ඩඩ්ලිගේ ගොවි හමුදාවයි මැතිනිගේ වගා සංග්‍රාමයයි


1973 වගා සංග්‍රාමය ප්‍රකාශ කිරීමෙන් පසු බණ්ඩාරනායක මැතිනිය කොස් පැළයක් රෝපණය කිරීම.

 

රට ස්වයං පෝෂිත කිරීමේ අරමුණින් 1965 දී ඩඩ්ලි සේනානායක රජය වගා සංග්‍රාමයකුත්, රට පුරා ගොවි හමුදාවකුත් ඇති කළේය. රජය සතු කැලෑ ඉඩම් කෘෂිකාර්මික ව්‍යාපාර සඳහා බදු දුන්නේය. මේවා බදු ගත්තේ රජයේ මැති ඇමැතිවරුන් හා සෙනේට් මන්ත්‍රීවරුන්ය. ඔවුන් කළේ කැලෑවේ ගස් කපාගෙන විකුණා ගැනීම මිස වගාවක් නොවේ. මෙය ආදර්ශයට ගත් සෙසු අය ද කළේ ඒ ටිකමය. 

ලංකාවේ පාසල්වල ගෙවතු වගා ඇතිකොට, තරඟ පවත්වා ගොවි ප්‍රදර්ශන සංවිධානය කළේ දිසාපති, ඩීආර්ඕ හා විදුහල්පතිවරු විසිනි. නුවරඑළියේ සශ්‍රීක ලෙස වැවුණ ගෝවා, කැරට්, බීට්රූට් වැනි උඩරට එළවළු පෝච්චි පිටින් ගෙන්වා මේ ප්‍රදර්ශන තැබුවේය. ඩඩ්ලි පුදුමයට පත්වී සංවිධායකවරුන්ට ප්‍රශංසා කළේය.   
1965 මාර්තු 22 දා පවත්වනු ලැබූ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් කිසිම පක්ෂයකට මුළු ආසන ගණනින් සියේට පනහක් දිනා ගැනීමට බැරි විය. ආසන 66 ක් දිනාගත් එජාපය මාර්තු 27 දා ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ෆෙඩරල් පක්ෂය හා ජාතික විමුක්ති පෙරමුණ එකතු කරගෙන ජාතික රජයක් පිහිටුවනු ලැබීය. මෙය වමේ පත්තර හැඳින්වූයේ ‘එජාප ෆෙඩරල් සභාග රජය’ යනුවෙන්ය.   
 ඩඩ්ලි සේනානායක මහතා තම රජයේ පූර්ණ අවධානය යොමුකළේ කෘෂිකාර්මික සංවර්ධනය උදෙසාය. රටේ සහල් නිෂ්පාදනය වැඩි කිරීමටත්, රජයේ නිල කාලය අවසන් ​ෙවන්නට පෙර රට ස්වයං පෝෂිත තත්ත්වයක් ඇතිකිරීමටත් ඔහුගේ අරමුණ විය. රජය සතු කැලෑ ඉඩම් විශාල ප්‍රමාණයක් කෘෂිකාර්මික ව්‍යාපාර සඳහා බද්දට දෙන ලදී. නැතහොත් විකුණන ලදී. මේවා බදු ගන්නේ මිලදී ගත්තේ රජයේ මැති ඇමැතිවරුන්ය. සෙනෙට් මන්ත්‍රීවරුන්ය. ඔවුන් ඒ කැලෑවල ගස් කපාගෙන විකුණා ගත්තා මිස කළ වගාවක් හෝ සංවර්ධනයක් නැත. ඉඩම් විශාල වශයෙන් බදුගත්, මිලදී ගත් වෙනත් අය ද එය ආදර්ශයට ගත්හ. 

 

ඩඩ්ලි සේනානායක මහතා කෘෂිකර්ම හා ආහාර ඇමැති ඇම්.ඩී. බණ්ඩා මහතා සමග වගා බිම් පරීක්ෂා කරමින්.

