ගුවනින් යන විදුලි මෝටර් රිය


 ඡායාරූප අන්තර්ජාලයෙනි

 

  • සම්පූර්ණයෙන්ම බැටරියෙන් ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රික් මෝටර් රථය නිර්මාණය කළේ ස්වීඩන් ජාතිකයින් දෙදෙනෙක්
  • යුරෝපයේ දැන් මෙම පියාඹන මෝටර් රථය ඉතා ප්‍රසිද්ධයි. විනාඩි 20 න් ඔෆිස් එකට යන්න පුළුවනි
  • තමුන්ටම පදවාගෙන යා හැකියි (පියාසර කරවා ගත හැකියි) මෙහි බර කිලෝ ග්‍රෑම් 86 කි. මිල ඩොලර් 92,000 යි. 

 

දිනෙන් දින උග්‍ර වන බලශක්ති අර්බුදය හමුවේ ලෝකයේ බොහෝ දියුණු රටවල් ඊට විකල්ප සෙවීමට පටන් ගත්තේ මීට වසර කීපයක සිටය. ඉන්ධන වෙනුවට භාවිත කළ හැකි විකල්ප මොනවාද යන්න පර්‌යේෂණ කරන අතරේ ඊලෝන් මස්ක් හට ‘ටෙස්ලා’ ඉලෙක්ට්‍රික් (විදුලි) මෝටර් රථය ලෝකයට හඳුන්වා දීමට හැකිවිණි. ‘ටෙස්ලා’ වත්මනෙහි ඇමෙරිකාව ඇතුළු යුරෝපීය රටවල අතිශය ජනප්‍රිය මෝටර් රථයකි. අප මේ කතා කිරීමට සූදානම් වන්නේ ටෙස්ලා මෝටර් රථ ගැන නොවේ. මීට පෙර අප මෙම ලිපි මාලාවට ටෙස්ලා ගැන විස්තර ඉදිරිපත් කළෙමු. ශ්‍රී ලංකාව වත්මනෙහි දැඩි මූල්‍ය හා බලශක්ති අර්බුදයකට නතුව තිබෙන මේ මොහොතේ ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ අද අප විස්තර කිරීමට සූදානම් වන්නේ ගුවනින් යා හැකි විදුලි මෝටර් රථය සහ එය නිෂ්පාදිත සමාගම ගැන විස්තර කිරීමටය. එළැඹෙන වසරේ සිට එනම් 2023 සිට ලෝකයේ බොහෝ දෙනා බලා සිටින්නේ මෙම ඉගිලෙන ඉලෙක්ට්‍රික් රථයෙන් ගමන් යාමටය.  

මේ වන විට ලෝකයේ බොහෝ දෙනා ඉගිලීමට බලා සිටින මෙම ඉලෙක්ට්‍රික් මෝටර් රථය නම්කර ඇත්තේ ජෙට්සන් වන් (Jetson One) නමිනි. එය අයත් වන්නේ ස්වීඩනයේ ජෙට්සන්ඒරෝ සමාගමටය. මෙම සමාගම නිෂ්පාදනය කරන පියාසර කරවිය හැකි ඉලෙක්ට්‍රික් මෝටර් රථ මේ වන විටත් බොහෝ දෙනා ඇණවුම් කර හමාරය. එළැඹෙන 2023 දී මේ විදියට විදුලි කාර් එකෙන් මිනිස්සු ඉගිලෙන්න බලා සිටින මොහොතක මේ අපූරු අදහස ආවේ කාටද කියා අපි බලමු.  


‘එතකොට මගේ වයස අවුරුදු 9 ක් විතර ඇති. ඒ දිනවල සිට මම පොත් කියවීමට ආසයි. එදා හාස්‍ය රැගත් ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධයක් වන Valerian පොත කියවද්දී තමයි මට මුලින්ම මේ අදහස ආවේ.  
මෙසේ පවසන්නේ ‘ජෙට්සන් වන්’ නිර්මාණය කිරීමට පුරෝගාමී වූ ‘ජෙට්සන්’ සමාගමේ සම ආරම්භකයා වන පීටර් ටර්න්ස්ට්‍රෝම් ය. ජෙට්සන් ඒරෝ සහ ජෙට්සන් වන් ව්‍යාපෘති පිටුපස සිටින ප්‍රධාන ව්‍යවසායකයා වන්නේ මෙම ස්වීඩන් ජාතික ටර්නස්ට්‍රෝම් ය. දස වසරක පර්‌යේෂණ සහ සොයා යාම් ඔස්සේ හඹා ගිය ටර්නස්ට්‍රෝම් හට වත්මනෙහි බහුලව දැකගත හැකි ඩ්‍රෝන යානයක් වැනි Jet Ski යානයක් නිෂ්පාදනය කරවා ගත හැකි විය. ඔහුට එය දැණුනේ විද්‍යා ප්‍රබන්ධවල ඇති නිර්මාණයක් ලෙසිනි. ඔහු කියැවූ විද්‍යා ප්‍රබන්ධ කතාවල තිබූ සමහර දේ යථාර්ථයක් කර ගැනීමට නිතර උත්සාහ කළ අයෙක් විය. මෙම ඉලෙක්ට්‍රික් මෝටර් රථය එළිදැක්වූයේ ඒ සියල්ලෙහි ප්‍රායෝගික වූ යථාර්ථයක් ලෙසය.  


