අවසන් කෑම වේලත් සමග මියගිය ඩයිනෝසරයෙකුගේ පොසිල අස්ථි සොයා ගැනීමට විද්‍යාඥයෝ පිරිසක් පසුගිය දා සමත් වූහ. පොසිල විද්‍යාඥයන්ට අනුව මෙය ඉතා වැදගත් සුවිශේෂ සොයාගැනීමකි. මෙම සොයා ගැනීමේ තවත් විශේෂත්වයක් වන්නේ, පොසිලකරණයට ලක්වුණු මෙම ඩයිනෝසරයා මීට පෙර හමු නොවුණු ඩයිනෝසරයෙකු වීමය.
දකුණු ඇමරිකාවේ දකුණුදිග කෙළවරේ පිහිටි විශාල භූගෝලීය කලාප හැඳින්වෙන්නේ පැටගෝනියාව යනුවෙනි. ආර්ජන්ටිනාව සහ චිලී යන රටවල් මෙම භූමි කලාපයට අයත් වෙයි. මෙම භූමිය එහි විස්මයජනක ස්වාභාවික සුන්දරත්වයට ප්‍රසිද්ධය. බටහිරින් අන්දීස් කඳු වැටියේ දකුණු කොටස, හිම කඳු, ග්ලැසියර, විල් සහ වැසි වනාන්තර ද, නැගෙනහිරින් කාන්තාර, සානුවලින් මෙන්ම ස්ටෙප්ස් තණ බිම්වලින් ද වියළි බිම්වලින් ද සමන්විතය.
පැටගෝනියාවේ ආජන්ටිනාවට අයත් හුවාපි කැණීම් භූමියේ කැණීම් කරමින් සිටි පොසිල විද්‍යාඥයන්ට නව ඩයිනෝසරයෙකුගේ අස්ථි කොටස් හමුවිය. පොසිලකරණයට ලක්වුණු තියුණු නිය වලින් පැහැදිලි වූයේ මේ ඩයිනෝසරයා බිහිසුණු විලෝපිකයකු බවය. කශේරුකාවේත්, වල්ගයේත් පොසිලකරණයට ලක්වුණු අස්ථි - විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලදි. ඒත් වැදගත්ම සොයාගැනීම දක්නට ලැබුණේ ඩයිනෝසරයාගේ මුඛයේ පොසිලකරණයට ලක්වුණු දත් අතරිනි. දත් අතරේ වූ අස්ථියක් ගැන විද්‍යාඥයන්ගේ අවධානය යොමු විය. ඒ අස්ථිය ඩයිනෝසරයා ගේ අස්ථියක් නොවුණු බව පැහැදිලිව පෙනෙන්නට විය. එය එදා ඩයිනෝසරයා ජීවත් වූ කාලයේ වාසය කළ කිඹුල් පවුලට අයත් උරගයකුගේ අස්ථියකි. ඩයිනෝසරයා ගේ ප්‍රියතම ආහාරය වන්නට ඇත්තේ මෙම කිඹුල් විශේෂය විය හැකිය.
කිඹුලා අල්ලා ගෙන ආහාරයට ගනිමින් සිටිද් දී මියගිය මෙම ඩයිනෝසරයා නව ඩයිනෝසර් විශේෂයකට අයත් බව වැඩිදුර විමර්ශනවල දී තහවුරු විය. මේ ඩයිනෝසරයා අයත් වන්නේ මෙගාරැප්ටෝරා යනුවෙන් හැඳින්වෙන ඩයිනෝසර් විශේෂයට බැව් විද්‍යාඥයන් සැක හැර දැනගත්තේ ඉන් පසුවය. බිහිසුණු විලෝපික ඩයිනෝසරයන් වන මෙගාරැප්ටෝරා ඩයිනෝසර් පොසිල අස්ථි මීට පෙර ආජන්ටිනාවෙන් හමුවී ඇත. ඒත් මෙවැනි මෙගාරැප්ටෝරා ඩයිනෝසරයෙකු හමුවී නැත. ඊට අමතරව මෙගාරැප්ටෝරා ඩයිනෝසර් පොසිල අස්ථි මධ්‍යම ආසියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් හමුවී ඇත. එයින් පැහැදිලි වෙන්නේ ඈත අතීතයේ මෙම ඩයිනෝසරයන් ලොව පුරා ව්‍යාප්තව සිටින්නට ඇති බවය.