 

ගොවි හමුදාව  

 

ඉඩම් වඩාත් ඵලදායි ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් ‘ගොවි හමුදාව’ නමින් හැඳින්වුණ සංවිධානයක් යටතේ තරුණයින් ඒකරාශි කර වූහ. පක්ෂයේ ශාඛා සමිති, තරුණ සමිති සාමාජිකයින් ගෙන් මෙය ආරම්භ කළ අතර පසුව ඕනෑම කෙනෙකුට එයට බැඳීමට අවස්ථාව උදාවිය. ගොවි හමුදාවේ බාරකරු වූයේ මහියංගන මන්ත්‍රී සී.පී.ජේ. සෙනෙවිරත්න මහතාය. ඔහු හමුදාවේ කපිතාන්වරයෙකු බව කියැවේ. ඩඩ්ලි සේනානායක මහතා ගොවි හමුදාව බාරව කටයුතු කිරීමට සෙනෙවිරත්න මහතාව තෝරා ගත්තේය.  
යුද හමුදාවට සමාන නිල ඇඳුම් ද හමුදා පුහුණුවට නෑකම් කියන හමුදා පුහුණුවක් ද හමුදා නිලධාරීන් විසින් ඔවුන්ට ලබාදෙන ලදී. එහෙත් තුවක්කු ඔවුන් සතු නොවීය. රැකියා විරහිත තරුණයන් මේ ගොවි හමුදාවට බඳවාගෙන ඔවුන්ට විද්‍යාත්මක ගොවිකම් පිළිබඳ ප්‍රාරම්භක දැනුමක් ලබා දුන්නේය. ඒ සමගම ඉඩම් කට්ටියක හිමිකරු වීමේ අවස්ථාවක් ද ඔවුන්ට උදාවිය. මේ පියවරවල් නිසා සහල් නිෂ්පාදනයට මෙන්ම වෙනත් අතුරුභෝග හා එළවළු නිෂ්පාදනයට මහත් අනුබලයක් ලැබිණ. 1970 වන විට හැකි පමණට සහල් නිෂ්පාදනය ඉහළ මට්ටමක පැවතුණි. එහෙත් ව්‍යාපාරිකයන් හා මධ්‍යම පාන්තික ආයෝජකයන්ට දුන් කැලෑ ඉඩම්වලින් ප්‍රතිඵලයක් ලැබුණා නම් කලාතුරකින් බව සඳහන් කළ යුතුය.  

 

වගා ප්‍රදර්ශන  

 

මේ අතර රට පුරා පාසල්වල ගෙවතු වගා ප්‍රදර්ශන මාලාවක් සංවිධානය කරගෙන ගියෝය. මෙය පළාතේ මන්ත්‍රීවරයා, ​ ගොවිජන සේවා කොමසාරිස්, උප දිසාපති, විදුහල්පති යන අයගේ ප්‍රධානත්වයෙන් හා සංවිධානයෙන් පැවැත්වුණි. පාසල් ළමයින්ගේ ගෙවතු වගාවේ හපන්කම් ලෙස මෙම ප්‍රදර්ශන හැඳින්වුණත් ඇතැම් ප්‍රදර්ශන අගමැතිවරයා හා කෘෂිකර්ම ඇමැතිවරයා රැවටීමට යෙදූ ව්‍යාජ ප්‍රදර්ශන විය.  
නුවරඑළියේ වැවෙන විශාල ගෝවා වගාවක්, බීට් රූට් හා කැරට් වගාවක් පෝච්චි පිටින් ගෙනවුත් කුලියාපිටිය පැත්තේ විද්‍යාලයක වගා ප්‍රදර්ශනයක් පෙන්වූ අයුරු පුවත්පත්වල විස්තර කර තිබූ අන්දම එදා රටම දැන ගත්තේය. අගමැතිවරයා ද කැමරාව එල්ලාගෙන ඒවා ඡායාරූපයට නැගුවේය. ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් ද නිලධාරීන්ද අගමැතිවරයා රැවැට්ටුවේය. එහෙත්​ ගොවි හමුදාව වඩාත් කාර්යක්ෂම නිෂ්පාදනකට අතහිත දුන්නේය. ගොවි හමුදාවාට බැඳුණ තරුණයන් පසු කලෙක සුළු පරිමාණයේ ඉඩම් හිමියන් වූ අතර ඔවුන්ගේ වගා සංග්‍රාමය ද සාර්ථක කර ගත්තෝය.  


