ඩොලර් ගැටලුව විසඳන්න සිංහල-දෙමළ-මුස්ලිම් ’ඩයස්පෝරාවෙන්’ උදව්වක්


 

මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ බරපතළම තත්ත්වයකටය. ආර්ථික අර්බුදය විසඳාගත නොහැකිව සිටිය දී දේශපාලන අර්බුදයක් ද ඇතිවී තිබේ. මේ අර්බුද හමුවේ විසඳුමක් නොදකින ජනතාව තමන් පත්වී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා අරගලයකට යොමු වී ඇත. මෙම අරගලයට සහාය දැක්වීම සඳහා ලෝකයේ බොහෝ රටවල සිටින ශ්‍රී ලාංකික ජනතාව ද උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කර ඇත. මෙම තත්ත්වය නම් ශ්‍රී ලංකාවට කිසිසේත්ම සුබදායක නොවන තත්ත්වයකි.   

එමෙන්ම මෙම තත්ත්වය උදාවීමට ටික දිනකට පෙර ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් යම් සහයක් ලබාගැනීම සඳහා දෙමළ ඩයස්පෝරාවේ සහාය අවශ්‍ය බවත් ඒ සඳහා දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් ජනාධිපතිතුමා කිහිප අවස්ථාවකදීම ප්‍රකාශ කර තිබුණි.   
මෙම ප්‍රකාශය ඇසූ පමණින් ඇතැමුන්ගේ සිතට නැගෙන්නේ කුහුලකි. එයට හේතුව වන්නේ ඩයස්පෝරාව යන වචනයෙහි සැබෑ අරුත නොදැනීම නිසාත්, එම වචනයෙහි සැබෑ අරුත සඟවා ඇතැම් පිරිස් විවිධ පටු අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ඩයස්පෝරාව යන වචනය භාවිත කිරීම නිසා බොහෝ දෙනෙකුගේ සිත් තුළ මෙම කුතුහලය, සැකය ඇතිවීමය. මේ අනුව පසුගිය දශක කිහිපය මුළුල්ලේම කොටි ඩයස්පෝරාව යන වචනය භාවිත කිරීම නිසා දෙමළ ඩයස්පෝරාව යන වචනය භාවිත කිරීමත් සමඟම බොහෝ දෙනෙකු තැතිගැන්මට ලක්වී ඇත.   


කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයකි. එයට යම් ආකාරයකින් සහාය දැක්වූ විදේශගත පිරිසක් හැඳින්වීමට කොටි ඩයස්පෝරාව යන වචනය භාවිත විය. ලෝකයේ බොහෝ තවත් ත්‍රස්තවාදී සංවිධාන ඇත. එසේ නම් ඒවාට යම් ආකාරයකින් සහාය දක්වන විදේශගත වූ පිරිස් ද සිටිති. එසේ සහාය දක්වන්නන් ද ඒ ඒ සංවිධානවල නම් මුලට දමා ඩයස්පෝරාව ලෙස හැඳින්විය යුතුය. ලෝකයේ එවන් භාවිතාවක් නොමැත. ත්‍රස්තවාදී කණ්ඩායමකට විදේශගතව සිට සහාය දක්වන්නන් එම ත්‍රස්තවාදී කණ්ඩායමේ නාමය සහිතව ඩයස්පෝරාව ලෙස හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ පමණි. ලෝකයේ වෙනත් කිසිදු තැනක එසේ හැඳින්වීමක් නොමැත.   


