දැරියන් වී යළි ඉපදුණු පෙරභවයේ තරුණයෝ


පෙර භවය හෙළිකළ දරුවන් පිළිබඳව සිදුකරනු ලබන පර්‌යේෂණ අතර (Sex Change) යනුවෙන් හැඳින්වෙන ගැහැනු පිරිමි වෙනස්ව ඉපදුණු සාධක දුර්ලභය. එවැනි දරුවන්ගේ සනාථ වූ සිදුවීම් අනාවරණය වන්නේ සියයට දෙකක පමණ ප්‍රමාණයකි. 

වසර පනහක පමණ කාලයක සිට ශ්‍රී ලංකාවේ පෙර භවය හෙළිකළ දරුවන් තුන්සිය පනහක පමණ ප්‍රමාණයකින් දරුවන් දස දෙනකු පමණ ඔවුන් පෙර භවයේ සිටි ගැහැනු පිරිමි වෙනස්ව උපත ලැබූ ශ්‍රී ලංකාවේ දැරියන් ප්‍රකාශ කළේ ඔවුන් තරුණයන් ලෙස ජීවත්ව සිටි බවය. එයින්ද තිදෙනෙක් පමණ විවාහ ජීවිත ගත කළ බැව් ප්‍රකාශ කළහ. 

පෙර භවයේ තරුණයන් ලෙස සිටි බැව් හෙළි කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම පුනර්භව සාධකය අනාවරණය වූයේ ගාල්ල ප්‍රදේශයෙනි. පෙර භවය හෙළි කළ එම දැරියන් දෙදෙනා උපත ලැබුවේ නිවුන් සොයුරියන් ලෙසිනි. ඔවුන්ගේ පෙර භවය ලෙස හෙළි කරනු ලැබුවේ තරුණ මිතුරන් දෙදෙනකු පිළිබඳව වීම විශේෂත්වයක් විය. ශිවන්ති සහ ශිරෝමි යනුවෙන් නම් ලද එම දැරියන් හෙළිකළ තරුණයන් දෙදෙනා වූයේ රූමස්සල ප්‍රදේශයේ පදිංචිව සිටි ජෝති සහ රොබට් නම් මිතුරන් දෙදෙනා ය. 

ගාල්ල පිටදෙණියේ පදිංචිව සිටි අමරපාල හෙට්ටිආරච්චි යුවළගේ නිවුන් දියණියන් දෙදෙනා 1978 නොවැම්බර් මාසයේදී උපත ලැබූහ. එම දැරියන් ප්‍රකාශ කළ තරුණයන් වූ ජෝති සහ රොබට් මරණයට පත්වී ඇත්තේ 1971 අප්‍රේල් 18 වනදාය. එම තරුණයන්ගේ ජීවිත පිළිබඳව දැරියන් දෙදෙනා විසින් ඉදිරිපත් කළ කරුණු 28ක් පමණ සත්‍ය සිදුවීම් බැව් පර්‌යේෂණයේ දී තහවුරු විය. ශිවන්ති සහ ශිරෝමී දැරියන් දෙදෙනාගේ මෙම පුනර්භව පර්‌යේෂණ සඳහා ඇමරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් ද පූර්ණ පරීක්ෂණයක් සිදුකළේය. අනතුරුව ඒ පිළිබඳව පර්‌යේෂණ වාර්තාවක් ඔහුගේ ග්‍රන්ථයකට ඇතුළත් කළේය. 

