නිරුවත් දෙපයින් ශීත හිම මිදෙන කැනඩා දේශයට ගොස් බිංදුවෙන් පටන්ගෙන, අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කර ජීවිතය ජයගත් ඔහුගේ කතාව ගැන අප මීට පෙර ලියා ඇත. සාර්ථක වූ ඒ අපූරු මිනිසාගේ ජීවිත කතාව අලළා සිනමා නිර්මාණ කිරීමට පවා ඉල්ලීම් ඔහු හට ලැබෙමින් තිබේ. තමුන්ගේම කර්මාන්තශාලාවක් පවත්වාගෙන යමින් සාර්ථක වී සිටින මේ මිනිසා, යන්ත්‍ර සමග ගැටෙමින් ජීවිතය ගෙවා දමමින් සිටිය ද, යාන්ත්‍රික නොවූ ඔහු හදවතින්ම කලාකාමි චරිතයකි. අපේ කලා තරු එරටට ගෙන්වා, අතින් වියදම් කරමින් ප්‍රසංග සංවිධාන කිරීම ඔහු සිදු කරන්නේ කලාවට සංගීතයට ඇති ආදරය නිසාමය.
කැනඩා දේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම අප රටේ කලා තරු බොහොමයකට ඔහු කවුද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. දිගම කොණ්ඩයට හිමි ගිනස් වාර්තාවට හිමිකම් දරන ඔහු හදවතින්ම මිනිසුන්ට ආදරය කරන, ලෝකයට ආදරය කරන චරිතයකි. ඔහුට ද බොහෝ දෙනා හදවතින්ම ආදරය කරති. ආදරය බෙදමින් ආදරය ලබමින් කැනඩා දේශයේ ජීවත් වන ලාංකීය මෙම මිනිසා සුදේශ් මුතූනවගොන්නය. එරට වැඩි දෙනෙක් ඔහු අමතන්නේ ‘මුතූ’ යන නාමයෙනි. ඔහු වෙසෙන්නේ කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ටොරොන්ටෝ නුවර මේපල්හි ඇති මන්දිරයකට එහා ගිය සුවිසල් මාලිගාවක් බඳු නිවසකය. මෙහි ගෙවත්ත අක්කර කිහිපයකින් සමන්විතය. පරිශ්‍රය අද වන විට බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබේ. ඊට හේතුව මෙම මාලිගය ඉදිරිපිටදී දැකගත හැකි විසල් බුදු පිළිමවහන්සේ නිසාය. මෙනිසා මදක් නතරව මේ ගෙවත්ත දිහා නොබලා නොයන කෙනෙක් නම් නැති තරම්ය.
මේ ශාන්ත වූ බුදු පිළිමය ඇති ගෙවත්තේ කොණක සිට ඔහු ඒ බුදු පිළිමය දෙස බලා සිටී.
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැඟේවා
අවසන් වරට මගේ
ඇස් පියැවෙන මොහොතේ
බුදු හිමි රුව මට මැවී පෙනේවා...
දහසකුත් වූ බුදු ගුණ ගී අතරින්, සුදේශ් කැමැතිම ගීතය වෙන්නේ මංගල ඩෙනෙක්ස් ගයා ඇති එම ගීතයයි.
ඒ ගීතය අසමින් සිටි ඔහු වෙත අපි සමීප වූයෙමු.
මේ වගේ විසල් බුදු පිළිමයක් ලෝකයේ එහා කෙළවරේ සිට මෙහා කෙළවරේ ඇති කැනඩා දේශයට ගෙන ඒමට අදහස ආවේ කොහොම ද?