1965 ඩඩ්ලි සේනානායක මහතා පිහිටුවා ගත් රජය තම නිල කාලය ගෙවා නැවත මහ මැතිවරණයට ගියේ ඒකාන්ත වශයෙන්ම යළිත් බලය ලබා ගැනීමටයි. ඩඩ්ලිගේ රජය 1966 දෙසැම්බර් 22 දා සිට සහල් සලාක පොතකට සත 25 බැගින් දුන් හාල් සේරු දෙකෙන් එකක් කපා අනෙක නොමිලේ ලබා දුන්නේය. මේ ගැන ජනතාව සතුටට පත් වූයේ නැත. ඩඩ්ලි ආරම්භ කළ ‘රටක මව් දයා ගොවිතැන වේය දනුශ්‍රියා....’ යන තේමාවෙන් යුත් වගා ව්‍යාපාරය මුළුමනින්ම සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.  
වගාව වැඩිපුරම සිදුවූයේ ගුවන් විදුලි ගීතවලින්ය. අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා පවා ලෝකෙන් උතුම් රට ලංකාවයි... වැනි දේශාභිමානි, වවමු....වවමු...වවමු.... ආදී වශයෙන් ගීත ලීවේය. එකල ගුවන් විදුලිය වගා කරච්චලයක් වුවත්, ගුවන් විදුලියේ තරුණ ගොවි සමාජ වැනි වැඩසටහන් යම් සාර්ථක ප්‍රතිඵල ගෙන දුන්නේය. අල්ලක් වපුරා මල්ලක් ගෙට ගමු... ගුවන් විදුලියෙන් නිතර නිතර ප්‍රචාරය වුණේය.  


මේ වන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් වූ විරුද්ධ පක්ෂය බලසම්පන්න එකක් විය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කේනමන්. බර්නාඩ් සොයිසා. ටී.බී. සුබසිංහ, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ටී.බී. ඉලංගරත්න වැනි දේශපාලන දැවැන්තයෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් වූ විරුද්ධ පක්ෂයේ කැපී පෙණුන පුද්ගලයෝ වූහ. සමගි පෙරමුණේ වමේ රජයක් පිහිටුවීමට 1968 ජූනි 05 දා ගිවිසුමකට අත්සන් අර තිබුණි.  


1970 මැයි 27 දින පවත්වන ලද පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සමගි පෙරමුණේ නායිකා සිරිමාවෝ ඩයස් බණ්ඩාරනායක මැතිනිය​ දෙවැනි වරටත් අග්‍රාමාත්‍ය පදවියට පත්වූවාය. නොමිලේ හාල් සේරුවක් දුන්නත් ගොවි හමුදාවක් හදා වගා සංග්‍රාමය කළත් ඩඩ්ලි රජය පරාජයට පත් විය. ආහාර හා කෘෂිකර්ම ඇමැති ඇම්.ඩී. බණ්ඩා මහතා (පොල්ගහවෙල) ගේ ආසනය පවා අහිමි විය.

 

මැතිනිය අගමැති වීම  

 

ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම ප්‍රතිපත්ති ප්‍රකාශනය 1972 ජූනි මාසයේදී බණ්ඩාරනායක මැතිනිය ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කළාය.  


එහිදී ඇය ප්‍රකාශ කළේ ලෝක ආර්ථික අහේනියක අඳුරු සේයාවක් දැනටමත් දුර පෙනෙන බැවින් ස්ව ශක්තියෙන් නැගී සිටීමේ අවශ්‍යතාවයයි. අතිරේක භෝග වර්ග නිෂ්පාදනය කිරීම සඳහා රජයේ ප්‍රමුඛත්වය දෙන බව ඇය ප්‍රකාශ කළාය.  


ළඟ එන ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දීමට පියවරක් වශයෙන් 1973 වර්ෂය ‘නිෂ්පාදන වර්ෂය’ වශයෙන් අගමැතිනිය ප්‍රකාශයට පත් කළාය. නිෂ්පාදන වර්ෂය ඇරඹුණේ දිවංගත අගමැති ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනය වූ ජනවාරි 8 ද‌ාය.  

