
රනිල් වික්‍රමසිංහයන්ගේ දිදුලන අපදානය සැමරුමට මුසු වීමට දරන වැයමට, ඔහුගේ නෑ පරපුර නමැති පහුර අල්ලා ගැනීමට මා හට සිදුවිය.
රනිල් වික්‍රමසිංහගේ මෑණියෝ නාලනී විජේවර්ධනය. ඇගේ පියා ඩී. ආර්. විජේවර්ධනය. ඔහුගේ මව හෙලේනා විජේවර්ධනය.
දේශීය පුවත්පත් කලාවේ පුරෝගාමියා යන විරුදාවලිය ලද දොන් රිචඩ් විජේවර්ධනගේ ජීවන කතාව යනු අප රටේ එක් යුගයක කතා පුවතයි.
බ්‍රිතාන්‍ය පාලනයේ යකඩ සපත්තුවට පෑගී සිටි ජනතාවන්ට බුද්ධිමය ප්‍රභාවය ලබාදීමේ විප්ලවීය අරගලයට ඔහු නිහඬව මෙහෙවරක් කළේය.
මෙසේ විචාරශීලීව බලන කල්හි, රනිල් වික්‍රමසිංහගේ සීයා මේ රටේ නිදහස් සටන් ව්‍යාපාරයට පුරෝගාමීව ප්‍රබල දායකත්වයක් සැපයූ බලවත් තෙදවත් චරිතයකි.
රනිල් චික්‍රමසිංහගේ මවු පාර්ශ්වයේ පිරිස මෙන්ම පිය පාර්ශ්වයේ පිරිස ද දේශපාලනය ඔස්සේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට මුසුවීමට ආයාසය නොකළ නමුදු එවකට රටේ පළමු පෙළේ දේශපාලක නායකයන් සමග මවුබිමේ අභිවෘද්ධියට මුල් වී ක්‍රියාත්මක වුණු ප්‍රභූවරු වූහ.
රනිල්ගේ පියාගේ, පියා සී.එල්. වික්‍රමසිංහ රාජ්‍ය සේවකයකු ලෙස අමරණීය මෙහෙවරක් කර තිබේ.
සී.එල්. වික්‍රමසිංහගේ වැඩිමල් පුත් එස්මන්ඩ් වික්‍රමසිංහ රනිල්ගේ පියාය. ඔහු අධිනීතිඥයෙකි.
ඩී.ආර්. විජයවර්ධනයන්ගේ දියණිය නාලනී විවාහ කර ගැනීමෙන් පසුව ලේක්‌හවුස් ආයතනයේ අධිපතිවරයා බවට පත්විය. එකල ලංකාවේ දේශපාලනයට නැතුවම බැරි සන්නිවේදන ප්‍රබල මාධ්‍ය වූයේ පුවත්පත්ය. ලේක්හවුස් පුවත්පත් ඉන් පෙරමුණ ගනු ලැබිණි.
ඥාති සම්බන්ධතා නිසා ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, සර් ජෝන් කොතලාවල එමෙන්ම, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වැනි පළමු පෙළේ දේශපාලකයන් ඇසුරු කිරීමට ඔහුට අවස්ථාව උදාවිය.
මේ පසුබිම රනිල් වික්‍රමසිංහ වෙනත් වෘත්තියක යොමු නොවී දේශපාලනයට අත්පොත් තැබීමට හේතු වූ බව පැහැදිලි වේ.
1965 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිහි කිරීමෙහිලා මූලික කටයුතු සැළසුම වූයේ ද එස්මන්ඩ් වික්‍රමසිංහගේ උපදෙස් අනුවය.
1970 දී පැවැත්වුණු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්විය. පක්ෂ තුනකින් සැදුම්ලත් සමගි පෙරමුණු වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අතර, සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය තනතුරට පත් වූවාය.
