පනස් දෙකේ ආර්ථික අර්බුදයේදී චීනයට රබර් විකුණා හාල් ගෙනා හැටි


 

  • ​ජේ.ආර්. ඇමරිකාවෙන්  රුපියල් මිලියන 50ක ණයක් ඉල්ලුවත් ලැබුණේ නෑ  
  • අද චීනයෙන්  බඩු ගේනවා හැර  අප චීනයට විකුණන්නේ  මොනවාද?  

 

චීනය හා ලංකාව අතර ඈත අතීතයේ පටන්ම ඉතා දැඩි වෙළෙඳ හා සංස්කෘතික සබඳතා පැවැති බව ඓතිහාසික තොරතුරුවලින් හෙළිවේ. නිදහසින් පසු ශ්‍රී ලංකාව චීනය සමග සබඳතා යළි ආරම්භ කරන්නේ සභාපති මා ඕ සේතුංගේ නායකත්වයෙන් සිදු කළ චීන විප්ලවයෙන් පසු පිහිටුවනු ලැබූ මහජන චීන සමූහාණ්ඩුව පිළිගැනීමට ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් ප්‍රතික්ෂේප කරද්දී රුසියාව, චෙකොස්ලෝවෙකියාව, හංගේරියාව, බල්ගේරියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක් ප්‍රථම වරට එම රට පිළිගැනීමට ඉදිරිපත් වීමෙනි.  

එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙසින් ද චීනය පිළිගත් පළමු දකුණු ආසියාතික රට වන ලංකාව, එකල තම යෝධ ළෙංගතු මිතුරා වන චීනය වෙනුවෙන් නොබියව පෙනී සිටි බව සඳහන් කළ යුතුය. ඒ අනුව දශක හයකට පමණ පෙර ලංකාව හා චීනය අතර ඇතිවූ ‘‘රබර් සහල් ගිවිසුම’’ වෙළෙඳ ගිවිසුමකට වඩා කල්‍යාණ මිත්‍රත්වයේ සංකේතයක් වූ විශිෂ්ට බැඳීමක් බව සඳහන් කිරීම නිවැරැදි වේ. මේ තුළින් ශ්‍රී ලාංකික ජනතාවට විපුල ඵල ප්‍රයෝජන හිමිකර ගැනීමට හැකි වූ අතර, මනා සබඳතාවයක් ද දෙරට අතර එයින් ඇති විය.  
1952 වන විට ලංකාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දුන් රටක් විය. එයට ප්‍රධාන හේතුවක් වූයේ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩයක් වූ රබර්වල මිල ලෝක වෙළෙඳ පොළේ විශාල ලෙස පහත වැටීමය. ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එක්වී රබර් මිල කෘත්‍රිම ලෙස පහත දැමීමට කටයුතු කිරීම මේ තත්ත්වයට හේතු වූ බව ආර්ථික විශේෂඥයන් පෙන්වාදී තිබුණි. එසේම ලංකාවේ ප්‍රධාන සහල් සැපයුම්කරුවා වූ බුරුමයේ ගංවතුර නිසා විශාල ලෙස අස්වැන්න හානිවී යාම ද ලංකාවේ සහල් හිඟයක පෙරනිමිති පහළ කරන්නක් විය. මේ තත්ත්වය තුළ එවකට සිටි ආහාර හා කෘෂිකාර්මික අමාත්‍ය සර් ඔලිවර් ගුණතිලක මහතා ඇමරිකාවට ගියේ සහනාධාර අපේක්ෂාවෙනි. ඇමරිකාව, ශ්‍රී ලංකාවේ රබර් ඉතා අඩු මිලකට මිල දී ගැනීමටත්, ලෝක වෙළෙඳ පොළේ මිල ගණන්වලට වඩා වැඩි මිලකට ලංකාවට සහල් සැපැයීමටත් ඉදිරිපත්වීම නිසා ඔලිවර් ගුණතිලක මහතාට හිස් අතින්ම ලංකාවට ඒමට සිදුවිය. එසේම ඉදිරි වසර සඳහා වූ අයවැය හිඟය පියවා ගැනීමේ අර්බුදයට මුහුණ පා සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා රුපියල් මිලියන 50ක ණය ආධාරයක් ඇමරිකාවෙන් ඉල්ලා සිටි නමුත්, ඒ සඳහා ද සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණි.  


