ඩීසල් -පෙට්‍රල් කටින් ඉරීමෙන් හැදෙන ලෙඩ


 

ඉන්ධන හිඟය ජනතාවගේ සෞඛ්‍යයට ද බෙහෙවින් බලපා තිබෙන බව රෝහල් ආරංචිමාර්ගවල සඳහන් වේ.  


මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ ඇතැම් ජනතාව අයථා ක්‍රම මගින් වාහනවල ඇති ඉන්ධන මාරු කිරීම නිසා බව වාර්තා වේ. මෙහිදී වාහනවලට ඉන්ධන පිරවීමේ දී එම ඉන්ධන කටින් උරා ඇද වෙනත් යමකට පිරවීම සිදුකරයි. ඉන්ධන පිරවීමේ සාමාන්‍ය ක්‍රමවේදයට පරිබාහිරව කරනු ලබන මෙම ක්‍රියාව නිසා බොහොමයක් දෙනාට විවිධ ශාරීරික ආබාධවලට මුහුණපෑමට සිදුවන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙවැනි සිදුවීම් නිසා රටපුරා රෝගී වූ පිරිස් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද සඳහන්ය.  


මේ පිළිබඳව අපි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතාගෙන් විමසීමක් කළෙමු.  
කලකට පෙර ගෘහස්ථ වශයෙන් බලපෑ විෂවීම් අද ​ෙවන විට සමාජගතව තිබෙනවා. හයිඩ්‍රො කාබනික් විෂද්‍රව්‍ය පරිසරයට මුදාහරින ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් වගේ දේවල්වලින් ගොඩක් විෂවීම් එකල සිද්ධ වුණේ කුඩා දරුවන් අතරේ. ඒ දේ දැන් වෙනස් වෙලා. පසුගිය දිනවල පැවැති ඉන්ධන අර්බුදයත් එක්ක වැඩිහිටියනුත් අද ​ෙවන විට පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් විෂවලට ලක්වන බවට වාර්තා වෙනවා. මෙයට ඉතා බහුලව බලපා තියෙන්නේ රටේ ඉන්ධන හිඟකම, උදාහරණයක් විදියට ගත්තොත් අපිට දැන් ඉන්ධන නැති නිසා බොහෝ දෙනෙක් ගෙවල්වල ඉන්ධන එක්රැස් කරගන්නවා. පසුගිය දිනවල ඉන්ධන ලබා දුන්නේ වාහනවලට පමණයිනෙ. ටැංකිවලට ලබා දුන්නෙ නැහැ. ඒ නිසා සමහර දෙනෙක් කළේ තමන්ගෙ වාහනයට තෙල් පුරවාගෙන ගෙදරට ගෙන ගොස් ගෘහස්ථ භාවිතය සඳහා ඩීසල් ටැංකියෙන් ප්ලාස්ටික් ටියුබයක් දමා කටින් උරලා තෙල් එළියට රැගෙන භාවිතයන්ට පාවිච්චි කිරීම. ඒ වගේම ටැංකිවලට පුරවාගෙන ආපු තෙල් ලොකු ගණන්වලට විකුණන්නත් පටන් ගත්තා. 


ටැංකිය සම්පූර්ණයෙන් පුරවාගෙන ටැංකියෙන් ටියුබ් එක දාලා කටින් අදිනවා. ඒ ප්ලාස්ටික් ටියුබ් එකෙන් ඇදීම හරහා සමහර වෙලාවට ඒ විෂ ශරීරගත වීම සිදුවෙනවා. මේ පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් යන තුනම හයඩ්‍රො කාබන් ලෙසයි හැඳින්වෙන්නේ. සාමාන්‍යයෙන් අපිට භූමිතෙල් ටිකක් අතට වැටුණ ගමන්ම ඒක කෙළින්ම වැලමිටට ගලාගෙන යනවා වඩාත් ඉක්මණින්. ඒ වගේම තමයි කටින් උරද්දිත් වෙන්නේ. කටින් අදිද්දි එය ඉතා ඉක්මනින්ම කටට ගිහින් බඩට යනවා. ඒ විතරක් නෙමෙයි පෙනහලුවලටත් එය සීඝ්‍රයෙන්ම ගමන් කරනවා. ඒ තුළින් පෙනහලුවලටත් ලොකු බලපෑමක් සිදුවෙනවා. ඒ තුළින් නිව්මෝනියා තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ත්‍රීවිල් රථ රියදුරන්, මෝටර් බයික් රියදුරන් කරන්නේ වාහනවල තියෙන ඒවා සේලයින් බටයක් මාර්ගයෙන් එළියට අදිනවා. කටින් උරලා තමයි ඒ තෙල් අදින්නෙ. ඒ තුළින් මේ විෂ ශරීර ගත වෙන්න පුළුවන්. මේ තුළින් පෙනහලුවලට විශේෂයෙන් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. මේවා ශරීර ගතවීම තුළින් අපස්මාරය වැනි ගැස්මක් ද ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම හෘදය වස්තුවේ රිද්මයට යම් යම් බලපෑම් ඇතිවිය හැකියි.  


