
තෙරුවන් වන්දනාව, ගාථා සජ්ඣායනය, බෝධි පූජා පැවැත්වීම, පිරිත් සජ්ඣායනය ආදිය යනු මෙරට බෞද්ධ ජීවිත තුළ ගහට පොත්ත මෙන් බැඳුණු වත්පිළිවෙත් ය. කෙසේ නමුත් වර්තමාන කාර්‍යබහුල සමාජය හේතු කොට ගෙන - අතීතයේ සිට පැවත ගෙන ආ මෙම නිවැරැදි බුද්ධ වන්දනා ක්‍රම හා වතාවත් කෙමෙන් කෙමෙන් සමාජයෙන් වියැකී යන ආකාරයක් දැක ගත හැකි ය. වඩාත් නිවැරැදි වතාවත් හා ගාථා සජ්ඣායනා ක්‍රමත්, ඒවායෙහි ආනිසංසත් පිළිබඳ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ හිමිපාණෝ “ඉරිදා ලංකාදීප”යට අදහස් දැක්වූයේ මෙසේ ය.
ස්වාමීන් වහන්ස, බුද්ධ වන්දනා සිදු කිරීමේ දී ඒ සඳහා පෙර සූදානම කෙබඳු විය යුතු ද?
“ප්‍රථමයෙන් කුණු කසළ ඉවත් කර බුදු කුටිය ඇමද පූජා භාණ්ඩ පවිත්‍ර කර ගත යුතුයි. කායික පවිත්‍රතාව ඇති කර ගැනීමත් ඉතා ම වැදගත්. ඉන්පසු පිළිවෙළින් පහන, හඳුන් කූරු, දෝවනය කළ මල්, පැන්, ගිලන්පස, දැහැත් ආදි ලෙස පූජා ද්‍රව්‍ය පිළිවෙළින් සකස් කර පූජා කළ යුතුයි. පහන පූජා කිරීමේ දී දැල්ල බුදු පිළිමය දෙසට හරවනවා ද, තමන් දෙසට හරවනවා ද යන්න පිළිබඳ මිනිසුන් අතර ආකල්ප දෙකක් තිබෙනවා.
සාමාන්‍ය පෙරදිග බෞද්ධ සම්ප්‍රදාය තමයි අනතුර තමන් දෙසට තබාගෙන අනෙක් පස ආරක්ෂා කිරීම. එසේ බැලූ විට පහන් දැල්ල තමා සිටින දෙසට තබා පූජා කිරීම වඩාත් සුදුසුයි. නිවැරැදි ක්‍රමයට නම් බුදුන් වැඳීමේ දී සුදු පත්කඩක් භාවිතය සිදු කරනවා. පූජා ද්‍රව්‍ය පූජා කොට පසඟ පිහිටුවා වැඳ ඉන්පසු පුරුෂයින් බද්ධ පර්‍යංකයෙනුත්, කාන්තාවන් අර්ධ පර්‍යංකයෙනුත් හිඳගෙන ගාථා සජ්ඣායනය ආරම්භ කළ යුතුයි.”
ගාථා සජ්ඣායනා කිරීමේ නිවැරැදි ක්‍රමය කුමක් ද?
“ප්‍රථමයෙන් තෙවරක් සාධුකාර පවත්වා නමස්කාර පාඨය සජ්ඣායනා කොට තිසරණ සහිත පංචශීලය සමාදන් වී පිළිවෙළින් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් වන්දනා කළ යුතුයි. ඊට අමතර ව තමා කැමති පරිදි වෙනත් තෙරුවන් වඳින ගාථා සහ කවි ආදිය භාවිත කළ හැකියි. ඉන්පසු ත්‍රිවිධ චෛත්‍ය නමස්කාර කොට පූජා ද්‍රව්‍ය පූජා කිරීමේ ගාථා සජ්ඣායනය කරනු ලබනවා. එහි දී පිළිවෙළින් පහන්, හඳුන්කූරු, මල්, පැන්, ගිලන්පස, දැහැත් පූජා කරන ගාථා සජ්ඣායනා කළ යුතුයි. ඉන්පසු දෙවියන්ට, මියගිය ඥාතීන්ට සහ සමස්ත ලෝකවාසී සත්ත්වයන්ට පින් අනුමෝදන් කළ යුතුයි.”
