ගමෙන් නගරයට ගිය තොරණ හදන ලිය


වෙසක් සමය සමග බැඳී තිබෙන තවත් එක් ප්‍රධාන අංගයක් වන්නේ වෙසක් තොරණ යි. ගෞතම බුදුන්වහන්සේ ගේ තෙමඟු‍ල සමරමින් ඉදිවෙන වෙසක් සැරසිලි අතර වෙසක් තොරණට හිමිවන්නේ සුවිශේෂී තැනකි. සෑම වසරකම විශාලම මෙන්ම අලංකාරම තොරණ ඉදිවන්නේ කොළඹ නගරය අවට ය. මේ අනුව තොරණ විශේෂ අංගයක් බවට පත් වීම නිසා, එදා මෙන්ම අද ද තොරණ නිර්මාණ ශිල්පීන් ගේ විශේෂ අවධානයට ලක් වී තිබේ . 

එමෙන්ම තොරණ යනු සංස්කෘතික සම්බන්ධතා ගොඩනගන්නක් බව ද සඳහන් කළ යුතුය.

මේ වෙන විට වෙසක් සතිය අවසන් ය. වෙනත් වසරවල මෙන්ම මෙම වසරේ ද දිවයින පුරා බොහෝ නගර වෙසක් තොරණ, වෙසක් කූඩු හා වෙසක් සැරසිලි මෙන්ම බෞද්ධ කොඩිවලින් අලංකාර වී තිබිණි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අස්ගිරිය ඇනිකට් හංදිය නම් ස්ථානයේ රාජෝවාද ජාතකය නිරූපිත, අඩි 45 ක් උස තොරණක් නිර්මාණය කර තිබිණි. එහි සුවිශේෂීත්වය නම් - සම්පූර්ණ තොරණම නිර්මාණය කර තිබුණේ තරුණ කාන්තාවක් අතින්වීමය . ඇය නමින් කුසුම් කාංචනා ය. දියණියන් දෙදෙනෙකු ගේ මවක වන ඇය -“ඉරිදා ලංකාදීප” ය සමග මේ අයුරින් පිළිසඳරට එක්වූවාය.

“මාතර දිස්ත්‍රික්කයේ, මොරවක් කෝරලයේ - කොටපොල මම උපන් ගම් පළාතයි. පාසල් යන කාලයේ මගේ බලාපොරොත්තුව වුණේ පෙර පාසල් ගුරුවරියක් වීමයි. කුඩා කාලයේ දීම යමක් හරියාකාරව, පිළිවෙළට කරන්න ඕන කියන හැඟීම මට තිබුණා. විවාහයෙන් පස්සේ මම මගේම කැමැත්තෙන් තොරණ නිර්මාණ කලාවට යොමු වුණා. මගේ මහත්තයාගේ නම එම්.ඩබ්. මධුශංක සිල්වා. ඔහු විදුලි කාර්මික ශිල්පියෙක්. එයා රැකියාවට අමතරව තොරණ නිර්මාණ ශිල්පය දැනට වසර 15 ක් තිස්සේ කරනවා. නමුත් ආර්ථික අපහසුතා මධ්‍යයේ තමයි තොරණ නිර්මාණය සිදු කරන්නෙ.” 

“මම විවාහයෙන් පස්සේ මහත්තයා තොරණ හදද්දී ඔහු වැඩ කරන එක දිහා බලාගෙන හිටියා. මහත්තයාට මේ වැඩවලට ගෝලයෝ හිටියේ නැහැ. මම අවුරුදු 10 ක් තිස්සේ මහත්තයාගේ වැඩවලට උදව් වෙනවා. නමුත් මම තොරණ සැකිල්ල මුඳුනට නැගලා වයරින් වැඩ හා නිර්මාණ වැඩ කරන්න පටන් ගෙන දැනට අවුරුදු 3 ක් වෙනවා. ඊට කලින් මම තොරණ මුඳුනට නැගලා වැඩ කරලා තිබුණේ නැහැ.”