ලෝකයේ මේ වන විට ඩයස්පෝරා යන වචනය භාවිත කරනු ලබන්නේ විවිධ අරුත් සහිතවය. එහෙත් එය අතීතයේ දී භාවිත කරනු ලැබුවේ නොයෙකුත් හේතු නිසා තම මවුරටින් පිටව ජීවත්වන යුදෙව් ජාතිකයන් හැඳින්වීමටය. එමෙන්ම පසුගිය වකවානුවේ තමන් උපන් බිමෙන් පිටව ජීවත්වන අප්‍රිකානු සම්භවයක් සහිත මිනිසුන් හැඳින්වීමට ද ඩයස්පෝරාව යන වචනය යොද‌ා ගන්නා ලදී. එය එසේ වුව ද අසූව දශකයේ රටින් රට සංක්‍රමණය වන පිරිස අධික වූ හෙයින් සෑම සංක්‍රමණික පිරිසක්ම හැඳින්වීමට භාවිත කරනු ලැබුවේ ඩයස්පෝරාව යන වචනයය.   
මෙම වචනය භාවිත කිරීම පිළිබඳව සමස්තයක් ලෙස ගත් කල කුමන හේතුවක් නිසා හෝ තමන්ගේ මවු රටින් පිටවී වාසය කරන්නන් ‘විසිර ජන ප්‍රජාව’ ලෙස පොදුවේ හැඳින්විය හැකිය. විසිර ජන ප්‍රජාවක් යනු කවරාකාර වූ තත්ත්වයක පිරිසක් දැයි හඳුනා ගැනීමට සමහර විද්වතුන් උත්සාහ දරා ඇත. එයට එක් උද‌ාහරණයක් නම් ඉංග්‍රීසි ජාතික ‘කිම් බට්ලර්’ නම් විද්වතා විසින් නිර්ණායක හතරක් ඔස්සේ මේ සම්බන්ධයෙන් විසඳුමක් සොයන්නට උත්සාහ දරා ඇත. ඔහුට අනුව ඩයස්පෝරාවක් හෙවත් විසිරි ජනකොටසක් ලෙස තීරණය කිරීමට නම් යම් ජන කණ්ඩායමකට අයත් පිරිසක් අවම වශයෙන් රටවල් දෙකක හෝ සැරිසරා තිබිය යුතුය. ඔවුන් මනඃකල්පිත හෝ සැබෑ මවුරටක් සමග සම්බන්ධකම් පැවැත්විය යුතුය. එසේම තමන්ගේ අනන්‍යතාව ගැන වැටහීමක් තිබිය යුතුය. ඒ විසිරි ජන කණ්ඩායම අවම වශයෙන් පරම්පරා දෙකක්වත් තම මවුරටින් පිටව ජීවත් විය යුතුය. එහෙත් වර්තමානයේ පවතින තත්ත්වයන් හමුවේ ඉහත දැක්වෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම මේ හා ගැළපිය නොහැක. ඒ නිසා ඉහත නිර්ණායක ඔස්සේ දක්වන අර්ථ නිරූපනය මදකට ඉවතලා කටයුතු කිරීමට සිදුවේ. ඒ නිසා යම්කිසි ජන කොට්ඨාසයක් කුමන හේතුවක් නිසා හෝ තමන්ගේ මවුරටින් පිටවී තමන් දැනට පදිංචිව සිටින රටේ සමාජයට සම්පූර්ණයෙන්ම අනුගත නොවී තමන්ගේ අනන්‍යතාවය රැකගනිමින් යම් දිනක තම මවුරටට ආපසු යෑමේ අපේක්ෂාවෙන් තම මවුරට හා සබඳතා පවත්වනවා නම් ඔවුන් විසිරි ජන කණ්ඩායමක් වශයෙන් හැඳින්විය හැකිය යනුවෙන් දැක්වීම වඩාත් උචිත වේ.   


ලෝකයේ අන් රටවල් මෙන්ම ශ්‍රී ලංකාවේද තම රටේ ජනතාව වෙනත් රටවල් කරා සංක්‍රමණය වීම පශ්චාත් යටත් විජිත යුගයේ පටන් අත්දකින ලද්දකි. පළමුව 1970 ට පෙර යුගයේ ධනවත් පවුල්වලට අයත් තරුණ කොටස් උසස් අධ්‍යාපනය සඳහා බටහිර රටවලට සංක්‍රමණය විය. සමහරු රැකියා පිණිස සංක්‍රමණය වූහ. 1970 පසු ඛනිජ තෙල් ආදායම ඉහළ යෑම නිසා මැදපෙරදිග රටවල ඇතිවූ ආර්ථික පිබිදීම හේතුවෙන් ලංකාවේ විශාල පිරිසක් පුහුණු, අර්ධ පුහුණු හා නුපුහුණු රැකියාලාභීන් ලෙස මැදපෙරදිග වෙත සංක්‍රමණය විය. ඒ අතර විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ලෙස ලාංකීය කාන්තාවෝ මැදපෙරදිගට විශාල පිරිසක් සංක්‍රමණය විය. ඉන් අනතුරුව විශේෂ සිදුවීමක් වන්නේ 1983 කළු ජූලිය නිසා විශේෂයෙන්ම දෙමළ ජනතාව බටහිර ලෝකය වෙත සංක්‍රමණය වීමය. ඊටත් අමතරව ආර්ථික, සමාජීය හා දේශපාලනිකව හේතූන් කරණකොට ගෙන සිංහල හා මුස්ලිම් ජනකොටස් හා ඇමරිකා එක්සත් ජනපදය කරා සංක්‍රමණය වන්නට විය. වි​ශේෂයෙන් යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, කැනඩාව හා     මැදපෙරදිග කලාපය මුල්කරගෙන ශක්තිමත් ශ්‍රී ලාංකික විසිරි ජන කොට්ඨාසයක් බිහිව ඇත.   