විදුලි බලයෙන් ක්‍රියාත්මක වන පියාඹන මෝටර් රථයක් හෙවත් පියාසර කරවිය හැකි මෝටර් රථයක් කුඩාවට හෝ හඳුන්වා දීමට හැකිවීම ගැන සහ ඒ වෙනුවෙන් මූලික පියවර තැබීමට හැකිවීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා.  


සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන නැතහොත් ඉලෙක්ට්‍රික් රථයක් ලෙස ජෙට්සන් ඒරෝ සමාගම මෙම රථය හඳුන්වා දුන් පසුව පීටර් ටර්න්ස්ට්‍රෝම් මාධ්‍ය හමුවේ එලෙසින් ප්‍රකාශ කර සිටියේ 2021 දීය. මෙම ව්‍යාපෘතියට අතගැසූ සහ ජෙට්සන් ඒරෝහි අනෙකුත් සම නිර්මාතෘවරයා වන්නේ තෝමාස් පටාන්ය. ඔහු ඩ්‍රෝන යානා ඉදිකිරීමේ ඉංජිනේරුවකු වෙයි. ඔහු විසින් මුලදී නිර්මාණය කරන ලද ඩ්‍රෝන ආකෘති එතරම් ආකර්ශනීය බවක් නොගත් බව ටර්න්ස්ට්‍රෝම් ප්‍රකාශ කරයි.  


අපි මුලදී විශ්වාස කළේ මේ වැඩේ සුළු දෙයක් වේවි කියලයි. ඒත් මේක මොනතරම් නම් සංකීර්ණ වැඩක් ද කියලා අපට හිතුණේ වැඩේට බැස්සට පස්සෙයි. මේකට මොන බැටරිය ද දාන්නේ? ඒ වගේ ප්‍රශ්න අපට තිබුණා. මේකට යොදාගත යුත්තේ කුමන මෝටර් එංජිම ද කියන ප්‍රශ්නය ඊළඟට ආවා. නිවැරදි මෝටරය, ප්‍රචාලකය, කේබල්, මේ සියල්ල ගැන මුලදී අපි සිතුවේ අවතක්සේරුවෙන්.  


එසේ පවසන ටර්න්ස්ට්‍රෝම් සහ පටාන් හට 2021 දී ජෙට්සන් වන් පියාඹන ඉලෙක්ට්‍රික් මෝටර් රථය එළිදැක්වීමට හැකිවිණි.  


‘මෙය ඇත්තෙන්ම අපි නිර්මාණය කළේ සරල විනෝදාස්වාදයක් ලැබීමට. අහසේ යන්න ආසා අයට නැතහොත් පියාඹා යන්න ආසා අයට ආස්වදයක් ලබා දීම අපේ අරමුණ වුණා. ඒක ඇත්තටම ඉතා ප්‍රීතිමත් අත්දැකීමක් වේවි. පළමු වතාවේදී ඔබ එය අහස උඩට පැදවූ විට වනාන්තරයක්, වෙරළක්, ගොඩනැගිලි ඇති නගරයක් උඩින් පාවී යන හැඟීමක් ඔබට ඇතිවේවි. එය හරිම විනෝදජනක සහ ආස්වාදජනක දෙයක් වේවි. එය වචනයෙන් විස්තර කළ නොහැකි තරමටම විනෝදජනකයි.’  


පීටර් ටර්න්ස්ට්‍රෝම් අභිමානයෙන් යුතුව එසේ කියන්නේ මෙය ගුවනේ පියාසර කරවිය හැකි වුවද ගුවන් යානයකට වඩා ඇති වෙනස ගැන වටහා දීම වෙනුවෙනි.  