නිෂ්පාදන වර්ෂය තුළ වගා සංග්‍රාමයක්  

 

ත්‍රිවිධ හමුදා නායකයින්, මැති ඇමැතිවරුන්, දිසාපතිවරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ගෙන්වා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වගා සංග්‍රාමය ප්‍රකාශ කළාය. ඒ 1973 සැප්තැම්බර් 20 දා පෙරවරුවේය.  
‘අද කොටින්ම කියනවා නම් අපි මේ ආරාධනය කළේ නිෂ්පාදන සංග්‍රාමයක් ඇරඹීමේ බලාපොරොත්තුවෙනුයි. ඉංග්‍රීසියෙන් කියනවා නම් ‘ඩික්ලෙයාර්ඩ් වෝ’ තමුන්නාන්සේලා සියල්ලෝම මේ යුද්ධයේ සෙන්පතිවරුන් විය යුතුය. අගමැතිනිය මෙහිදී විස්තර කළාය.  


ත්‍රිවිධ හමුදාවට දෙපාර්තමේන්තුවල සංවර්ධනයට උපයෝගී කරගත හැකි ඕනෑම උපකරණයක් මේ සඳහා යොදාගත හැකි බව කී අගමැතිනිය රෝහල්, මාතෘ නිවාස, පාසල්, ගුරු නිවාස, පාලම්, පාරවල් ග්‍රාම සංවර්ධන වැනි වෙනත් සමිති ශාලා, ඇතුළු ප්‍රදේශයේ ඕනෑම ගොඩනැගිල්ලක ඉදිකිරීම් තාවකාලිකව නවත්වා ඒ මුදල් මේ වගා සංග්‍රාමයට යොදවන බව ද කීවාය.  
අගමැතිනිය එහිදී මෙසේ ද කීවාය.  


‘ආහාර නිෂ්පාදනය වැඩිකර ලීම සඳහා හැම සම්පතක්ම යෙදවීමෙන් ආහාර තත්ත්වය පිළිබඳ පැන නැගී ඇති හදිසි අවස්ථාවට මුහුණ දීම පිණිස දිස්ත්‍රික්කවල සියලු කටයුතු යොමුකළ යුතුයි. සහල් සහ පිටි සැපයීම එක එල්ලේම අඩුවීමෙන් ඇතිවන ප්‍රතිඵලයක් නම් වාරිමාර්ග ක්‍රමයෙන් හා වැස්සෙන් ජලය ලැබෙන අලුත් ඉඩම් සංවර්ධනය සඳහා උනන්දුවක් ඇතිකර ලීමයි. සෑම දිස්ත්‍රික්කයක් සඳහාම සවිස්තර වැඩ පිළිවෙළක් බැගින් සම්පාදනය කරවන අතර ධාන්‍ය වර්ග, මයියොක්කා, බතල, වෙනත් දේශීය අල වර්ග, වැනි කෙටිකාලීන බෝග වගා කිරීම ආහාර හිඟකමේ ප්‍රශ්නය විසඳීමට කාලෝචිත ක්‍රියාමාර්ගයකි. සතුන්ගේ හානිවලින් වළකාගත හැකි ගෙවතු ගෙබිම් වෙන් කළ පෙදෙස් ආදියෙහි ඇති සෑම බිම් අඟලක්ම වගා කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ව්‍යාප්ත කළ යුතුය.  


වගා හානි මැඩලීමට ගොවීන්ට තුවක්කු හා පතුරොම් දිසාපතිවරුන් ලබා දෙනවා ඇත. ගොවීන්ගේ නිෂ්පාදන හා ආහාර හොරකම් මැඩලීමට පොලිසිය තදින ක්‍රියා කළ යුතුය. මේ සටනේ දී හමුදාවට, පොලිසියට විශේෂ වගකීමක් තිබේ. ආහාර හොරකම් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට එන විට පොලිසිය ජනතාව රස්තියාදු නොකර වහාම ක්‍රියාත්මක විය යුතු වේ. සංවර්ධන වැඩට අවශ්‍ය උපකරණ, ආරක්ෂාව සැපයීම ආදිය ත්‍රිවිධ හමුදාවෙන් බලාපොරොත්තු වන වෙනත් සේවාවන් වේ.  


