අගෝස්තු 18 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ (2025 - 27) නිලවරණයේදී සභාපති ධූරයට නාම යෝජනා තුනක් ඉදිරිපත්වී තිබේ. මලල ක්‍රීඩා ආයතනයේ එළඹෙන නිලවරණයේ දී 17 දෙනෙකුගෙන් සමන්විත නව විධායක සභාව පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම අඟහරුවාදා (29) අවසන් විය.
ඒ අනුව සභාපති ධූරයට හිටපු සභාපතිවරයෙකු වන සුනිල් ගුණවර්ධන, වෙෙළඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ප්‍රසන්න ඉන්දික හා ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ වත්මන් සභාපති, හිටපු නියෝජ්‍ය පොලිස්පති උපාලි කුමාරසිරි යන අය එසේ සභාපති ධූරයට නාමයෝජනා භාර දුන්නෝ වෙති.
ප්‍රධාන ලේකම් ධූරය සඳහා හිටපු කෙටි ධාවන ශූර ෂෙහාන් අඹේපිටිය, එන්.එස්.ඒ.එම්.බී. සෙනෙරත් හා වෛද්‍ය ධම්මික සේනානායක යන අය නාමයෝජනා බාරදී තිබේ. භාණ්ඩාගාරික ධූරය සඳහා එච්. ආර්.කේ. හේවගේගේ නාම යෝජනාව පමණක් ඉදිරිපත්ව තිබෙන බැවින් ඔහු ඊට නිතරගයෙන් පත්වීමට නියමිතය.
නිලවරණයෙන් පත් කර ගන්නා උපසභාපති ධූර දෙක සඳහා නාමයෝජනා අටක් ඉදිරිපත්ව තිබේ. කෙසේවුවත් උපභාණ්ඩාගාරික ධූරයට එස්.එම්. ජයසිංහගේ නාමයෝජනාව පමණක් ඉදිරිපත් වීමෙන් ඔහු එම ධූරයට නිතරගයෙන් පත් වේ. උපලේකම් ධූර දෙකක් සඳහා ඉදිරිපත්ව ඇති නාමයෝජනා ගණන පහකි.
මලල ක්‍රීඩා ආයතනයේ අගෝස්තු 18 වැනිදා පැවැත්වෙන නිලවරණයේ දී විධායක සභාවේ සභික ධූර නවයක් සඳහා ලැබී තිබෙන නාමයෝජනා ගණන 20 කි. හිටපු ආසියානු ශූරතා පදක්කම්ලාභී ප්‍රසන්න අමරසේකර ඇතුළු හිටපු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීප දෙනෙක්ද ඒ අතර සිටිති.
හිටපු හෙල්ල විසි කිරීමේ ජාතික ශූරයෙකු වන පී.කේ. අළුවිහාරේ උපසභාපති හා විධායක සාමාජික යන ධූර දෙකකට නාම යෝජනා බාරදී තිබේ.
නාමයෝජනා සඳහා යොමු කෙරෙන විරෝධතා බාරගැනීම අඟහරුවාදාම ආරම්භ වූ අතර එය අගෝස්තු 1 වැනිදා දක්වා සිදු කෙරේ. විරෝධතා විභාගයට ගැනීම අගෝස්තු 1වැනිදා සිට 4 වැනිදා දක්වා සිදු කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කෙරේ.
වත්මන් සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු හා වත්මන් ලේකම් සමන් කුමාර ගුණවර්ධන ජාතික ක්‍රීඩා සංගම් නව රෙගුලාසිවලට අනුකූලව මෙවර නිලවරණයට ඉදිරිපත්වී නැත.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයට ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමු වේ. ඒ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පදක්කම් වැඩිම ගණනක් වාර්ෂිකව දිනාගන්නා ක්‍රීඩා ඉසව්ව බවට එය පත්ව තිබීමය. වසර හතරක පාලන කාලයක් අගෝස්තු 18 වැනිදාට ගෙවා අවසන් කරන වත්මන් සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුගේ පසු ගිය නිල කාලය තුළදී ශ්‍රී ලංකාව දිනාගත් ජාත්‍යන්තර පදක්කම් ගණන 100 කට වැඩිය.
