දහනායකගේ දහං ගැට


ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ආචාර්ය විජයානන්ද දහනායකයන් ගේ ජය භූමිය වූයේ ගාල්ල ය. මේ නිසා ම හෙතෙම වසර තිහකට වඩා වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළේ ගාල්ලේ මන්ත්‍රීවරයා ලෙසිනි. 

මෙයින් උද්දාමයට පත් දහනායක නිතර සඳහන් කළේ තමා පොල්ලෙල්ල ලකුණින් ගාල්ලට තරග කළත් - ගාලු‍ ජනතාව තමාට ඡන්දය දෙන බවය. එහෙත් 1960 මාර්තු මහ මැතිවරණයේ දී හා 1977 මහා මැතිවරණයේ දී හෙතෙම පරාජයට පත්විය. එහෙත් ඔහු සුළු කාලයකින් නැවත ජයගෙන පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තරම් වාසනාවන්තයෙකු විය. 

ගසට පොත්ත මෙන් ගාලු‍ ජනතාව දහනායක සමග බද්ධ වී සිටියහ. ගාලු‍ ජනතාවට දහනායකත්, දහනායකට ගාලු‍ ජනතාවත්, නැතුවම බැරි වී තිබිණි. ඒ තරමටම දහනායක ගාලු‍ ජනතාවට සමීප වී සිටියේය.

දහනායක දේශපාලන ගමන ආරම්භ කළේ ගාල්ල මහා නගර සභා ඡන්දයෙනි. එකල මෙරට ප්‍රබලතම වාමාංශික දේශපාලන පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂයේ අපේක්ෂකයකු ලෙස නගර සභා මැතිවරණයට ඉදිරිපත් විය. එවර දහනායකගේ ප්‍රතිවාදියා වූයේ ධනයෙන්, බලයෙන් ආඩ්‍ය වූ ප්‍රකට ඉඩම් හිමි වැවිලිකරුවකු වූ හෙන්රි වුඩ්වඩ් අමරසූරිය ය. ඔහුගේ බල පුළුවන්කාරකම්වලින් හිස උදුම්මවාගත් එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් ගෙන් දහනායක තරුණයාට නොයෙකුත් තාඩන පීඩන වලට මුහුණ දීමට සිදු වූ අවස්ථා බොහෝ විය.

ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රබල නායකයන් ගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත රැළියක් ගාලු‍ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට දහනායක තරුණයා සූදානම් කළේය.

රැස්වීම පැවැත්වීමට නියමිත දිනට පෙර දින සිය ආධාරකරුවන් පිරිසක් සමග මැදියම් රැය පසුවන තුරුම දහනායක ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ ඉදිකළ වේදිකාව පමණක් නොව ගාල්ල නගරය ම රතු කොඩිවලින් සැරසුවේය.

දහනායකට ඉතිරිව තිබුණේ පසුදින සවස තුනට මහජන රැස්වීම පැවැත්වීම පමණි. ඒ නිසා සැහැල්ලු සිතින් යුතුව පිරිස සිය නිවෙස් වලට යැවූ දහනායක ද ගෙදර පැමිණ නිදා ගත්තේ ය. එහෙත් ඒ නිදාගෙන  වැඩි වෙලාවක් යන්නට පෙර අවදි වීමට සිදු වූයේ අනපේක්ෂිත ආරංචියක් නිසාවෙනි.
“සර්...සර්..ඉක්මනට දොර අරින්න..”

“කවුද..? කවුද...? මේ මහා රෑ..?”

“‘සර්...මේ මහා රෑ නොවෙයි.. දැන් එළිය වැටිල... හදිස්සියක්... හදිස්සියක්.. ඉක්මනට දොර අරින්න..”
හිතවත් ආධාරකරුවකු බව කටහඬින් හඳුනා ගැනීමට දහනායකට අපහසු නොවීය. නිදිබර දෙනෙත් පිස දමමින් පැමිණ දොර ඇරියේය.

“මොකෝ සහෝදරවරු උදේම කලබලයෙන්..?”

“‘හරි වැඩේනේ සර් වෙලා තියෙන්නේ. අමරසූරිය ගේ මිනිස්සු අපේ ස්ටේජ් එක වටේට ම එක එක ඒවා ලියපු කොළ පාට බැනර් දාලා. අපි ඊයේ රෑ අර තරම් වෙහෙස මහන්සි වෙලා කරපු සැරසිලි ඔක්කොම වතුරෙ සර්...”‘

පිරිස කලබලයෙන් ආරංචිය සැල කර සිටියහ.