“ගම්පහ අස්ගිරිය ඇනිකට් හංදියේ තොරණ මම තනිවම කරන දෙවෙනි තොරණ යි. 2024 වසරේ මගේ මහත්තයා තොරණ දෙකක් හදන්න භාරගත්තා. ඒ දෙකම අඩි 50 සහ 55 උස ඒවා. ඒ අතරවාරයේ  ආනන්ද විද්‍යාලයේ කරන්න තිබෙන තොරණේ ඇණවුමත් ලැබුණා. ඒක අවසන් කරන්න ලැබුණේ දින 20 ක කාලයක්. මහත්තයා ඒක භාර නොගෙන ඉන්නයි හැදුවේ. නමුත් මම ඉදිරිපත් වුණා මට ඒක තනිවම කරන්න පුළුවන් කියලා. මහත්තයත් ඊට කැමැත්ත දුන්නා. ඒ අනුව අඩි 35 - 40 උස තොරණ මම තනිවම නිර්මාණය කළා. ඒ තොරණ මම දින 15 කින් හදලා සියලු‍ වැඩ අවසන් කළා. ඒක ප්‍රදර්ශනය කළේ කොළඹ ආනන්ද විද්‍යාල භූමියෙ.”

කුසුම් කාංචනා ගේ කතාවට බාධා කරමින් මම අතුරු ප්‍රශ්නයක් ඇසුවෙමි. ඒ, තොරණ උඩ නැගලා මේ වගේ අවදානම් වැඩ කටයුතු කිරීම සම්බන්ධයෙන් මහත්තයා කිසිදු විරෝධයක් පළ කළේ නැද්ද? යන්නයි. එයට ඇය පිළිතුරු දුන්නේ මෙසේය.

“මම මේ දේවල් කරන්න පුරුදු වුණේ, මහත්තයා වැඩ කරන විදිහ දිහා බලාගෙන ඉඳලා. මහත්තයා කවදාවත් මේ වැඩේ කරන්න කියලා බල කරලා නැහැ. මම මගේ උනන්දුවෙන්, කැමැත්තෙන්, ආසාවෙන් තමයි ඔහුගේ කටයුතුවලට සහාය දෙන්න නැඹුරු වුණේ. ඒකට එයා විරුද්ධ වුණේ නැහැ. ඒ වගේම තමයි මගේ අම්මා තාත්තාත් මම මේ වැඩ කටයුතු කරනවා කියලා දැනුවත්ව ඉන්නේ. එයාලත් මේකට කැමැති. ඒ නිසා මගේ අම්මා තාත්තාගේ ආශීර්වාදයත්, මහත්තයාගේ ආරක්ෂාවත් මට තිබෙනවා. එය මට ශක්තියක් වගේම හිතට ධෛර්යයක්.”

ගම්පහ, අස්ගිරිය ඇනිකට් හංදියේ තොරණ නිර්මාණය කිරීමේ කටයුත්තට  ඇයගේ දියණියන් දෙදෙනා ද ඇයට උදව් කර තිබේ. වැඩිමහල් දියණිය එම්.ඩබ්. දහම්දි ඉලීෂා දියණියට වයස අවුරුදු 9 කි. දෙවෙනි දියණිය වන එම්.ඩබ්. චනුලි ඉලීෂාගේ වයස  අවුරුදු 7 කි. තම දියණියන් ද කිසිදු පෙලඹවීමක් නොමැතිව තොරණ නිර්මාණ කටයුත්තට සහායවීම පිළිබඳව කුසුම් කාංචනා මෙසේ ප්‍රකාශ කළාය.  