මෙම ජෙට්සන් වන් පියාඹන රථය, ගුවන් නියමුවකු නොවන නමුත් මෝටර් රථයක් නිසි ලෙස පදවා ගෙන යා හැකි ඕනෑම අයෙකු හට පදවා ගෙන යා හැකි පරිදි නිෂ්පාදනය කර තිබීම සුවිශේෂත්වයකි. ඊට හේතුව අධි ස්වයංක්‍රීය මෘදුකාංග පද්ධතියකින් සමන්විත වන බැවිනි. ජෙට්සන් වන් පියාඹන මෝටර් රථයෙහි ඇති වැදගත්ම දේ ලෙස පීටර් සහ තෝමාස් පවසන්නේ පියාසැරි පරිගණක පද්ධතිය සහ පියාසර පාලක පද්ධතිය (කොන්ට්‍රෝල් සිස්ටම් එක) වේ. එම නිසා නියමුවාට (මෙය පදවාගෙන යන්නා හට) හානියක් නොවන ආකාරයෙන් පියාඹන රථය අහසේ රඳවා පැනීමට Lidar (ලිඩාර්) සංවේදක පද්ධතිය උපකාරි වේ. මෙම යානය හෙවත් පියාඹන මෝටර් රථයට භාවිතා කරන්නේ ලිඩාර් (Lidar) සංවේදක සිස්ටම් එක යැයි සඳහන් වේ. ඊට අමතරව ස්වයංක්‍රීය ගොඩබෑමේ පද්ධතියකින් සමන්විත වීම නිසා මෙය ක්‍රියාත්මක කරන්නා හට ලොකු ප්‍රශ්නයක්, ගැටලුවක් නොවනු ඇත.  
‘ඔබ මෙය ගුවනේ මොහොතක නතර කර තබා ගත්තා යැයි සිතමු. එවිට ඉතාමත් පහසු විදියට ඔබට කිසිදු අපහසුවක් නොවන ලෙස මෙය ලෑන්ඩ් කළ හැකියි. (පොළවට ගොඩ බැස්ස විය හැකියි) යනුවෙන් ජෙට්සන් නිර්මාණ දෙපළ සඳහන් කරති.  
‘ජෙට්සන් වන්’ යානයට ගොඩ වී විනාඩි පහක් ඇතුළතදී එය පියාසර කිරීමට හැකි බව සඳහන් කර ඇත.  

 

2022 මුල් නිෂ්පාදන පෙළ විකිණී අවසන්  

 

‘ජෙට්සන් වන්’ පියාඹන යානා හෙවත් මෝටර් රථ ඇණවුම් ලද පරිදි 2022 සඳහා වූ ඇණවුම් සියල්ල නිෂ්පාදනය කර ග්‍රාහකයින් සඳහා මේ වන විට බාර දී අවසන්ය. දැන් මෙම සමාගම 2023 සඳහා නිෂ්පාදන ඇණවුම් බාර ගනිමින් සිටී. කෙසේ වෙතත් යුරෝපීය සංගමයේ රටවලට අයත් රටවල මේ සඳහා තවමත් වර්ගීකරණයක් නොමැති වීම, එනම් නැවත කාණ්ඩය සඳහා වර්ගීකරණය කළ යුතු ද යන්න ගැන තවමත් නිශ්චිත තීරණයකට එළැඹ නොතිබීම සමාගමට ප්‍රශ්නයකි. කෙසේ වෙතත් එක්සත් ජනපදයේ නම් යුරෝපීය සංගමයේ නීති රෙගුලාසි වලට වඩා තත්වය යහපත් බව ටර්න්ස්ට්‍රෝම් කියයි.  


මෙය සමහර විටෙක ඔබ නිවසේ සිට ක්‍රියාත්මක කළ හැකි පරිදි බලපත්‍රයක් හිමිවුව හොත් ඔබට නිවසේ සිටම එය පදවා ගෙන කාර්යාලයට යා හැකිය. නමුත් ඒ වෙනුවෙන් නීති රෙගුලාසි ඇතිවන තෙක් බලා සිටීමට ඔබට සිදුවේ.  


‘පීටර් සහ තෝමාස්’ පවසන්නේ ගුවන් නියමු බලපත්‍රයක් නොමැතිව මිලදී ගත හැකි සහ පියාසර කරවිය හැකි ලොව පළමු පියාසර යානය මෙය විය හැකි බවය. ඒ නිසා ජෙට්සන් සමාගමේ අරමුණ වන්නේ සෑම කෙනෙකුටම ගුවන් ගමන් වැනි ආස්වාදයක් මෙම ව්‍යාපෘතිය මගින් ලබා දීමටය.  
‘ජෙට්සන් වන්’ යනු ගුවන් යානයක මෙන් විශාල ශබ්දයක් ගෙන දෙන යානයක් නොවේ. ඝෝෂාවකින් හෝ කම්පනයකින් තොරව ගුවනේ ගමන් කරවීමට හැකි ලෙස නිපදවා තිබීම විශ්මය දනවන්නකි. ඉතාම සරල පාලනයක් සහිතව ඕනෑම පසෙකට ගමන් කරවිය හැකි වීම, නිසා එය ගුවනේ පදවාගෙන යන විට ඔබට දැනෙන්නේ මහා මාර්ගයක තම මෝටර් රථය පදවාගෙන යන්නාක් මෙන් වූ හැඟීමකි.  

