1848 දී මාතලේ ප්‍රදේශයේ හටගත් දෙවැනි නිදහස් අරගලයට නායකත්වය දුන් වීරවරයන් තිදෙනෙක් සිටියහ. පෑලියගොඩ ඩේවිඩ් හෙවත් ගොංගාලේගොඩ බණ්ඩා, වීරහැන්නදිගේ පුරන් අප්පු සහ හඟුරන්කෙත ඩිංගිරාල යන තිදෙනා අතරින් පුරන් අප්පු 1812 නොවැම්බර් මස 7දා මොරටුව උයන ප්‍රදේශයේ උපත ලද අයෙකි.
තරුණ වියේදීම කන්ද උඩරට ප්‍රදේශයට සංක්‍රමණය වූ පුරන් අප්පු ආරම්භයේ සිටම ඉංග්‍රීසීන්ගේ අසාධාරණ පාලනය නිසා දැඩි ලෙස හෙම්බත්ව සිටි ප්‍රදේශවාසී ජනතාවගේ මානුෂීය අයිතීන් වෙනුවෙන් නිරතුරුව පෙනී සිටියේය. විශේෂයෙන්ම ඔහුගේ දැඩි කෝපයට ලක්වී තිබුණේ තම තමන්ගේ දෑතේ මහන්සියෙන් ජීවත් වූ ප්‍රදේශවාසී දිළිඳු ජනතාව මත බිම් බද්ද, වගා බද්ද, බලු බද්ද, කරත්ත බද්ද ආදී වශයෙන් පනවා තිබූ අසාධාරණ බදු වර්ග නිසා ඔවුන්ට මුහුණ පෑමට සිදුවූ වින්නැහිය පිළිබඳවය.
මේ කාලය වනවිට උඩරට ප්‍රදේශයේ කෝපි වගාවත්, පහතරට කුරුඳු වගාවත් පැතිරී තිබුණේය. එම වගා කටයුතුවල නියැලී සිටි යුරෝපීය ජාතිකයන් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ කුරුඳු සහ කෝපි වගාව මත අයකළ අපනයන බද්ද අඩු කරන ලෙසය. එම ඉල්ලීම පිළිගත් ඉංග්‍රීසි ආණ්ඩුව එම අපනයන බද්ද කපා හැරි අතර එමගින් ඇතිවූ පවුම් 40,000ක් පමණ වන ආදායම් ඌනතාව පියවා ගැනීමට අදහස් කළේ ජනතාව මත විවිධ නම්වලින් හැඳින්වූ අධික බදු බරක් පටවමිනි.
මේ අතර එම බදු මුදල් ගෙවීමට නොහැකි වූ දිළිඳු ජනතාවට ආණ්ඩුව නියෝග කර තිබුණේ ඒ සඳහා හිලවු වශයෙන් මාර්ග ඉදිකිරීම සඳහා ශ්‍රමදායකත්වය ලබාදිය යුතු බවය. ඉංග්‍රීසි ආණ්ඩුවේ එවැනි අසාධාරණ බදු අය කිරීම්වලට විරෝධය පළ කළ ගොංගාලේගොඩ බණ්ඩා, පුරන් අප්පු සහ හඟුරන්කෙත ඩිංගිරාල යන තුන් කට්ටුවේ මෙහෙයවීමෙන් 1848 ජූලි මස 6දා මහනුවර කච්චේරි ගොඩනැගිල්ල වැටලූ විසි දහසකට අධික ප්‍රදේශවාසී ජනතාව හමුදා භටයන් විසින් පලවා හැර තිබුණේ අවි බලය මුදාහරිමිනි. එහිදී සියයකට අධික පිරිසකට තුවාල සිදුවී තිබුණේය.
අන්තිමේදී මුළු උඩරට පුරාම ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව හටගත් කැරැල්ලක් ලෙස පැතිර ගොස් තිබුණේ රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව හටගත් ජනතා විරෝධයයි. එම ජනතා විරෝධය ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව හටගත් කැරැල්ලක් ලෙස වටහාගත් ටොරිංටන් ආණ්ඩුකාරවරයා. 1948 ජූනි මස 29දා යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කළේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ කැප්ටන් ඇල්බට් වොට්සන් වැනි හමුදා නිලධාරීන් විසින් මෙහෙයවන ලද මැලේ ජාතික සොල්දාදුවන් මුළු උඩරට ප්‍රදේශයම පීරමින් නිරායුද ජනතාව බුරුතු පිටින් ඝාතනය කිරීමයි.
මේ වනවිට සිංහල පාර්ශ්වයේ එක් නායකයෙකු වූ ගොංගාලේගොඩ බණ්ඩා, අභිනව සිංහල රජු ලෙස දඹුල්ලේදී ඔටුනු පැලඳ රාජාභිෂේකය ලබාගෙන තිබුණේය. එහෙත් අවසානයේදී සිදුවූයේ සිංහලයන් අතර සිටි ද්‍රෝහීන් කීප දෙනෙකු විසින් දෙන ලද රහස් ඔත්තුවක් මගින් ගොංගාලේගොඩ බණ්ඩා, පුරන්අප්පු පමණක් නොව හඟුරන්කෙත ඩිංගිරාල ද ඉංග්‍රීසි හමුදාංකයේ ග්‍රහණයට පත්වීමයි.