“මේ බලන්න මෙතැන ඇති ගස් දෙක දිහා. ඒ ගස් හරියට බෝ ගස් වගෙයි. ඒත් ඒවා බෝ ගස් නෙවෙයි. හැබැයි මට නම් දැනෙන්නෙම බෝ ගස් වගෙයි. බෝ පත් සුළඟට සෙලැවෙන විට නැගෙන සිලි සිලිය ඇහෙන්නෙ. එතැන සමාධි බුදු පිළිමයක් තිබුණොත් කොච්චර හොඳ ද කියලා මට හිතුණා. ඒ අතරේ වතාවක අපි නිවාඩුවකට ලංකාවට ගිහින් සිටියදී අනුරාධපුරයේ වඳින්න ගියා. එදා අපි නතර වුණ හෝටලය ඇති භූමියේ පරිසරය හරිම නිස්කලංකයි. එහි එක් ස්ථානයක බුදු පිළිමයක් පවා දැකගන්න ලැබුණා. අපේ ගෙවත්තේ ඇති බෝ ගස්වලට සමාන ගස් හෙවණේ මේ වගේ බුදු පිළිමයක් තිබුණොත් හොඳයි නේද කියලා මම මගේ බිරිඳ ඉරෝෂාට කිව්වා. ඇයත් ඒ ගැනම හිතමින් ඉඳලා තියෙන්නේ.”
සුදේශ් අද යථාර්ථයක් කර ඇත්තේ එදා ඔහුට ආ ඒ අදහසය. දැන් ඔහුගේ ගමනාන්ත නිවස්නය වෙන්නේ මෙම ස්ථානයයි.
“මෙහෙ වෙසෙන බොහෝ දෙනා කාලයෙන් කාලයට නිවෙස් මාරු කරනවා. මාත් එහෙම කළා. හැබැයි මින් පසුවට මැරෙනකල්ම අපි මේ ගේ මාරු කරන්නෙ නැහැ. මම හොයපු තැන තමයි මේ.”
සුදේශ්, බිරිඳ, සහ පුතුන් තිදෙනා වෙසෙන මේ මාලිග පරිශ්‍රයට පැමිණෙන අමුත්තන්, හිතවතුන්, සියලු දෙනා අද මේ තැනට ආ විට, බොහෝ වේලාවක් කාලය ගත කිරීමට රිසිය. ඊට විශේෂ හේතුව මේ පිළිම වහන්සේය. ඒ දෙස කොපමණ වේලාවක් බලා සිටිය ද එතැනින් නික්ම යාමට සිත් නොදේ. අනුරාධපුරයේ සමාධි පිළිමයේ මෙන් මෙම පිළිමයේ ඇති කලාත්මක බව අප සිත් පහන් කරවයි. පිළිම වහන්සේගේ සිරස දෙස දවසම වුව ද බලා සිටිය හැකිය. සුදේශ් මෙම පිළිමය ස්ථාපිත කර ඇත්තේ ඉහත සඳහන් කළ පරිදි, බෝ ගස් මෙන් වූ ගස් ඇති තැන නොවේ. හරියටම නිවෙස ඉදිරිපසට වෙන්නට නැගෙනහිර දෙසය.
“ගිම්හාන කාලයේදී මෙහෙට රාත්‍රී එකොළහ විතර වෙනකල් හිරු එළිය පතිත වෙනවා. උදේට බුදු පිළිම වහන්සේගේ සිරසට ඉහළින් හිරු නැඟ එන දසුන හරිම සුන්දරයි. ශීත කාලයේදී හැර ගිම්හානයේදී මම පාන්දරම එළියට බහිද්දී දකින්නේ ඒ දසුනයි. නිවෙසින් නිතරම එළියට යද්දී දකින්නේ බුදු පිළිමයයි. රාජකාරි ස්වභාවයේ කොච්චර ප්‍රශ්න තිබුණත් හිත නිවිලා තමයි ගෙදරින් පිට වෙන්නෙ. ඒ නිසා පිළිමවහන්සේ තැන්පත් කළ තැන ගැන අපට තියෙන්නේ ලොකු සතුටක්.”
එතකොට මේ විසල් බුදු පිළිමය කොහොමද මෙහෙට ගෙනාවේ? සෑහෙන පරිශ්‍රමයක් වෙන්න ඇති නේද?