 

ඡායාරූප අන්තර්ජාලයෙනි

 

ජෙට්සන් වන් පියාසර මෝටර් රථය බැලූ බැල්මට  

 

• යානයේ වර්ගය : eVTOL අල්ට්‍රාලයිට්  
• ගමන් කළ හැකි මගීන් ගණන : 1 යි.  
• නියමු කුටිය : රෝල්බාර් සහිත නියමු කුටියෙහි ඉදිරිපස හෝ පැති කවුළු නැත. ඒ නිසා හිස්වැසුම් අවශ්‍ය වේ.  
• උපරිම වේගය : පැයට කිලෝමීටර් 102 කි.  
• උපරිම කාලය : විනාඩි 15 කි. (නියමුවා සහිතව)  
• නියමුවකු රහිතව යානයෙහි බර : කිලෝග්‍රෑම් 86 කි.  
• විදුලි මෝටර ප්‍රමාණය : 8 කි. කිලෝ වොට් 84 ක ධාරිතාවකි.  
• විදුලි කෝෂය හෙවත් බැටරියේ වර්ගය : Swappable 52v li-lion (20700)  

 ඡායාරූප අන්තර්ජාලයෙනි

 

ජෙට්සන් වන් මිල

 

 

මෙහි වත්මන් මිල ඩොලර් 92,000 ක් ලෙස සඳහන් වේ. මුලදී මෙහි මූලික විකිණුම් මිල ලෙස සඳහන් වූයේ ඩොලර් 70,000 කි. නමුත් සමාගම ප්‍රකාශ කරන්නේ මුලින් ඩොලර් 22,000 ක් අත්තිකාරම් වශයෙන් ගෙවා මෙම ‘ස්පොර්ට්ස් ජෙට් කාර්’ (ජෙට් එකක් වැනි රථයක්) වෙන්කරවා ගත හැකි අතර රථය ලබා දීමට පෙර අවසාන ගෙවීම ලෙස ඩොලර් 70,000 ක මුදල ගෙවා නිමකළ යුතු බවය.  


චැසි අංක 1 සිට 167 දක්වා ප්‍රමාණයක් මේ දක්වා සමාගම අලෙවි කර ඇත. එනම් පියාසර මෝටර් රථ 167 ක් අලෙවි කර ඇත. 168, 169, 170 නිෂ්පාදන තත්වයේ පවතී. විශේෂත්වය වන්නේ ඇණවුම් ලැබෙන පරිදි නිෂ්පාදන නිම කිරීමය.  


පියාඹන මෝටර් රථය මෙලෙසින් ස්පෝර්ට්ස් ජෙට් රථයක් ලෙස ගුවනේ පියාසර කළ හැකි ලෙස අද නිෂ්පාදනය වී තිබුණ ද මේ සංකල්පය අද ඊයේ ඇතිවූවක් නම් නොවන වග සඳහන් කළ හැකිය. 20 වැනි සියවසේ මුල් භාගයේ සිට බොහෝ මූලාකෘති නිර්මාණය කරමින් විවිධ අත්හදා බැලීම් නිර්මාණශීලි මිනිසුන් විසින් සිදුකර තිබේ.  


ගුවනින් පියාඹා යන මෝටර් රථ මේ දක්වා ඔබ දකින්නට ඇත්තේ බටහිර ක්‍රියාදාම චිත්‍රපට වලින් විය හැකිය. එසේ දුටු දේ අද සැබෑවක් වී ඔබ හමුවට පැමිණ තිබේ. බටහිර සමහර චිත්‍රපට වෙතින් නැගෙන ප්‍රබන්ධ මේ ලෙස සත්‍යයක් වීම සහ ප්‍රායෝගික වීම තවත් විදියක අරුමයක් නොවේද? එසේ නොමැති නම් මේ ලෝකය සූක්ෂම ලෙස අලෙවි හා ප්‍රචාරණයකට නතුකර පාලනය කරන්නේ බටහිර එක්තරා පිරිසක් දැයි යන්න විමසා බැලිය යුතු කාරණයක් වන්නේය.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ  
[email protected]