මේ ඇරැඹුණේ “ජූලි” මාසයයි. ජූලි මස යනු, මෙරට ඉතිහාසයට නම් සුබ මාසයක් නොවේ.
“1980 සමස්ත ලංකා මහා වැඩ වර්ජනය” ආරම්භ වූයේ ජූලි මාසයේය. ජූලි අන්ධකාරය පිළිබඳ ලාංකික මතක අතර, රජයේ සහ පෞද්ගලික අංශයේ හතළිස් දහසක පමණ සේවකයන්ගේ රැකියා අහිමි කර, තුන් ලක්ෂයකට වඩා දරු පවුල් අනාථ කළ 1980 ජූලි වැඩ වර්ජනය ඉතිහාසයෙන් අකා මකා දැමිය නොහැක්කකි.
1980 මාර්තු 8-9 දිනවල පැවැති විශේෂ ඒකාබද්ධ සමුළුවකදී මෙරට වෘත්තීය සමිති ඒකමතිකව ඉල්ලා සිටියේ දිනකට රුපියල් දහයකින්වත් වැටුප් වැඩි කර දෙන ලෙසය. 1980 ජූලි 5 වැනිදා වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ ඒ ඉල්ලීම පෙරදැරි කරගෙනය. එහෙත් රජය විසින් වර්ජකයන්ව හඳුන්වන ලද්දේ ‘ද්‍රෝහීන්’ ලෙසය. එවකට ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කොට, එදිනට පෙර සේවයට වාර්තා නොකළහොත් සියලු වර්ජකයන් රැකියා අහිමි වූවන් සේ සලකන බවත්, යළි සේවයට පැමිණීම අනවශ්‍ය බවත් දැන්වීය.
රජයේ නියෝගය නොතකා අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරැණි. එහි ප්‍රතිඵලය වූයේ 40,356 දෙනකුට රැකියා අහිමි වී දෙසතියකට පසු නව සේවකයන් බඳවා ගැනීමට කටයුතු සිදු වීමය. ඊට අමතරව වර්ජනයට සහාය නොදුන් සේවකයන්ට වැටුප් වර්ධක ලබා දී, වර්ජනයට එක්වූ වෘත්තීය සමිති මූලස්ථානවලට සීල් තබනු ලැබිණි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හිතවතුන් අතරින් ආසන මට්ටමින් තෝරාගත් රැකියා නොමැති සිය දෙනකු බැගින් ඇතුළත් වන සේ, ඉවත් කළ 40,356ක පිරිස වෙනුවට සේවයට බඳවා ගනු ලැබුණි.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් රජයේ සේවකයන් දහස් ගණනකට රැකියා අහිමි විය. වර්ජනය සඳහා සහභාගි වූ වර්ජකයන් රැසක් සිය දිවි නසාගත් අතර, ඇතැම් පවුල් බිඳී විසිරී ගියේය. මේ සම්බන්ධයෙන් එවක පැවැති එ.ජා.ප. ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ ලලිත් ඇතුලත්මුදලි ප්‍රකාශ කළේ, වැඩ වර්ජනයක් අවසානයේ කනත්ත කරා යෑමට සිදු වන බවයි.
“කළු ජූලිය” හෙවත් ජූලි කලබලය ලෙස හඳුන්වන දමිළ සංහාරය ජූලි මාසයේ සටහන් කෙරුණු විශාලතම කළු පැල්ලම ලෙස හැඳින්විය හැකිය.
කළු ජූලිය ආරම්භ වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය 1983 ජූලි 23 වැනි දින හමුදා රථ පෙළකට සැඟව සිට එල්ල කරන ලද පහරදීම මුල් කරගෙනය. 1983 වර්ෂයේ මුල් භාගයේදී චාවකච්චේරි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඉලක්ක කරගෙන එල්ල කරන ලද ප්‍රහාරයකදී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීප හිතවතකු මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආරම්භක සාමාජිකයකු ලෙස සැලකෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන් ඇතුළු කිහිප දෙනකු ජීවිතක්ෂයට පත්විය. මෙයට ප්‍රතිප්‍රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටත් වූ හමුදා ජිප් රථයක් සහ ට්‍රක් රථයක් ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරයෙන් සොල්දාදුවන් 13 දෙනකු මරණයට පත්විය. මෙම ප්‍රහාරයෙන් කළු ජූලිය ආරම්භ වීමට මග සැලසිණ.
මෙලෙස ජුනි 23 ප්‍රහාරයෙන් මරා දැමූ සොල්දාදුවන් 13කගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කළ අතර, ඒ අවස්ථාව සඳහා විශාල ජනකායක් ඒකරාශි විය. අවසන් කටයුතු නිමවීමත් සමග කුපිතව සිටි ප්‍රචණ්ඩකාරී සිංහල ජාතිකවාදි හා නාගරික නිර්ධන පන්ති පාදඩ කල්ලි හෙවත් ලුම්පන් ලා දෙමළ ජනතාව සොයා යමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට පටන්ගත්හ. දෙමළ ජනයා සොයා ගොස් කෲර වධහිංසනයට ලක් කිරීමට හා ඝාතනය කිරීමත්, ඔවුන්ගේ නිවාස, කඩසාප්පු, හා වෙනත් දේපළ ගිනි තැබීම, සහ කොල්ලකෑමත් මහා පරිමාණ මට්ටමින් සිදු කෙරුණි.