මෙරට ජාතික ක්‍රීඩා සංගම් අතරින් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වාර්ෂිකව වැඩිම ප්‍රතිලාභ ලබාගැනීමට සමත්ව සිටින්නේද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයයි. ඒ ජාත්‍යන්තර තරග සංචාර වැය කිරීම් සඳහාය. පසුගිය කාලය පුරා කවර රජයක් යටතේ වූවද පත්වූ ක්‍රීඩා ඇමැතිවරුන් ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ දී කිසිදු වෙනසක් නොපෙන්වීම එහිදී කැපී පෙනුණි. මේ නිසා සමහරු ක්‍රීඩා ‘අමාත්‍යාංශය’ මලල ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස හැඳින්වීමට ද උනන්දුවී තිබුණි.
එම තත්වය පිළිබඳව මලල ක්‍රීඩා ආයතනයේ වත්මන් සභාපති පාලිත ප්‍රනාන්දු පැවැසුවේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිය ආයතනය ලබා ගන්නා එම අරමුදල්වලට නිසි වටිනාකමක් ලබාදීමට සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වීම තුළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය රටට ණයකරුවෙකුවී නැති බවයි.
දැන් අපි නැවතත් 2025 - 27 මලල ක්‍රීඩා නිලවරණය දෙසට හැරෙමු. මෙවර අපේක්ෂකයන් තිදෙනෙකු සභාපති ධූරයට නාම යෝජනා බාරදීමේ දී ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධනට විශේෂ අවධානයක් යොමුවී තිබේ. වසර 2001- 02 සමයේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (සංගමයේ) මීට පෙර සභාපති ධූරය දැරූ ඔහු යළි වසර 24 කට පසුව මලල ක්‍රීඩා පරිපාලනයට පිවිසීමට උනන්දුවී සිටීම එහිදී අවධානයට යොමු වේ.
එවකට ක්‍රීඩා ඇමැති ධූරය දැරූ එස්.බී. දිසානායකගේ ප්‍රධානතම උපදේශකවරයා වූ ඔහු එයද යොදා ගනිමින් මෙරට මලල ක්‍රීඩාවට එදා විශාල මෙහෙවරක් කළ බව ක්ෂේත්‍රයේ පිළිගැනීමයි. සුනිල් ගුණවර්ධන ඊටත් වඩා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ මෙරට වඩාත්ම සාර්ථකම මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙසිනි.
ආසියාවේ කළු වෙළඹ ලෙස එදා හැඳින්වූ ආසියානු රන් පදක්කම්ලාභී හිටපු සුපිරි මලල ක්‍රීඩිකා දමයන්ති දර්ශා ඇතුළුව ඉහළම ජාත්‍යන්තර පදක්කම් දිනූ මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ පෞද්ගලික පුහුණුකරු වූයේද සුනිල් ගුණවර්ධනය.
මෙරට මලල ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයක් ලෙස මලල ක්‍රීඩා සංගමයේ ඔහුගේ එදා පාලන කාලය හැඳින්වීමට එදා බොහෝ දෙනෙක් උනන්දු වූහ. එහි වරදක් නොවන්නේ ශ්‍රී ලංකාවට දෙවැනි ඔලිම්පික් පදක්කම වසර 52 කට පසුව මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ විසින් වසර 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී දිනා දෙන විට මලල ක්‍රීඩා සංගමයේ මුල් පුටුව හොබවමින් සිටියේ ගුණවර්ධන වීමය.
නමුත් මෙදා ඔහුට නිතරග පත්වීමකට බාධාවක්වී ඇත්තේ වෙෙළඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ප්‍රසන්න ඉන්දිකය. ඔහු මලල ක්‍රීඩා ආයතනයේද වත්මන් උප සභාපතිවරයෙකි.
මෙවර මලල ක්‍රීඩා මුල් පුටුවට අයැදුම් කිරීම ගැන අදහස් දක්වන මලල ක්‍රීඩා ආයතනයේ වත්මන් උපසභාපතිවරයෙකු ද වන ප්‍රසන්න ඉන්දික මෙසේ පැවැසීය.
“වෙෙළඳ සේවා සංගමයට මෙරට මලල ක්‍රීඩාව දියුණු කරන්න විශාල දායකත්වයක් ලබාදෙන්න හැකියාවක් තිබෙනවා. අපේ සංගමයට පෞද්ගලික සමාගම් හා ආයතන අසූ ගණනක් සම්බන්ධවෙලා ඉන්නවා.