හමුවුණු පොසිල අස්ථි අනුව මේ මෙගාරැප්ටෝරා ඩයිනෝසරයා එම විශේෂයේ අලුත් සාමාජිකයකු බව විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීමය. මෙගරැප්ටෝරා යනුවෙන් හැඳින්වෙන්නේ දෙපා (පසුපස ගාත්‍රාවලින් ඇවිද ගිය) ඩයිනෝසර වර්ගයකි. මොවුන් ගේ විශේෂත්වය දිග අත් පිහිටීමය. අප කවුරුත් හොඳින් දන්නා ඩයිනෝසර ලොවේ රජු ලෙස ද සැලකෙන ටයිරැනසෝරස් රෙක්ස් ඩයිනෝසරයන්ගේ අත් කෙටි වූ අතර, මෙගරැප්ටෝරා වර්ගයට අයත් ඩයිනසෝරයන් ගේ අත් දිගු විය.
ඒවා තියුණු නියවලින් සමන්විත විය. මේ නියවලින් ගොදුරු හොඳින් අල්ලා ගැනීම සිදු කරන්නට ඇතිය යන්න විද්‍යාඥයන්ගේ අදහසය.
හමුවුණු මෙම නව ඩයිනෝසරයා විද්‍යාඥයන් නම් කර ඇත්තේ, වෝකින්රැප්ටර් කැසාලි යනුවෙනි. ඩයිනෝසරගේ හිසේ සිට වල්ගය තෙක් දිග මීටර් 7 ක් පමණය. මේ සත්ත්වයා ජීවත් වන්නට ඇතැයි පැවැසෙන්නේ මිලියන 66 ත් 70 ත් අතර කාලයේය. මිය යද්දී මෙම ඩයිනෝසරයාගේ වයස අවුරුදු 19 ක් වන්නට ඇතැයි පැවැසෙයි. විද්‍යාඥයන් මේ බව අනාවරණය කර ගත්තේ පොසිල අස්ථි හොඳින් පරීක්ෂා කිරීමෙනි. වෝකින්රැප්ටර් කැසාලි ලෙස නම් කරමින් මෙම නව ඩයිනෝසරයා හඳුනා ගත්තත්, උගේ දත් අතරේ තිබී හමුවුණු අස්ථි කිඹුල් ඥාතියකුගේ යැයි හඳුනා ගත්තත්, වෝකින්රැප්ටර් කැසාලි මිය ගියේ කෙසේදැයි අවබෝධ කර ගැනීමට විද්‍යාඥයන් සමත් වී නැත.
වසර මිලියන 160 කට අධික කාලයක් පෘථිවියේ ආධිපත්‍යය රඳවාගත්තේ ඩයිනෝසරයන් ය. උරගයන් සේ පෙනුණත් ඩයිනෝසරයන් සමානකම් දක්වන්නේ කුරුල්ලන්ට ය. විද්‍යාඥයන් මේ බව පවසන්නේ ඩයිනෝසර අස්ථි අනුවය. ඩයිනෝසර් යන වදනෙහි අරුත බිහිසුණු උරගයා (කටුස්සා) යන්නය. බ්‍රිතාන්‍ය ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ශ්‍රීමත් රිචඩ් ඕවන් විසින් 1842 දී මෙම නාමය හඳුන්වා දෙනු ලැබුණි. ඩයිනෝසරයන් ජීවත් වූයේ මීසොසොයික් අවධියේ ය. මෙම අවධිය කොටස් තුනකි. ත්‍රියාසික යුගය, ජුරාසික යුගය සහ ක්‍රිටේසීය යුගය යනුවෙනි. ඩයිනෝසරයන් වර්ගීකරණය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය පදනම් වී ඇත්තේ ඔවුන් ගේ ශ්‍රෝණි (උකුල්) අස්ථිවල සැකැස්මට අනුවය.
ලුසිත ජයමාන්න
ලයිව් සයන්ස් ඇසුරිනි