“ඉන්පසු අවම වශයෙන් විනාඩි කිහිපයක් හෝ භාවනාවක නිරත වීම ඉතා යහපත් ආනිශංස ගෙන දෙන්නක්. ගිහියෙකුට එවැනි අවස්ථාවක වඩාත් ම සුදුසු වෙන්නෙ මෛත්‍රී භාවනාව. භාවනාවෙහි යෙදීමෙන් පසු තෙරුවන් කමා කොට ගෙන අවසානයේ බෞද්ධයෙකු පැතිය යුතු ඉහළ ම සැපත වන නිවන ප්‍රාර්ථනා කළ යුතුයි. මෙසේ ගාථා සජ්ඣායනා කිරීමෙන් පසු ව පිරිත් සජ්ඣායනයත් වැදගත්. විශේෂයෙන් මංගල සූත්‍රය, රතන සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය යන තුන් සූත්‍රය සජ්ඣායනය කොට දෙවියන්ට පින් දිය හැකියි. අවසානයේ ‘බුදු සරණ වේවා, සදහම් සරණ වේවා...!’ යන පාඨ සජ්ඣායනය ද විශාල ආශීර්වාදාත්මක බලයක් ඇති කර දීමට සමත්.”
“අවසානයේ පසඟ පිහිටුවා යළිත් නමස්කාර කොට එම ස්ථානයෙන් නැඟිට දෙමව්පියන් සහ වැඩිහිටියන් ද වන්දනා කොට ආශීර්වාද ලබා ගැනීමත් ඉතා ම යහපත්.”
මෙම දිනපතා බුද්ධ වන්දනාවට අමතර ව වෙනත් යහපත් ප්‍රතිඵල අත් කර දෙන ගාථා හෝ සුත්‍ර දේශනා මොනවා ද?
“ඡත්ත මානවක ගාථා, රත්නමාලි ගාථා ආදිය බෞද්ධයින් අතර නිතර ම භාවිත වනවා. ‘ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ...’ යන ගාථාවත් වැදගත්. බුදුරජාණන් වහන්සේ මාර පරාජය සිදු කළ සත්‍යයේ ආනුභාවයෙන් තමාට ජය ප්‍රාර්ථනා කොට සත්‍ය ක්‍රියා කිරීම එයින් සිදුවනවා. අටවිසි පිරිත, ජයමංගල ගාථා, අභිසම්භිදාන පිරිත, චන්ද පිරිත, සුරිය පිරිත ආදියත් අතිරේක ව භාවිත කළ හැකි විශේෂ ආශීර්වාද ශක්තීන් සහිත සූත්‍රයන්.”
මෙම බුද්ධ වන්දනාව, පිරිත් හා ගාථා සජ්ඣායනය මඟින් ලැබෙන ආනිශංස මොනවා ද?
“නිර්වාණයේ පදනම තමයි ශ්‍රද්ධාව කියන්නෙ. තෙරුවන් ගුණ මනසට යොමු වීම මඟින් ශ්‍රද්ධාව නම් ඉන්ද්‍රිය වර්ධනය වෙනවා. තෙරුවන් වඳින විට ශ්‍රද්ධාව ඇති වෙනවා. තෙරුවන් කෙරෙහි පැහැදෙනවා. එමඟින් නිවනට දොරටු සමීප වෙනවා. ඒ නිසා මෙය බුද්ධ වන්දනාවෙන් ලැබෙන ප්‍රධානතම ආනිශංසයක්. ගිහි ජීවිත තුළ ජීවන ගැටලු අධිකයි. ඒවා තෙරුවන් වැඳීමේ දී අමතක ව ගොස් සිතේ සන්සුන් බවක් හා සමනයක් ඇති වෙනවා. එසේ ම තුන් සූත්‍රවල එන රතන සූත්‍ර සජ්ඣායනය මඟින් දුර්භික්ෂ, රෝග, අමනුෂ්‍ය යන තුන් බිය දුරු වෙනවා.
