නිවුන් දරුවන් රුඳි අසිරිමත් ගුරුකුලය


 
සාමාන්‍යයෙන් එක් ගැබ් ගැනීමකින් දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකවර උපත ලැබීම නිවුන් දරු උපතක් ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තුළ නිවුන් දරුවෝ ආශීර්වාදයක් ලෙස සලකනු ලබති. බොහෝ විට නිවුන් දරුවන් සිටින පවුල්වලට සමාජයේ විශේෂ අවධානයක් සහ පිළිගැනීමක් ලැබේ. ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද නිවුන් දරුවන්ගේ උපත් අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතී. 
 
නිවුන් දරුවන්ගේ අධ්‍යාපනය යනු විශේෂ අවධානයක් යොමු කළ යුතු සංකීර්ණ මාතෘකාවකි. මක්නිසාද යත් ඔවුන් උපතින්ම එකට සිටින බැවින්, අධ්‍යාපන ක්‍රියාවලියේ දී ඔවුන්ගේ අනන්‍යතාව, පෞද්ගලිකත්වය සහ හැකියාවන් හඳුනාගැනීම අත්‍යවශ්‍ය වීමය. ඒ කෙසේ වුවද, අනෙකුත් දරු දැරියන් සමග නිවුන් දරු දැරියන් 60 දෙනෙක් අධ්‍යාපනය ලබන, නිවුන් දරු දැරියන්ට විශේෂ තැනක් හිමි කර දෙනු ලබන ශ්‍රී ලංකාවේ එකම පාසල ගැන තොරතුරු “ඉරිදා ලංකාදීප”ය සොයා ගියේය.
 
පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ නිවුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60 දෙනෙක් මෙසේ අධ්‍යාපනය ලබති. ශ්‍රී ලංකාවේ වැඩිම නිවුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් අධ්‍යාපනය ලබන හා නිවුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් සංසදයක් ද ගොඩනඟා ඇති එකම පාසල දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයයි. 
 
සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් කටයුතු කරන ඩබ්ලියු.එම්. තිලකරත්න බණ්ඩාරයන්ගේ සංකල්පයට අනුව 2018 වසරේ දී, අනෙකුත් දරු දැරියන් සමග නිවුන් දරු දරියන් ද පාසලට බඳවා ගනිමින් නිවුන් දරු දැරියන් වෙනුවෙන් සංසදයක් ද ආරම්භ කරන ලදී. මේ පිළිබඳව නියෝජ්‍ය විදුහල්පතිතුමාගෙන්ම අපි තොරතුරු විමසා සිටියෙමු.  
 
“2014 වසරේ දි සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයට ගුරුවරයෙකු ලෙස මම පැමිණියා. 2016 වසරේ දී විදුහල්පති සේවයේ වැඩ බාර ගෙන පාසල් සංවර්ධන අංශයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් කටයුතු කරමින් සිටියා. ඒ කාලයේ මට නිවුන් දරුවන් ගැන වැඩසටහනක් මාධ්‍ය ඔස්සේ නරඹන්න අවස්ථාව ලැබුණා. ඒ වැඩසටහන ගොඩක් හදවතට දැනුණ වැඩසටහනක්. ඒ වැඩසටහනේ අන්තර්ගත වෙලා තිබුණේ ලෝක නිවුන් දරුවන්ගේ විස්තර හා ක්‍රියාකාරකම් පිළිබඳවයි. මට අදහසක් ආවා අපේ පාසලේ සිටින නිවුන් දරුවන් කීප දෙනාත් එකතු කරගෙන පාසලේ යම් වැඩ සටහනක් කරන්න ඕන කියලා. මම පාසලේ සොයා බලද්දි පාසලේ නිවුන් දරුවන් 6 දෙනෙක් අධ්‍යාපනය ලබමින් සිටියා. ඒ ළමුන් 6 දෙනා එකතු කරගෙන සංසදයක් පටන් ගත්තොත්, ඉදිරියට තව තවත් වර්ධනය කර ගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ඒ අනුව 2018 වසරේ දී ඒ දරුවන් 6 දෙනාත් සම්බන්ධ කරගෙන සංසදයක් පිහිටුවා ගත්තා. පාසලේ පොඩි පොඩි වැඩසටහන් ක්‍රියාකාරකම් සිදුකළා.”
 