ලාංකේය විසිරි ජන කණ්ඩායම් අතරින් දශලක්ෂ එකහමාරකට වැඩි දෙමළ විසිරි ජන කණ්ඩායම වඩාත් ඉස්මතුව පෙනෙන්නට වූයේ වෙනම රාජ්‍යයක් උදෙසා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ගෙන ගිය අරගලයේදී ඔවුන් වෙත දෘෂ්ටිමය, මූල්‍යමය හා ප්‍රචාරාත්මක සහාය දැක්වීම නිසාය. මේ අතර සිංහල විසිරි ජන කණ්ඩායම් ප්‍රජාතාන්ත්‍රික හා ප්‍රජාතාන්ත්‍රික නොවන මාර්ග ඔස්සේ ලංකාවේ දේශපාලනික වෙනස්කම් ඇතිකිරීම උදෙසා බලය යෙදීම ද දැකිය හැකිය. සිංහල මෙන්ම දෙමළ විසිරි ජන කණ්ඩායම් ලංකාවේ දේශපාලන වෙනස්කම්, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, මානව අයිතිවාසිකම් හා නිදහස උදෙසා අන්තර්ජාතිකයේ බලපෑම ඉල්ලා සිටීමම දැකිය හැක. අවාසනාවකට මෙන් පසුගිය වකවානුවේ ලංකාවේ පැවැති බෙදුම්වාදී යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ විසිරි ජන කොට්ඨාස පිළිබඳව ධනාත්මක පැතිකඩ වැසී ඇත. ඒ හරහා පොදුවේ ලාංකේය විසිර ජන කණ්ඩායම් නිරන්තරයෙන්ම මවුරටට විරුද්ධ පිරිසක්ය යන මතය අපේ සමාජයේ මුල්බැස ගෙන ඇත.   

 


වර්තමානයේ ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බලන විට මෙම විසිරි ජනතාවගේ ප්‍රේෂණ ලංකාවට ඉතා වැදගත් වේ. එහෙත් වර්තමානයේ ලාංකික විසිර ජනතාව අතර ලංකාවේ ආර්ථිකය හා ප්‍රතිපත්ති පිළිබඳවත් දේශපාලන තත්ත්වය පිළිබඳවත් ඇත්තේ පැහැදිලි මතයක් නොවේ. ඇත්ත වශයෙන්ම කලකිරීමකි. එම නිසා ලාංකේය ආර්ථිකය ගොඩනැංවීමට කළ යුත්තේ ලාංකික විසිර ජනතාවගේ උපකාරය ලබා ගැනීමයි. එය නිකම්ම කළ හැක්කක් නොවේ. ඒ සඳහා එම විසිරි ජනතාවගේ විශ්වාසය අනිවාර්යයෙන් දිනාගත යුතුමය. එය නිකම්ම කළ නොහැක. විශ්වාසය දිනා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ විසිර ජනතාව පිළිබඳව කටයුතු කරන විශේෂ අංශයක් පිහිටුවා ඇතත් එයින් වඩාත් සාර්ථක කාර්යය භාරයක් සිදුවෙතැයි පෙනෙන්නට නොමැත.   
විසිර ජනතාව දෙස සුබදායි ලෙස බැලීමට කටයුතු කිරීමත්, ඔවුන් දිනා ගැනීමට කටයුතු කිරීමත් ලාංකික ආර්ථිකයේ ඉදිරි පිම්මක් පැනීමටම හොඳමට සෑහේ. එය වර්තමානයේ සිදුකළ හැකි කාලෝචිතම ක්‍රියාවකි. මුදල් අමාත්‍යාංශයෙන් මූල්‍ය වාර්තා කිහිපයක් සොයාගැනීමට මෙම ලියුම්කරුට හැකි විය. ඒ අනුව 2015 විසිරි ජනතාව විසින් ලංකාවට එවූ ප්‍රේෂණ මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6980 කි. මෙය රටේ වාර්ෂික අපනයන ආදායම හා සලකා බැලීමේදී අපනයන ආදායමෙන් 63% කි. මේ අතර මැදිපෙරදිගින් ලැබෙන ප්‍රේෂණ සමස්ත ප්‍රේෂණවලින් 55% කි. මෙමගින් වටහාගත හැකි කරුණ වන්නේ රටක ජනතාව විදේශ රටකට සංක්‍රමණය වීම ඔවුන් නියෝජනය කරන පවුල්වලට පමණක් නොව සමස්ථ රටේම ආර්ථිකයට විශාල තල්ලුවක් සපයන බවය.   