අද තුවක්කු අරන් යුනිෆෝම් ඇඳ සිටින වැඩි දෙනෙකු ගම්බද අයයි. ඔවුන්ට උදැල්ල හොඳට හුරුපුරුදුයි. තුවක්කුව පැත්තකින් තියලා මේ වෙලාවෙ උදැල්ල ගන්න ඕනෑ. මේක තුවක්කුවෙන් කරන සටනක් නොවේ. නමුත් ඕනෑ වෙලාවට තුවක්කුව ගන්න ඕනෑ. ඇත්ත පහදා දුන්නොත් ජනතාව අප වටා රොක් වෙනවා. හිඟා කෑම නවත්වල ණයට කකා ඉඳීම තවදුරටත් නවත්වල අපි රට හදන්න පටන් ගනිමු.  


 ජාතියක් වශයෙන් ආර්ථික වහල් බවෙන් නිදහස් වෙන්න මේ සටන ජය ගන්නා තුරුම අපි ඉදිරියට යාමට සූදානම් විය යුතුය. අපි අද ජනතාවට දෙන්න සූදානම් ​ෙවන පණිවුඩය මෙයයි. මේ විශේෂ රැස්වීම පැවැත්වීමට අදහස් කළේ අද සිට රටපුරා වගා කළ යුත්තේ සංග්‍රාමයක මුහුණු වරකින් බව ප්‍රකාශ කිරීමටයි. වැව්, ඇළදොළ, ගංගා ආදිය ශ්‍රමදානයෙන් සුද්ධ කිරීම වගා සංග්‍රාමයේම කොටසක් කරගත යුතුයි. ලබන අය වැය විමධ්‍ය ගතකිරීමට යන අවස්ථාවේ අපි රුපියල් කෝටි විස්සක මුදලක් ආහාර වගාවට වෙන් කරනවා.  

 

රේගු තහනම  

 

1973 සැප්තැම්බ්ර 19 දා මෙම ප්‍රකාශය කළ අගමැතිනිය ඊට පසුදා සිටම දිවයිනේ කිසිම වරායකින් හාල්, වී, තිරිඟු, තිරිඟු පිටි, මුං, කුරක්කන් වැනි ධාන්‍ය වර්ග පිටමං කිරීම තහනම් කළාය.  


 එවකට දේශීය හා විදේශීය වෙළෙඳ ඇමැති ටී.බී. ඉලංගරත්න මහතාගේ නියෝගයක් අනුව ‘ආහාර පාලන පනත’ නමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කළේය. ඒ මගින් කොළඹ, ගාල්ල, යාපනය, කන්කසන්තුරෙයි, කයිට්ස්, පේදුරුතුඩුව, වල්වෙඩ්ඩිතුරෙයි, ත්‍රිකුණාමලය, තලෙයිමන්නාරම ආදී වෙනත් සියලුම ස්ථාන වලින් රේගුවෙන් ආහාර ද්‍රව්‍ය පිටකිරීම තහනම් කළේය.  


ආහාර පාලකවරයාගේ හෝ රජයේ දිසාපතිවරයාගේ හෝ නියෝජ්‍ය ආහාර පාලක තැනගේ අවසරය අනුව ලබාගත් බලපත්‍රය මගින් එම නිලධාරියා කරනු ලබන ගෙන යා යුතු කාලය, ආකාරය, ස්ථානය, පිළිබඳ නියෝගයක් යටතේ හැර වෙනත් කිසිම ආකාරයකින් ආහාර රේගුවෙන් පිටමං කිරීම තහනම් විය.  

 

දේශීය තහනම හා හාල් පොලු මිරිස් පොලු  

 

මේ රේගු තහනමත් සමගම රට ඇතුළේ ද හාල්, වී, මිරිස්, රතු ලූනු ආදිය ගෙන යාමේ තහනමක් ද විය. මේ තහනම පැනවූයේ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට එක් අයෙකුට ගෙන යා හැක්කේ හාල් සේරු දෙකක් වන පරිද්දෙනි. අලව්ව පාලම, පොල්ගහවෙල කරඳන පාලම, කැලණි පාලම, කළුතර පාලම, වැනි කොළඹට ඇතුළු වන ප්‍රධාන පාලම්වල ග්‍රාමාරක්ෂක භටයෝ (ගම්බට්ටෝ) තුවක්කු අත දරාගෙන මෙම පරීක්ෂා සිදු කළහ. ඔවුන්ගේ ප්‍රධානියා වශයෙන් සිටියේ පොලිස් වසමේ සාජන් හෝ පොලිස් රාලහාමි කෙනෙකි. එහෙත් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යන පොල් ලෙලි, ලොරි හා කොහුබත් පිරවූ ලොරිවල හාල් ගෝනි සඟවාගෙන ගිය ජාවාරම වැළැක්වීමට ගම්බට්ටන්ටත් පොලිසියටත් නොහැකි විය. ඇතැම් ව්‍යාපාරිකයෝ කුඹුරුවල ගොයම් කපා කොල මිටි ප්‍රසිද්ධියේම ලොරිවල පටවාගෙන කොළඹට ගෙනාවෝය. කොළඹ දී කොළමඩවා වී කොටා ඒවා සහල් කරගත්හ. කෙසේ වෙතත් හාල්පොලු තහනම සාර්ථක වූයේ නැත. එයින් සිදුවූයේ මැතිනිගේ රජය ජන අප්‍රසාදයට ලක්වීමයි.  