“පාසල් භූමියේ තැනක් තෝරා ගෙන ඒ නිවුන් දරුවන් 6 දෙනාගේ සහභාගිත්වයෙන් මල් පැළ හිටෙව්වා. ඒ ඒ නිවුන් දරුවන් දෙදෙනා හිටවපු මල් පැළ දෙක ලඟින් කුඩා පුවරුවක ළමයි දෙදෙනා ගේ නම්, උපන් දිනය, පාසලට ඇතුළත් වූ දිනය හා ශ්‍රේණිය සටහන් කරලා ප්‍රදර්ශනය වෙන විදහට සකස් කරලා තිබෙනවා.”
 
 
පසුව පාසලට නිවුන් දරුවන් ගෙන්වා ගත් ආකාරය පිළිබඳව ද විමසීමක් කළෙමු. එයට ඔහු සඳහන් කළේ මෙවැන්නකි. 
 
“විශේෂයෙන් කිව යුතුයි, මම ආරම්භ කළ වකවානුවේ නිවුන් දරුවන් සහභාගි කර ගනිමින් කළ ක්‍රියාකාරකම් ගැන ගමේ එහෙම සමාජගත වෙලා තිබු​ණේ නැහැ. මේ අදහස සමාජගත කරන්න මට ශක්තිය දිරිය ලබා දුන්නේ අප පාසලට විදුහල්පති ලෙසින් පත් වී ආ එන්.ජී.ටී. ධම්මික විදුහල්පතිතුමා. එතුමන්ට ස්තූති කරන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා. එතුමා තමයි නිවුන් සංසදයට නමක් තියන්නත් යෝජනා කළේ. ඒ අනුව අප පාසලේ නිවුන් සංසදයට වීර නිවුන් සංසදය යන නම තැබුවා.”
 
“දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ගම්මාන 42 ක දරුවන් අපේ පාසලට ඉගෙන ගන්න එනවා. එන්.ජී.ටී. ධම්මික විදුහල්පතිතුමාගේ අනුදැනුම මත මම පාසලේ ගුරු දෙමව්පිය රැස්වීමේ දී පාසලේ නිවුන් දරුවන් සම්බන්ධව කරන වැඩපිළිවෙළ ගැන මගේ අදහස් ඉදිරිපත් කළා. එයට සෑහෙන හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඉන් පසුව නිවුන් ළමුන් සිටින දෙමව්පියන් ළමයි ගෙනවිත් අප පාසලට බාර දුන්නා.”
 
“2018 අවුරුද්දේ දී නිවුන් ළමයි 6 දෙනා ගෙන් පටන් ගත්ත අප පාසලේ, 2025 වසර වෙන විට නිවුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60 දෙනෙක් අධ්‍යාපනය ලබනවා. එය නිවුන් ගැහැනු දරුවන් යුගල 15 ක්, පිරිමි දරුවන් යුගල 5 ක් සහ ගැහැණු පිරිමි මිශ්‍ර නිවුන් දරුවන් යුගල 10 ක් ලෙසත් පාසලේ අධ්‍යාපනය ලබනවා.” 
 
“මේ වසරේ පළමු ශ්‍රේණියට පවුල් 4 ක නිවුන් ළමයි ඇවිත් තිබෙනවා, ඒ කියන්නේ ළමයි 8 ක්. මේ අනුව 1 ශ්‍රේණියේ ඉඳලා 13 ශ්‍රේණිය වෙන තෙක් සෑම පංතියකම නිවුන් දරුවන් අධ්‍යාපනය ලබනවා. නිවුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ ක්‍රියාකාරකම් පාසල් උත්සව අවස්ථාවලදිත් යොදා ගන්නවා. ඒ වගේම තමයි දැන් පාසලේ තිබුණු මුඩුබිම් කොටස මල් පැළ 2000 ක් පමණ සිටුවන ලද උද්‍යානයක් ලෙස ගොඩනැගිලා තිබෙනවා. විශේෂත්වය තමයි, මේ මල් පැළ රැක බලාගනිමින් ඒවාට අවශ්‍ය පොහොර හා ජලය යොදලා සාත්තු සප්පායම් කරලා ආරක්ෂා කරගන්නේ මේ නිවුන් ළමයි 60 දෙනායි. ඒ වගේම තමයි පාසලේ අනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද නිවුන් ළමුන් ගේ ක්‍රියාකාරකම්වලට උදව් උපකාර කරනවා.” 
 