“කලබල වෙන්න එපා සහෝදරවරු... ඔහොම ඉන්න මං ඉක්මනට එනවා යන්න..”

රාත්‍රියට නිදාගැනීමට අඳින පිජාමා ඇඳුමට උඩින් තවත් කමීසයක් ඇඳගත් දහනායක ආධාර කරුවන් පැමිණි පාපැදියක පසු පස හිඳගෙන ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ ඉදිකළ වේදිකාව අසලට ගියේය.

‘සමසමාජ ගින්නෙන් අපේ පන්සල් - පල්ලි බේරා ගනිමු, අම්මේ තාත්තේ සමසමාජ රකුසා ගෙන් ඔබේ දූ දරුවන් ගලවා ගන්න’, ‘ආගමක් - දහමක් නැති සම සමාජය ම මුළු රට ම ගිල ගනී’, ‘සමසමාජය පලවා හැර ඔබේ රටත් - ගමත් ගලවා ගන්න.’

තමන්ගේ රැස්වීම් වේදිකාව වටා ඇද තිබූ රතු පැහැති කොඩි වැල් අතරින් මතු වී පෙනෙන ලෙස එල්ලා තිබූ කොළ පැහැති බැනර්වල මෙම වදන් ලියා තිබිණි. 

මෙය දුටු සැණින් දහනායකට යක්ෂාරූඪ විය. 

“කවුද අයිෂේ මේ බලු‍ වැඩේ කළේ...? මුහුණ ඉදිරියට ඇවිත් කියන්න තරම් කොන්දක් පණ නැති පෙන්දො පිරිසක් කරන මේ වැඩ වලින් මගේ ගමන නතර කරන්න බැහැ... සහෝදරවරු කලබල වෙන්න එපා. අපි යමු පොලිසියට.”

කලකිරුණු සිතින් යුතුව ගාල්ල කොටුව තුළ තිබූ පොලිසියට දහනායක ගියේ ද ආධාරකරුවකු ගේ පාපැදියක පසු පස හිඳ ගෙනය.

“ඉන්ස්පෙක්ටර්... මගේ රැස්වීම කඩාකප්පල් කිරීමට යූ.ඇන්.පී. පිරිසක් බැනර් දමල තිබෙනවා... ඒ ගැන පැමිණිල්ලක් කරන්නයි ආවේ...”

‘“මිස්ටර් දහනායක... ඔය කේස් එක අපටත් ආරංචියි. ඒත්... ඔබතුමා ගෙ ස්ටේජ් එකටවත්, කොඩි වලටවත් කිසිම හානියක් කරල නැහැ නේද...? අලු‍තෙන් දමල තිබෙන කොළ පාට බැනර් වල මිස්ටර් දහනායකට අපහාස වන දෙයක්වත්, හානියක් වන දෙයක්වත් සඳහන් කරල නැහැ..නේ..?”

දහනායක පැමිණිලි කිරීමට පෙර සිද්ධිය පොලිසියට ආරංචි වී ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් වැටහිණි.

“ඉන්ස්පෙක්ටර්... මේක මගේ රැස්වීමක් මිස යූ.ඇන්.පී. කාරයන්ගේ රැස්වීමක් නොවෙයි... මට වෙච්ච අසාධාරණය ගැන දැනුම් දෙන්නයි මම ආවේ...” දහනායක  පොලිස් ස්ථානාධිපතිවරයා ගේ මුහුණ දෙස එක එල්ලේ බලාගෙන කීවේ කෝපයෙනි.

“මිස්ටර් දහනායක... කිසිවෙකුටවත් අපහාසයක් සිදුනොවන අයුරින් එල්ලා තිබෙන කොළ පාට බැනර් ඉවත් කිරීමට මට නීතිමය බලයක් නැහැ. එම බැනර් කපා දැමුවහොත් ඊට එරෙහි ව මට පියවරක් ගන්න සිදුවෙනවා..”

පොලිස් ස්ථානාධිපතිවරයා අමරසූරිය ට පක්ෂව කතා කරන බව ඔහුගේ කතාවෙන් දහනායකට වැටහිණි. තවදුරටත් ඔහු සමග ඒ ගැන කතා කිරීම තේරුමක් නැති බව සිතූ හෙතෙම සිය ආධාරකරුවන් සමග කලකිරුණු සිතින් යුතුව රැස්වීම පැවැත්වෙන ක්‍රීඩාංගණයට පැමිණියේය.