මේ කාලය වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දැරූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ස්වකීය පක්ෂයේ මන්ත්‍රීවරයකු වූ එස්.ඩී. බණ්ඩාරනායක මහතා සහ තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත වූ දූත පිරිසක් චීනය බලා යැවීමට කටයුතු යෙදුවේය. එම සංචාරයෙන් මූලිකවම අපේක්ෂා කරන ලද්දේ අනාගතයේ තම නායකත්වයෙන් රජයක් පිහිටවනු ලැබුවහොත් සමාජවාදී කඳවුරේ රටවල් සමග මිත්‍ර සබඳතා ඇතිකරගත යුත්තේ කුමන ආකාරයෙන් ද යන්න විමර්ශනය කර බැලීමටය. ඒ අනුව පිලිප් ගුණවර්ධන, එඩ්මන්ඩ් සමරක්කොඩි, හෙක්ටර් ප්‍රනාන්දු, ඇන්. ෂන්මුගදාසන් සහ එස්. රත්නවීර යන මහත්වරුන් රුසියාව, පෝලන්තය, රුමේනියාව, නැගෙනහිර ජර්මනිය වැනි රටවල සංචාරය කිරීමට කටයුතු කළහ.  

 

එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙසින් ද චීනය පිළිගත් පළමු දකුණු ආසියාතික රට වන ලංකාව, එකල තම යෝධ ළෙංගතු මිතුරා වන චීනය වෙනුවෙන් නොබියව පෙනී සිටි බව සඳහන් කළ යුතුය. ඒ අනුව දශක හයකට පමණ පෙර ලංකාව හා චීනය අතර ඇතිවූ ‘‘රබර් සහල් ගිවිසුම’’ වෙළෙඳ ගිවිසුමකට වඩා කල්‍යාණ මිත්‍රත්වයේ සංකේතයක් වූ විශිෂ්ට බැඳීමක් බව සඳහන් කිරීම නිවැරැදි වේ. 


1952 සැප්තැම්බර් මස නියෝජිත පිරිස චීනයට ළඟා වූහ. චීන මහජන විප්ලවයේ තෙවැනි සංවත්සරය ඔක්තෝබර් මස පළමු වැනි දින පීකිං හි තියෙන්-ආන් මෙන් චතුරශ්‍රයේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර, චීන රාජ්‍ය නායකයන් සමග ඒ සඳහා සහභාගිවීමේ දුර්ලභ අවස්ථාව ද නියෝජිත පිරිසට හිමි විය. චීන නායකයින් හමුවීමේ දුර්ලභ අවස්ථාව ද නියෝජිත පිරිසට හිමි විය. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ එස්.ඩී. බණ්ඩාරනායක මහතා, ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇති ආහාර හිඟය පිළිබඳව චීන නායකයන්ගේ අවධානය යොමු කළේය. මේ පිළිබඳව ප්‍රතිචාර දැක්වූ චීන සභාපති මා ඕ සේතුං මහතා, අවශ්‍ය ප්‍රමාණයට වඩා සහල් චීනයේ නිෂ්පාදනය වන නිසා ලංකාව වැනි මිතුරු රාජ්‍යයක් පීඩාවට පත්ව තිබෙන මෙවැනි අවස්ථාවක මෙම තත්ත්වයෙන් මිදීම පිණිස සහයෝගය ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කළේය. මෙම සුබ පණිවුඩය එවකට අගමැති ඩඩ්ලි සේනානායකටත්, විපක්ෂ නායක එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාටත් කේබල් පණිවිඩ දෙකක් මගින් එවීමට එස්.ඩී. බණ්ඩාරනායක මහතා කටයුතු කළේය. එහි ප්‍රතිඵලය වූයේ මුදලට සහල් මිල දී ගැනීම වෙනුවට ලංකාව නිපදවන රබර් චීනයෙන් සහල් සඳහා හුවමාරු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා ආරම්භ වීමය.  
මේ තත්ත්වය යටතේ වෙළෙඳ හා වාණිජ අමාත්‍ය ආර්.ජී. සේනානායක මහතා ශ්‍රී ලංකාවේ රබර් චීනයට යැවීමටත්, චීනයෙන් මෙරටට සහල් ලබා ගැනීමටත් ඇති හැකියාව සොයා බලන ලෙස ලංකා බුරුම තානාපතිව සිටි සුසන්තා ද පොන්සේකා මහතාට දන්වා යැවීය. ඒ අනුව 1952 සැප්තැම්බර් මාසයේ අග චීනයට ගිය තානාපතිවරයා, චීන රජය සමග සාකච්ඡා ආරම්භ කළේය. එම සාකච්ඡාවලින් ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන්වලට වඩා අඩුවෙන් චීනය සහල් සැපයීමට එකඟ වූ අතර, ලංකාවේ රබර්වලට වැඩි මිලක් ගෙවීමට ද කැමැත්ත පළ කරන ලදී.  


