වැඩිම රිළවු මහනුවර, වඳුරන් අනුරාධපුර - දඩුලේනුන් කුරුණෑගල


භෝග වගාවට දැඩි හානි ඇති කරන, ගොවීන්ට විශාල බලපෑමක් වී ඇති සත්ත්ව විශේෂ කිහිපයක් වශයෙන් හඳුනාගත් රිළවුන්, වඳුරන්, මොනරුන් සහ දඬු ලේනුන් සඳහා වූ සංගණනය පසුගිය මාර්තු මස 15 වැනි දා දිවයින පුරා ක්‍රියාත්මක විය. මෙය මෙරට ඉතිහාසයේ එවැනි සංගණනයක් සිදුවූ ප්‍රථම අවස්ථා වෙන අතර එහි වාර්තාව පසුගිය 12 (බ්‍රහස්පතින්දා) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අනාවරණය කරන ලදී. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත්කර සිදු කරන ලද මෙම සංගණනයේදී, විශේෂයෙන් ගණනය කරනු ලැබුවේ රිළවා, වඳුරා, දඬුලේනා සහ මොනරා යන සත්ත්ව කොට්ඨාස සම්බන්ධව‍යි.

මෙම සතුන් සහ දේශීය ගොවියන් අතර පවතින දීර්ඝ කාලීන ගැටුම සඳහා කඩිනම් විසඳුමක් සෙවීමට දත්ත පද්ධතියක් සකස් කිරීම සංගණනයේ අරමුණ විය.

ඒ අනුව වාර්තාව එළිදක්වමින් සංගණන කමිටු සාමාජික මහාචාර්ය ඒ. එල්. සන්දික ප්‍රකාශ කළේ, වාර්තාගත රිළා ගහණය මිලියන 5.17ක් වෙන බවයි. ඊට වසර කිහිපයකට පෙර, හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් කරන ලද පර්යේෂණයක දී, රිළවු මිලියන 3.3 ක් වාර්තා වී ඇති අතර, මහාචාර්යවරයා පවසනුයේ වසර ගණනකට පසු ගහණයේ ඉහළ යෑමත් සමඟ සසඳා බැලූ විට මෙම ප්‍රතිඵල ආසන්න නිරවද්‍යතාවකින් යුක්ත බව නිගමනය කළ හැකි බවයි. සංගණනයට අනුව, මෙරට වඳුරු ගහණය මිලියන 1.74කි. දඬුලේන් ගහණය මිලියන 2.66කි. මිලියන 4.24ක මොනර ගහණයක් වාර්තා වී ඇත. 

වැඩිම රිළා ගහණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 634,668 කි. ඊළඟට පිළිවෙළින් කෑගල්ල, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල යන දිස්ත්‍රික්ක තුළ රිළා ව්‍යාප්තිය සිදු වී ඇත. යාපනය, මඩකළපුව, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පවතිනුයේ ඉතාමත් අඩු රිළා ගහණයකි. ජනගහණය, වන ගහණය හා පූජා භූමි පවතින ප්‍රදේශවල වැඩි රිළා ව්‍යාප්තියක් පවතී. වැඩි ම වඳුරු ගහණයක් පවතින්නේ අනුරාධපුර, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලයි. අනුරාධපුරයෙන් වාර්තා වන වඳුරු ගහණය 160,315 කි. ඒ අනුව එම ව්‍යාප්තිය ද පූජා භූමි ආශ්‍රිත ව වැඩි වශයෙන් සිදු ව ඇති බව පෙනී යයි. දඬුලේන් ව්‍යාප්තිය බහුල ව සිදුව ඇත්තේ කුරුණෑගල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත දඬුලේන ගහණය වාර්තා වෙනුයේ 546,715ක් වශයෙනි. මොනර ව්‍යාප්තිය ද වියළි කලාපාශ්‍රිත අනුරාධපුර, කුරුණෑගල, මොනරාගල යන දිස්ත්‍රික්කයන් කේන්ද්‍ර කොටගෙන සිදු වී ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මොනර ව්‍යාප්තිය 621,517 කි.

ප්‍රාදේශීය වශයෙන් සලකන විට, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල ද මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, මැදදුම්බර, හතරලියැද්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි ඉතා අධික සත්ත්ව ව්‍යාප්තියක් වාර්තා වී ඇත.

මහාචාර්ය සන්දික වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ, නැවත පර්යේෂණ සිදු කිරීමේ දී හා කෘෂිකර්මාන්තයට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේදී ඉහත සත්ව ව්‍යාප්තිය වැඩි ප්‍රදේශ කේන්ද්‍ර කොට ගෙන එම කටයුතු සිදු කළ හැකි බවත් යම් අපහසුතා මධ්‍යයේ සිදු වුව ද සංගණනය ආසන්න වශයෙන් බොහෝදුරට නිරවද්‍යතාවෙන් යුක්ත වෙන බවයි. එසේ ම මේ පිළිබඳ වැඩිදුරටත් උනන්දුවක් දක්වන සත්ත්වවේදීන්, විශ්වවිද්‍යාල සිසුන් ආදි කණ්ඩායම් සඳහා දියුණු කරන ලද පර්යේෂණ විධික්‍රම ඔස්සේ වැඩිදුර පර්යේෂණ කටයුතු සිදු කිරීමට ද ආරාධනා කරන අතර ම, ඒ සඳහා සහාය ලබාදීමටත් අත්දැකීම් හුවමාරු කරගැනීමටත් සූදානම් බව ද ඔහු ප්‍රකාශ කරයි. 

එසේ ම සත්ත්ව ගහණය පාලනය සඳහා වෙන නිර්දේශ ඇතුළත් වාර්තාව ද කමිටුව මඟින් අමාත්‍යාංශය වෙත භාර දී ඇත. ඒ අනුව එකී කමිටු නිර්දේශ පිළිබඳ අදහස් දක්වමින් කමිටු සාමාජිකා පාලිකා ප්‍රනාන්දු සඳහන් කරනුයේ, රිලා සහ වඳුරු ව්‍යාප්තිය වැඩි, විශේෂයෙන් පූජා භූමි ආශ්‍රිත ප්‍රදේශවල සතුන්ට ආහාරයට ගත හැකි ඉඳුල් ආහාර මුදාහැරීම පාලනය කරමින් විධිමත් කසළ කළමනාකරණයක් සිදු කළ යුතු බවයි. එසේ ම සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ප්‍රජා සහභාගිත්වයෙන් වන සතුන් පලවා හරිමින් භෝග ආරක්ෂණ කමිටු පිහිටුවීමට නිර්දේශ කර ඇත. වනජීවී සංරක්ෂණයෙන් ඔබ්බට ගොස්, ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වෙන ආකාරයේ ප්‍රතිපත්තිමය තීන්දු ගනිමින් විධිමත් වනජීවී කළමනාකරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ද, පර්යේෂණ කටයුතු තවදුරටත් විධිමත් කළ යුතු අතර ම විද්‍යුත් මෙවලම් හා විකර්ෂක මඟින් ද සත්ත්ව කළමනාකරණය සඳහා අවධානය යොමු කළ යුතු බව ද කමිටුවේ අදහසයි. වන්ධ්‍යාකරණ හෝ වෙනත් උපත් පාලන ක්‍රමවේදයක් මඟින් සත්ත්ව අභිජනනය පාලනය කළ යුතු බව ද කමිටුව මඟින් ප්‍රධාන වශයෙන් නිර්දේශ කර ඇත.

ලවංගා මාධවී දෑරංගල