වයස අවුරුදු තුනේ පමණ සිට මෙම දැරියන් ඔවුනොවුන් එකතු වී කළ කතාබහකින් ඔවුන් පෙර භවය හෙළි කරන බැව් මව්පියන්ට දක්නට ලැබුණි. ශිවන්ති දැරියගේ සිරුරේ තිබූ උපන් ලපයක් පෙන්වා එම ස්ථානයට වෙඩි පහර එල්ල වූ බවක් අනාවරණය කළාය. ඔවුන් දෙදෙනාම පොලිස් වෙඩි ප්‍රහාර එල්ල වූ බැව් එම දැරියන්ට මතක තිබුණි. ඔවුන්ගේ හැසිරීම් රටා තුළින් ද ඉතා කුඩා අවදියේ සිට දක්නට ලැබුණේ තරුණයන් ලෙස සිටියදී පෙර භවයේදී තිබූ ගති සිරිත්ය. පෙර භවයේ ඔවුන්ගේ පුද්ගල නම් ද ඉතා පැහැදිලි ප්‍රකාශ කිරීමට ඔවුන්ට හැකියාව තිබුණි. පෙර භවයේ දෙමව්පියන්ගේ සහ මිතුරන්ගේද නම් ඔවුන්ගේ මතකයේ තිබීම ද විශේෂත්වයක් විය. ඒ අතරින් පැහැදිලිව සුදු නංගී යනුවෙන් හැඳින් වූ තරුණියක් පිළිබඳව ශිවන්ති දැරිය හෙළි කළාය. 

ඇය පැවසූ අනෙක් නම් අතර පෙර භවයේ පියා කළු මහත්තයා ලෙස ඇමතු බවත් මවට මේරි අක්කා යනුවෙන් ඇමතූ බවත් ඇය හෙළි කළාය. ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වූයේ ඇතැම් ඥාතීන් විසින් ඔවුන් දෙදෙනා හඳුන්වා ඇත්තේ ඒ නමින් ලෙසය. 

ශිරෝමී නම් අනෙක් දැරිය ද ඇගේ පෙර භවයේ නම ජෝති බැව් පැහැදිලිව හෙළිකළාය. ඇගේ පෙර භවයේ මිතුරන්ගේ නම් ද ඇය අනාවරණය කළාය. මෙම දැරියන් දෙදෙනාට පෙර භවයේ දෙමව්පියන් සහ ඥාතීන් කීප දෙනකු නිවැරදිව හඳුනාගැනීමට හැකි විය.

ශිවන්ති සහ ශිරෝමිගේ පුනර්භව පර්‌යේෂණය යළි උපන් ජීවිත නම් ග්‍රන්ථයකට ද ඇතුළත් කර තිබේ. මෙම දැරියන් දෙදෙනාම අනාවරණය කළේ ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්වූ බවකි. ඒ බැව් ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවේ මාංචු දමා රැගෙන ගිය අයුරු අනුකරණය කර පෙන්වමිනි. ඒ බැව් මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලියන ලද පර්‌යේෂණ වාර්තාවට ඇතුළත් කර ඇත්තේ (Some Differences Between the twins in Their Behavior, Sivanthi was observed sometimes to walk with her hands behind her back (Apart from any demonstration of being Handcuffed) යනුවෙනි. 

පෙර භවයේ දී තරුණ ජීවිතයක් ගත කළ බැව් හෙළි කළ තවත් දැරියක උපත ලැබුවේ 1977 නොවැම්බර් මස කුලියාපිටිය රෝහලේදීය. රමණි නම් එම දැරිය අනාවරණය කළේ මියයන විට වයස අවුරුදු 28ක තරුණයකුගේ ජීවිත තොරතුරුය. ඒ වන විට විවාහකව සිටි බවත් රිය අනතුරකින් මරණයට පත්වූ බවත් එම දැරියට මතක තිබුණි. බහතෝරන වියට පත්ව සිටි දැරිය දිනක් මව අමතමින් ‘අපි හිටියේ දන්කොටුවේ’ යැයි පැවසුවාය. මෙය ශ්‍රවණය වූ මව ඇගෙන් ඒ පිළිබඳව විමසීමටත් කළාය. ‘එහෙදි මොකද වුණේ’ යැයි මව ප්‍රශ්න කළ විට දැරිය එක්වරම පිළිතුරු දෙමින් ‘මම එහෙදි මැරුණා. එතකොට මට වයස අවුරුදු 28යි’ යැයි කීවාය. දියණිය කිසියම් පෙර භවයක තොරතුරු අනාවරණය කරන බැව් මවට පැහැදිලි විය. ඒ අනුව මව දියණියගෙන් විමසූ තොරතුරුත් ඇය දුන් පිළිතුරුත් පර්‌යේෂණ වාර්තාවේ සඳහන් වන අයුරින් මෙසේය. 