විරුද්ධ පක්ෂය වූයේ ආසන 17ක් ලබාගත් එජාප පක්ෂයයි. පසුව පක්ෂයේ නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය පරාජය වීමට හේතු අධ්‍යයනය කළේය. අනතුරුව ඔහු එක්සත්
ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ යුතු බව තීරණය කොට රනිල් ඇතුළු තරුණ පිරිස රැස් කොට තරුණ සමිති ආරම්භ කළේය.
පිහිනීම ප්‍රගුණ කළ යුතු නම් දියට බැසිය යුතුමය යන වග තහවුරු කරමින් මුළු රටේම තරුණ සමිති සංවිධානය කිරීම, තරුණ පිරිස ඇමතීම වැනි අවස්ථා එමගින් උදාවිය.
1970 සිට වරින් වර පුත්තලම, කැස්බෑව සහ නුවරඑළිය වැනි ආසන අතුරු මැතිවරණ කිහිපයන් පැවැත්වීම සිදුවිය.
එම ආසන සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ සියලුම අපේක්ෂකයෝ ජයග්‍රහණය කළහ.
එහි සංවිධාන හා ප්‍රචාරක කටයුතු මෙහෙයවීම ඒ සඳහා කැපවීම හේතු කොටගෙන රනිල් වික්‍රමසිංහට දේශපාලන ක්‍රියාවලියෙහි විපුල අත්දැකීම සම්භාරයක් ස්වකීය දේශපාලන ජීවිතයට එකතු කර ගැනීමට හැකි විය.
1977 මහා මැතිවරණයෙන් මුළු ඡන්ද 22045 ක් ද, වැඩි ඡන්ද 6669 ක්ද ලබා ඔහු පාර්ලිමේන්තුවට පත්විය. පළමු වතාවේදීම වික්‍රමසිංහට ජයවර්ධන රජයේ නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැති පදවිය ලැබිණි. මෙය ඔහුගේ දේශපාලන දිවියට ලැබුණු මහඟු අවස්ථාවකි.
මේ අනුව රනිල් වික්‍රමසිංහ අනාගත නායකත්වයට උචිත ලෙස ක්‍රමයෙන් යාවත්කාලීන කරගැනීමේ බලාපොරොත්තුව ජේ.ආර්. තුළ පැවති බවට අනුමාන කළ හැකිය.
ඒ වග මුල් කාලයේදී අග්‍රාමාත්‍ය වූ ජේ.ආර්. රනිල් සිය සමීපයේ තබාගැනීම මගින් ඔප්පු වේ.
විදේශ ඇමති අබ්දුල් කාදල් ෂාහුල් හමීඩ් තැනට සුදුසු නුවණ භාවිතයට ගනිමින් ඔහු කළ සේවය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ බොහෝ පැසසුමට බඳුන් විය. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල රැකියා අවස්ථා පුළුල් කර ගැනීම සඳහා ඒ. හමීඩ් මහතාට නිතර නිතර විදේශගතවීමට සිදුවීම නිසා අමාත්‍යවරයා නොමැති සෑම අවස්ථාවකදීම නියෝජ්‍ය ඇමති ලෙස රනිල්ට කැබිනට් රැස්වීම්වලට සහභාගිවීමේ අවස්ථාව උදාවිය.
ළාබාල නවක මන්ත්‍රීවරයෙක් නොදැනුවත්වම කැබිනට් ඇමතිවරයෙකු බවට රූපාන්තරණයට නතු වෙමින් සිටියේය. ජේ.ආර්. රනිල් කැබිනට් මණ්ඩලයේ සිටින්නේ එක ළඟය.
එවැනි ඇයිහොඳයිකම ගැන ප්‍රබල ඇමතිවරුන් කුකුසට හේතු වූයේ නැත. රනිල් සතුව පවතින ශික්ෂණය ඊට හේතු විය. උත්පත්තියෙන් හිමිවුණු නිහතමානි බව, ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පිළිබඳ තිබුණු අවබෝධය, ඔවුන්ට ගරුසරුව සැලකීම, ඕනෑ එපාකම් ගැන දැන් වූ විට නොපමාව ඉටු කර දීම, ඉවසීම, අනුන්ට සවන් දීම වැනි කරුණු පෙන්වා දීමට හැකිය.