මෙම තත්ත්වය පාලනය කරගැනීමට නොහැකිව ජුලි 24 වැනි දින සන්ධ්‍යාවේ කොළඹට ඇඳිරිනීතිය පැනවුව ද, එය පාලනය කරගැනීමට නොහැකි විය. පසුව දෙමළ ජනතාව විශාල වශයෙන් පදිංචිව සිටි මහනුවර, මාතලේ, නාවලපිටිය, බදුල්ල, නුවරඑළිය ඇතුළු ප්‍රදේශ මුල් කරගනිමින් මුළු රට පුරාම මිනිස් සංහාරයන් සහ දේපළ විනාශයන් ව්‍යාප්ත වුණි.
මෙසේ රට පුරා ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වෙමින් තිබූ කාලසීමාවේ රට තුළ සිදු වූ නින්දිතම සිදුවීම බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැලිකඩ අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ රඳවා සිටි දෙමළ රැඳවියන් 37 දෙනකු ජුනි 25 වැනි දින ඝාතනය කිරීම නම් කළ හැකිය. ඉන් නොනැවතී ජුනි 28 වැනි දින සිරකරුවන් තවත් 15 දෙනක් මියගියහ. මෙකී ප්‍රචණ්ඩත්වය රට පුරා පැතිර යාම වැළැක්වීමේ අරමුණෙන් 1983 ජුනි 26 වැනි දින මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවනු ලැබීය. 1983 ජුලි සිදු වූ දෙමළ ජන සංහාරය නිසා ලක්ෂයකට අධික දෙමළ පිරිස් සරණාගතයන් වශයෙන් ඉන්දියාවටත්, යුරෝපා හා ස්කැන්ඩිවෙනියානු රටවලටත් පලා ගිය බව තොරතුරු පරීක්ෂාවේදී අනාවරණය විය. ඇතැම් විචාරකයන්ට අනුව, විදේශගත දමිළ ඩයස්පෝරාවේ ඇරැඹුම සනිටුහන් වනුයේ මෙම සිද්ධියෙනි.
1983 ජුලි මාසයේ සිදු වූ දෙමළ විරෝධි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන දැඩි විවේචනයට ලක්විය. සොල්දාදුවන් 13 දෙනාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී පැවැත්වීමේ තීරණය කෙරුණු නිසාත්, පමා වී ඇඳිරිනීතිය පැනවීම නිසාත් විශාල මිනිස් සංහාරයක් සහ දේපළ හානියක් සිදු වීමට හේතු වූ බව කී විවේචකයෝ, ඊට ජනාධිපති ජේ.ආර්. වගකිව යුතු බව ද කීහ.
උතුරේ ඊළාම් සන්නද්ධ අරගලයට දේශපාලන විසඳුමක් ලබා දීම පිණිස බැව් ප්‍රකාශ කරමින් 1987 ජුලි මාසයේ ජනාධිපති ජේ.ආර්. ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේය. එම ගිවිසුම පදනම් කරගෙන ජ.වි.පෙ. දෙවැනි කැරැල්ල දකුණෙන් ඇරැඹුණි.
ජ.වි.පෙ. දෙවැනි කැරැල්ල 1986 දී පමණ ආරම්භ වුව ද, එය බෞතිස්ම කරනු ලැබුවේ 1987 ජුලි 28 වැනි දින කොටුවේ බෝ ගස අසලින් ආරම්භ වූ උද්ඝෝෂණයත් සමගය. යට කී ගිවිසුම අත්සන් කිරීමට මෙරටට පැමිණි එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ හිසට, හමුදා ආචාර පෙළපාළියක සිටි නාවුක භටයෙක් රයිෆල් පහරක් එල්ල කිරීමේ සිද්ධියත් සමග පැතිර ගිය ආණ්ඩු විරෝධි ජ.වි.පෙ. සන්නද්ධ කැරැල්ල එම වර්ෂයේ ජුලි මාසය ගිනියම් කළේය.
1987 ජුලි 28 වැනි දින සිට අගෝස්තු 2 දක්වා පැවැති විරෝධතාවන්හිදී වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 132ක් මියගිය බවත්, භික්ෂුන් 56 දෙනකු ඇතුළු 712ක් අත්අඩංගුවට ගත් බවත් සඳහන් වේ. මෙකී දින පහක කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධි 2,527ක් සිදුව ඇතැයි රජය මගින් ප්‍රකාශ කර තිබේ. 1987 ජුලි මාසයේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීමත් සමග දේශප්‍රේමි සහ දේශද්‍රෝහි ලෙස දෙපිලකට බෙදා සිදු කළ ප්‍රචණ්ඩත්වය 1987 සිට 1989 දක්වා වසර තුනක කාලයක් ඇදී ගියේය.