ප්‍රශ්නය – දුව එහෙ ඉන්නකොට මැරුණේ මක්වෙලා ද?

පිළිතුරු - මම හැප්පුනා කාර් එක එලවගෙන යනකොට කාර් එක පෙරළුණා. 

ප්‍රශ්නය – එහෙදි කව්ද හිටියේ?

පිළිතුර – අම්මා, තාත්තා දුවෙක් හිටියා. දරුවාට කිරිපිටි ගෙනාවා යැයිද කීවාය. මේ අතර ඇගේ ගති සිරිත්ද වෙනස් බවක් ගෙන තිබුණි. ඒ අතර තිබූ සුවිශේෂ චර්යාවක් වී තිබුණේ ඇය ඇතැම් දිනවල සාලයට පැමිණ දණබිම තබා කතෝලික දේවස්ථානයක යාච්ඤා කරන අයුරු නිරූපණය කිරීමය. එය දුටු පියා දිනක් ඒ පිළිබඳව දියණියගෙන් විමසීය. එවිට ඇය පැවසුවේ ‘අපි පල්ලියේදී එහෙම තමයි’ යනුවෙනි. 

ඇගේ කුඩා සොහොයුරාට ඇය අමතනු ලැබුවේ ‘දුව’ යනුවෙන් වීමද විශේෂ තත්වයක් වීය. දියණිය හෙළි කරන තොරතුරු අනුව ඇගේ පෙර භවය පිළිබඳව සොයා බැලීමට දෙමාපියෝ උනන්දු වූහ. පවුලේ ඥාතිවරියක් ඒ සඳහා ඉදිරිපත් වූවාය. දියණිය අනාවරණය කරනු ලැබූ තොරතුරු අනුව මීගමුව - කොළඹ මාර්ගයේ දී මෝටර් රථ අනතුරකින් මියගිය ඇගේ පෙර භවය සොයා ගැනීමට අවස්ථාව ලැබුණි. එම විමසීම් පෙර භවයේ මවට සැලවීමත් සමඟ දැරිය දැක ගැනීමට පෙර භවයේ බවට දැඩි ආශාවක් ඇතිවිය. ඒ අනුව දැරියගේ නිවස සොයා පෙර භවයේ මව පැමිණියාය. 

ඇය නිවසට එනතුරු ම රමණී දැරිය හෝ ඇගේ දෙමාපියෝ හෝ ඇය කවුදැයි නොදැන සිටියහ. පෙර භවයේ මව කිසිවක් කතා නොකර තමාගේ පැමිණීම ගැන ලිපියක් මඟින් නිහඬව ඉදිරිපත් කළාය. ලිපිය බැලූ රමණීගේ මව ඒ පිළිබඳව සත්‍ය විමර්ශනය කිරීමට අදහස් කළාය. කිසිදු කතාබහක් නොමැතිව පෙර භවයේ මවට අසුන් ගන්නා ලෙස ඇය කීවාය. අනතුරුව නිවස තුළ සිටි දැරිය ඇමතූ ඇය කවුද ඇවිත් යැයි දියණියට කීවාය. 