ප්‍රථම විධායක ජනාධිපති ක්‍රමය යටතේ පිහිටුවන ලද කැබිනට් මණ්ඩලයේ ද ප්‍රධානියා වූයේ ජනාධිපතිතුමාය. එම මඬුල්ලේ ද රනිල්ට ඉතා වැදගත් ඇමති ධුරයක් පිරිනමනු ලැබීය. ඒ යෞවන හා රැකීරක්ෂා කටයුතු අමාත්‍ය ධුරයයි.
රනිල් වික්‍රමසිහ තරුණ සේවා සභාව ආරම්භ කර මුළු රටේම තරුණ පිරිස ඒකරාශි කිරීමේ සැළසුම පිළියෙල කළේය. ප්‍රජාතන්ත්‍රවාදය හා සාරධර්ම අන්තර්ගත සමාජ ගමන් මග එළිපෙහෙළි කරන තරුණ සංවිධාන සැලසුම් කිරීම ඇරඹීය. වික්‍රමසිංහ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් අධ්‍යාපන යෞවන කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධුරයට 1980 දී පත් කරන ලදී. ඔහු 1988 දක්වා එම තනතුරෙහි වගකීම දැරීය.
මෙය අමාත්‍යාංශයක් ලෙස ගත් කල වැඩිම ජනගහණයක් ආවරණය වන මුළු රට පුරාම පැතිරුණු දැවැන්ත ආයතනයකි. එබැවින් ජාතික අයවැය මඟින් වැඩි මුදල් ප්‍රතිශතයක් වෙන් වන්නේ ද මෙම ආයතනයේ නඩත්තුව, පැවැත්ම හා වර්ධනය වෙනුවෙනි.
රනිල් වික්‍රමසිංහ ගුරුවරුන් පත්කිරීම සම්බන්ධ ඉතා විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය. මන්ත්‍රීවරු මගින් ගුරුපත්වීම දීම සම්පූර්ණයෙන් අහෝසි කොට, උසස් පෙළ සමත් එහෙත් සරසවි වරම නොලැබුණු සිසු දරු දැරියන්ට විද්‍යාපීඨ ඔස්සේ ගුරු සේවයට ඇතුළත් වීමට අවස්ථාව උදාකළේය.
ඒ සඳහා විද්‍යාපීඨ නවයක් ආරම්භ කොට ඉන් ඉතා විශිෂ්ට ගණයේ පුහුණු උගත් පරපුරක් රටට දායාද කළේය.
රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කිරීමට විශේෂ උනන්දුවකින් ක්‍රියා කළේය. එය ඉතාමත් සැලසුම් සහගතව ක්‍රියාවට නැංවීමට බණ්ඩාරවෙල ක්‍රීඩා පුහුණු විශේෂ ඒකකයක් ඇරඹීය. එබැවින් රටේ ක්‍රීඩා කෙරෙහි විශේෂ උනන්දුවක් ඇතිවිය. රනිල් තරුණසේවා ඇමතිවරයා ලෙස ක්ෂේත්‍රයේ ඇතිකළ දියුණුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා කටයුතු සමඟ මුසු කළේය. එය සමබල අධ්‍යාපනයේ මූලික අගයකි.
අධ්‍යාපන ඇමති ලෙස වැදගත් තීරණ කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. ගුරු සේවයේ විශ්‍රාමික වයස 60 දක්වා දීර්ඝ කිරීම, ගුරු හිඟයට පිළියමක් ලෙස දිස්ත්‍රික් සේවා ගුරු පත්වීම් ක්‍රමය නැවත ඇරඹීම, දූරස්ථ සේවා ගුරු පුහුණුව සහ භික්ෂුන් වහන්සේලාගේ ගුරු පුහුණු ක්‍රියාත්මක කිරීම, එපමණක් නොව, සෞන්දර්යය අධ්‍යාපන කෙරෙහි විශේෂ ඇල්මක් දැක් වූ එතුමා ඒ සුන්දර වන පියස්ස නෙතු - පිනවන සිත් සනසන වාස්තු විද්‍යාත්මක කලාත්මක ගොඩනැගිලි සංකීර්ණයක් තැනීමට සහයෝගය ලබා දුන්නේය. එම නිකේතනය තුළ දී සෞන්දර්යය විෂයයන්ට ගුරුවරු පුහුණුව ලබාගත්හ. පැරණි මාණ්ඩලික අධ්‍යාපන නිලධාරී ක්‍රමය වෙනස් කොට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ඇරඹීම ද සිදුවිය.