“මට අවශ්‍ය වුණේ, කළු ගලින් නිර්මාණය කළ බුදු පිළිමයක් මෙහි තැන්පත් කරන්න. ඒ නිසා ලංකාවට ගිය වේලාවක ඒ වෙනුවෙන් කටයුතු සූදානම් කළා. ගලින් නෙළපු පිළිමයක් ඕනෑම කාලගුණයකට ගැළපෙනවා. ඒ ගැන කලින් සොය බලලා තමයි මම ඒ තීරණය ගත්තේ. පසුව බෝලගල ධම්මරතන ස්වාමින්වහන්සේගෙන් මේ වගේ පිළිමයක් නිර්මාණය කරගත හැකි විදිහ ගැන අසා දැනගත්තා. ඒ හිමි, පිළිම නිර්මාණය කරන තැන ගැන මට විස්තර ලබා දුන්නා. ඒ අනුව තමයි පිළිමය හදන අය හමුවෙන්න ගිය මම කිව්වේ මට අවශ්‍ය වෙන්නෙ සමාධි පිළිමය මෙන් වූ පිළිමයක් කියලා. එයාලා මේ පිළිම වහන්සේ නිර්මාණය කරන්න අවුරුද්දක විතර කාලයක් ගත කළා. මට අවශ්‍ය වුණේ 2024 දී කැනඩාවට මේ පිළිමවහන්සේ ගෙන එන්නයි. ඒත් හිතුවාට වඩා කල් ගියාම. එයාලා කිව්වේ අගෝස්තුවේදී නිම කර දෙන්නම් කියලයි. අගෝස්තු වන විට මෙහෙට ශීත කාලය ඇවිත්. ඒ කාලයේදී මේ විදිහට එළිමහනේ ඉන්න බැරි තරම්. ඒ නිසා මේ මාර්තුවේදී වැඩේ ඉවර කරලා දෙන්න කියලා මම එයාලට කිව්වා. මාර්තු අන්තිම වෙද්දී නැව්ගත කළා. නැවක ගෙන ඒමේදී කාලය අනුව තමයි මුදල් අය කරන්නේ. වැඩිපුර මුදල් ගෙවා ඉක්මනට එන නැවකින් පිළිමවහන්සේ ගෙන්වා ගැනීම සිදු කළා. නිවෙස කියූ සැණෙකින් අපේ හිත්වලට එන්නේ හිත නිවෙන කියන අරුතනේ. ඉතින් මේ බුදු පිළිමය තැන්පත් කළාම ඒ නිවීම තවත් අරුත්බර වුණා.”
වැඩමකළ මහ සඟරුවන සමග
මේ පිළිමය ගෙවත්තේ මේ විදිහට තැන්පත් කිරීමට පෙර ඔබට අවසර ගන්නත් වෙන්න ඇති නේද?
“වහලක් රහිත ඉදිකිරීමක් නොවන, ගෙවත්තේ ඇති පිළිමයක් නිසා විශේෂ අවසරයක් ගන්න අවශ්‍ය වුණේ නැහැ.”
එහෙම නම් අපට කියන්නකො මේ පිළිමවහන්සේ නිර්මාණය කර ඇති විදිහ ගැන විස්තරයක්? අපි සුදේශ්ගෙන් ඒ ගැන විමසා සිටියේ මෙහි ඇති විශාලත්වය නිසාමය.
“පිළිමවහන්සේ නිර්මාණය කිරීමේදී අඩි පහ හමාරක විතර නිර්මාණයක් අවශ්‍යයි කියලා මම කිව්වා. බර ගැන අවබෝධයක් මට තිබුණේ නැහැ. බුදු පිළිමය විතරක් නෙවෙයි, ගල් කණු, පුන්කළස් නිර්මාණය සහ මල් ආසනය සමග ඔක්කෝගෙම බර ටොන් 24ක් විතර ඇති.”
එලෙසින් ලංකාවේ සිට කැනඩාවට ගෙනා මෙම විසල් පිළිම වහන්සේ සහිත අනෙකුත් ශෛලමය නිර්මාණ කොටස් ගෙන්වීම වෙනුවෙන් සහ ගෙවත්තේ තැන්පත් කිරීමේ කටයුතු දක්වා සුදේශ් හට කැනේඩියානු ඩොලර් ලක්ෂයක් විතර වැය කිරීමට සිදු විණ. ඒ ගැන ඔහු කීවේ මෙවන් කතාවකි.