රමණී දැරිය වහා ඉදිරියට පැමිණ පෙර භවයේ මව දුටු සැණින් ඒ මගේ අම්මා යැයි පිළිතුරු දෙනු ලැබුවේ ඔවුන් පුදුමයට පත් කරවමිනි. අනතුරුව රමණීව පෙර භවයේ ඥාතින් හමුවීමට අවස්ථාව ලැබුණි. රමණී හෙළි කළ පෙර භවයේ දී තරුණ ජීවිතයක් ගත කරමින් සිටියදී රිය අනතුරකින් මරණයට පත්ව තිබුණේ 1977 අගෝස්තු මාසයේදීය. පෙර භවයේ භාවිතා කළ භාණ්ඩ පිළිබඳව ඇය පැහැදිලිව අනාවරණය කිරීම ද මෙම පුනර්භව සාධකය සනාථ කළ ප්‍රබල සාක්කි බවට පත්විය. මෙම දැරියගේ පුනර්භව සාධකය පිළිබඳව පූර්ණ පර්‌යේෂණයක් සිදුකෙරිණි. 

පෙරභවයේදී තරුණ ජීවිතයක් ගතකළ බැව් හෙළිකළ තවත් දැරියක උපත ලැබුවේ කොළඹ කාසල් රෝහලේදීය. 1975 මාර්තු මාසයේ උපන් ඇයට නම් දා තිබුණේ කාංචනා යනුවෙනි පහතරට ඉපදී සිටියත් ඇය උඩරට ප්‍රදේශයට හුරු වූ වචන උච්චාරණය කිරීම දෙමාපියන්ගේ දැඩි අවධානයට යොමුවිය. ඇය පියාට අමතන්නට වූයේ අප්පච්චි යනුවෙනි. නිවසේ අන් දරුවන්ටත් පියාට අමතන ලද්දේ තාත්තා ලෙසය. 

දිනක් මට ඇමතූ දැරිය ‘මට ඈත දුර යන්න ඕනෑ’ යැයි කීවාය. වයස අවුරුදු තුනක් වූ දියණියගේ මෙම ප්‍රකාශ පිළිබඳව පියා අවධානය යොමු කළේය. තවත් දිනක් ඇගේ පෙර භවය හෙළි කළ දැරිය ‘මේ ගෙදර වගේ නෙවෙයි, ඒ ගෙදර ඇදන්වලට උඩින් වියනක් බැඳලා තියෙනවා’ යැයි කීවාය. වියනක් බැඳ තියෙනවා යැයි කීමට තරම් ඇයට දැනුමක් ලැබුණේ කෙසේද යන්න මව්පියන්ට ප්‍රශ්නයක් මතුවිය. ඇය කිසියම් පෙර භවයක තොරතුරු අනාවරණය කරන්නේද යන්න මවුපියන්ට සැක පහළ වී තිබුණි. 

දෙමව්පියෝ සිය දියණියගේ කතාබහට දැඩි අවධානයක් යොමු කරන්නට වූහ. 

‘එහෙදි අපේ ගෙදර කළුදොදොල් හැඳි ගානවා. ගෝන අං තට්ටුවක් ගෙදර එල්ලලා තියෙනවා’ යැයිද තවත් දිනක් කීවාය. පෙර භවයේදී ඇගේ නිවසේ වී තිබූ බවද පැවසූ දැරිය තමා කොට කලිසමක් ඇඳ ගන්නා ලද ඡායාරූපයක් නිවසේ තබා තිබෙන බවද වරක් හෙළි කළේය. 

නුවර ප්‍රදේශයේ සිටියදී පින්නවල අලි ඇතුන් නාන ස්ථානයක් නැරඹීමට ගිය බවද මතකයේ තිබූ දැරිය එය පිහිටා ඇත්තේ පින්නවල බව ද කීවාය. ඒ වන විට පින්නවල අලි ස්නානය කරන ස්ථානය දැකගැනීමට ගොස් ඒ පිළිබඳව ඇයට දැනගැනීමට හෝ අවස්ථාවක් ලැබී නොතිබිණ. කුඩා කල දී ඇය සිහිනෙන් බියපත් වන බවක්ද මවුපියන්ට දක්නට ලැබිණි. ඇතැම් විට එසේ බියපත්ව අවදිවන ඇය ‘කෝ මගේ චේන් එක’ යැයි ඉල්ලා සිටීමට ද පුරුදුව සිටියාය. 