77 දී එජාප රජය ආරම්භ කළ මහවැලි සංවර්ධන ව්‍යාපාරය හේතුකොටගෙන කාර්මික ශිල්පින්ගේ උපයෝගීතාවය වැඩිවිය. පිටරට රැකියා වැඩි පිරිස පිටත්ව ගියේ සේවක සේවිකාවන් ලෙසය. එම නිසා අඩු වේතනයක් ලැබුණු පුහුණු ශ්‍රමිකයකුට වැඩි වේතනයක් හිමිකර දීමට වික්‍රමසිංහ ජාතික ආධුනිකත්ව මණ්ඩලය ඔස්සේ වැඩ කිරීමෙන් දැනුම ලබා ගැනීමේ ක්‍රමය හඳුන්වාදෙනු ලැබීය.
ඒ අතරතුර දී 1983 දී මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු ආයතනය ඇරඹිණි. 1985 දී කටුනායක ශිල්පීය පුහුණු ආයතනය සහ ඔරුගොඩවත්තේ කාර්මික පුහුණු ආයතනය ද ඇරඹිණි. ඒ අනුව නව යුගයට සරිලන ශිල්පීන් බිහිවීම සිදුවිය.
1989 වසරේ දී කර්මාන්ත අමාත්‍යවරයා වූයේ රනිල් වික්‍රමසිංහය. ඒ වන විට ඔහුට අයත් අමාත්‍යංශ යටතේ සිමෙන්ති සංස්ථාව, ලෝහභාණ්ඩ සංස්ථාව, කඩදාසි සංස්ථාව, පිඟන් සංස්ථාව, ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය ඇතුළු කර්මාන්ත රැසක් අයත් විය. රජයේ ප්‍රාග්ධනය යොදවමින් මෙම කර්මාන්ත ආරම්භකර තිබිණි. මිත්‍ර රටවල සහයෝගයද මෙම කර්මාන්ත ඇරඹීම සඳහා ලැබී ඇත. කෙසේ වුවත් ආරම්භ කොට වසර කිහිපයක් ගත වන තුරු යම් ප්‍රගතියක් දක්නට ලැබුණු අතර, බොහෝ පිරිසකට රැකියා අවස්ථා දහස් ගණනින් ලැබිණි. ක්‍රමයෙන් එම කර්මාන්තශාලාවලට දරාගැනීමට හැකි නොවන අයුරින් සේවක පිරිස් බඳවාගැනීම නිසා එහි පැවැත්ම පිළිබඳව පසුව ගැටලු මතුවීම සිදුවිය.
මහ කොළඹ ආර්ථික කොමිසම මගින් කටුනායක වෙළෙඳ කලාපය පිහිටුවීමත්, බියගම ආසනයේ ද වෙළෙඳ කලාපයක් ස්ථාපිත කිරීමත් ගාලු වරාය ආශ්‍රිතව කොග්ගල වෙළෙඳ කලාපය අක්කර 225 භූමියක ගොඩනැගීමත් මගින් තරුණ තරුණියන් සිය දහස් ගණනකට රැකියා අවස්ථා හිමි වූ අතර, වක්‍ර රැකියා බොහොමයක් නිර්මාණය වීම ද සිදුවිය. කර්මාන්තශාලා සහ ප්‍රධාන නගර අතර මංමාවත්, විදුලිය, ජලය, දුරකථන බැංකු වැනි අවශ්‍යතා මූලික පහසුකම් වැඩි දියුණුවීම සිදුවිය.
ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ විශේෂ උනන්දුව මත ඇඟලුම් කර්මාන්ත 200ක් රට පුරා අලුතින් ආරම්භ කිරීම වික්‍රමසිංහ එම ඇමැතිධුරය දැරූ සමයේදී සිදුවුණු තවත් විශේෂ ව්‍යාපෘතියකි.
රනිල් වික්‍රමසිංහ ඇමෙරිකාව, ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව වැනි රටවල්වලට ගොස් ව්‍යාපාරිකයන් මුණගැසී ඔවුන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට ඇරියුම් කළේය.
ඒ සඳහා එම පිරිසට ලබාදෙන රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව පහදා දෙමින් ඔවුන්ගේ සිත් ඇදගැනීමට දැඩි පරිශ්‍රයක් දැරීමට ඔහුට සිදුවිය.
රනිල් වික්‍රමසිංහයන්ගේ ලංකාවේ කර්මාන්ත ඉදිරි දැක්ම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව උදා වූයේ 1992 වසරේ පැවැත්වුණු ඉන්ෆෝර්ටෙල් ප්‍රදර්ශනයයි. එමඟින් නව කර්මාන්ත පිළිබඳවත් රටේ තිබෙන කර්මාන්ත ගැනත් ජනතාව තුළ පුළුල් අවබෝධයක් හා අවදෝලනයක් ඇති කළේය.
විදේශ කටයුතු තරුණ හා රැකී රක්ෂා, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අග්‍රාමාත්‍ය, ජනාධිපති මේ සෑම තනතුරකදීම රනිල් චික්‍රමසිංහයන්ගේ ඒකායන අරමුණ බවට පත් වී තිබුණේ ජනතාවගේ අතමිට සරු කිරීමයි. ඕනෑම ශිෂ්ටාචාරයක සභ්‍යත්වය දියුණුවට මග හෙළි පෙහෙළි වී ඇත්තේ ආර්ථික සමෘද්ධියයි.
රනිල්ගේ ආර්ථික දර්ශනයෙහි පදනම වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුව සැකසුණු නිදහස් ආර්ථිකයකි.
2001 දී ලද මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අග්‍රාමාත්‍ය ලෙස පත්වීමෙන් පසුව මවුබිමට සාමය උදාකිරීම උදෙසා බොහෝ දුක් ගැහැට විඳිමින් අන්තර්ජාතික ප්‍රජාව නිතර නිතර හමුවී අන්තර්ජාතික ආරක්ෂණ දැලක් එළනු ලැබීය. ලොව ප්‍රජාවගේ බලපෑම මත එකී ජාලය තුළින් අප රටේ සාමය සහ ඒකීය රාජ්‍ය පිළිබඳ සංකල්පය තිරසාර ලෙස ක්‍රියාත්මක කිරීමට දැරූ ආයාසය ගේ ප්‍රශංසාවට හේතු විය.
රනිල් වික්‍රමසිංහයන් ලංකාවේ සංවර්ධනය නමැති තරග ඉසව්ව සඳහා මනා ලෙස පෙර පුහුණුවීම කොට අනෙකුත් ක්‍රීඩකයන් සමඟ වරින් වර මුල, මැද, අග මාරු වෙමින් ඉතා වේගයකින් යෂ්ටි හුවමාරු කළේය. අනෙකුත් සගයන් වගකීමකින් යුතුව යෂ්ටිය හුවමාරු කළේ නැත.
එලෙස බාලහිරි දෝෂයට ලක් වුණු ලංකාවේ තිරසාර සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ එක්සත් ජාතික පක්‍ෂයට පමණක් අවලාද නැගීම කළ යුතු වන්නේ නැත. රටක ආණ්ඩු බිහිවන්නේ එරට ජනතා කැමැත්තට අනුව ය.
(එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ 77 වන ජන්ම දිනය නිමිත්තෙනි)


