ජාතික පාපන්දු කණ්ඩායමේ නැගිටීම


ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන නිර්දේශ තරග වටයේදී චීන - තායිපේ පරාජය කිරීමේ සතුට..

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ජූලි  10 වැනිදා නිකුත් කළ අළුත්ම ලෝක පාපන්දු කණ්ඩායම් (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව එතෙක් ගත කළ 200 වැනි ස්ථානයෙන් මිදී 196 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව සිටියි.

එහි විශේෂත්වය වසර 2016 න් පසුව ශ්‍රී ලංකාව ලෝක පාපන්දු (පිරිමි) ශ්‍රේණිගත කිරීම්වලදී ඉහළම ස්ථානය අත් කර ගැනීමට සමත්ව සිටීමයි.

ශ්‍රී ලංකාව මීට පෙර අවසන් වරට ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ඇත්තේ වසර 2016 දී 195 වැනි ස්ථානය ලබමිනි. එසේවූවත් එයින් පසුව පසුගිය වසර ගණනාව පුරාම සිදු කළ ශ්‍රේණිගත කිරීම්වලදී දිගින් දිගටම පහළටම පැමිණෙමින් වසර 2023 ජූනි මාසය වන විට 207 වැනි ස්ථානය තෙක් ඒතාක් සිදුවූ ඉහළම කඩාවැටීම පෙන්නුම් කළේය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිල සාමාජික රටවල් හා ජාතීන්ගේ ගණන 210 කි. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ද අබිබවා යන්නකි.

වසර 2018 සිට සිදු කළ ලෝක පාපන්දු (පිරිමි) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 200 වැනි ස්ථානය තෙක් පහළට පැමිණි ශ්‍රී ලංකාවට එයින් මිදීමට වසර ගණනාවක් බලා සිටීමට සිදු විය. 2017 දී 198 වැනි ස්ථානයේ සිට 2024 ජූනි වන විට ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානය දක්වා එම ශ්‍රේණිගත කිරීම් අනුව පසුබැස ගොස් තිබුණි.

ප්‍රකාශ වූ අලුත්ම ලෝක පාපන්දු  (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව ඇතුළු සෙසු සියලුම රටවල් පහළට ගොස් තිබියදී ශ්‍රී ලංකාව පමණක් 200 වැනි ස්ථානයේ සිට පියවර හතරකින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටීම කැපී පෙනේ.

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් වන ඉන්දියාව 133 වැනි ස්ථානයත්, මාලදිවයින171වැනි ස්ථානයත් නේපාලය 176 වැනි ස්ථානයත්, බංග්ලාදේශය 184 වැනි ස්ථානයත්, භූතානය 186 වැනි ස්ථානයත් හා පාකිස්තානය 201 වැනි ස්ථානයත් ලබා සිටී.

ඒ අනුව ඉන්දියාව ලෝක ශ්‍රේණිගත කිරීම් නවතම තත්ත්වය අනුවත් තවදුරටත් දකුණු ආසියානු කලාපයේ පෙරමුණ රැකගෙන සිටියි. ජූලි 10 වැනිදා ශ්‍රේණිගත කිරීම් අනුව ආසියානු කලාපයේ පළමු තැන ජපානයට හිමිව තිබේ.

එහිදී ලෝකයේම තවදුරටත් අංක එකේ පසු වන්නේ ලෝක කුසලාන (2024) දිනූ ආජන්ටිනාවයි. අලුත්ම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ඇත්තේ කොස්ටාරිකාවයි. ඔවුන් පසුවූ 54 වැනි ස්ථානයේ සිට 40 වැනි ස්ථානය දක්වා පියවර 14 කින් ඉහළට පැමිණීමට කොස්ටාරිකාව එහිදී සමත්ව සිටියි.

ඉහළම කඩා වැටීම ඊට අනුව ජැමෙයිකාව අත් කර ගෙන තිබේ. ඒ 63 සිට 70 වැනි ස්ථානය තෙක් පියවර හතකින් පහළට යාමයි. මෙම නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ආසියානු කලාපයෙන්ද ඉහළට එසවී තිබේ.

ශ්‍රී ලංකාවේ නැගී සිටීම පිළිබදව ලංකාදීපයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මෙසේ පැවැසීය

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු පිටියේ දිගින් දිගටම ලද කඩා වැටීමට මූලික හේතුව අපි හඳුනාගත්තා. එහිදී ගොඩ වෙදකම් අපි අත් හැරියා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ජාත්‍යන්තර තරග සභභාගිත්වය ඉහළ දැමීම තමයි අපි එහිදී වඩාත් හොඳ ප්‍රතිකර්මයක් ලෙස හඳුනා ගත්තේ. ඒක අපි ප්‍රායෝගිකව ඉටු කරමින් ඉන්න අතර මේ සාර්ථකත්වයට ළඟු වුණා.”‍ ඉදිරියටත් ජාතික පාපන්දු කණ්ඩායම සහභාගි කරන ජාත්‍යන්තර තරග ඉහළ දමන්න අපි කටයුතු කරනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සුහද ජාත්‍යන්තර පාපන්දු තරග කීපයකට මෙම වසරට සූදානම් කරන්න රටවල් කීපයක් එක්ක අපි සාකච්ඡා කර ගෙන යනවා. මාලදිවයිනත් ඒ අතර ඉන්නවා”‍

ශ්‍රී ලංකාව වසර 2024 හා 2025 මේ දක්වා සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරග 10 කින් හතරක් ජය ගෙන තරග තුනක් සම කරමින් අවසන් කර තිබේ. සෙසු තරග තුන පරාජය වී තිබේ.