“ඒ වගේම තමයි පාසලේ සාමුහික කමක් තිබෙනවා. විශේෂයෙන් ඒ පිළිබඳව දෙමව්පියන්ටත් ස්තූතිවන්ත වෙනවා. නිදසුනක් ලෙස කියනවා නම්, පන්තියක ගැහැනු ළමයෙක් වැඩිවියට පත් වුණා කියලා කියමු. එතකොට ඒ පංතියේ ළමයින්ගේ දෙමව්පියන් තෑගි බෝග අරන් ඒ ගැහැනු දරුවාගේ ගෙදරට යනවා. මේ ආකාරයට සහයෝගයක් තිබෙනවා.” 
 
 
එසේම බණ්ඩාර නියෝජ්‍ය විදුහල්පතිවරයාගෙන්, නිවුන් දරු දැරියන්ගේ අධ්‍යාපන හා විෂය බාහිර ක්‍රියාකාරකම් පිළිබඳව ද විමසීමක් කළෙමු.
 
“අනෙක් දරුවන් සමගම නිවුන් දරුවන් ද ක්‍රීඩා කටයුතු හා අධ්‍යාපන කටයුතුවල දී දක්ෂතා දක්වනවා. ඒ අනුව පාසල් බෑන්ඩ් එකේ, නෙට් බෝල් කණ්ඩායමේ, පාසල් එල්ලේ කණ්ඩායමේ මෙන්ම ක්‍රිකට් කණ්ඩායමේත් මේ දරුවන් දක්ෂතා දක්වනවා. උදාහරණයක් ලෙස 12 ශ්‍රේණියේ නිවුන් දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඉන් එක් අයෙක් කලා විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලබනවා. අනෙක් දරුවා වාණිජ්‍ය විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලබනවා. අධ්‍යාපනය ලබන කාලයේ මේ දෙදෙනා වෙන් වෙලා හිටියත්, අනෙක් වෙලාවන්වල දී ඔවුන් දෙදෙනා සිටින්නේ එකටයි. ඊට අමතරව පාසල් ව්‍යවසායකත්ව සමාජයේ වැඩ කටයුතුවලට ද අනෙක් දරුවන් සේම දක්ෂතා දක්වන නිවුන් දරුවන් දෙදෙනෙක් ඉන්නවා. එයාලා දෙදෙනාම නව නිපැයුම් කරන්න දක්ෂ දරුවන් දෙදෙනෙක්. මේ ළමයි පාසලට කීර්ති නාමයක් අත්කර දීලා තිබෙනවා. ඒ ගැන මම නිහතමානීව සතුටු වෙනවා.”
 
2024 වසරේ දී විදුහල්පති එන්.ජී.ටී. ධම්මික ගේ මූලිකත්වයෙන් පාසලේ පළමු වරට ලෝක නිවුන් දරුවන් ගේ දිනය නිමිත්තෙන් පාසලේ නිවුන් දරුවන් ඇගැයීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කෙරිණි.  පවත්වන ලද මෙම උත්සවයේ දී නිවුන් දරුවන් ඇගැයීමට ලක් කරමින් ත්‍යාග ද පිරිනමන ලදී. මෙම උත්සවයේදී නිවුන් දරුවන් එකම නිල ඇඳුමකින් සැරසී සිටි අතර අනෙකුත් සිසුන් නිවුන් සිසුන්ට මල් කළඹ බැගින් ලබා දී පිළිගැනීම ද සිදුවිය. එසේම මෙම වසරේද ලෝක නිවුන් දරුවන්ගේ දිනය නිමිත්තෙන් උත්සවයක් පසුගිය අගෝස්තු 19 වන දින පාසලේ දී පවත්වන ලදී.
 
