නිවසක – සතුට, සමගිය, ධනය රැකගැනීමට මිනිසුන් නොකරන දෙයක් නැති තරම්. නිවසක මුළුතැන්ගෙය හා එහි පිහිටීම එම නිවසේ දියුණුවට මෙන්ම එහි වෙසෙන නිවැසියන්ගේ සමගිය, සමාදානය, නිරෝගීභාවය යන කරුණුවලට හේතු සාධක වේ.මේ කතාව ධනය, සතුට රකින ඔබේ මුළුතැන්ගෙයි වාස්තු රහස් පිළිබඳවයි.
- නිවසක මුළුතැන්ගෙට සුභම දිශාව
අග්නි දේවතාවාට අයිති දිශාව ගිනිකොන දිශාව බැවින් මුළුතැන්ගෙය සෑදිය යුත්තේ නිවසක ගිනිකොන දිශාවේ ය. මෙම දිශාවේ කුස්සිය ඉදිකිරීම තුළින් ගෙහිමියන්ට සැප සම්පත් නොඅඩුව ලැබෙන බව වාස්තු විද්‍යානුකූලව පිළිගැනෙයි. කුස්සියට වඩා උචිත දිශාව ලෙස ගණන් ගැනෙන්නේ ද ගිනිකොන දිශාව වුවත්, ගිනිකොන ගැනීමට නොහැකි නම් ඊසාන සහ නිරිත යන දිශාවන් හැරෙන්නට අනෙකුත් ඕනෑම දිශෘවකට මුළුතැන්ගෙය ස්ථාන කළ හැකිය.
මොඩර්න් විලාසිතා අනුව මේ වෙනකොට බොහෝ නිවෙස්වල ආලින්දයට පිවිසෙනවාත් එක්ක දක්නට ලැබෙන්නේ මුළුතැන්ගෙය. මෙය ඉතාම අසුබ පිහිටීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මුළුතැන්ගෙයි ළිප ස්ථාන ගත කිරිමේ දී ගින්දර පත්තු කිරිමේ ළිපත් ගිනිකොන දිශාවට ගැනීම ඉතාම සුභ වෙනවා. ඒ වගේම මුළුතැන්ගෙයි ලිප සහ වතුර කරාමය අතරේ පැහැදිලි පරතරයක් තිබිය යුතුය.
- ඔබ මුළුතැන්ගේ පරිහරණය කරන දේවල් ගැන සැලකිලිමත් වන්න
“ලුණු - නිවසක ලුණු පොල්කට්ට හිස් වෙනවාය කියන්නේ ඉතාම අසුභ දෙයක්. යම් ලෙසකින් නිවසක ඇති ලුණු පොල්කට්ට හිස් වුණොත් ධන විනාශයක් අනිවාර්යයෙන්ම ඇතිවෙනවාය යන්න බව පුරාණයේ සිට පැවැත එන විශ්වාසයක්. ඒ වගේම මුළුතැන්ගෙයි වතුර කළයක් එහෙම නැත්නම් වතුර ජෝග්ගුවක් තිබේ නම් කිසිම විටෙක හිස් කරන්න එපා. එමගින් ආර්ථික අපහසුතා ඇතිවීම එසේත් නොමැති නම් නිස්කාරණයේ මුදල් වියදම්වීමක් සිදුවන බවයි පැවසෙන්නේ. අනෙක් කාරණය තමයි ඔබේ නිවසේ වංගෙඩියක් තිබේ නම් කිසිම වෙලාවක වංගෙඩිය උඩ ඉඳගන්න එපා. මුළුතැන්ගෙයි උපකරණයක් වන පිටි කොටන වංගෙඩිය මත ඉඳගැනීම සුබදායක නොවේ. මුළුතැන්ගෙට අදාළ නැති කිසිවක් මුළු තැන්ගෙයි නොතිබිය යුතුයි. විශේෂයෙන් නිවසේ පිරිසිදු කරන උපකරණ, වැඩකට නැති බඩු, සියල්ල මුළුතැන්ගෙට ගොඩ ගහන නිවෙස් අප දැක තිබෙනවා. මේවා ඉතාම අසුබ දෙයක්. නිවසක ආලින්දයට වඩා වඩාත්ම පිරිසිදුව මනස්කාන්තව තබාගත යුත්තේ මුළුතැන්ගෙයයි. ඒ වගේම තමයි මුළුතැන්ගෙයි කුණු කසළ භාජනය, ඉඳුල් තැබිය යුත්තේ මුළුතැන්ගෙයින් පිටතයි.
- වතුර කරාමයකින් වතුර කාන්දු වීම මුදල් නාස්තිට හේතුවක්?