“ලොකු දුව වයස අවුරුදු තුනේ ඉඳන් මේ වැඩ කරන වෙලාවට ආසාවෙන් බලන් ඉන්නවා. එයා බල්බ් සවිකරන වැඩවලට ගොඩාක් කැමැතියි. ඒ අනුවයි ඒ දෙන්නාම මේ කටයුතුවලදී උදව් දෙන්න පුරුදු වුණේ. බල්බ් තොරණට සවිකරන කටයුත්තේ දී ධන සෘණ පැත්ත හරියටම බලලා බල්බ් සවිකරන කටයුත්තෙන් තමයි ලොකු දුව වැඩට හුරුවෙන්න පටන් ගත්තෙ. මේ වෙද්දි එයාට බල්බ් සවි කරන්න විතරක් නෙමේ පාස්සන්න, සර්කිට් එකක් හදන්න වගේ - එයාගේ වයසේ හැටියට තරමක් සංකීර්ණ යැයි යමෙකුට හිතෙන්න පුළුවන් වැඩත් කරන තත්ත්වයක එයා ඉන්නවා. අපි බල කරලා හෝ උනන්දු කරලා නෙවෙයි එයා මේ දේවල් කරන්න පුරුදු වුණේ. ලොකු දුව මේ අවුරුද්දේ ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටින්න නියමිතයි. එයා එයාගේ, අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙනවා වගේම මේ වගේ බාහිර වැඩත් කරනවා. මගේ පොඩි දුවත් එහෙමයි. බල්බ් වැඩවලට ලොකු දුවට වඩා දැන් නැඹුරුව තිබෙන්නේ පොඩි දුව. මේ දෙන්නා අධ්‍යාපනයට වගේම බාහිර දෙයටත් දක්ෂතාව දක්වනවා. ඒ නිසා ආරක්ෂාවක් ඇතිව ඒ දේ කරන්න ඉඩ දෙනවා.”

ආදි කාලේ වෙසක් තොරණ ඉදිවුණේ වර්තමානයේ මෙන් වෛවර්ණ විදුලි ආලෝකයෙන් විසිතුරුව දැවැන්ත විචිත්‍ර රූපරාමු සහිතව  නොවේ. ගොක්කොළ පසුබිමේ බුද්ධ රූප කිහිපයක් තබා ජාතක කතාවක් සිත්තම් කොට නොව - ලියපත්, කඟවේන්නු, ලීස්තර, ගරාදි, නාරිලතා යනාදී සැරසිලි ස්වභාවික අමුද්‍රව්‍යවලින් සම්පාදනය කර ගනිමිනි.  

අප රටේ වෙසක් සැරසිලි අතරට බුදුසිරිත සහ ජාතක කතා චිත්‍ර සහිත තොරණ පිවිසියේ 1950 දශකයෙන් පසුවය. ශ්‍රී ලංකාවේ පැරණිම වෙසක් තොරණ ලෙස සැලකෙන්නේ තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතිය ඉදිකරන ලද වෙසක් තොරණ ය. එය මුලින්ම ඉදිවූයේ 1955 වසරේ දී ය.  

තොරණ අසිරිය මවන්නේ - එහි නිර්මාණ ශිල්පියා විසිනි. බෝසත් කතා පුවත්වල චරිත ජීවමානව පවතින සේ රූපයට නඟන්නේ චිත්‍ර ශිල්පියා විසිනි. ගම්පහ අස්ගිරිය ඇනිකට් හංදියේ තොරණ වැඩකටයුතු ඇයගේ අතින් සිදුවූ ආකාරය පිළිබඳව කුසුම් කාංචනා පැවසුවේ මෙවැන්නකි.

“අපිට තිබෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ තොරණ හදන්න අත්තිකාරම් මුදල ලැබෙනකම් ඉන්න වුණා. ලයිට් බෝඩ් ඕන. බල්බ් ගේන්න ඕන. මේ වගේ තවත් තොරණේ වැඩ ගොඩක් කරන්න තිබෙනවා. ඒ නිසා මුදල් ඉතිරි කර ගන්න අවස්ථාවක් අපිට නැහැ. ඒ නිසයි අත්තිකාරම් මුදල ලැබෙන තෙක් හිටියෙ. සාමාන්‍යයෙන් තොරණක් හදන්න මාස 5 ක් වත් කලින් සූදානම් වෙන්න ඕන.” 

“පරක්කු වෙලා පටන් ගත්තත් 12 වෙනිදා පෝය දවසට තොරණ ප්‍රදර්ශනය පටන් ගන්න නිසා සියලු‍ වැඩ කටයුතු අවසන් කරන්න මට පුළුවන් වුණා. මාස එකහමාරකට කලින් තමයි අත්තිකාරම් මුදල් ලැබුණේ. මම මාසයයි දවස් දහයක් ඇතුළත මේ තොරණ වැඩ කටයුතු සම්පූර්ණ කළා. රෑ නිදි මරාගෙන කරලා තමයි, එහෙම කෙටි කාලයකින් හදලා අවසන් කරන්න පුළුවන් වුණේ.”