මෙම අරගලයන්, කැරැලි හේතුවෙන් විශාල මිනිස් සංහාරයක් සහ දේපළ විශාල ප්‍රමාණයක් විනාශ වූ අතර, තවමත් මෙම අඳුරු මතකයන් සමග පීඩනයෙන් පසු වන පිරිස් ඕනෑ තරම් පොදු සමාජයෙන් හමු වේ. පාලකයන් එදා සිට මේ දක්වා මහජනතාව ඉත්තන් කරගනිමින් ඔවුන්ගේ දේශපාලන යටි අරමුණු සාක්ෂාත් කරගන්නා බව කල් යත්ම යම්තාක් දුරකට අවබෝධ කරගැනීමත් සමග, දිගු කාලයක් පුරාවට මෙරට ක්‍රියාත්මක වෙමින් ආ දේශපාලන ඉතිහාසයක් වෙනස් කිරීමට මහජනතාව එකාවන්ව පෙළගැසීම ලංකා ඉතිහාසයේ සිදු වූ දැවැන්තම සමාජ පරිවර්තනයකි.
මහජන උද්ඝෝෂණ මාලාවකින් මෙරට විධායක ජනාධිපතිවරයකු ධුරයෙන් පහකළ “ගෝඨා ගෝ හෝම්” අරගලයේ තීරණාත්මක ජයග්‍රහණයක් අත්කරගනු ලැබුවේ 2022 වර්ෂයේ ජුලි 9 වැනි දිනය. මෙය ප්‍රජාතන්ත්‍රවාදි පාලන ඉතිහාසයට අලුත් සහ නැවුම් හැරැවුමක් එක්කළ මහජන අරගලයකි.
2019 වසරේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූයේ ඡන්ද හැටනව ලක්ෂයක ඉහළ ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනි. ඉන් පසු පැවැති මහ මැතිවරණයෙන් ද පාර්ලිමේන්තුවේ ඉහළ බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් දිනාගනිමින් ගෝඨාභය රාජපක්ෂගේ පාර්ලිමේන්තු බලය ද තහවුරු කර දුණි.
පාලනය ආරම්භයේදීම රටේ විශාල රාජය ආදායම් හිඟයක් පවතිද්දී මහා පරිමාණ සමාගම්වලින් රුපියල් බිලියන 800කට ආසන්න බදු ප්‍රමාණයක් කපාහැරීමට ගත් තීරණය රටේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ගත් බරපතළ වැරැදි තීරණයක් බවට චෝදනා එල්ල විය. කොවිඩ් සමග ආර්ථිකය කඩාවැටීම, රසායනික පොහොර තහනම් කිරීම, රට පුරා ගෑස්, ඛනිජ තෙල් සීමා වී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟ වීම සහ ඒ සියලු භාණ්ඩවල මිල රටේ බහුතර ජනයාට ඔරොත්තු නොදෙන මට්ටමට ඉහළ යද්දී දැවැන්ත මහජන උද්ඝෝෂණය ජනාධිපතිවරයා පලවා හරින අරගලයක් දක්වා වර්ධනය විය.
2022 අප්‍රේල් මස 9 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය අසල කූඩාරම්ලාගත් එම විරෝධය එතැන් සිට මහජනයා ආකර්ෂණය කරගනිමින් දැවැන්ත ලෙස වර්ධනය වී 2022 ජුලි මස 9 වැනිදා ජනාධිපති මන්දිරය වෙත කඩාවැදුණි. මෙම ජනතා අප්‍රසාදය මධ්‍යයේ රටින් පලා ගිය ගෝඨාභය රාපක්ෂ ජනාධිපති ධුරය අත්හැරීම ජුලි මාසයේ දේශපාලනික වශයෙන් මළගමක් නිර්මාණය කළ අවස්ථාවක් බවට පත්විය.
80 වැඩ වර්ජනය, 83 කළු ජූලිය, 83 පක්ෂ තහනම, 87 ඉන්දු ලංකා ගිවිසුම සහ 2022 අරගලය ජුලි මාසය මළ ජූලියක් බවට නම් කිරීමට වස්තුබීජ සපයනු ලබන නිදර්ශනයන්ය. මේවා හුදෙකලා සිදුවීම් සමුදායක් නොව, පාලකයින් හා බලය අත්පත් කරගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක ඇතැමුන් පටු දේශපාලන අභිමතාර්ථ උදෙසා සිදු කරනු ලැබූ නිර්දය ක්‍රියාවල ප්‍රතිඵල බවක් ද හැඟේ.
මනීෂා වීරසිංහ