මෙම අලකලංචිය කන වැකුණු විශාල පිරිසක් වේදිකාව අසලට පැමිණ වේදිකාව වටා එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් එල්ලා තිබූ බැනර් වල ලියා තිබූ වැකි මහත් උනන්දුවකින් යුතුව කියවමින් සිටියහ. පිරිස මේ වැකි රස කර කර කියවන අයුරු දැකීමෙන් සිත තවත් කලකිරීමට පත් විය.

කර කියා ගත හැකි දෙයක් නො වූයෙන් මොහොතක් දෙනෙත් පියා ගෙන කල්පනා සාගරයක නියැළු‍ණේ ඊළඟට කළ යුත්තේ කුමක් දැයි සිතමින්ය. යම් පිබිදීමක් ඇති වූ අයෙක් මෙන් ක්ෂණිකව දෙනෙත් ඇර වට පිට බලා කමීස සාක්කුවෙන් රුපියල් පහක නෝට්ටුවක් ගෙන ආධාරකරුවෙක් අතට දුන්නේ ඉක්මනින් දිව ගිහින් සුදු රෙදි යාර පහක් ගෙනෙන ලෙසටය.

ආධාරකරුවා ද පාපැදියකින් ගොස් විනාඩි පහක් ගතවීමටත් පෙර රෙදි යාර පහ ගෙනැවිත් දහනායකගේ අතට දෙමින්, “සහෝදරයා... දැන් අපි මොකද කරන්නේ...?” යැයි විමසුවේ රෙදි ගෙනා හේතුව කඩිනමින් දැන ගැනීමේ රිසියෙන් ය.

“අන්න අර ස්ටේජ් එක යට තිබෙන තීන්ත ටින් එකයි පින්සලයි අරගෙන මේ රෙදි කෑල්ලේ මේ වාක්‍යය ලොකුවට ලියනවා...‘”

එතැන සිටි හිතවත් ප්‍රධාන සිත්තරා දෙස බලමින් කීය. 

“මොකක්ද සහෝදරයා ලියන්න ඕනේ...?” සිත්තරා විමසීය.

“මේ ප්‍රශ්නවලට අද මෙතැන දී පිළිතුරු ලබා ගන්න නො වරදවා සැවොම පැමිණෙන්න.” කියල ලොකු අකුරෙන් ලියල කාටත් පෙනෙන සේ අරුන්ගේ බැනර්වලට ඉහළින් කැපී පෙනෙන විදියට එල්ලනවා...”
ආධාර කරුවන්ට එසේ අණ දුන් දහනායක තරුණයා වතුර උගුරක්වත් නැතුව හිස් බඩේම සිටි බැවින් ගාලු‍ බස් නැවතුම් පොළ අබියස තිබූ හෝටලයකින් තේ වතුර ජෝගුවක් ගෙන්වා ගෙන සියලු‍ දෙනා සමග පානය කළේ ජයග්‍රහණයක් ලබා ජය පැන් බොන ආකාරයෙනි.

ගාල්ල පොලිස් ස්ථානාධිපතිවරයා දහවල් වේදිකාව අසලට පැමිණියේ කොළ පාට බැනර් ගලවා ඇතිදැයි සොයා බලා එසේ කර තිබේ නම් ඒ ගැන  නීතිමය පියවරක් ගැනීමටය. එහෙත් දහනායක ගේ අලු‍ත් ම බැනරය දැක ස්ථානාධිපතිවරයාටද කට උත්තර නැතිවිය.

රැස්වීමට පැමිණෙන බොහෝ දෙනා රතුපාට, කොළ පාට සැරසිලි දැක විමතියෙන් විමතියට පත්විය. ලංකා සමසමාජ පක්ෂයේ නායකයෝ දහනායකට නිසැක වශයෙන් ම හොඳ හැටි දෙහි කපාවි යැයි විශ්වාස කළහ.

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා යන පක්ෂයේ නායකයෝ රැස්වීමට පැමිණි අවස්ථාවේ දී මෙම අමුතු සැරසිල්ල දැක මවිත වූහ. සිදු වූ සියල්ලත්, පොලිස් ස්ථානාධිපතිවරයා ගේ පක්ෂග්‍රාහී හැසිරීම ගැනත් කරුණු නො සඟවා දහනායක  තම පක්ෂයේ නායකයන්ට කියා සිටියේය.

අලු‍ත් විදියට සිතන, අලු‍ත් විදියට ප්‍රශ්නවලට මුහුණ දෙන තරුණ නායකත්වය ගැන පක්ෂයේ නායකයෝ අගය කළේ ප්‍රසිද්ධ රැස්වීමේ දී ය.

බළපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා