පෘථිවි කක්ෂයේ ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටින නාසා ගගනගාමිනියක වන නිකොල් අයර්ස් - අභ්‍යවකාශ නැවතුම්පොළේ සිට පහළ පෘථිවිය දෙස බලද්දී, හරි අපූරු දෙයක් දුටුවාය. ඇයට පමණක් නොව, අභ්‍යවකාශ නැවතුම්පොළේ සිටි සෙසු ගගනගාමීන්ට ද එය පුදුමයක් විය; ප්‍රහේලිකාවක් විය. නිකොල් අයර්ස්, දුටුවේ පෘථිවියේ පහළ සිට වලාකුළුවලින් ඉහළට විහිදෙන්න වූ දීප්තිමත් රතු පැහැති ආලෝකයකි.
එම දීප්තිමත් ආලෝක විහිදීම ඡායාරූපයට නැඟූ නිකොල් එය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ අතර, බොහෝ දෙනාගේ අවධානය ඊට යොමු විය. ගගනගාමිනී නිකොල්, ස්පේස් එක්ස් 10 වැනි කණ්ඩායම සමග ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගිය නියමුවරියකි. ඇය මේ විස්මිත ආලෝකය දුටුවේ පසුගිය ජූලි 3 වැනිදා මෙක්සිකෝවට සහ ඇමෙරිකාවේ කැලිෆෝනියා සහ ටෙක්සාස් යන ජනපදවලට ඉහළ අහසේය. ඒ වනවිට එම කලාපයට ඉහළින් ප්‍රචණ්ඩ අකුණු ද සහිත වැහි කුණාටුවක් කැරකෙමින් තිබුණි.
“අභ්‍යවකාශ නැවතුම්පොළ මෙක්සිකෝවට සහ ඇමෙරිකාවට ඉහළින් ගමන් කරද්දී, පහළින් රතු ආලෝකයක් විහිදෙනවා දකින්න ලැබුණා. ඒක ලස්සනයි. මෙවැනි දෙයක් මා මීට පෙර දැක නැහැ.” යැයි ගගනගාමිනිය සිය එක්ස් ගිණුමේ පළ කළ සටහනකින් කියා සිටියාය.
නාසා ගගනගාමිනී නිකොල් දුටුවේ ඉතාමත් දුර්ලභ ස්වභාවික සංසිද්ධියකි. ඇය දුටුවේ විදුලි කෙටීමකි. නැතිනම් අකුණකි. ඒත් ඒ සාමාන්‍ය විදුලි කෙටීමක් නොව අසාමාන්‍ය එකකි. අප කවුරුත් විදුලි කොටනවා දැක ඇති නමුත්, ඇතැම් අවස්ථාවලදී සාමාන්‍ය විදුලි කෙටීම් වලට වඩා බොහෝ ඉහළින් (වලාකුළුවලටත් ඉහළින්), දීප්තිමත් ආලෝක දකින්න ලැබේ. විද්‍යාඥයන් මේවා හඳුන්වන්නේ තාවකාලික දීප්තිමත් සිදුවීම් යනුවෙනි. සරලව පැහැදිලි කළොත් මේවා ඉහළ වායුගෝලීය විදුලි කෙටීම් ය. මෙම ආලෝක ධාරා සැණින් ඇතිවී, සැණින් නැතිවී යයි.
අතීතයේ ගුවන් නියමුවන්ට මෙම ඉහළ වායුගෝලීය විදුලි කෙටීම් නැතිනම් ඉහළ වායුගෝලීය අකුණු දකින්න ලැබී තිබුණත්, ඒවා මොනවා දැයි හරි හැටි කීමට ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැත. පළමු වරට මෙවැනි සංසිද්ධියක් ඡායාරූපයට නැගීම සිදු වූයේ 1989 වසරේ දීය. විද්‍යාඥයන් මේවා ගැන උනන්දු වෙමින්, මේවා මොනවාදැයි පැහැදිලි කිරීමට යොමු වූයේ ඉන් අනතුරුවය.
නාසා ගගනගාමිනියට දකින්න ලැබුණු ජෙලි ෆිෂ් සත්ත්වයකු සිහි ගන්වන ආකාරයේ ආලෝක ධාරාවකි. එය හැඳින්වෙන්නේ ස්ප්‍රයිට්ස් යනුවෙනි. විවිධාකාරයේ තාවකාලික දීප්තිමත් සිදුවීම් ස්වභාවිකව නිර්මාණය වෙයි. ඒ අතරින් දීප්තිමත් රතු පාට ආලෝක ධාරා හඳුන්වන්නේ ස්ප්‍රයිට්ස් යනුවෙනි.
සාමාන්‍යයෙන් විදුලි කෙටීම් ඇති වෙන්නේ වලාකුළු සහ පොළොව අතරේය. ඒත් ස්ප්‍රයිට්ස් ආලෝක ධාරා නිර්මාණය වන්නේ විශාල ගිගුරුම් සහිත වලාකුළු වලටත් ඉහළිනි; පොළොවේ සිට කිලෝමීටර් 50ත් 90ත් අතර උසකිනි. විදුලි කෙටීම් ඇතිවෙන්නේ ධන සහ සෘණ ආරෝපණ එකට ගැටෙද්දීය. ස්ප්‍රයිට්ස් ධාරා නිර්මාණය වන්නේ ගිගුරුම් සහිත වලාකුළක උඩම කොටස සහ පොළොව අතර ඇතිවන විශේෂ විදුලි කෙටීම් නිසාය.