වැසි ඵල ලැබීම, ආහාර පාන ලැබීම, රජු දැහැමි වී රට ආරක්ෂා වීම ආදිය සිදු වෙනවා. චන්ද පිරිත යනු සිසිල් බව රැකෙන පිරිතක්. රක්ත වාත ආදි අධික උණුසුම් බව නිසා ඇති වන රෝග චන්ද පිරිත සජ්ඣායනයෙන් සීමා වෙනවා. සූරිය පිරිත නිතර සජ්ඣායනයෙන් සෙම් අධික රෝග පාලනය කර ගත හැකියි.”
“තෙරුවන් වැඳීමෙන් පසු ‘ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ’ වැනි ප්‍රාර්ථනා ගාථා භාවිතයෙන් බලවත් ප්‍රතිඵල අත් කර ගත හැකියි. මන්දයත් අප එම සත්‍ය ක්‍රියා සිදු කරනුයේ තෙරුවන් වැඳ පවිත්‍ර වූ මනසක් හා හදවතක් සහිතවයි. එම සත්‍යක්‍රියා බලයෙන් තරග විභාග කටයුතු මෙන් ම ජීවිතයේ බොහෝ අවස්ථා ජය ගැනීමේ ශක්තිය ලැබෙනවා. අනෙක් අතට හඳුන් කූරු, සුවඳ දුම් හා මල් වලින් නැඟෙන සුවඳත් මිනිසුන්ගේ හදවතින් නැඟෙන මෛත්‍රී සහගත සිතිවිලිත් ඒකරාශී වීම මඟින් දෙව් බඹුන්ගේ ආශීර්වාදය මෙන්ම විශ්වයේ ශක්තියත් ළඟා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එසේ ම නිවසට ද ආශීර්වාදය මෙන් ම සෞභාග්‍යය උදා වනවා.”
නවග්‍රහ ශාන්තියත් බුද්ධ වන්දනාවේ ම කොටසක් ද?
“නවග්‍රහ යනු ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය අනුව මිනිස් ජීවිතයට බලපෑම් කළ හැකි යැයි විශ්වාස කෙරෙන රාහු, කේතු ආදි ග්‍රහයන්ගේ බලපෑමයි. මෙම ග්‍රහයින්ගෙන් මිනිස් ජීවිතයට ඇති කරන අයහපත් බලපෑම් තෙරුවන්ගේ ආනුභාවයෙන් වියැකී යන ලෙසට ප්‍රාර්ථනා කරමින් බුද්ධ වන්දනාවේ දී හා බෝධි පූජාවල දී නවග්‍රහ ශාන්තිය සිදු කෙරෙනවා.
බුද්ධ දේශනාවෙහි නම් සඳහන් වන්නේ ‘නැකැත් තරු මිනිසාට මොනවා කරන්න ද, අවශ්‍ය වන්නේ පුද්ගලයාගේ උත්සාහය, අධිෂ්ඨානය සහ යහපත් පැවැත්ම පමණයි, එම නිවා ඔබ නිවැරැදි වෙන්න, අධ්‍යාත්මය නිවැරැදි කරගන්න’ යනාදි වශයෙනුයි. නමුත් සාමාන්‍ය මිනිසා වැඩි වශයෙන් තෙරුවන් වැඳීමට පැමිණෙනුයේ ජීවිතයේ ගැටලු ඇති වූ පසුවයි. එම නිසා ඔවුන් ග්‍රහ අපල දුරු කරගැනීම සඳහා තෙරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරනවා.
ධර්මයේ ග්‍රහ අපල පිළිබඳ විශ්වාස නොකළත් සාමාන්‍ය මිනිසුන්ගේ ගිනිගෙන දැවෙන ජීවිතවලට පොද වැස්සක් බඳුයි එසේ තෙරුවනෙහි ආරක්ෂාව ඉල්ලා සිත සැහැල්ලු කර ගැනීමට හැකි වීම. එම නිසා නවග්‍රහ ශාන්තිය ප්‍රතික්ෂේප කළ යුතු වන්නේ නැහැ.
බුද්ධ වන්දනාවේ දී මෙන් ම පන්සල් යෑමේදීත් නිවසේ සියලු දෙනා එක් ව එම ආගමික වතාවත් සිදු කිරීම තවත් වැදගත් ම දෙයක්. සදාචාරවත්, මනසට හිතකාමී, ශ්‍රද්ධාවන්ත හා ධාර්මික පරිසරයක් නිවස තුළ ඇති වන්නේ එවිටයි.”
ලවංගා මාධවී දෑරංගල