මේක ඉතාම දරුණු ධන හානියක පෙරනිමිත්තක්. තමන්ගේ ඇසට පෙනෙන හෝ නොපෙනෙන ජල කරාමයකින් වතුර බට දෙකක් එකට සම්බන්ධ වෙන ස්ථානයකින් වතුර බිංදුවක් හෝ වැටෙනව නම් හැකි ඉක්මනින් ඒ කාන්දුව සෑදිය යුතුයි.වතුර කාන්දු වෙනවා කියන්නේ ඒ ගෙදර විශාල ධන හානියකට හේතුවක් වෙන බවට පෙර නිමිත්තක්. කාන්දු වන ජල බිංදුව ඔබ නොදැනුවත්ව හූනියමක් බවට පත්වෙන්න පුළුවන්.
- ගෙදරක ඊසාන පැත්ත අවහිර වුණොත් මොකද වෙන්නේ?
ගෙදරක මුලින්ම වැදගත් වෙන්නේ ඊසාන දිශාවයි. ගෙදරක සතුට නැති කරන ප්‍රධානම දේ වෙන්නෙත් ඊසාන පැත්ත අවහිර වීමයි .මොකද ඒකට හේතුව නිරෝගී පවුලක් ඉන්න ගෙදරකට ශක්තිය ගලාගෙන එන්නේ ඊසාන දිශාවෙන්. අපි ගෙදරක ඊසාන පැත්ත අවහිර වෙන්නේ නැති විදිහට අපවිත්‍ර වෙන්නේ නැති විදිහට, අවලස්සන වෙන්නේ නැති විදිහට නිදහසේ ශක්තිය ගලාගෙන එන විදිහට සුදුසු පරිදි ගෙදර සහ ගෙවත්ත සකස් කරලා තියෙනව නම් ඒ ගෙදර ධන වාසනාව ඉහළයි. කවදාවත් නිදන කාමරයක්, මුළුතැන්ගෙයක්, නාන කාමරයක්, ගරාජයක්, නැත්නම් ගබඩා කාමරයක් වගේ දෙයක් ඊසාන පැත්තට සුදුසු වන්නේ නැහැ. මොකද ඒ නිවසට ගලාගෙන එන ශක්තිය අවහිර වෙන නිසා. ඒ නිසා වාස්තු විද්‍යා මූලධර්මයක් හැටියට ඕනම ගෙදරක ඊසාන පැත්ත තමයි විසිත්ත කාමරය විදිහට ගන්නේ. මොකද නිදහස් අවකාශය වැඩිපුරම තියෙන්නේ ඊසාන පැත්තේ නිසා. විශේෂයෙන් ගෙදරක ඊසාන පැත්තට බර ගෘහ භාණ්ඩ තැන්පත් කරන්න සුදුසු නැහැ. ඊසාන පැත්ත පවත්වාගත යුතු ක්‍රමය වන්නේ ගෘහභාණ්ඩ අඩු අවකාශ වැඩි විදිහටයි.
ඒ වගේම ඊසාන පැත්තේ වැසිකිළියක්, වැසිකිළි වළක්, මුළුතැන්ගෙයින් බැහැර කරන අප ජලය, නානකාමරයක්, කුණු රැස්කරන වළවල් මේ ඊසාන පැත්තේ ස්ථාන ගත කරන්නේ නැහැ. එහෙම ගබඩා කරලා තියෙනව නම් ඒ ගෙදර ගෘහ මූලිකයාගේ සිට බාලම සාමාජිකයා දක්වා වූ සියලු දෙනාම ග්‍රහචාරය කොච්චර බලවත් වුණත් ඒ ගෙදර ඇතුළේ ජීවත් වෙන්නේ අසතුටෙන්. එකිනෙකාට එකිනෙකා රුස්සන්නේ නෑ. ලෙඩ වීමේ සීමාවක් නෑ. අඹු සැමියන් අතර අඬදබර ඇතිවීම් සීමාවක් නෑ.
