දුර්ග මාර්ගයේ පළමු රිය අනතුර


බස් රථ අනතුරු ඉතිහාසයේ ඉතාමත් ඛේදජනක බස් රථ අනතුරක් ලෙස, නුවරඑළිය-ගම්පොල මාර්ගයේ රම්බොඩ, ගැරඬිඇල්ල දුර්ග ප්‍රදේශයේදී ඉකුත් 11 දින අලු‍යම් කාලයේ සිදු වූ අනතුර හැඳින්විය හැක. එම අනතුරින් මේ වෙනවිට පුද්ගලයන් 23කු ජීවිතක්ෂයට පත්ව තිබේ. රම්බොඩ දුර්ග මාර්ගයේ පළමු රිය අනතුර සිදුව ඇත්තේ මීට වසර 177කට පෙරය. 1848 වර්ෂයේදී සිදුව ඇති එම අනතුරින් එහි ගමන් ගත් එක් අයෙකු හැර අන් සියලු‍ දෙනාම ඉන් ජීවිතක්ෂයට පත්වී ඇත. මාරාන්තික එම අනතුර සිදුව තිබුණේ ද ගැරඬිඇල්ලේ මෙම ස්ථානය ආශ්‍රිතවයි. 

කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථය රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අඩි සියයක පමණ දරුණු ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 23කු ජීවිතක්ෂයට පත්ව තවත් 35කට අධික පිරිසක් තුවාල ලැබූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් රැසක මේ වෙනවිටත් ප්‍රතිකාර ලබමින් පසුවෙති. 2005 වර්ෂයේ දී අලව්වේ, යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී සිදු වූ මාරක බස්රථ-දුම්රිය අනතුරින් මගීන් 41ක් ජීවිතක්ෂයට පත්වූහ. එම අනතුරින් පසුව මෙරට සිදු වූ දරුණුතම මෙන්ම ඉතාමත් ඛේදජනක බස් රථ අනතුර වන්නේ මෙම ගැරඬිඇල්ලේ බස් රථ අනතුරයි. 

2024 වර්ෂයේ දී මෙරට සිදුව ඇති මාරක රිය අනතුරු සංඛ්‍යාව 2262කි. එමෙන්ම වසරකට මෙරට බස් රථ අනතුරු විශාල ප්‍රමාණයක් සිදු වෙමින් පවතී. 2020 වසරේදී 2100ක්, 2021 වසරේදී 1526ක්, 2022 වසරේදී 2294ක්, 2023 වසරේදී 2745ක් සහ 2024 වසරේදී 2029ක් ලෙස මෙරට බස් රථ අනතුරු සිදුව තිබේ. 

රම්බොඩ යනු මෙරට පිහිටි තවත් එක් සොඳුරුතම මෙන්ම ත්‍රාසයෙන් පිරි ඉසව්වකි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව පිහිටි රම්බොඩ, දෙස් විදෙස් සංචාරකයන්ගේ තවත් එක් නවාතැනක් බවට පත්ව ඇත්තේ එහි ඇති අතිශය රමණීය වූ දිය ඇලි, මෙරට මහාමාර්ගයක පිහිටි දිගම උමං මග, සුදු අධිරාජ්‍යවාදී යුගයේ විශාල කළු ගලක් කපා තැනුව මාර්ග කොටස, සදාහරිත තේ වතු, සුදු අධිරාජ්‍යවාදී සමයේ ඉදිකරන ලද තේ කර්මාන්ත ශාලා මෙන්ම රම්බොඩ දුර්ග මාර්ග කොටස හේතුවෙනි.