“මේ පිළිමය නිර්මාණය කිරීමේදී මම කිසිම අවස්ථාවක වැය වන මුදල ගැන හිතුවේ නැහැ. මට ඕනෑ වෙලා තිබුණේ මේ පිළිමවහන්සේ ගෙනැත් ගෙවත්තේ තැන්පත් කිරීමේ අදහස විතරයි. දැන් සෑම දාම උදේට දොර අරිද්දී මට පෙනෙන්නේ මේ බුදු රුව. ඒක ඇත්තටම මුදලකින් තක්සේරු කරන්න බැරි තරමේ දෙයක්. හිත නිවීම මුදලට කරගත හැකි දෙයක් නෙවෙයි.”
සුදේශ් බිරිඳ සහ දරු තිදෙනා
එසේ පවසන සුදේශ් හට මෙවැනි දේ කිරීමට බොහෝ නිදහස දී ඇත්තේ ඔහුගේ බිරිඳ ඉරෝෂාය. ඇය ද පිනට දහමට ආගමට වඩා ලැදි කුලුනුබර කාන්තාවකි. කෙනෙකුට පුළුවන් නම් තමාගේ හිත නිවෙන, නිවන තැන තමාගේ නිවෙස කරගන්න? එය ඔහු ලබන ආධ්‍යාත්මික සතුට නොවේද? සුදේශ් පසුගිය දා මෙම පිළිමවහන්සේ නිරාවරණය කළේ ටොරොන්ටෝවේ මිසිසුආගා විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කැනඩාවේ වැඩ වාසය කරන ස්වාමින්වහන්සේලා වඩම්මවා පිරිත් පින්කමක් සහ දානමය කටයුත්තක් සිදු කිරීමෙන් අනතුරුවය. මේ සියල්ල අවසන අද ඔබට ජීවිතයේ දැනෙන වෙනස මොන වගේ ද? අපි මේ හමුව අවසන සුදේශ්ගෙන් විමසීමු.
“වෙනදාට මම ගෙදරින් එළියට බැහැලා කාර් එකට නැගලා පිටත් වෙනවා. ඒත් අද එහෙම නැහැ. ගෙදරින් එළියට එද්දී වගේම කාර් එකට ඇවිත් සිටියදී එක්වර යන්න හිත දෙන්නෙ නැහැ. බුදු රුව දෙස බලා ඉඳලා තමයි යන්නේ. අද සෑම ගමනක්ම යන්නේ බුදුන් දැකලා වගේ හැඟීමක් අපට තියෙන්නේ. ඒ හැරත් ලංකාවෙන් එපිට රටක ජීවත් වෙන අයකුගේ නිවෙසක් ඇති ස්ථානයක මේ වගේ පිළිරුවක් තිබෙන්නේ මෙතැන විතරක් කියලා තමයි මට මෙහි සිටින හැමෝම කිව්වේ. හැබැයි මම මේ කටයුත්ත කළේ වාර්තාවක් තියන්න නෙවෙයි. අපේ හිත් නිවා ගන්නයි. කොච්චර මුදල් හම්බ කළත්, ජීවිතය කියන්නෙ මුදල් නෙවෙයි. ජීවිතයේ සෑම දෙයක්ම ඇති වෙනවා, නැති වෙනවා. ඒ අරුත අප වටහා ගෙන ඉන්නේ. අද මට මේ පරිසරය දැනෙන්නේ හරියට පන්සලකට ගියාක් මෙන් වූ හැඟීමක්. මේ පරිසරයට මම ආදරෙයි. මගේ හිත නිවෙන තැන මෙතැනයි.”
බාහිරව බලා මිනිසුන් ගැන නිශ්චය කිරීමේදී සමහර මිනිස්සු ගැන අප හිතන විදිහ වැරැදි විය හැකියි. බාහිර පෙනුමට වඩා සුදේශ් නැතහොත් මුතූ යනු, සිතිවිලිවලින් පොහොසත්, බොහෝ දෙනකුට ආදර්ශවත් මිනිසෙක් නොවේ ද? මුදල් හරි හම්බ කරන තරමට දනට පිනට හිත ගිය ඔහු, ලැබුණු ජීවිතයට රන් මිණි මුතු මෙන් අරුතක් සපයා ගත් මිනිසෙක් වග පෙනී යයි.
සටහන/ඡායාරූප
සඳුන් ගමගේ