“ලෝක නිවුන් දරුවන්ගේ දිනය අගෝස්තු 23 වැනි දිනයි. මේ වසරේ අගෝස්තු 23 කියන්නේ සෙනසුරාදා දවසක් නිසා එදිනට පාසල් නිවාඩු දිනයක්. ඉන් පසු සතියෙත් පාසලේ විභාග කටයුතු තිබෙන නිසා උත්සවය කර ගන්න බැහැ. ඒ නිසා අගෝස්තු 19 වැනිදා නිවුන් දරුවන් ඇගැයීමේ උත්සවය පැවැත්වූවා. මේ උත්සවයට නිවුන් දරුවන්ගේ දෙමව්පියන් ද සහභාගි වෙලා හිටියා. මෙවර ත්‍යාග සඳහා අනුග්‍රහය පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයි.ජී. ලානිල් ධර්මදාස මහත්මා විසින් ලබා දුන්නා. ඔහුට ගොඩක් ස්තූතියි. ඒ වගේම මම, නිවුන් දරුවන් එකතු කරගෙන උල්හිටිය රත්කිඳ නිවුන් ජලාශය බලන්න අධ්‍යාපන චාරිකාවක් ගියා.”
 
“ඉතා කුඩාවට පටන් ගත්ත මේ සංසදය අද වෙන විට අතු ඉති විහිදුවා වැඩුන ගසක් බවට පරිවර්තනය වෙලා. පාසලට කීර්ති නාමයක් අත් කර දෙන ක්‍රියාවක් කිරීමට මට හැකිවීම සම්බන්ධයෙන් මට ආඩම්බරයක් තියෙනවා.” හෙතෙම සඳහන් කළේය.
 
ගෙවතු වගාව
 
දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ වර්තමාන විදුහල්පති එන්.ජී.ටී. ධම්මික විද්‍යාලයේ සංවර්ධනය උදෙසා දැඩි කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කරන්නේය. ඔහුගෙන්ද විස්තර ඇසීමට අපි අමතක නොකළෙමු. 
 
“සිරිපුර විද්‍යාලය කියන්නේ මහවැලි ගම්මානත් එක්ක බිහි වුණ පාසලක්. ඒ වගේම අධ්‍යාපන කොට්ඨාසයේ තිබෙන ප්‍රධාන පාසලක්. 1ඒබී පාසලක්. දැනට පාසලේ සමස්ත දරුවන් සංඛ්‍යාව 1804 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ගුරු මණ්ඩලයේ 70 දෙනෙක් සහ අනධයන කාර්ය මණ්ඩලයේ 3 දෙනෙක් අපේ පාසලේ සිටිනවා. පාසලේ ශ්‍රේණිධාරි නියෝජ්‍ය විදුහල්පතිවරු දෙදෙනෙක් සේවය කරනවා. පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කරන්නේ, පී.සී. කස්තුරිරත්න නියෝජ්‍ය විදුහල්පතිතුමියයි. ඒ වගේම සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති ලෙස සේවය කරන්නේ, ඩබ්ලියු.එම්. තිලකරත්න බණ්ඩාර මහත්මා යි. ඊට අමතරව පාසලේ ආදි ශිෂ්‍ය සංගමයක් ද තිබෙනවා.”
 
“ඩබ්ලියු.එම්. තිලකරත්න බණ්ඩාර මහත්මා තමයි වීර නිවුන් සංසදයේ නිර්මාතෘවරයා. එයා පාසලේ සංවර්ධන අංශයේ ප්‍රධානියා ලෙස තමයි කටයුතු කරන්නෙ. මම මේ පාසලට විදුහල්පති වශයෙන් පැමිණීමට පෙර සිටම නිවුන් දරුවන්ගේ ක්‍රියාකාරකම් වැඩපිළිවෙළ තිලකරත්න බණ්ඩාර මහත්මාගේ උත්සාහයෙන් ක්‍රියාවට නැංවෙමින් තිබුණා. නමුත් ඒ පිළිබඳ පණිවුඩය සමාජයට ගිහින් තිබුණේ නැහැ. මම විදුහල්පති වශයෙන් සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයට පත්වීම් ලැබිලා ආවට පස්සේ එතුමාගේ අදහස පිළිබඳව මා සමග කතා කළා. ඉන්පසුව අපි එකතු වෙලා තමයි පාසලේ නිවුන් සංසදයට නමක් දීලා අද පවතින තත්වයට සංවර්ධනය කළේ.” 
 