 

හෝටල්වල බත් තහනම  

 

ඉන්දියාවෙන් පරිප්පු ගෙන්වීම තහනම් කළත් උතුරෙන් කොළඹට පරිප්පු හොර පාරෙන් ආවේය. හෝටල්වල අඟහරුවාදා හා සිකුරාදා දිනවල බත් විකිණීම තහනම් විය. ඒ කාලේ කඩේ බත්මුලක් සත අසූවක් රුපියලත් අතර පැවතුණි. අඟහරුවාදා හා සිකුරාදා දවස්වල හෝටල්වල බත් වෙනුවට තිබුණේ මඤ්ඤොක්කා හා අල බතල හෝ කොස් දෙල්ය. උදේට මුංඇට, කව්පි, ආදියයි. මඤ්ඤොක්කා නොසිට වූ ගමක් ගෙදරක් නැති තරම්ය. ඒවා රාත්තල සත පහකට වඩා විකුණා ගැනීමට බැරිවිය. රජයට විරුද්ධ වූ දවස පත්තරය මඤ්ඤොක්කා විස වීමෙන් සිදුවූ ලෙඩ දුක් මරණ ගැන නිතර නිතර ප්‍රවෘත්ති පළ කළේය. ඒ කාලයේ වී බුසලක් රුපියල් තිහ දක්වා ඉහළ නැග තිබුණි. හාල් සේරුවක් සත හැත්තෑ පහත් අසූවක් අතර විය.  
මෙකල ලංකාවේ කිසිදු ආහාර හිඟයක් නොවුවත් සංවෘත්ත ආර්ථිකයක් තිබූ නිසා හිඟයක් මවා පෑවේය. පිටරටින් බඩු ගෙන්වීම සීමා කිරීම එයට හේතුවයි. දේශීය ආහාරවලට ජනතාව බලෙන් යොමු කිරීමට යාමෙන් ගැටලු රාශියක් නිර්මාණය වූවා මෙන්ම අසාර්ථක නිෂ්පාදන රාශියක් දේශීය වෙළෙඳපොළෙන් නිකුත් වුණි.  


බූමිතෙල් ගඳගහන චීත්ත, කාන්තාවන්ට ද ඝණ්ටාර මාක් සරම් පිරිමින්ට ද දේශීය නිෂ්පාදන වශයෙන් ලැබුණි. දේශීය නිෂ්පාදනයක් වූ සත 10 ට මිලට ගත් බ්ලේඩ් තල වලින් මිනිසුන් රැවුල කැපුවේ ලේ පෙරෙමින්ය. දේශීය කර්මාන්ත නිෂ්පාදන ආරම්භයේ එම නිෂ්පාදන භාවිත කළ ජනතාවට විවිධ අයුරින් දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවිය.  


පිටරටින් ගෙන්වන පාන් පිටිවල මිල ලංකාවට ඔරොත්තු නොදෙන තරම් ඉහළ නැග තිබූ නිසා පාන්පිටි ගෙන්වීම ද සීමා කළේය. එහි ප්‍රතිඵලය වූයේ රටපුරා පාන් පෝලිම් ඇතිවීමයි. ඒ කාලයේ පාන් රාත්තලක් සත විස්සක් හෝ විසිපහක් විය. පාන් රාත්තලක මිල සත විසි පහකි. බේකරි ළඟ පාන් පෝලිම් දක්නට ලැබුණි. පාන් රාත්තලක් ලබා ගැනීම විශාල ජයග්‍රහණයක් විය. සත අටක් හෝ දහයක් ගෙවා පොල්ගෙඩියක් ලබාගත් කොළඹ උදවිය පොල් සම්බලයක් සාදාගෙන පාන් කා වේල ගත කළෝය.  