මෑතකාලීනව ශ්‍රී ලංකා ජාතික (පිරිමි) කණ්ඩායමේ නැගී සිටීමේදී වසර 24 කට පසුව ලාඕසය පරාජය කිරීමත් වසර 16 කට පසුව බෲනායි පරාජය කිරීමත් කැපී පෙනේ. මෙම රටවල් දෙකම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට වඩා බොහෝ ඉදිරියෙන් පසු වන කණ්ඩායම් දෙකක්වීම ශ්‍රී ලංකාව ඔවුන් පරාජය කිරීමෙන් ලබා ගත් ඉහළම කීර්තියකි.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර තරග බිමේ එසේ නැගී සිටින විට මෙරට කාන්තා පාපන්දුවේ තවදුරටත් ඉහළ කඩා වැටීමක් පෙන්නුම් කරයි. ආසියානු කුසලාන - 2026 (කාන්තා) නිර්දේශ තරග වටයේදී ශ්‍රී ලංකාව දරුණු පරාජයක් අත් කර ගත්තේ ප්‍රතිවාදිනියන් තිදෙනෙකු හමුවේ ගෝල 20 - 0 ක් තරම් ඉහළ අගයකිනි.

එහිදී කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකාව ප්‍රතිවාදිනියන් හමුවේ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට සමත් නොවීමයි. ජූලි 21 වැනිදා බංග්ලාදේශයේ පැවැති දකුණු ආසියානු (කාන්තා) වයස 20 න් පහළ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු වටයේදී සහභාගි වූ තරග තුන ප්‍රතිවාදීනියන් හමුවේ 01 - 21 ක් තරම් වන ඉහළ අගයකින් පරාජය විය.

ශ්‍රී ලංකාව ලෝක පාපන්දු (කාන්තා) ශ්‍රේණිගත කිරීම් අනුව දැන් පසුවන්නේ 159 වැනි ස්ථානයේය. මෑතදී අත් කර ගත් පරාජයන් හමුවේ ශ්‍රී ලංකාවේ එම ස්ථානය තවත් පහළට යා හැකිය. මෙරට කාන්තා පාපන්දු ක්‍රීඩාවේ දීර්ඝකාලීන කඩා වැටීමට හේතුන් අතර ප්‍රමුඛතම කාරණාව ලෙස පාපන්දු විචාරකයන් පෙන්වා දෙන්නේ මෙරට විධිමත් දේශීය තරග සංවිධානයක් නොමැතිකමයි.

කාන්තා ක්‍රීඩා සමාජ එහිදී ආරක්ෂක හමුදා වලට පමණක් සීමාවී තිබෙන බවක් පෙන්නුම් කරයි. මෙරට සිවිල් සමාජයෙන් කාන්තා ක්‍රීඩා සමාජ පාපන්දු කණ්ඩායම් දැනටත් බිහිවී ඇත්තේ ඉතාම අතළොස්සකි. පාසල් පද්ධතිය තුළද පාපන්දු (කාන්තා) ක්‍රීඩාවට ඇත්තේ ඉතා උදාසීන ප්‍රතිපත්තියකි.

එහිදී කොළඹ පාසල් අභිබවා ගම්බද පාසල් මෙරට පාපන්දු ක්‍රීඩාවට ප්‍රවේශවීමේ නැඹුරුවක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සමග සහයෝගයෙන් කටයුතු නොකරන බවට චෝදනාවක් එල්ල වන්නේ බොහෝ කළක සිටය.

මෙම තත්වය පිළිබඳව විමසීමේදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මෙසේ පැවැසීය.

“ජාතික පාපන්දු (පිරිමි) කණ්ඩායමේ කඩා වැටීමට අපි සාර්ථකව පිළියම් යොදමින් ඉන්නවා. දැන් අපි රටේ කාන්තා පාපන්දු ක්‍රීඩාවටත් මීට පෙර නොකළ අවධානය යොමු කරනවා.

රටේ කාන්තා පාපන්දු ක්‍රීඩාවේත් අපි පූර්ණ වෙනසක් කරනවා. මේ ක්‍රමයට තවදුරටත් යන්න බෑ. එතනදී කළ යුතු හැම වෙනසක්ම අපි කරනවා. එතනදී ජාතික කාන්තා කණ්ඩායමේ දැන් ඉන්න ක්‍රීඩිකාවන් වගේම නිලධාරීන් හා නිලධාරීනියන් වැඩි දෙනෙකුට කණ්ඩායමේ අවස්ථාව නැති වෙන්න පුළුවන්. අපිට හැම දේට ම වඩා රට ගැන හිතන්න වෙනවා.”‍

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ඉකුත්දා පැවැති වාර්ෂික මහ සභා රැස්වීමේ දී මෙම වසර (2025) සඳහා රුපියල් කෝටි 100 ක අය වැය ඇස්තමේන්තුවක් සභා සම්මත කළේය. ඉන් කෝටි 37 ක් ජාතික (පිරිමි) පාපන්දු කණ්ඩායමේ ප්‍රවර්ධන කටයුතු සඳහාය. කාන්තා ජාතික කණ්ඩායම වෙනුවෙන් එහිදී රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් ප්‍රවර්ධනය සඳහා යෙදවීමට පාපන්දු ආයතනය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැරුණු විට මෙරට ඊළඟට වැඩිම විදේශීය අරමුදල් ආදායමක් ලබන මෙරට ජාතික ක්‍රීඩා සංවිධානය වන්නේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයයි.

- නාමල් පතිරගේ