- බටහිර - නිදන කාමරවලට, කෑම කාමරවලට බය නැතුව පාවිච්චි කරන්න
බටහිර දිශාව කියන්නේ අසුභ දිශාවක් නෙමෙයි. ශක්තිය පිරැණ බලවත් දිශාවක්. නිදන කාමරවලට කෑම කාමරවලට ඉතාම සුබ දිශාවක්. නමුත් සංස්කෘතිමය කාරණාවක් නිසා කෙනෙක් මිය ගියාට පස්සේ මියගිය පුද්ගලයාගේ හිස බටහිරට තැබීමේ සංස්කෘතිමය, චාරිත්රමය හේතුවක් නිසා තමයි අනියත බයක් ඇති වෙලා තියෙන්නේ බටහිර අසුබ දිශාවක් කියලා. ශක්ති ගලන නීති අනුව බටහිර ප්‍රබල දිශාවක් හැටියට පිළිගන්න පුළුවන්. ඒත් ගෙදරක මුළුතැන්ගෙය ස්ථාන ගත කරන්න හොඳම පැත්ත වෙන්නේ ගිනිකොන දිශාව. මුළුතැන් ගෙයක් ගන්න බැරි දිශාවන් දෙකයි තියෙන්නේ ඒ මතයි ඊසාන සහ නිරිත කියන දිශාවන් දෙක. ගෙදරක ඊගල වැදගත් දේ තමයි නාන කාමරේ. නාන කාමරේකට, අප ජලය ගලායන්නට, වැසිකිළි වළවල්වලට සුදුසුම දිශාව වෙන්නේ වයඹ දිශාව.
- හම්බ කරලා ගෙදරට ගේන මුදල් වාෂ්ප වෙනව ද?
මුදල්, වටිනා රන් අභරණ සේප්පුවක්, අල්මාරියක් කිසිම වෙලාවක වයඹ දිශාවේ තැන්පත් කරන්න එපා. වයඹ පැත්තේ තැන්පත් කරන දේ ඉතාම ඉක්මනින් ක්ෂය වෙනවා. වයඹ සහ ගිනිකොන කියන්නේ එකම අක්ෂයක්.බටහිරට අල්මාරිය තියලා පියන් නැගෙනහිර දිශාවට අරිනව නම් ඉතාම ශුභයි.
අනිත් එක තමන්ගේ ගෙදර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගෘහභාණ්ඩවලින් පුරවන්න එපා. අඩුම තරමේ යම් ගෙදරක වර්ග ප්‍රමාණයෙන් සියයට පනහකට වඩා වැඩි ප්‍රමාණයක් හිස්ව නිදහසේ ගමන් කරන්න ගෘහභාණ්ඩ වලින් තොර අවකාශය හැටියට භාවිතයට ගන්න ඕන. එතකොටයි ඒ ගෙදරට එන ධනය සතුට බවට පත්වෙලා සතුට රැඳෙන්නේ.
අනෙක් ප්‍රධාම කරුණ වන්නේ ගෙවත්තෙන් එළියට යන ගේට්ටුව නිරිත දිශාවට ඉතාම අශුභයි. නිරිත විවෘත වෙලා තිබුණොත් ගෙදරට එන ධනය එනවට වඩා වේගයෙන් ආපසු යනවා. පතොක් වැනි කටු සහිත කිරි සහ මල් හට ගන්නේ නැති විසිතුරු පැළෑටිත් නිවෙස් ඉදිරිපිටට ඉතාම අශුභයි. ඒ වගේම වතුසුද්ද ගස් නිවස සමීපයේ සිටුවීම කිසිසේත්ම සුදුසු වෙන්නේ නෑ.
අනිත් එක කිසිම වෙලාවක ලස්සනයි කියලා සංචාරක හෝටල්වල තියෙන දේවල් ගෙවල්වල කරන්න යන්න එපා. ඒවා බලන් ඇවිත් ඒ විදිහට නිවාස සැලසුම් කරන්න එපා. හෝටල් කියන්නේ අපි ගිහින් දිනයක් දෙකක් ඉඳලා එන තැනක්. ඒවා නිර්මාණය වෙලා තිබෙන්නේ ඒ විදිහට. ඒ සැලසුම් අපි ජීවිත කාලෙම ජීවත් වෙන්න හදන නිවාසවලට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ.
අනෙක් කාරණය තමයි කවදාවත් ගෙවල් ඇතුළේ කිසිම වෙලාවක පොකුණු දන්න එපා. හදපු දා ඉඳන් ගෙදර සතුට ධනය නැති වෙනවා. ගෙවල්වලට කරන ලොකුම හූනියම තමයි මාළු ටැංකි වතුර වලවල් පොකුණු කියන්නේ. ගෙදරක් ශුභ වෙන්න නම් ඊසාන සහ නිරිත පැත්ත පිරිසිදුව නිරවුල්ව තබා ගන්න ඕන. පළමු හිරු රැස් වැටෙන මෙහොතේ සිට උදෑසන 8 පමණ වෙනතුරු සියලුම දොර ජනෙල් විවෘත කර තබන්න ඕන. නැවුම් වාතය නැවුම් සූර්ය ආලෝකය ගෙට ගැනීම ඉතාම ශුභයි. අනෙක් කාරණය දවසකට එක් වරක් හෝ ගෙදර සෑම තැනක්ම කොසු පාරක් වදින විදිහට අතුගෑම අවශ්‍යයි.
නදීෂා අතුකෝරළ