ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ක්‍රිකට් තරගාවලිය අරඹමින් පළමු ටෙස්ට් තරගය එළැඹෙන අඟහරුවාදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙයි. ඔස්ට්‍රේලියාව හමුවේ ගාල්ලේ දී ලැබූ පරාජයෙන් පසුව මේ තරගය ජයග්‍රහණය කිරීමේ අධිෂ්ඨානය සහ හැකියාව ඇතිව ශ්‍රී ලංකාව මේ තරගයට යොමුවෙයි. එසේ කියන්නේ බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ දී අසාර්ථක කණ්ඩායමක් වීමත් ඔවුන්ගේ වර්තමාන රිද්මයද බොහෝ සෙයින් දියාරු ස්වරූපයක් ගැනීමත් නිසාය. ශ්‍රී ලංකාවේ දී මෙතෙක් ටෙස්ට් තරග 14 ක් ක්‍රීඩා කර ඉන් 11 ක්ම පරාජයට පත්ව සිටින බංග්ලාදේශය ජයගෙන ඇත්තේ එක් ටෙස්ට් තරගයක් පමණි. මේ නිසා මෙවර ද ශ්‍රී ලංකාවට පරාජය වීමට ඉඩක් නැත.
පසුගිය වසර දෙකක කාලයේ දී ටෙස්ට් පිටියේ දී බංග්ලාදේශය ලැබූ සුවිශේෂම ජයග්‍රහණය පාකිස්ථානයට එරෙහිව පාකිස්ථානයේ දී ලැබූ 2-0 ක ටෙස්ට් ජයග්‍රහණයයි. මේ ජයග්‍රහණයෙන් පසුව බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නව පණක් ලබනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළද එය සිදුවූයේ නැත. එම ජයග්‍රණයෙන් පසුව බංග්ලාදේශය ජයගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක් තරගයක් සහ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක් තරගයකි. මෙහිදී සිම්බාබ්වේට එරෙහිව ඔවුහු එක් තරගයක් පරාජය වූහ. එහෙත් අප අමතක නොකළ යුතු දෙයක් තිබේ. පාකිස්ථානයට එරෙහිව පාකිස්ථානයේ දීත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොදෙව් දූපත්වලදීත් බංග්ලාදේශය ටෙස්ට් ජයග්‍රහණ වාර්තා කළ බවයි. කොදෙව් සංචාරය ඔවුන් අවසන් වරට තම රටින් පිට කළ සංචාරයයි. එහිදී ද ඔවුන් තරගයක් ජයගෙන තිබේ. එහිදී පළමු ඉණිමේ දී නහිද් රානාගේ වේග පන්දු යැවීමත් දෙවැනි ඉණිමේ තයිජුල් ඉස්ලාම්ගේ දඟ පන්දු යැවීමත් ජයග්‍රහණයට පාර කැපීය. මේ නිසා බංග්ලාදේශය පරාජයට පත් කළ යුතු සහ කළ හැකි කණ්ඩායමක් වුවත් ඔවුන් පසුගිය වසර දෙක තුළ විදේශයන්හි ජයග්‍රහණ ලබා ඒ රසය විඳ ඇති කණ්ඩායමක් බව මතකයේ තබාගෙන ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ යුතුව තිබේ.
මෙවර තරගාවලියේ දීත් ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා මෙහිදී හසන් මිරාස්ය. බංග්ලාදේශය වෙනුවෙන් පසුගිය සමයේ දිගින් දිගටම සාර්ථක වූ ක්‍රීඩකයා ඔහුය. අවසන් ටෙස්ට් තරග 15 දී පිතිකරුවෙකු ලෙස ලකුණු 871 ක් රැස් කර ඇති ඔහු පන්දු යවන්නෙකු ලෙස කඩුළු 57 ක් දවාගෙන තිබේ. මේ නිසා ශ්‍රී ලංකාව අවධානයෙන්ම සිටිය යුතු බංග්ලාදේශ ක්‍රීඩකයා වන්නේ මිරාස්ය. බංග්ලාදේශ පිතිකරු ලැයිස්තුව බැලූ බැල්මට හොඳය. මෙතෙක් සිදුවී නැත්තේ ඔවුන් ගෙන් සිව් දෙනෙකු එකවර ක්‍රියාත්මක වීමය. ලිටන් දාස් ශාන්තෝ මුෂ්ෆිකර් රහීම් මොමිනුල් හක් යන පිතිකරුවන් සිව් දෙනාම හොඳම පිතිකරුවෝ වෙති. මෙයින් මුෂ්ෆිකර් සහ මොමිනුල් ශ්‍රී ලංකාවට එරෙහිව විශ්වාසයෙන් පහර දෙන පිතිකරුවන් දෙදෙනෙකි. මේ පිරිසට වේගයෙන් පන්දුවට පහර දෙන ජකර් අලීද හා මිරාස් එක්වූ විට එය හොඳ පිතිකරු ලැයිස්තුවකි.