මුඛය ආශ්‍රිත ප්‍රදේශවල තිබෙන්නා වූ රෝගී තත්ත්වයන් වන කැස්ස, හතිය, උගුර තුළ ඇතිවන්නා වූ අපහසුතාව හටගන්න පුළුවන්. දිගුකාලීන වශයෙන් ද පෙනහලුවල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හට ගැනීමේ ප්‍රවණතාව වැඩියි. ඒ නිසා මේ කරන අනතුරුදායක ක්‍රියාවලිය පිළිබඳව නිසි ආකාරව දැනුම්වත් විය යුතුයි. හයිඩ්‍රො කාබන් ඉතා විෂ සහිත සංයෝගයක්. මේ තුළින් සෞඛ්‍යමය වශයෙන් අනතුරක් ඇතිවෙන්නට පුළුවන් හානිකර ලෙස, නොනිසි ලෙස ටැංකියෙන් තෙල් එළියට ගැනීමට කටින් ඉරීම නිසා.  
යම් විදියකින් ඩීසල්, පෙට්‍රල් හෝ භූමිතෙල් මුඛ මාර්ගයෙන් ශරීරගත වුවහොත් නිවසේ දී බොහෝ වේලාවට කරන දෙයක් තමයි පොල්කිරි හෝ වතුර ලබා දීමෙන් වමනය යාමට සැලැස්වීම. වමනය යාමට සැලැස්වීම තුළින් අහිතකර තත්ත්වයක් තමයි ඇතිවෙන්නෙ. මොකද වමනය කිරීම තුළිනුත් මේ විෂ පෙනහලු කරා රසායනික සංයෝගයන් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ජනතාවට ඇත්තටම වැදගත් වෙනවා මේ සඳහා අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු ප්‍රථමාධාරය මොකක්ද කියන දේ. මොකද බලහත්කාරයෙන් වමනය කරවීමෙන් වැළකී සිටීම ඇත්තටම වැදගත් මේ හයිඩ්‍රො කාබන් විෂවීමේදී. ඒ නිසා මෙවැනි දෙයක් සිදුවුවහොත් වහාම රෝහල්ගතවීම තමයි සුදුසුම දේ. එවිට රෝහල් පාලන තත්ත්වයන් යටතේ අවශ්‍ය කරන නිසි ප්‍රතිකාර සිදුකිරීමේ හැකියාව තියෙනවා.  


මේ දේවල් අත්‍යවශ්‍යම දේකදි නිසි ලෙස හරි විදියට කරන්න ඕනෑනම් කළ යුතු වන්නේ ප්ලාස්ටික් සිරින්ජරයක් ටියුබ් එකට දාලා ඒ තුළින් උරා ගැනීම. නැතහොත් බයිසිකල් පොම්පයක් වගේ එකකිනුත් වායුව උඩට ඇද්දම මේවා ටැංකියෙන් එළියට ගන්න පුළුවන්.  


 පසුගිය කාලෙ වාහනයට අවශ්‍ය තෙල් උපරිමව යොදාගෙන ඒවා ඇදලා එළියෙ විකිණීම අලුත්ම ට්‍රෙන්ඩ් එකක් වුණානේ. ටැංකියට තෙල් ගහනවා. ඒවා බෝතල්වලට දාලා වැඩි ගානකට විකුණනවා. මේ දේවල් තුළින් තමයි මේ ඉන්ධන විෂවීම් පිළිබඳ බහුලව වාර්තා වුණේ.  


 ආණ්ඩුවක් වාහනවලට පමණක්නෙ තෙල් ලබා දුන්නෙ. සමහර වෙලාවට ඒ තෙල් ගහගෙන තම කර්මාන්තවලට, ගෙදර භාවිතා කරන අත්ට්‍රැක්ටර්, බැකෝ යන්ත්‍ර වැනි දේවල්වලටත් වාහනවල තෙල් ඇද්දවීම සිදු කළා.  

 

මෙවැනි ක්‍රියාවලින් ඈත්වීම ඉතා වැදගත් කාරණාවන්, මේ කාර්යයන්වල දැනටමත් කෙනෙක් යෙදෙනවා නම් ඉන් වැළකී සිටීම ඉතා වැදගත්.

 

 

සටහන  
ධනු විජේරත්න