මගේ පත්වීමේ පළමු උත්සහය තමයි එම ආයතන සම්බන්ධ කර ගෙන ජාතික සංචිතයට තේරෙන රැකියාවක් නැති හැම ක්‍රීඩකයෙකු, ක්‍රීඩිකාවකටම රැකියාවක් සොයා දීම. ඒක අපට තරම් පහසුවෙන් වෙන කිසිම පාර්ශ්වයකට කරන්න බෑ.
සභාපති ධූරයට සුනිල් ගුණවර්ධනට ඉඩ දීලා ඔහුගේ විධායක සභාවේ උප සහාපතිවරයෙක් වෙන්න කියලා ඒ පාර්ශ්වයේ සමහරු මගෙන් ඉල්ලීම් කෙරුවා. නමුත් ඔය උප සභාපති ධූරයේ ඉඳලා ලබපු අත්දැකීම් මම හොඳට දන්නවා. ඒ තනතුර නාමමාත්‍රික විතරයි. මාව පසුගිය කාලයේ තියාගෙන හිටියෙත් තනතුරේ නමට විතරයි.
මම නිලවරණයට ඉදිරිපත් වුණේ ලොකු විශ්වාසයක් තියා ගෙනයි. නමුත් මම නිලවරණයේදී පැරදුණොත් එදාම මම මලල ක්‍රීඩා පරිපාලනයෙන් සමුගන්න තීරණයක් ගෙන තිබෙනවා”
මෙදා මලල ක්‍රීඩා නිලවරණය තුන් කොන් සටනක් ලෙස පෙනුණත් සැබැවින්ම එය සුනිල් ගුණවර්ධන හා ප්‍රසන්න ඉන්දික අතර දෙකොන් සටනක් බවට පත්ව තිබෙන බව ක්ෂේත්‍රයේ බහුතරයකගේ මතයයි. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ වත්මන් සහාපති උපාලි කුමාරසිරි මෙවර මලල ක්‍රීඩා නිලවරණයේ දී සභාපති ධූරයට නාමයෝජනා භාර දුන් සෙසු අපේක්ෂකයායි.
වසර අටක් වන නිල කාලයන් දෙකක් ගෙවා දැමූ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු අගෝස්තු 18 වැනිදා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති ධූරයෙන් සමුගනියි. ඔහු ගැන විශේෂයෙන් සඳහන් කළ යුත්තේ වඩාත් අභියෝගාත්මක පාලන කාලයක් ඔහු ගෙවා අවසන් කළ බවයි.
විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් පසුව අනුග්‍රාහකයන් ක්‍රීඩාව හැර ගොස් තිබූ අවධියක් පසු කරමින් වූවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධාන දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂික ජාත්‍යන්තර තරග සහභාගිත්වය පසු ගිය කාලය පුරා සාර්ථක කර ගනිමින් එයින් උසස් ප්‍රතිපල ශ්‍රී ලංකාවට අත් කර ගැනීමටත් ඔහු මෙහෙයවූ වත්මන් මලල ක්‍රීඩා විධායක සභාවට හැකි විය.
මලල ක්‍රීඩා ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඇතැම් විදෙස් තරග සංචාර අවස්ථාවලදී වියදම් මුදල් සොයාගැනීමේ දුෂ්කරතා මෙන්ම ප්‍රමාදයන් ඇති වන අවස්ථාවලදී පියවාගැනීම් පසුවට තබා ඒ සඳහා ඔහුගේ සාක්කුවෙන් මැදිහත්වීම් කළ අවස්ථාද තිබී ඇත.
දශක තුනකට ආසන්න කාලයක් පුරා මලල ක්‍රීඩා ජාතික දත්ත සටහන්කරු ලෙස කටයුතු කරමින් මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් ධූරයට පත්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යක්ෂ ධූරයේ වැඩ බැලූ සමන් කුමාර ගුණවර්ධන හා හාණ්ඩාගාරික ශාන්ත ද සිල්වා යන අයගෙන් ඇතුළුව විධායක සභාවෙන් ලැබුණු සහයෝගය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ගෙවී අවසන් වන සාර්ථක පාලනයකට දායක විය.
නාමල් පතිරගේ