 පොදුවේ ගත් කල මිලියන එකහමාරක් පමණ වන දෙමළ විසිරි ජනතාව ව්‍යාප්තව සිටින්නේ යුරෝපය, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව යන රටවලය. සිංහල කණ්ඩායම් විශාල වශයෙන් දැකිය හැකිවන්නේ මැද පෙරදිග ආශ්‍රිත කලාපයේය. ඉතාලියේ හා කොරියාවේ වාසය කරන සිංහල විසිරි ජන කණ්ඩායම් තම මවුබිම හා පවත්වාගෙන යනු ලබන සබඳතා වෙනස්ය. රටේ පැවැති යුද වාතාවරණය නිසා විදේශ ගත වූ දෙමළ පිරිස් හා ලංකාව අතර දැඩි සබඳතාවයක් දක්නට නොලැබේ. දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් හා වංචා දූෂණ හේතුවෙන් ලාංකික විසිරි ජන කණ්ඩායම් ප්‍රේෂණ එවීමේදී සිටින්නේ කළකිරුණ තත්ත්වයකය.   


විසිරි ජන කණ්ඩායම් පිළිබඳව රජය මීට වඩා සොයාබැලිය යුතු අතර ඔවුන් සමග සුහදතාවය ද ඉතා ඉහළ මට්ටමකින් පවත්වාගත යුතුය. වර්තමානයේ ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය අනුව විසිරි ජන කණ්ඩායම් ගැන සුළුවෙන් නොතැකිය යුතුය. විදේශ කටයුතු අමාත්‍යාංශය විසිරි ජනතාව සමග කටයුතු කිරීමට මීට වඩා උත්සුක විය යුතුය. මීට වඩා වැඩි බරක් දැරිය යුතු වේ. විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළ යුතු වන්නේ ශ්‍රී ලාංකික විසිරි ජන කණ්ඩායම් රට හැරගිය හා රටට වැඩක් නැති පිරිසක් ලෙස නොසලකා ඔවුන්ගේ ද‌ායකත්වය රට වෙනුවෙන් ලබා ගැනීමය. විශේෂයෙන් මෙම විසිරි ජන කණ්ඩායම් ගැන රටේ පවතින සෘණාත්මක ආකල්පය ද ඉවත් කිරීමට කටයුතු යෙදිය යුතුය.   
ශ්‍රී ලාංකික විසිර ජන කණ්ඩායම්වල අනාගත ප්‍රාර්ථනා ශ්‍රී ලංකාව යන රටේ අභිවෘද්ධියට හා අන්තර්ජාතික වශයෙන් ලංකාව පිළිබඳ යහපත් දැක්මක් ලෝකයාට ප්‍රක්ෂේපණය කිරීමට කටයුතු කිරීම සඳහා අවස්ථාව ලබා දීමට කටයුතු කළ යුතුය.   


ශ්‍රී ලාංකික මෙම විසිරි ජන කණ්ඩායම් සම්පූර්ණයෙන්ම තම මවුබිම අතහැර නැත. එම නිසා ඔවුන් සමග වඩාත් සුහදශීලීව කටයුතු කරමින් ලංකාව සමග ඇති සබඳතා වඩාත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර නොපමාව ගත යුතුය.   


 ඒ සඳහා පළමුවෙන්ම ඩයස්පෝරාව යනුවෙන් හැඳින් වූ කල ලාංකික ජනතාව තුළ ඇතිවන බියජනක හැඟීම පහ කිරීමට කටයුතු කළ යුතුය. රටක විසිරි ජන කණ්ඩායම් සියල්ලම පොදුවේ ගත් කල ඩයස්පෝරා බව පහදා දිය යුතුය. මේ අනුව දෙමළ ඩයස්පෝරාව මෙන්ම සිංහල ඩයස්පෝරාවක් ද මුස්ලිම් ඩයස්පෝරාවක් ද ලාංකික ලෙස ලොව පුරා ඇත. එම නිසා ජනාධිපතිතුමා පවසන පරිදි දෙමළ ඩයස්පෝරාව සමග පමණක් නොව සිංහල හා මුස්ලිම් ඩයස්පෝරාව සමග ද සුහදතාවය වර්ධනය කරගෙන කටයුතු කළහොත් ලංකාවට ඇති අන්තර්ජාතික ගැටලුව මෙන්ම ඩොලර් ප්‍රශ්නයට ද සෑහෙන පිළිතුරක් සොයා ගැනීමට එතරම් අපහසු නොවනු ඇත.   

 

 

 

සටහන - කොත්මලේ 
රංජිත් සිසිර කුමාර සූරියආරච්චි