 

හිරකරුවෝත් වගාවට  

 

පාසල්වල ගෙවතු වගාව, සාර්ථකව සිදුවූ මේ කාලයේ සියලුම ආගමික ස්ථානවලත්, ගම්වල වැව් තාවුලුවලත් මොනයම් භෝග වර්ගයක් හෝ වැවීමට වගා නිලධාරිහු කටයුතු කළෝය.  


ලංකාවේ සියලුම බන්ධනාගාරවල සිටින සිරකරුවන්, රිමාන්ඩ් සිරකරුවන්, පුනරුත්ථාපන සිරකරුවන් වහාම වගා වැඩට යෙදවීමට එවකට බන්ධනාගාර කොමසාරිස් ඒ ඒ ද සිල්වා මහතාට අධිකරණ ඇමැතිවරයාගෙන් උපදෙස් ලැබුණි.  


මින් ඉදිරියට බන්ධනාගාරවල සිටින සිරකරුවන්ගේ ආහාර ඔවුන් විසින්ම නිපදවා ගැනීමේ අරමුණ ඇතිව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණි. මෙම වගා වැඩපිළිවෙළ නිසා අලුතින් අක්කර සිය ගණනක් අස්වැද්දුවෝය.  
පල්ලෙකැලේ, කෝපායි, අනුරාධපුර, යාපනේ, ආදී සිරකරුවන් සිටින ප්‍රදේශවල එළවළු, වී, ධාන්‍ය වර්ග, ලූනු, මිරිස්, ආදිය නිෂ්පාදනය කෙරුණි. වගා සංග්‍රාමය එසේ​ කරගෙන යද්දී රාජ්‍ය පරිපාලනයට ජනතා සහභාගිත්වය ලබා ගැනීමට රාජ්‍ය කාර්යාලයන්හි උපදේශ කොමිටි හා ජනතා කොමිටි පිහිටෙව්වේය.  

ජනතා කොමිටි  

ප්‍රාදේශික වශයෙන් පිහිටුවනු ලැබූ ජනතා කොමිටි මගින් රජයේ නිලධාරීගේ ප්‍රමාදය වැඩට බාධා අවහිරකම්, දූෂණ ආදිය සම්බන්ධයෙන් නැගෙන චෝදනා, අප්‍රමාදව විභාග කොට වැරදි හරි ගැස්සීමට සංවිධානයක් වුවත් දේශපාලන හෙන්චයියන් පත් කිරීමෙන් සිදු වූයේ එය ජනතා අප්‍රසාදයට පත්වීමකි. අධ්‍යාපනයක් නැති මන්ත්‍රීලාගේ එහෙයියන් පත් කිරීමේ දී සිදුවූයේ ජනතා කොමිටි කාරයන් උගත් නිලධාරීන්ට ඔවුන්ගේ ‘රැස්පොට්’ පෙන්වන්නට වූහ.  


මැතිනියගේ වගා සංග්‍රාමය සාර්ථක වූවත්, පිටරටින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ජනතාවට ඕනෑ කරන එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍ය හිඟවීමෙන් ජනතා කෝපය හා එපාවීම උත්සන්න වූයේය.  
මඟුල් ගෙදරකට ආහාර සීමා කිරීම, මනාල යුවළගේ ඇඳුම් සඳහා විවාහ සහතික ඉදිරිපත් කිරීම, ළදරු කිරිපිටි හිඟය, ඉහත විස්තර කළ හාල් පොලු හා පෝලිම් ආදී ජනතාව පීඩාවට පත් කළ දේවල් සභාග රජය ජනතාවට එපා වීමට හේතු වූ කාරණා විය.  


​කොටින්ම කියතොත් සභාග රජය සංවෘත වූවා වැඩිය.     ජනතාව විවෘත ආර්ථික සුවය වැලඳ ගත්තේ ඒ නිසාය. ඒ විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිඵල අපි අද භූක්ති විඳිමු.

 

සටහන
පී. ඇම්. සේනාරත්න