“තොරණ උඩ ඉඳන් පහළට සම්පූර්ණ වයරින් වැඩේ කළේ මම. ඒ වගේම තමයි මේ තොරණ ආලෝක රටා ගැන කිව්වොත් - මැට්‍රික්ස් කියන තාක්ෂණයෙන් තමයි ප්‍රෝග්‍රෑම් කරලා තිබෙන්නෙ. Software කළේ, විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න මල්ලි කෙනෙක්. ඒ එක අරන් තමයි තොරණේ ආලෝක රටාවල ප්‍රෝග්‍රෑම් සිස්ටම්  එක ක්‍රියාත්මක වෙන්නෙ. මැට්‍රික්ස් සිස්ටම් එකෙන් මේ තොරණ දවස් 7 ට ආලෝක රටා 7 කින් තොරණ අලංකාර කර ගන්න පුළුවන්. ඒ අනුවයි මේ තොරණ ආලෝක රටා හදලා තිබෙන්නෙ. තවත් ආලෝක රටා ක්‍රමයක් තිබෙනවා, ඒක 12 වැලෙන් තමයි කරන්න ඕන. ඒ වගේම අපි දෙන රටා අනුව තමයි ආලෝක රටා ක්‍රියාත්මක වෙන්නෙ. ඒකෙන් දවස් 7 ට රටා 7 ක් ක්‍රියාත්මක කරවන්න බැහැ. ඉතින්, මේ දෙකම එකතු කරලා තමයි අස්ගිරිය ඇනිකට් හංදියේ තොරණ ආලෝක රටා නිර්මාණය කරලා තිබෙන්නෙ.”

“මේ තොරණේ සැකිල්ල හදලා තිබෙන්නෙ පිට තැනකින්. තොරණක සැකිල්ල හදන වැඩෙත් අපිටම කරන්න පුළුවන්. අපි ඒකට වෙනම මුදලක් අය කරනවා. ඒ වගේම තමයි තොරණේ ජාතක කතාවල චිත්‍ර වැඩ අපිට හිතවත් පිට තැනකට කියලා කර ගන්නවා. නමුත් චිත්‍රවල ලයිට් බෝඩර් එකට චිත්‍රය අඳින්නේ සහ ඊට අදාලව බල්බ් සවි කරන්නෙත් මම යි.” 

අප කතා නායිකාවගේ ස්වාමිපුරුෂයා වන - එම්.ඩබ්. මධුශංක සිල්වා ද සිය අදහස් ඉදිරිපත් කිරීමට අප හා එකතු විය.

“මගේ බිරිඳ ගැන මට තිබෙන්නේ ආඩම්බරයක්. එයා වෙන කාන්තාවන් කරන්න ඉදිරිපත් නොවෙන දෙයක් කරන්න ඉදිරිපත් වෙලා තිබෙනවා. තොරණේ මුඳුනටම නැගලා තනිවම වැඩ ටික කරනවා. අපි මේ හැම දේම කරන්නේ අපේ දුවලා දෙන්නා වෙනුවෙන්, අපේ ජීවිතය ජයගන්න. මගේ බිරිඳ ඒක තේරුම් ගෙන තිබෙනවා. එයා ස්වෙච්ඡාවෙන්ම බලාගෙන ඉඳලා ඉගෙන ගත්ත දෙයක් මේක. යම් දෙයක් තිබුණොත්, ඒ දේ මගෙන් අහලා ඉගෙන ගන්නවා. මමත් දන්න දේ කියලා දෙනවා. මේ වෙද්දි එයා මගේ වැඩකටයුතුවලටත් උදව් වෙලා ඉන්න එක ගැන මට සතුටුයි.”

“ගිය අවුරුද්දේ තමයි එයා තනිවම තොරණක් නිර්මාණය කරන්න උත්සාහ ගත්තේ. තොරණ හදන්න කෙටි කාලයක් තිබුණු නිසා මුලදී මම කැමති වුණේ නැහැ. නමුත් එයා උත්සාහ කරලා ඒ තොරණ හැදුවා. මම හිතුවට වඩා ඒ තොරණේ නිර්මාණය සාර්ථක වුණා.”

