ගැටබරු ඓතිහාසික පුදබිමේ පෙරහර මංගල්‍යය


ප්‍රසිද්ධ සිද්ධස්ථානවල සම්ප්‍රදායික මහා පෙරහර පූජෝත්සව ශ්‍රී ලාංකික  සංස්කෘතිය තුළින් පැන නැගුණ ප්‍රධානතම උප සංස්කෘතියකි. පෙරහර සහ වන්දනා ක්‍රමය යටතේ පිළිගත් ශ්‍රී ලංකාවේ මහා පෙරහර අතර - ශ්‍රී දළදා පෙරහර, කතරගම සහ විෂ්ණු දේවාල පෙරහර, සබරගමුව සමන් දේවාල පෙරහර හැරුණු කොට අග්‍රගණ්‍ය මහා පෙරහර ලෙස සැලකෙන්නේ දකුණු පළාතේ මොරවක් කෝරලයේ කොටපොළ “ගැටබරු රජ්ජුරු බණ්ඩාර මහා පෙරහර” මංගල්‍යය වේ.

ක්‍රි.පූ.3 සහ1 වන ශත වර්ෂය අතර කාල පරාසයක සිට ගැටබරු පුදබිම පවතින බව ඉපැරණි මූලාශ්‍රවලින් සනාථ වන අතර, එහි කටාරම් ලෙන මෙහි ප්‍රධානතම පුරා විද්‍යාත්මක සාධකය වේ.

ගැටබරු පුදබිමේ නූතන ඉතිහාසය1834 වර්ෂය දක්වා පෙන්නුම් කෙරේ. ගැටබරු කඳු මුඳුණේ දියදා මූකලාන මැද ලෙන් විහාරය දඩයක්කරුවෙකු ගේ නෙත ගැටුණේ එම වර්ෂයේය. කැටගොඩ විතාරනපතිරණ උපාසක මහතා ප්‍රධාන ගම්වැසියන් එක්ව තාවකාලික සංඝාවාසයක් තනවා ඇරඹුණ  විහාරයේ පළමු විහාරාධිපති ස්වාමින් වහන්සේ වූයේ වීරසිංහ කන්දේ සුමංගල මාහිමිපාණන් ය.

එසේ පැවත ගෙන ආ විහාරාධිපති පරම්පරාවේ අටවෙනි විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස වර්තමානයේ නායකත්වය ලබා දෙන්නේ දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක විමලකීර්ති ශ්‍රී සුමන ආචාර්ය කිරින්දේ ආනන්ද ස්වාමීන් වහන්සේය.

විදේශවල සිට පවා තම ජීවිතවල වේදනාකාරී අත්දැකීම් තුළ දී , අසාධාරණයට අයුක්තියට මුහුණ දීමේ දී, පිහිටවන දෙවියන් ලෙස දිනපතා නන් දෙසින් පැමිණෙන දහස් සංඛ්‍යාත  බැතිමතුන් ගෙන් පුදබිම පිරී යයි .

ගැටබරු රන්දෝලි පෙරහර සහ ප්‍රාදේශීය පෙරහර සතර පේරුවේ බැතිමතුන් විසින් වාර්ෂිකව ගැටබරු දෙවිඳුන්ට කරන පූජාවකි.

1988 වර්ෂයේ දී රජයේ ප්‍රසිද්ධ වන්දනා ආඥා පනත යටතේ ගැසට් නිවේදනයක් මගින් මෙම පෙරහර මංගල්‍ය ජාතික මට්ටමේ පෙරහරක් ලෙස නීතිගතව ප්‍රකාශයට පත් වුණි.

වාර්ෂිකව පැවැත්වෙන ගැටබරු පෙරහර මංගල්‍යය නිසා දක්ෂිණ ලංකාව තුළ උප සංස්කෘතියක් බිහි වී ඇත.

ප්‍රාදේශීය පෙරහර තුනක සම්ප්‍රදාය නිසා කලායතන නැටුම් ශිල්පීන් ශිල්පිනියන් බිහි වී ඇති අතර - සංවිධායකයින්, කවීන්, නිවේදකයන් බිහි වී ඇත.

රන්දෝලි මහා පෙරහර දෙකට පෙර, සතර පේරුවේ ගම්මාන තුනක සිට ප්‍රාදේශීය පෙරහර ගැටබරු පූර්වාරාමය දක්වා වීථි සංචාරය කරති.

සතියක් පුර පැවැත්වෙන ගැටබරු පෙරහර ඇතුළු පූජෝත්සවයට කප් සිටුවීම, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය , දේව තොවිලය සහ දේව දානයද, ගැටබරු පූජෝත්සවයේ ප්‍රදර්ශනය වන මහා තොරණ ද ඇතුළත් වේ.

ගැටබරු රජමහ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝ නායක විමලකීර්ති ශ්‍රී සුමන ආචාර්ය කිරින්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගේ නායකත්වයෙන් උත්සව කමිටුවේ නිල සභාපති ලෙස කොටපොළ ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කරයි.

එදා මෙදා තුර ඒ ඒ රාජ්‍ය නායකත්වයේ උපරිම සහය දායකත්වය උත්සවයට ලැබෙන අතර, මෙවර රජය නියෝජනය කරමින් කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති හා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් යන දෙපළ උත්සව සංවිධානයට ඇප කැප වෙමින් සිටිති.
මෙවර ගැටබරු පූජෝත්සවය මෙම  සැප්තැම්බර් 2 වනදා සිට සතියක් පුරා පැවැත් වේ.

සැප්තැම්බර් 01 කප් සිටුවීමට පෙර 01 වන දා උඩමළුවේ දී පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වේ. 02 වන දින දහවල් සපිරිකර සංඝගත දක්ෂිණාව සිදු කෙරේ. සැප්තැම්බර් 3 වන දින පළමු ප්‍රාදේශීය පෙරහර හිඟුරුපනාගල සිටද , 4 වන දින දෙවන ප්‍රාදේශීය පෙරහර වරල්ල සිටද, 5 වන දින තෙවන ප්‍රාදේශීය පෙරහර කොස්මෝදර සිට ද වීථි  සංචාරය කෙරේ. පලමු ප්‍රාදේශීය පෙරහර හිඟුරුපනාගල දක්වාද, දෙවන ප්‍රාදේශීය පෙරහර කොටපොළ ගල්දොල දක්වා ද වීථි සංචාරය කෙරේ.

උඩමළුවේ දේව තොවිලය 7 වනදා ආරම්භ වන අතර, 9 වනදා අලු‍යම ගිනි පෑගීමෙන් පසු දේවදානය පිරිනැමීමෙන් කටයුතු අවසන් කෙරේ. පූජා සතිය පුරාම ගැටබරු මංසන්දියේදී මහා තොරණ ප්‍රදර්ශනය කෙරේ.

මහින්ද විදානපතිරණ
ජ්‍යෙෂ්ඨ සංවිධායක
ගැටබරු ඇසළ  පූජාව සංවිධානය