නමුත් මෙසේ චීනයෙන් සහල් ලබාගනිමින් ශ්‍රී ලංකාවෙන් රබර් චීනයට යැවීම සඳහා ඇති කර ගැනීමට යන ගිවිසුම සම්බන්ධයෙන් අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ කැබිනට් මණ්ඩලය තුළ ජේ.ආර්. ජයවර්ධන, සර් ජෝන් කොතලාවල හා ඔලිවර් ගුණතිලක යන ඇමැතිවරු පිරිසක් දැඩි ලෙස විරෝධය පළ කළහ. චීනය සමග මෙවැනි වෙළෙඳ ගිවිසුමකට එළඹුණහොත් මිත්‍ර රටවල් වන ඇමරිකාව හා බ්‍රිතාන්‍ය වැනි රටවල් සමග සම්ප්‍රදායික රබර් වෙළෙඳපොළ අහිමිවී යා හැකි බවට තර්ක කළ ඔවුන්, වාමාංශික මතධාරී සම සමාජ හා කොමියුනිස්ට් පක්ෂවල දේශපාලන ශක්තිය වර්ධනය විය හැකි බවත් මත පළ කරන ලදී. මෙවැනි තර්ක විතර්ක මතවාද හේතුවෙන් මෙම ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට මහත් වූ වෙහෙසක් ගැනීමට සිදුවිය. කෙසේ වුවද ජේ.ආර්. ජයවර්ධන හා සර් ජෝන් කොතලාවල යන මහත්වරුන්ගේ විරෝධය මධ්‍යයේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා චීනය සමග වාණිජ සම්බන්ධතා ඇතිකර ගත්තේය. එහිදී අගමැතිවරයාට විශාල ශක්තියක් වූයේ වෙළෙඳ අමාත්‍ය ආර්.ජී. සේනානායක මහතාය.  


ඒ අනුව ආර්.ජී. සේනානායක මහතා ඇතුළු නියෝජිත පිරිසක් චීනයට ගොස් 1952 දෙසැම්බර් මස 18 දින රබර් සහල් ගිවිසුම අත්සන් කළහ. චීනය වෙනුවෙන් ගිවිසුම අත්සන් කළේ චීනයේ විදේශ වෙළෙඳ කටයුතු අමාත්‍ය ජිෂුවැන් මහතා වන අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් කළේ වෙළෙඳ අමාත්‍ය ආර්.ජී. සේනානායක මහතාය. ඒ අනුව වසරකට සහල් ටොන් 270,000ක් ශ්‍රී ලංකාවට සැපයීමටත්, ශ්‍රී ලංකාවෙන් වසරකට රබර් ටොන් 50,000ක් චීනයට ලබා ගැනීමටත් තීරණය විය. මෙකී ගිවිසුම අනුව චීනය විසින් ශ්‍රී ලංකාවට සහල් සපයනු ලැබුවේ ටොන් එකක් රුපියල් 720 බැගිනි. ශ්‍රී ලංකා රබර් සඳහා චීනය ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට වඩා සියයට 40ක මුදලක් ගෙවන ලද අතර, මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට ඉතා වාසිසහගත විය.  


මෙම ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය සඳහා විසඳුමක් ද චීනයේ උපාය මාර්ගික රබර් අවශ්‍යතාවය සඳහා විසඳුමක් ද ලැබුණි. රබර් සහල් ගිවිසුම ඊට පසු කිහිප අවස්ථාවකදීම එනම් 1958, 1962, 1967, 1972, 1977 හා 1982 වශයෙන් සෑම වසර පහකටම වරක් නැවත අලුත් කළ අතර, 1982 වසර දක්වා කාලයක් ගිවිසුම බල පැවැත්විණි.  


ඓතිහාසික චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට වසර 50ක් පිරීම නිමිත්තෙන් 2002 වසරේ දී සමරු මුද්දරයක් ද නිකුත් කරන ලදී. එසේම ගිවිසුමට වසර 65ක් පිරීම නිමිත්තෙන් 2017 වසරේ දෙසැම්බර් මස 19 දින පාර්ලිමේන්තුවේ විශේෂ සැමරුම් වැඩසටහනක් ද පැවැත්වුණි. මෙම අවස්ථාවට 1952 වසරේ දී ගිවිසුමට දෙරට වෙනුවෙන් අත්සන් කළ දෙරටෙහි අමාත්‍යවරු දෙපළ නියෝජනය කරමින් එම පවුල්වල වර්තමාන සාමාජිකයෝ එක්වූහ. ඒ අනුව එදා චීනය වෙනුවෙන් අත්සන් කළ ජිසුවැන් මහතාගේ දියණිය වන යේවේන්මින් මහත්මිය සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කළ ආර්.ජී. සේනානායක මහතාගේ ලේලියක වන සුරනි ජයන්තා සේනානායක මහත්මිය ද එක්වූහ.  

 

 

 

කොත්මලේ  
රංජිත් සිසිර කුමාර සූරියආරච්චි