මේ පිතිකරුවන් මෙල්ල කරන්නට ශ්‍රී ලංකාව කුමන ආකාරයේ පන්දු යවන්නන් යොදවයි ද යන්න ගැන බොහෝ දෙනා කල්පනා කරන බව නොරහසකි. අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, මිලාන් රත්නායක, අකිල ධනංජය, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක යන පන්දු යවන්නන් පස් දෙනා මේ තරගාවලියට එක්වන සංචිතයේ සිටියි. මෙයින් 4 දෙනෙකු අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරයි. එහිදී ගාල්ලේ දී අසිත ප්‍රනාන්දු සමග පන්දු යැවීම ආරම්භ කරන්නේ කවුද යන්න මෙහිදී ප්‍රධාන ප්‍රශ්නය වෙයි. මිලාන් රත්නායක සමග ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ නම් අතිරේක පිතිකරුවෙකු ද ලැබේ. එහෙත් අපේ අදහස නම් අසිත සමග ළහිරු කුමාර ක්‍රීඩා කිරීම නව පන්දුවේ වාසිය ගැනීමට හේතුවනු ඇති බවයි. අනෙක් අතින් ගාල්ල තණතිල්ල හොඳටම කරකවන්නට හැකියාවක්ද නැත. එසේ කියන්නේ තයිජුල් සහ මෙහිදි හසන් ගේ රිද්මය නිසාය. මේ නිසා ඉතාම කල්පනාවෙන් මෙවර පන්දු යවන්නන් තෝරා ගත යුතුව තිබේ.
පැතුම්, චන්දිමාල්, මැතිව්ස්, කමිදු, ධනංජය, කුසල්, ප්‍රභාත්, අසිත සහ ළහිරු ස්ථිර ස්ථාන ඇති ක්‍රීඩකයන්ය. මෙහිදී අකිල ධනංජය සමග ක්‍රීඩා කරනවාද නැද්ද යන ප්‍රශ්න ඇතිවේ. කමිදු, ධනංජය යන දෙදෙනාම ක්‍රීඩා කරන්නේ නම් තවත් සහ තණතිල්ල යම් ආකාරයක වේග පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයක තිබේ නම් අතිරේක මඳ වේග පන්දු යවන්නෙකු සමග ක්‍රීඩා කිරීමේ හැකියාව තිබේ. එනම් මිලාන් රත්නායක සහ සොනාල් දිනූෂය. මෙහින් මිලාන් මේ අවස්ථාවේ ඉදිරියෙන් සිටියි. එහෙත් ගාල්ල එක රැයින් වේගවත් වේ යැයි විශ්වාස කළ නොහැකි. මේ නිසා අකිල ධංනජයට අවස්ථාව වැඩිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා කවුද යන්න බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති කරුණ විය හැකිය. මෙහිදී ඕෂධ ප්‍රනාන්දු සහ ලහිරු උදාර යන දෙදෙනා කණ්ඩායමට ආරම්භක පිතිකරුවන් ලෙස නම් වී තිබේ. මෙහිදී සුපර් ලීග් තරගාවලියේ ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් ලැබූ ඕෂධ ඉදිරියෙන් සිටියි. එහෙත් ඔහු ජාත්‍යන්තර පිටියේ ලැබෙන අවස්ථාවන් නිසි ලෙස ගත් පිතිකරුවෙකු නොවේ. කෙසේ වෙතත් මේ අවසන් අවස්ථාව විය හැකිය. ළහිරු උදාර කාලයක් තිසේසේ පළමු පෙළ ක්‍රිකට් තරගවලදී දස්කම් දක්වන අවස්ථාවක් ඉල්ලා සිටින අයෙකි. මේ නිසා ඕෂධ පළමු තරගය ගොඩ දමා ගත්තේ නැත්නම් දෙවැනි තරගයේ වෙනසක් වීමට ඇති ඉඩ බොහෝ වැඩිය.