“නිවුන් දරුවන්ගේ සංසදයෙන් පාසලේ සංවර්ධන ව්‍යාපෘති කීපයක්ම සිදුවෙමින් පවතිනවා. ඉන් එකක් තමයි පාසලේ මල් උයනක් සකස් කරලා එය ඒ ළමයි අතින්ම නඩත්තු කිරීම. මේක හරිම දුෂ්කර කලාපයක්. නමුත් මේ නිවුන් දරුවන්ගේ සංසදය මගින් පාසලේ පරිසරය හරිම ලස්සනට පවත්වාගෙන යනවා. ඒ සම්බන්ධයෙන් පාසලේ අනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උදව් උපකාරත් ලැබෙනවා. මෙම ළමයි ඉතා සහයෝගයෙන් තමන්ගේ පාසලේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරනවා. මම විදුහල්පති වශයෙන් සිටි මෙම කාලය තුළ 2024 වසරේ සහ මේ වසරේ නිවුන් දරුවන් ඇගැයීම් උත්සව පවත්වලා තිබෙනවා. ඒ සඳහා දෙමව්පියන්ගේ, ගුරු මණ්ඩලයේ හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ උපකාරය ලැබිලා තිබෙනවා.” 
 
 
“සිරිපුර විද්‍යාලයේ නිවුන් සංසදයේ දරුවන් විෂය හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් විවිධ දක්ෂතා පෙන්නුම් කරලා තිබෙනවා. විශේෂයෙන් නිවුන් දරුවන් කීප දෙනෙකුටම විශ්වවිද්‍යාල වරම් ලැබිලා තිබෙනවා. නිවුන් දරුවන් වෙනුවෙන් නිල ඇඳුමක් ලෙස ටී ෂර්ට් එකක් තිබෙනවා. පාසලේ පැවැත්වෙන පොදු උත්සවවලදී අපි නිවුන් දරුවන් ද සහභාගි කර ගන්නවා. පසුගිය දා ප්‍රදේශයේ තිබෙන සහෝදර පාසලක් වන සෙවණපිටිය මහා විද්‍යාලයත් සමග සිරිපුර විද්‍යාලයේ මහා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වූවා. එම තරගය ආරම්භ කරන අවස්ථාවේ දී ක්‍රීඩා පිටිය විවෘත කිරීම වෙනුවෙන් අපි යොදා ගත්තේ නිවුන් දරුවන් දෙදෙනෙක්. ඒ වගේම තමයි ත්‍යාග ප්‍රදානෝත්සව වලදී ආරාධිත අමුත්තා වෙත ත්‍යාග පිරිනැමීම වැනි කටයුතු සඳහා නිවුන් දරුවන් යොදා ගන්නවා. මේ නිදර්ශන කීපයක් පමණයි. ඒ වගේම අපේ ඉදිරි බලාපොරොත්තුවක් තිබෙනවා සෞන්දර්ය, සෞඛ්‍ය, ක්‍රීඩා වැනි අංශ වලින් මේ නිවුන් සිසු දරු දැරියන් සන්නද්ධ කරලා කණ්ඩායමක් හදන්න.” 
 
“මම දැනුවත්ව ලංකාවේ තිබෙනවා නිවුන් අය වෙනුවෙන් සංසදයක්. නමුත් පාසලක් කේන්ද්‍ර කරගෙන නිවුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකගෙන් සැදුම්ලත් සංසදයක් තිබෙන්නේ අපගේ පාසලේ පමණයි. එසේම ලංකාවේ වැඩි නිවුන් දරු දැරියන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසලත් සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයයි. මේ වගේ වැඩ පිළිවෙළකට මැදිහත් වීම සම්බන්ධයෙන් මටත් තිබෙන්නේ ආඩම්බරයක්, ඒ වගේ මමත් මේ වැඩසටහනට ගොඩක් සංවේදියි. එයට හේතුව මටත් ඉන්නේ නිවුන් දුවලා දෙදෙනෙක් වීමයි.”
 
සිරිපුර මධ්‍ය මහා විද්‍යාලය යනු දැනුමේ ආලෝකයෙන් බබළන තෝතැන්නකි. සමගියෙන් හා සහෝදරත්වයෙන් පිරිපුන් ස්ථානයකි. මෙහි ඉගෙන ගන්නා දූ දරුවන් රටට දැයට සේවය කරන යහපත් පුරවැසියන් බවට පත්වීමටත්, එසේම නිවුන් දරුවන් වෙනුවෙන් සිදුකරන පාසලේ කටයුතු ඉදිරියටත් සාර්ථක කර ගැනීමටත් ප්‍රාර්ථනා කරමු.
 
එම්. තාරික්