ස්ප්‍රයිට්ස් රතු පාටින් පමණක් නොව, රෝස හා තැඹිලි පාටින් ද දක්නට ලැබේ. අතැම් විට මෙම ආලෝක ධාරාවල පහළින් එල්ලෙන නූල් වැනි කොටස් දක්නට ලැබෙන අතර, එම කොටස් සැබවින්ම සියුම් ආලෝක ධාරා විහිදීම්ය.
විද්‍යාඥයන් මේ නූල් වැනි ධාරා හඳුන්වන්නේ කැරට් ස්ප්‍රයිට්ස් යනුවෙනි. එය කැරට් අලයක් මුල් ඇද තිබෙනවා වැනිය.
විදුලි කෙටීමක් යනු උණුසුම් සංසිද්ධියකි. එසේ වුවත්, ස්ප්‍රයිට්ස් ආලෝක ධාරා උණුසුම් නැත. මේවා සීතල ප්ලාස්මා වලින් නිර්මාණය වී තිබීම ඊට හේතුවය. ෆ්ලෝරසන්ට් බල්බ (අප නිවෙස්වල ඇති ටියුබ් ලයිට්) ඇතුළේ තියෙන වායුව ද එවැන්නකි. ස්ප්‍රයිට්ස් ආලෝක ධාරා වර්ග තුනකි. විද්‍යාඥයන් මේවා වර්ග කර ඇත්තේ හැඩය අනුවය. ජෙලිෆිෂ් ස්ප්‍රයිට්ස් යනු මුහුදේ සිටින ජෙලිෆිෂ් සතුන් සිහි ගන්වන විදියේ වටකුරු ඒවාය. කොලම් ස්ප්‍රයිට්ස් යනු කුලුනු වැනි සෘජුව ඉහළට විහිදෙන ආලෝක ධාරාය. කලින් සඳහන් කළ කැරට් ස්ප්‍රයිට්ස් තෙවැනි වර්ගයයි.
නිල් ජෙට්ස් යනුවෙන් හැඳින්වෙන්නේ ද ඉහළ අහසේ ඇති වන තවත් ලස්සන ආලෝක ධාරාය. මේවා රතු පාට නොවන අතර, නිල් පාටින් යුක්තය. නිල් ජෙට්ස් යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසාය. නිල් ජෙට් ඇතිවෙන්නේ ගිගුරුම් සහිත වලාකුළක ඉහළින්ම ඇති කොටසින් කෙළින්ම ඉහළට යන්නාක් මෙනි. එය හරියට කරාමයක වතුර පහළට නැතිව ඉහළට යන්නාක් මෙනි. නිල් ජෙට් ආලෝක ධාරා කිලෝමීටර් 50ක් විතර උසට විහිදෙයි. මේවා ද දකින්න ලැබෙන්නේ ඉතාමත් කෙටි කාලයකට පමණි.
ඇතැම් වෙලාවට නිල් ජෙට් වගේම තවත් පොඩි නිල් පාට එළි දකින්න ලැබේ. විද්‍යාඥයන් මේවා හඳුන්වන්නේ නිල් ස්ටාටර්ස් යන නමිනි. මේවා නිල් ජෙට් මෙන් වුවත්, මේවා කිලෝමීටර් 20 ක් පමණ අඩු උසකට පමණක් විහිදෙයි. මේවා අසාර්ථක වූ එසේත් නැතිනම් නිසි ලෙස වර්ධනය නොවුණු නිල් ජෙට් ධාරා යැයි විද්‍යාඥයන්ගේ අදහසය. ගිගුරුම් සහිත වැස්සක් පවතිද්දී, අහසේ ඉහළින්ම නිල් පාටට ඉහළට විහිදෙන ආලෝක ධාරා නිල් ස්ටාටර්ස් විය හැකිය. මේවා නිල් පාටින් පෙනෙන්නේ වාතයේ ඇති නයිට්‍රජන් වායුව දීප්තිමත් වීම නිසාය.
දැවැන්ත ජෙට් ධාරා යනු නිල් ජෙට් වලටත් වඩා විශාල, උසට විහිදෙන ආලෝක ධාරාය. නිල් ජෙට් වලාකුළක උඩින්ම හටගත්තත්, දැවැන්ත ජෙට් ඇතිවෙන්නේ ගිගුරුම් සහිත වලාකුළක උඩ ඇති ධන ආරෝපණ තට්ටුව සහ පහළ ඇති සෘණ ආරෝපණ තට්ටුව අතරින් යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ ආලෝක ධාරා කිලෝමීටර් 70 ක් වැනි උසකට විහි දී යයි. මේවායේ පහළ කොටස නිල් පාටට පෙනෙන අතර, ඉහළට යද්දී රතු පැහැයට හැරෙයි.
එල්ව්ස් යනු ඉතා ඉක්මනින් ඇතිවෙලා නැතිවෙන, රවුම් හැඩැති දීප්තිමත් ආලෝක ධාරාය. මේවා විෂ්කම්භයෙන් කිලෝමීටර් 400 ක් තරම් විශාල විය හැකිය. මේවා ඇතිවෙන්නේ ගිගුරුම් සහිත වැසිවලටත් ගොඩක් උඩින්, පොළොවේ සිට කිලෝමීටර් 100 ක් විතර උසින් තියෙන අයන ගෝලයේ දීය.
මේවා ඇතිවෙන්නේ විදුලි කෙටීමක් නිසා ඇතිවන විද්‍යුත් චුම්බක තරංගයක් නිසා වාතයේ නයිට්‍රජන් අණු උත්තේජනය වීමෙනි. මේවා ඇතිවී, නැතිවීමට ගත වෙන්නේ තත්පරයෙන් දහසෙන් පංගුවක් වැනි කෙටි කාලයක් යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.
ලුසිත ජයමාන්න
ලයිව් සයන්ස් ඇසුරිනි