නුවරඑළිය-ගම්පොල මාර්ගය යනු මෙරට පිහිටි මාර්ග පද්ධතියට අයත් තවත් එක් සුන්දරතම මහා මාර්ගයකි. එම මාර්ගයේ ගමන් කිරීමේදී රම්බොඩ නගරය හා රම්බොඩ ආශ්‍රිත මෙකී සොඳුරු පාරාදීසය හමු වේ. මෙහි ඇති වචනයෙන් කිව නොහැකි අතිශය සුන්දර දසුන් හේතුවෙන් දිනයේ සෑම අවස්ථාවකදීම දෙස් විදෙස් සංචාරකයන් නිරන්තරයෙන් ගැවසෙන අයුරු දැක ගන්නට ලැබේ. මෙම මාර්ගයේ ගමන් ගැනීමේදී හමුවන විවිධ භූ විෂමතා ලක්ෂණ මෙන්ම අති සුන්දර දසුන්වලින් සමන්විත වටපිටාව හේතුවෙන් එහි යනෙන ඕනෑම අයකුගේ සිතට දැනෙනුයේ ඉමහත් මිහිරියාවකි. මෙකී මාර්ගයේ ආරම්භයේ සිට අවසානය දක්වා ඇති බොහෝ සුන්දර දසුන් හා විශ්මිත නිර්මාණයන් හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා බොහෝ දෙනෙකු ගමන් කරනුයේ දැහැනට සම වැදුණු ආකාරයෙනි. 

මෙම මාර්ග කොටසේ ඇති අතිශය විවිධ වූ දුෂ්කරතාවන් හේතුවෙන් මාර්ගය නිර්මාණය කිරීමේදී සුදු අධිරාජ්‍යවාදීන් අතිශය දුෂ්කරතාවන්ට සහ විවිධ අපහසුතාවන්ට ලක්ව තිබේ. සුදු අධිරාජ්‍යවාදී සමයේදී මේජර් තෝමස් ස්කිනර් විසින් 1828 වර්ෂයේදී ගම්පොල නගරය දක්වා ගමන් කිරීම සඳහා කරත්ත පාරක් සකසන ලදී. එම මාර්ගය ඉන් අනතුරුව නුවරඑළිය දක්වා දීර්ඝ කිරීමේ කටයුත්ත සිදු කිරීමේ වගකීමද පැවරුණේ මේජර් තෝමස් ස්කිනර් වෙතයි. එවකට සුදු පාලකයන් විසින් ගම්පොල සිට නුවරඑළිය දක්වා දිවෙන මාර්ගය සකස් කිරීමේ කටයුතු මෙසේ මේජර් තෝමස් ස්කිනර්ට පැවරීමත් සමග ඔහු එම අභියෝගයට මුහුණ දෙන ලදී. ගම්පොල නගරයේ සිට නුවරඑළිය නගරය දක්වා අශ්ව කරත්ත සහ ගොන් කරත්ත යාම සඳහා මෙසේ මාර්ගය සකස් කිරීමේදී, රම්බොඩ ප්‍රදේශයේදී මේජර් තෝමස් ස්කිනර් උභතෝකෝටික ගැට‍ළුවකට මැදි වූයේ විශාල ගලක් හේතුවෙන් මාර්ගය ඉන් ඉදිරියට සකස් කිරීමට නොහැකිවීමෙනි.

මෙම ගල මග හැර මාර්ගය ඉඳිකිරීමට ප්‍රදේශයක් නොමැතිවීමත්, ගල කඩා මාර්ගය සකස් කළහොත් සිදු විය හැකි විශාල නායයෑමේ අවදානමත්, ගලට පහළ ප්‍රදේශයේ පවතින විශාල ප්‍රපාතයත් හේතුවෙන් මෙම ගැට‍ලුවට ඔහු මුහුණ දෙන ලදී. පසුව ඉතාමත් පරිස්සම් ආකාරයෙන් සීරුවට එම ගල් පර්වතය විද, ස්වභාව ධර්මයේ විස්මිත වූත්, අතිශය දර්ශනීය වූත් මාර්ග කොටසක් මෙරට මාර්ග පද්ධතියට එක් කිරීමට මේජර් තෝමස් ස්කීනර්ට හැකියාව ලැබිණි. ගල විද තැනුව එම මාර්ග කොටස 2008 වර්ෂය වෙන තෙක් රථවාහන ධාවනයට භාවිතා කරන ලද අතර, වර්තමානය වෙනවිට වුව එම ස්ථානයෙන් අපහසුවකින් තොරව රථ වාහන ධාවනය කිරීමේ හැකියාව පවතී. 