යුද්ධාධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලද ඔවුන් තිදෙනාටම මරණීය දණ්ඩනය හිමිවී තිබුණේය. ඒ අනුව වෙඩි තබා මරා දැමීමට මොහොතකට පෙර අභීත ප්‍රකාශයක් කළ වීර හැන්නැදිගේ ප්රැන්සිස්කු ප්‍රනාන්දු හෙවත් පුරන් අප්පු තම දෑත් ඉහළට ඔසවා හඬ නඟා කියා තිබුණේ තමන් වැනි තවත් පුද්ගලයන් දුසිම් භාගයක් සිටියා නම් මේ කන්ද උඩරට ප්‍රදේශයේ එකදු සුදු මිනිසෙකුවත් ඉතිරි නොවන බවයි.
සුද්දන්ගෙන් සමන්විත යුද්ධාධිකරණයක් මගින් දෙන ලද තීන්දුවක් යටතේ 1848 අගෝස්තු මස 8දා ඔහු බෝගම්බරදී වෙඩි තබා ඝාතනය කර තිබුණේය. 1848 දී හටගත් උඩරට දෙවැනි නිදහස් අරගලයට නායකත්වය දුන් තුන්දෙනා අතරින් එක් අයෙකු වූ වීර හැන්නැදිගේ ප්රැන්සිස්කු ප්‍රනාන්දු හෙවත් පුරන් අප්පු මගේ මවු පාර්ශ්වයේ ඥාතියෙකි. ඔහු මෙන්ම මා ද මොරටුව ප්‍රදේශයේ උපත ලැබූ අයයි.
එසේ කියමින් පුරන් අප්පු වීරවරයාට ද තමන්ගේ ඇති ඥාති සම්බන්ධය පැහැදිලි කරන හිටපු කැබිනට් ඇමැතිවරයකු මෙන්ම ආණ්ඩුකාරවරයකු ද වූ දිවංගත ටිරෝන් ප්‍රනාන්දු මහතා පුරන්අප්පු පිළිබඳව චිත්‍රපටියක් පවා නිෂ්පාදනය කර ඇත්තේ 1977 තරම් ඈත වකවානුවකදී වීම විශේෂත්වයකි.
ඔහු පුරන්අප්පු චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ කර්තව්‍යය භාරදී තිබුණේ සම්මානනීය චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙකු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාටය. හැබැයි මේ චිත්‍රපටියෙන් ඔබ බලාපොරොත්තුවන තරමේ ලාබයක් ලැබෙන එකක් නැහැ. ලෙස්ටර් එසේ කියා තිබුණේ පුරන් අප්පු ගැන චිත්‍රපටියක් නිපදවීම සඳහා තමන් තෝරාගෙන ඇතැයි ටිරෝන් ප්‍රනාන්දු ඔහුට දැනුම් දුන් අවස්ථාවේදී වීම විශේෂත්වයකි.
ඒකට කමක් නැහැ. මට ඕනෑ හොඳ චිත්‍රපටියක් හදන්නයි.
එසේ කී ටිරෝන් ප්‍රනාන්දු අභිනව චිත්‍රපටියේ කතාව සහ තිර නාටකය ලිවීම තිස්ස අබේසේකරට බාර දුන්නේය. මේ කාලය වනවිට රටේ පැවතුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලනයකි. ටිරෝන් ද ඒ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවූ අතර හෙතෙම මොරටුවේ එජාප ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළේය. පුරන් අප්පු චිත්‍රපටයේ රූපගත කිරීමේ කටයුතු සඳහා අශ්වයන් යොදා ගැනීමට එහි අධ්යක්ෂවරයාට අවශ්‍ය වීය. ඒ අනුව දින ගණනට මුදල් ගෙවා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අශ්වයන් ලබාගැනීමට ගෙන තිබූ උත්සාහය අසාර්ථක විය. එසේ වූයේ එජාප ආසන සංවිධායකවරයෙකුගේ චිත්‍රපටියක් සඳහා තම දෙපාර්තමේන්තුවේ අශ්වයන් ලබාදීමට එවකට සිටි පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතා අකමැති වූ බැවිනි.
අන්තිමේදී අනුර බණ්ඩාරනායකගේ මාර්ගයෙන් කළ ඉල්ලීමකට අගමැතිනියගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබුණු අතර, අශ්වයන් නැතුව මේ විදියේ චිත්‍රපටයක් කරන්නේ කොහොමද?යි ඇසූ සිරිමාවෝ මැතිනිය ඒ සඳහා අවශ්‍ය අනුමැතිය පොලිස්පතිවරයා වෙත ලබාදී තිබුණාය. අභිනව චිත්‍රපටයේ පුරන් අප්පුගේ චරිතය සඳහා රවීන්ද්‍ර රන්දෙණිය තෝරාගෙන සිටියේය. එකල ජනකාන්ත නළුවන් දෙපළක් වූ ගාමිණී සහ විජය ද ඒ සඳහා කැමැත්තක් දක්වා තිබුණත් එම අවස්ථාව හිමිවූයේ රවීන්ද්‍ර රන්දෙණියට ය.
මේ අතර 1977 වසරේ මැද භාගයේ මෙරට පාර්ලිමේන්තු මහ මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබුණෙන් පුරන් අප්පු චිත්‍රපටියේ නිෂ්පාදන කටයුතු ගොළුබෙලි ගමනින් සිදු කෙරුණේය. එම මහ මැතිවරණයෙන් ජයගත් ටිරෝන්ටද මන්ත්‍රීවරයෙකු බවට පත්වීමට හැකි විය.
මගේ චිත්‍රපටයේ යුරෝපීය ජාතිකයන් සිය ගණනක් රඟපෑවා. ඒ වගේම තමයි චිත්‍රපටයේ ආණ්ඩුකාරවරයාගේ චරිතය සඳහා අපි තෝරාගෙන තිබුණේ ඉංග්‍රීසි ජාතිකයකු වූ ජෝන් බර්ගස් නමැති අයෙක්. මෙන්න මේ කාලයේදී අපට ආරංචියක් ලැබුණා කොළඹ රජගෙදර උඩුමහලේ ටොරිංටන් ආණ්ඩුකාවරයාගේ ආලේඛ්‍ය චිත්‍රයක් තිබෙනවයි කියලා. ඒ වනවිට මැතිනියගේ ආණ්ඩුව පරාජයට පත්වී එජාප ආණ්ඩුවක් බලයට පත්වෙලා හිටියත් නාමමාත්රික ජනාධිපති වශයෙන් හිටියේ විලියම් ගොපල්ලව මැතිතුමා.
අපට ඒ චිත්‍රය බලන්න ඉඩ දෙන්න කියා ගොපල්ලව ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කළත් එතුමා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා යි කියන ටිරෝන් ප්‍රනාන්දු තමන් විසින් ලියන ලද ‘ගිනිදැල් මැද්දෙන්’ නමැති චරිතාපදානයේ සඳහන් කර තිබුණේ එජාප නායක ජේ. ආර්. ජයවර්ධන මහතා මෙරට විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු තමන්ගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවය.
එදා ටොරින්ටන් ආණ්ඩුකාරවරයා 1848 ජූනි මස 29දා රට තුළ යුද්ධ නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ආඥාවට අත්සන් කළ මේසය පවා අදටත් එම ස්ථානයේම තිබෙනවා’යි කී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එය දැකබලාගැනීම සඳහා පැමිණිය යුතු කාල වේලාවක්ද ටිරෝන්ලාට ලබා දී තිබුණේය.
ඒ අනුව නියමිත වේලාවට කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයට ගිය ටිරෝන් ප්‍රනාන්දු සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් ඇතුළු පිරිසට ටොරින්ටන් ආණ්ඩුකාවරයා යුද්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝගයට අත්සන් කළ කැටයම් සහිත කළුවර මේසය පමණක් නොව ටොරිංටන් සාමිවරයාගේ ආලේඛ්‍ය චිත්‍රය ද පෙන්වා දුන්නේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසිනි.
එහිදී ටිරෝන්ලාට පමණක් නොව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට අදහාගැනීමටට පවා අපහසු දෙයක් එහිදී දක්නට ලැබිණි. එනම් ජනාධිපති මංදිරයේ උඩුමහලේ බිත්තියක් මත රඳවා තිබූ ටොරිංටන් ආණ්ඩුකාවරයාගේ ආලේඛ්‍ය චිත්රයේ මුහුණුවර ‘පුරන් අප්පු’ චිත්‍රපටියේ ටොරිංටන් සාමිගේ චරිතය රඟපෑමට තෝරාගෙන සිටි ජෝන් ධර්ගස්ගේ මුහුණට බොහෝ සෙයින් සමානවීමය.
‘ඒක මට විතරක් නෙවි, ඒ ආලේඛ්‍ය චිත්‍රය අපට පෙන්වූ අපේ ජනාධිපතිතුමා ඇතුළු අප සියලුම දෙනාටත් අදහා ගැනීමට පවා නොහැකි පුදුමයක් වුණා. ටිරෝන් ප්‍රනාන්දු මහතා පසු කාලයකදී තමන්ගේ හිතවත් මාධ්‍යකරුවන් පිරිසකට පවසා තිබුණේ සිනාසෙමිනි.
නිහාල් ජගත්චන්ද්‍ර