“තොරණක ආලෝක රටා හදන එකේ ඉඳන් අනෙක් වැඩ කටයුතු කියන්නේ, හරි සියුම්ව කරන්න ඕන වැඩ. මගේ බිරිඳ එය කරනවා. කාන්තාවක් විදිහට දිරිමත්ව කැපවීමෙන් වැඩ කරන එක ගැන මට ආඩම්බරයි. රටේ ඉන්න අනෙක් කාන්තාවන්ටත් මෙයා ආදර්ශයක්.”

වසර 70 කට අධික ඉතිහාසයක් සහිත මෙරට තොරණ කලාව ඉදිරියට පවත්වා ගෙන යෑමට අවශ්‍ය උනන්දුව සහිත නිර්මාණ ශිල්පීන් මෙන්ම චිත්‍ර ශිල්පීන් ද සිටින්නේ සීමාසහිත පිරිසකි. තොරණ නිර්මාණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයන් හි මිල ගණන් ඉහළ යාම නිසා ද තොරණක් නිර්මාණය කිරීමට අවශ්‍ය මුදල ද ඉහළ ගොස් ඇත. ඇතැම් සංවිධායකයන් තොරණ නිර්මාණ ශිල්පීන්ට සම්පූර්ණ මුදලම ලබාදෙන අතර තවත් ඇතැමුන් සුළු අත්තිකාරම් මුදලක් ලබාදෙති. එවිට අමුද්‍රව්‍ය ලබාගනිමින් තොරණ වැඩ කටයුතු කිරීම අපහසුය. කුසුම් කාංචනා ඒ පිළිබඳව මෙසේ පැවසුවා ය.

“මේ තොරණ  හදලා අවසන් කරලා පොසොන්වලට තොරණක් හදන්න අපට කාලයක් නැහැ. අපිට ආර්ථික වශයෙන් උදව් කරන්න කවුරු හරි ඉන්නවා නම්, ලබන වසරේ අඩි 50 - 55 උස තොරණ දෙකක් වුණත් හදන්න පුළුවන්.”

වැඩිදුරටත් ඈ මෙසේ පැවසුවා ය.

“මේ කටයුතු අපි කරන්නේ, අපේ හිතේ භක්තියෙන්. ඒ වගේම තොරණක් නිර්මාණය කරන්න අවශ්‍ය දැනුම හා තාක්ෂණය අපට තිබෙනවා. මූල්‍යමය අතින් කවුරුන් හෝ උදව් කළහොත් අපගේ නිර්මාණය සාර්ථක කරගන්න පුළුවන්.”

“මේ ජිවිතයේ හැම දෙයක්ම මට ලැබිලා තිබෙනවා. වාසනාවන්ත දරුවන් දෙන්නෙක්, හොඳ ස්වාමිපුරුෂයෙක්, මගේ අම්මා තාත්තා. ගමෙන් නගරයට ආව තරුණියක් විදිහට මෙවැනි දෙයක් කරන්න පුළුවන් වුණ එක මට ආඩම්බරයක්.”

“කෙනෙක් තොරණක ඉදිරිපස වගේම එහි පිටුපසත් බලන්න ඕන. ඒකෙන් පැහැදිලි කරගන්න පුළුවන්, තොරණ ඉස්සරහ පෙනෙන දේ නෙවෙයි පිටිපස්සේ පෙනෙන්නට තිබෙන්නෙ කියන එක. ඒකෙන් තොරණ සම්පූර්ණ කතාවම බලාගන්න පුළුවන්.” යනුවෙන් අවසාන වශයෙන් කුසුම් කාංචනා පැවසුවා ය.

(වෙසක්, පොසොන් වැනි කාලවලදී ඔබ ප්‍රදේශයේ ද තොරණ ඉදිකිරීම සඳහා අවශ්‍ය වේ නම් - 077 1665044 යන දුරකථන අංකයෙන් කුසුම් කාංචනා හෝ ඇයගේ ස්වාමිපුරුෂයා සම්බන්ධ කර ගත හැකිය).

එම්. තාරික්