පසු කාලීනව නුවරඑළිය-ගම්පොල මාර්ගය මංතීරු දෙකක් වෙන පරිදි කාපට් අතුරා සංවර්ධනය කිරීමේදී, මෙම රම්බොඩ ගල විද්ද කපොල්ල පැවැති ස්ථානයේ මාර්ග කොටස ඉවත් කොට ඒ සඳහා දර්ශනීය උමං මාර්ගයක් සකස් කරන ලදී. මෙරට මාර්ගයක් හරහා ඉදිකොට ඇති දිගම උමං මාර්ගය මෙය වෙන අතර, එය දිගින් මීටර් 225කි. මීටර් හතක පළලකින් ධාවන මංතීරු දෙකකින් සමන්විත වෙන සේ සකස් කොට ඇත. 2008 වසරේ පෙබරවාරි මස 24 වැනිදා මෙම උමං මාර්ගය විවෘත කිරීමත් සමග එතෙක් භාවිත කළ, සුදු අධිරාජ්‍යවාදීන් නිර්මාණය කරන ලද විශ්මිත ගල විද්ද ස්ථානය සහිත මාර්ග කොටස රථවාහන ගමනාගමනයට වසා දමන ලදී. මේ වෙනවිට එම කොටස පදිකයන් සඳහා වෙන් කොට තිබේ. එහෙත් එම ස්ථානය මේ වෙනවිට විවිධ හේතුත් හා නඩත්තු නොකිරීම නිසා අතීත සුන්දරත්වයට තර්ජනයක්ව පවතී. 

ගිරිදුර්ග අතරින් මෙරට පැරණි මහා මාර්ග සැකසීමේදී එකල ඉංජිනේරුවන් හට කෙතරම් බාධා කම්කටොලු එල්ලවෙන්නට ඇතිදැයි යන්න පිළිබිඹුවන මෙවන් දුර්ලභ ස්ථාන මතු පරපුරටත් දැක බලා ගැනීමට ඉඩ සැලසීම සඳහා මේවා විනාශ වී යාමට ඉඩ නොදී සංරක්ෂණය කළ යුතුව ඇතැයි රම්බොඩ වැසියෝ පවසති.

රම්බොඩ අවට පිහිටි සුන්දර දිය ඇලි සමූහය හේතුවෙන් රම්බොඩ ආශ්‍රිත ප්‍රදේශය තව තවත් සුන්දර වී පවතී. එමෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගෙන් නිරන්තරයෙන් පිරී පවතී. ගැරඬිඇල්ල, රම්බොඩ ඉහළ ඇල්ල, රම්බොඩ මධ්‍යම දිය ඇල්ල, රම්බොඩ පහළ ඇල්ල, පුනා ඇල්ල, හෙල්බොඩ දිය ඇල්ල, ඉහළ දේවතුරා ඇල්ල, පලාගොල්ල කඳුර ආදී මෙකී දිය ඇලි එම ප්‍රදේශයට ගෙනෙනුයේ වචනයෙන් කිව නොහැකි අතිශය චමත්කාරයකි. එපමණක් නොව ඒවා මෙරටට ඩොලර් උපයන උල්පත් බවට පත්ව තිබේ. 

මෙම මාර්ගය කෙතරම් සුන්දර වුවද එය භාවිත කරනු ලබන රියැදුරන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් විවිධ රිය අනතුරු සිදු කර ගනිති. මෙම මාර්ගයේ සිදු වූ පළමු මාරාන්තික අනතුර ලෙස වාර්තා වූයේ කරත්ත අනතුරකි. කොළඹ වරායට සුදු අධිරාජ්‍යවාදීන් විසින් 1848 වසරේදී “අර්ල් ඔෆ් හාඩ්වික්” නමැති නැවෙන් ගෙන්වන ලද ගවයන්, බැටළුවන්, ඌරන්, කුකුළන් ආදී සතුන් හා එළවළු බීජ මෙන්ම තවත් බඩුභාණ්ඩ ආදිය කොළඹ සිට නුවරඑළියට රැගෙන එන ලද්දේ ගොන් කරත්ත මගිනි. එම කරත්ත පෙළ භාරව කටයුතු කරන ලද්දේ එච්. පර්ක්ස් නමැති සුදු ජාතිකයෙකි. ඔවුන් පැමිණි කරත්ත පෙළ රම්බොඩ දුර්ග මාර්ගයේ ගැරඬිඇල්ල ආශ්‍රිත ප්‍රදේශය ඔස්සේ ගමන් කරමින් තිබිය දී එහි එක් කරත්තයක් පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ. එම අනතුරින් එහි ගමන් කරමින් සිටි එච්. පර්ක්ස් නමැත්තා හැර අනෙකුත් සියලු‍ පිරිස ඉතාමත් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූහ.