පළමු තරගයෙන් පසුව මැතිව්ස් ටෙස්ට් දිවියෙන් සමුගැනීම නිසා අංක 04 ස්ථානය ක්‍රීඩා කරන්නේ කවුද යන ප්‍රශ්නය තිබේ. එය එතරම් බැරෑරුම් ප්‍රශ්නයක් නොවනු ඇත්තේ කමිඳු මෙන්ඩිස් එතැනට පැමිණීම වඩාත් යෝග්‍යවන නිසාය. මෙතැනට මෙන්ඩිස් පැමිණෙන්නේ නැත්නම් අංක 04 ට සුදුසු ක්‍රීඩකයා වන්නේ පසිඳු සූරිය බණ්ඩාරයි. නිරන්තරයෙන් අංක 03, 04 ස්ථානවල ක්‍රීඩා කර ඇති ඔහුට එය ගැළපෙයි. එහෙත් කමිඳු අංක 04 ට පැමිණෙන්නේ නම් අංක06 සඳහා සුදුසුම ක්‍රීඩකයා වන්නේ පවන් රත්නායකයි. වර්තමානයේ ඔහු සිටින රිද්මය අනුව ඔහුට එතැන ගැළපේ. මේ නිසා ජ්‍යෙෂ්ටයන් පිතිකරු ලැයිස්තුවේ වෙනසකට සූදානම් නැද්ද යන්න මත මේ ක්‍රීඩකයන් දෙදෙනා අතරින් දෙවැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් ලබන්නා තීරණය වනු ඇත. එහෙත් සාධාරණ තර්කය වන්නේ ඉදිරි අංකවල පිතිකරුවෙකු ලෙස පසිඳු සූරියබණ්ඩාර පළමු පෙළ තරගවලදී දක්වා ඇති දක්ෂතාවයයි. පළමු පෙළ ලකුණු 56 ක සාමාන්‍යයක් පවත්වාගෙන යන පිතිකරුවෙකු ටෙස්ට් කණ්ඩායමට නොපැමිණීම පළමුපෙළ දක්ෂතා අගය නොකිරීමක් විය හැකිය. කෙසේ වුවද කාලයක් ක්‍රීඩා කළ ජ්‍යෙෂ්ටයෙකුගෙන් ඇතිවන හිස්තැන පුරවන්නට කෙනෙකු සොයා ගන්නා විට අනිවාර්යයෙන්ම අලුත් ක්‍රීඩකයාගේ වාසනාව දැඩිව බලපෑම් කරන බව නම් නොරහසකි.
මේ පිතිකරුවන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ එබදොත් හුසේන්, නහීද් රානා, මෙහිදි හසන් මිරාස්, තයිජුල් ඉස්ලාම් ඇතුළු පන්දු යවන්නන්ටය. අනෙක් පන්දු යවන්නන් අත්දැකීම් අඩු ක්‍රීඩකයන්ය. එහෙත් ප්‍රධාන පන්දු යවන්නන් සිව් දෙනාට යමක් කරන්නට හැකියාවක් ඇත. එය අප කිසිසේත්ම අමතක නොකළ යුතුය.
බංග්ලාදේශයේ අවසන් ටෙස්ට් තරග 15 ගැන අප පෙර දී කතා කළ අතර ශ්‍රී ලංකාව අවසන් වසර දෙකේ දී ටෙස්ට් තරග 14 කට ක්‍රීඩා කර ඇති අතර මෙහිදී තරග අටක් පරාජය වී තිබේ. එයින් අවසන් ටෙස්ට් තරග 4ම පරාජයට පත්ව තිබීම කැපී පෙනෙයි. අනෙක් අතින් පසුගිය වසර දෙකේ දී ගාල්ලේ පැවති තරග 5 කින් 3 ක් පරාජය වී තිබේ. මේ නිසා ශ්‍රී ලංකාව පැත්තෙන් හදාගත යුතු කරුණු රැසක් ඇති බව පැහැදිලිය.
මේ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගයයි. එහෙයින් මැතිව්ස් ගෙන් සියයට සියයක උපරිමයක් ලැබෙනු ඇත. අපට මතක් වෙන්නේ අරවින් ද සිල්වා ගේ අවසන් ටෙස්ට් තරගයයි. ඔහුද තමන්ගේ අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ බංග්ලාදේශයට එරෙහිවයි. ඔහුගේ අවසන් ඉණිම ලකුණු 206 කි. මැතිව්ස් ද අරවින්ද ආසන්නයට පැමිණි ටෙස්ට් පිතිකරුවෙකි. එහෙයින්ම මැතිව්ස් ජයග්‍රහණයකින් තමන්ගේ ටෙස්ට් දිවිය නිමා කරනු ඇතැයි අපි විශ්වාස කරමු.
කාංචන දසනායක