බොහෝ අවස්ථාවල ඇය පිරිමි ගති ලක්ෂණ ඉදිරිපත් කරමින් ක්‍රියා කිරීම ද මවුපියන්ගේ අවධානයට ලක්වී තිබුණි. පෙර භවයේදී දියේ ගිලීමක් ගැන ද ඇගේ මතකයේ තිබුණි. පෙර ජීවත් වූ ප්‍රදේශය ජම්බුගස් වත්ත ලෙස දැරිය ප්‍රකාශ කළාය. ඇය හෙළිකළ තොරතුරු විමර්ශනය කිරීමට ඇගේ පියා උනන්දු විය. ඒ අනුව ජම්බුගස්පිටිය ලෙස හැඳින් වූ ප්‍රදේශයක මරණයට පත්වූ අයෙකුගේ ජීවිත තොරතුරු කාංචනාගේ පෙර භව තොරතුරුවලට සමාන වීය. එම දැරිය පිළිබඳ සිදුකළ විමර්ශනයේ දී ඇගේ පෙර භවයේ ඥාතීන් සහ නිවස සොයා ගැනීමටත් අවස්ථාව උදාවිය. ඇය හෙළි කළ පුනර්භව සාධකය පෙර භවයේ පිරිමි ජීවිතයක් ගත කළ මරණින් පසු ගැහැනු බවක් ලබා ඇති බැව් සනාථ විය. 

මහනුවර ප්‍රදේශයේ දී 1995 වසරේදී උපත ලද දැරියක් ද පෙර භවයේදී තරුණයෙකු ලෙස ජීවත්ව සිටි බැව් අනාවරණය කළාය. ඇය පෙර භවය හෙළිකිරීම ආරම්භ කිරීමද සිදුවූයේ පුදුමාකාර අයුරිනි. ඇය බහතෝරන වියට පත්ව සිටියදී දෙමාපියෝ නිවසක් තැනීම සඳහා කතාබහක යෙදී සිටියහ. ඒ අසලට පැමිණෙන දියණිය ඔවුන්ගේ කතාබහට ඉතා ඕනෑකමින් සවන් දෙන බැව් මවුපියන්ට නිතර දක්නට ලැබුණි. එහෙත් ඒ පිළිබඳව ඔවුහු කිසිදු අවධානයක් යොමු නොකළහ. 

දිනක් පියා නිවස තනාගැනීම ගැන සිරිත් පරිදි බිරිය සමඟ කතා කරමින් සිටියේය. ඒ වනවිට නිවෙස තැනීම සඳහා අත්තිවාරම් බැඳීම ද ආරම්භ කර තිබුණි. පැය කීපයක් ඇතුළත අත්තිවාරම් කැපීම නිම විය. එහි පැමිණි දියණිය ඉතා ඕනෑකමින් එදෙස බලා සිටියාය. එක්වරම පියා දෙසට හැරුණු දැරිය පියා ඇමතුවා ය. 

‘තාත්තේ මේ ගේ හදන්න අපි සීයට කියල සල්ලි ටිකක් ඉල්ලගෙන එමු’ යැයි පැවසුවාය. එම වදන ශ්‍රවණය වූ පියා ඒ පිළිබඳ දියණියගෙන් විමසීමට සිතුවාය. 

‘ඔයාගේ සීයා කොහේද ඉන්නේ’ යැයි ඔහු ප්‍රශ්න කළේ දියණිය සීයා යනුවෙන් පැවසුවේ කාටද යන්න නිරීක්ෂණය කිරීම පිණිසය. එයට පිළිතුරු දුන් දියණිය ‘හල්ගොඩ’ යැයි එක්වරම පැවසුවාය. 

