුවරියක හා මවක වූවාය.
 
පරාක්‍රම නිරිඇල්ලගේ සිරිමැදුර චිත්‍රපටිය විශිෂ්ට නිර්මාණයක් වීම කෙරෙහි මාලනී සහ අනෝජාගේ රංගනය ද බලපෑවේය. එහිදී මාලනිය තම සහෝදර ශිල්පිනිය සමග විවෘත, සුහද ආකල්පයෙන් කටයුතු කරමින් රංගන කාර්යයෙහි දී තමා අබිබවා යෑමේ අවස්ථාවක් ඇයට ද විවර කරමින් වැඩ කළ බව එම කණ්ඩායම සාක්ෂි දරති.
 
රංගන විෂයෙහි දී සෙසු ශිල්පීන් හා ශිල්පිනියන් සමග ඇය කටයුතු කර ඇත්තේ සමානාත්මතා ආකල්පයෙනි. අලුත් පරපුරක් ඉදිරියට පැමිණීම පිළිබඳ ඇයට තිබුණේ පහන් හැඟීමකි.
 
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය ද මාලනියගේ සමාජ සත්කාරක සේවා පිළිබඳ අගනා තොරතුරු සමුදායක් හෙළි කරයි. ඇය එම සංගමයෙහි අනුශාසිකාවක ලෙස සුවිසල් මෙහෙවරක යෙදුණාය.
 
වකුගඩු රෝගීන් සඳහා පිහිටුවා ඇති අරමුදල තරකිරීම සඳහා වකුගඩුව  ප්‍රකාශනය ජනතාව අතට පත් කිරීම වෙනුවෙන් සාමාජිකයන් සමග උරෙනුර ගැටී අව්වේ කට්ට කමින් ඇය වැඩ කළ බව සංගම් සාමාජිකයෝ ගෞරවයෙන් සිහිපත් කරති.
 
එමෙන්ම එම අරමුදල තරකරගැනීම සඳහා සංවිධානය කළ ප්‍රසංගවලටද ඇය දායකත්වය දුන්නාය. 
 
මාලනී යනු විසකුරු ජාතිවාදයට එරෙහිව කටයුතු කළ මානව හිතවාදී කලා කාරියකි. 1983 කළු ජූලියෙහිදී ජනතාවට පහරදීමට පැමිණි අවිධාරීන් ඉදිරියට ගොස් ඔවුන් පලවා හැර පවුල් ගණනාවකට ඇය රැකවරණය ලබාදුන් බව එම්.කේ රඝුනාදන් සටහන් කරයි.
 
‘‘තමන්ගේ ජීවිතය වදානමට ලක් කර අනෙක් අයගේ ජීවිත බේරාගැනීමට සටන් කළ කලාකාරිනයක් මා දැක නැත. එදා 15 හැවිරිදි යව්වනයෙකුව සිටි රමේෂ් පවසා ඇත.
 
මේ සියල්ලටමත් වඩා ඉහළින් සිටින්නේ ඇගේ නිරහංකාර මුදු සිනාවතයි. ඒ මුදු කැල්ම කාටත් සමානය. සිත්පහන් කරවන ගුණයෙන් යුක්තය. ඒ වනාහී උත්තරීතර මාතෘත්වයේ මෘදු සිනාවයි. කරුණා මහිමයයි. එවන් කාන්තාවෝ දුර්ලභ වෙත්.
 
තිඹිරියාගම බණ්ඩාර