එදා එම කරත්ත අනතුර මෙම මාර්ගයේ සිදු වූ ප්‍රථම අනතුර ලෙස වාර්තා වී ඇති අතර, එදා සිට පසුගිය 11 දින සිදු වූ බස් අනතුර දක්වා මෙම මාර්ග කොටසේ රථවාහන අති විශාල ප්‍රමාණයක් විවිධ අනතුරුවලට ලක්ව තිබේ. ඉන් වටිනා මිනිස් ජීවිත රැසක් අපට අහිමි වී ගොස් ඇත. කාපට් අතුරා මාර්ගය සංවර්ධනය කිරීමෙන් අනතුරුව, මෙහි සිදුවෙන මාරක රිය අනතුරු ප්‍රමාණය ඉහළ ගොස් පවතී. ඊට ප්‍රධානතම හේතුව වෙන්නේ, මාර්ග නීති සහ උපදෙස් මායිම් නොකොට රිය ධාවනය කරනු ලබන රියැදුරන් හේතුවෙනි. එමෙන්ම අතිශය භයංකර ප්‍රපාතයන් සහිත බොහෝ මාර්ග කොටස්වල නිසි පරිදි ආරක්ෂක වැටවල් සකස් කොට නොමැති සේම, ඇතැම් ස්ථානවල ආරක්ෂක වැටවල් රිය අනතුරු හේතුවෙන් කැඩී බිඳී ගොස් ඇතත්, ඒවා නැවත සකස් කිරීමක් සිදු කොට නොමැත. එසේම අනතුරු සහිත ස්ථානවල රියදුරන්ට ඒ බව දැනගැනීම උදෙසා දැන්වීම් පුවරු නොමැතිවීම මෙම මාර්ගයේ දැකිය හැකි තවත් අඩුපාඩුවකි. එමෙන්ම දුර්ග හා ප්‍රපාතයන් සහිත උඩරට මාර්ග සමීපයේ පිහිටි ප්‍රාදේශීය රෝහල්වල දැඩිව පවතින මානව සම්පත්වල සහ භෞතික සම්පත්වල හිඟය හා අඩුපාඩු කම් පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතුව තිබේ. ගැරඬිඇල්ලේ ඛේදවාචකයෙන් තුවාල ලැබුවන් රැගෙන යන ලද ප්‍රාදේශීය රෝහල් සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කළහොත් මේ බව වැටහෙනු ඇත‍. 

රම්බොඩ දුර්ග ප්‍රදේශයේ සිදුවෙන රිය අනතුරුවල දී ඉන් තුවාල ලබන පිරිස් කඩිනමින් රැගෙන යාමට සමීපයේ පිහිටි රෝහල, කොත්මලේ ප්‍රාදේශීය රෝහලයි. නමුත් එම රෝහලෙහි පවතින අල්ප පහසුකම්, රිය අනතුරුවලින් මාරාන්තික තුවාල ලබන පිරිස් ගලවා ගැනීමට ප්‍රමාණවත් නොවේ. එම තත්ත්වය ගැරඬිඇල්ල බස් රථ අනතුරින් මනාව පිළිබිඹු විය. දුර්ග හා අනෙකුත් දැඩි ප්‍රපාතයන් සහිත මාර්ග පිහිටි ප්‍රදේශයන්හි පවතින රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ කාලය එළඹ තිබේ. එම රෝහල් වැඩි දියුණු කළහොත් වටිනා මිනිස් ජීවිත රැසක් බේරා ගැනීමේ හැකියාව සෞඛ්‍ය අංශයට උදා වෙනු ඇත. ගැරඬිඇල්ල බස් රථ අනතුර අපට කියා දුන් එකම පාඩම එය බව කිව යුතුය.