අනතුරුව තවත් තොරතුරු හෙළි කළ ඇය ‘අපේ ඒ සීයට සල්ලි තියෙනවා’ යැයි කීවාය තම දියණිය කිසියම් පෙර භවයක් හෙළි කරන බැව් පියාට අවබෝධ විය. එහෙත් දරුවාගෙන් තව තවත් ප්‍රශ්න කිරීමට පියා කැමැත්තක් නොදැක්වීය. එහෙත් දියණියගේ මනසට එන තොරතුරු ඇය තව තවත් හෙළි කළාය. 

“අපේ ඒ සීයට මොටෝ බයිසිකලයක් තියෙනවා. අපි හිටපු ගෙදරට යන්නේ තේ වත්තක් මැද්දෙන්. මට එහෙදි අයිය කෙනෙකුත් හිටියා. එයාව කට්ටියක් ඇවිත් අරන් ගියා. අපේ ගෙදර වැඩටත් ගෑනු කෙනෙක් හිටියා. දවසක් මම මගේ යාලුවෙක් එක්ක එයාගේ මොටෝ බයිසිකලෙන් ගියා. ඒ යන කොට බයිසිකලය ඇක්සිඩන්ට් වුණා. මම හිටියේ පිටුපස්සේ’ යැයිද ඇය පැවසුවාය. ඇගේ මරණය පිළිබඳව අනාවරණය කරනු ලැබුවේ එම අනතුර ගැන පමණය. 

මෙම දැරිය අනාවරණය කළ පෙර භව තොරතුරු අනුව ඇය ද පෙර භවයේදී තරුණ ජීවිතයක් ගත කළ අයෙකු බැව් පැහැදිලිව දක්නට ලැබිණි. එහෙත් පෙර භවයට සම්බන්ධ පුද්ගල නම් කිසිවක් ඇගේ මතකයේ නොතිබුණි. මෙම දැරිය හෙළි කළ ගම් ප්‍රදේශයේ සොයා ගැනීමට ඇගේ පුනර්භව පර්‌යේෂණයේදී දැඩි පරිශ්‍රමයක් ගත් නමුත් එයට අවස්ථාවක් නොලැබිණි. පුනර්භව පර්‌යේෂණ අතර නොවිසඳුණු පුනර්භව සාධකයක් ලෙස ඇගේ කතා පුවත පර්‌යේෂණ අතරට එක් වී තිබේ. එම දැරියගේ පෙර භව තොරතුරු වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පර්‌යේෂණ අංශයේ දත්ත අතර ද වාර්තා කර තිබේ. 

මේ අතර පාසල් ශිෂ්‍යයෙකු ලෙස සිටියදී මරණයට පත්වූ පිරිමි දරුවකුගේ ජීවිත තොරතුරු හෙළි කළ දැරියක් ඇල්පිටිය ප්‍රදේශයේදී මීට වසර ගණකට උඩදී උපත ලැබුවාය. 1962 සැප්තැම්බර් 12 වැනිදා උපත ලද ඇය අනාවරණය කරනු ලැබුවේ 1959 ජූලි 18 වැනිදා මරණයට පත්වූ කරුණාසේන නම් පිරිමි දරුවෙකු පිළිබඳවය. පෙර භවය හෙළි කළ දැරිය නම් ලබා සිටියේ කුසුම් ලෙසය. කුසුමා දැරියගේ පුනර්භව සාධකය පිළිබඳව වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන්සන් විසින්ද පර්‌යේෂණයක් පවත්වනු ලැබීය. අනතුරුව පුනර්භවය පර්‌යේෂණ ග්‍රන්ථයකට ද ඇගේ පුනර්භව සාධකය ඇතුළත් කළේය. 

කුසුමා දැරිය තුළින් මතු වූ පෙර භව ගති සිරිත් අතර කුඩා කල සිට ඇය පිරිමි ගති සිරිත් විදහා දැක්වූයේ පුදුමාකාර අයුරිනි. ඇය කුඩා කල සිටම පිරිමි දරුවන් අදිනු ලබන කලිසම් ඉල්ලා සිටියාය. ඒ සමගම ඇය විසින් මවගෙන් නගන ලද ප්‍රශ්නයක් වූයේ ‘ඇයි මම නංගියෙක් වුණේ’. යනුවෙනි. මේ අතර ඇය පිරිමි දරුවන් ඇතැම් විට සිදු කරනු ලබන මුව තුළට අතැඟිලි යොදා නළා හඬක් නිකුත් කිරීම සිදු කළේද මව්පියන් පුදුමයට පත් කරවමිනි. 

පෙර භවයේ දී ඇගේ පුද්ගල නම පිළිබඳව ඇයට ඉතා හොඳ මතකයක් තිබුණි. ඇය පැවසුවේ පෙර භවයේදී අමතන ලද්දේ ‘කරුණාසේන’ යනුවෙන් බවය. 

‘ඔයා ඉස්සර හිටියේ කොහේද’ යැයි ඇගෙන් ප්‍රශ්න කළ විට එයට පැහැදිලිව පිළිතුරු දුන් දැරිය අලුත්වල යැයි ක්ෂණයෙන් පිළිතුරු දුන්නාය. 

‘එහෙදි මොකද වුණේ’ යනුවෙන් විමසූවිට ඇගේ මරණය සිදුවූ අයුරු ඉතා හොඳ මතකයෙන් සිටි ඇය එහෙදී මාව ළිඳේ වැටුණා’ යැයි කීවාය. අනතුරුව පෙර භවයේ තොරතුරු රැසක් ඉතා නිවැරදිව ඇය විසින් හෙළි කරනු ලැබුවාය. 

මෙම දැරිය තුළ තිබූ පිරිමි දරුවෙකුගේ ගති සිරිත් අතර ඇය ඉතා කුඩා කල සිට සරුංගල් ඉල්ලා සිටියාය. ඇය විසින් හෙළි කළ පෙර භවය සොයා ගැනීම අසීරු නොවීය. අලුත්වලදී ළිඳේ වැටීමෙන් මියගිය කරුණාසේනගේ මාපියන් සහ එම නිවසට යාමට ද ඇයට අවස්ථාව ලැබුණි. ඇය අනාවරණය කරනු ලැබුවේ අලුත්වල පදිංචිව සිට හදිසියේ ළිඳේ වැටී මරණය සිදු වූ කරුණාසේන නම් එම දරුවා ඒ වනවිට පාසලේ දෙවන ශ්‍රේණියේ ඉගෙනීම ලබමින් සිට ඇත. දඟකාර දරුවෙකු වූ ඔහු සරුංගල් යැවීම විනෝදාංශය ලෙස සිදු කළේය. කුඩා දරුවෙකු වුවද පියා සමඟ ගොවිතැන් කටයුතුවලට උදව්වීමට පවා කුඹුරට ගොස් ඇත. 

මෙම දැරිය තුළ තිබූ පෙර භව ගති සිරිත් ‘‘correspondences in Behavior between Kusuma and Karunansena’’ යනුවෙන් මහාචාර්ය ස්ටීවන්සන්ගේ වාර්තාවේ සඳහන් කර ඇති සරුංගල් යැවීම සහ හඬ නිකුත් කිරීම මහාචාර්ය ස්ටීවන්සන් විසින් සටහන් කර ඇත්තේ මෙසේය. කුසුමා (Preference for boys Games such as Kite flying සහ Made clucking sound in throat to get attention යනුවෙනි) දැරියක ලෙස ඉපදී සිටියත් පිරිමි ගති සිරිත් උපතින් ගෙනා පුනර්භව සාධකයක් සාර්ථක ලෙස සනාථ කළ සිදුවීමක් ලෙස කුසුමාගේ කතා පුවත ඇතුළත් වී තිබේ.