ගංජා හේන් වටලද්දී අලි කටේ අතරමංව


ගංජා මුදලාලි පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට අමුතු සැලැස්මක් හදලා

මීට වසර පනහකට පමණ පෙර දී - ගංජා ජාවාරම්කරුවකු ගේ මුදල් කොන්ත්‍රාත්තුවක් මත, පොලිස් ඔත්තුකරුවෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු, ගංජා වැටලීමට යැයි කියා අවස්ථා දෙකකදී පොලිස් කණ්ඩායම් දෙකක් යාල කැලේට කැඳවා ගෙන ගොස් අතරමං කර, අලි ඇතුන් ගේ පහර කෑම් වලට ලක්කර ඝාතනය කිරීමට උත්සාහ කළ සිද්ධිය මෙසේය.

1975 වසරේ එක්තරා දිනක මොනරාගල පොලිසියට පුද්ගලයෙකු පැමිණියේ - එම පොලිස් ස්ථානයේ රාජකාරි කරන එවකට තරුණ උප පොලිස් පරීක්ෂකවරයකුව සිටි ජයන්ත ගම්මන්පිල සොයාගෙනය.

උප පොලිස් පරීක්ෂක ගම්මන්පිල ඇතුළු පොලිස් නිලධාරීහු මොනරාගල සහ ඒ අවට ප්‍රදේශවල පිහිටි ගංජා හේන් දිගින් දිගටම වටලමින් ජවාරම්කරුවන් අත්අඩංගුවටගැනීම සිදුකර ගෙන යමින් සිටියහ.

ජයන්ත ගම්මන්පිල මෙන්ම එවකට මොනරාගල පොලිසියේ රාජකාරි කළ උප පොලිස් පරීක්ෂක ගාමිණී ද සිල්වා සහ රිචඩ්  විජේසේකර යන නිලධාරීන් ද දිගින් දිගටම ගංජා හේන් වැටලීමේ නිරතව සිට ඇත.

මේ නිසා ගංජා ජාවාරම්කරුවන්ට මේ පොලිස් නිලධාරීන් මහත් හිසරදයක් විය. මොනරාගල පොලිස් ස්ථානයට පැමිණි මෙම පුද්ගලයා ගම්මන්පිල සර් කියන්නේ කවුදැයි කියා පොලිස් නිලධාරියකු ගෙන් විමසා තරුණ උප පොලිස් පරීක්ෂකවරයා හමුවී ඇත.

“සර් බුත්තල කතරගම පාරේ මහ කැලේ හැතැක්ම දෙකක් විතර ඇතුළට ගියාම අක්කර දෙකක විතර ගංජා හේනක් තියෙනවා. බොහොම සරුවට ගංජා වැවිලා තියෙනවා. තව දවස් දෙක තුනකින් විතර ඒ ගංජා අස්වැන්න කපන්නයි යන්නේ. ඊට කලින් ගියොත් ගංජා හේන වවපු එවුන් එක්කම කොටු කර ගන්න පුළුවන්. මට සර් ලා එක්ක ගිහින් ගංජා හේන තියෙන තැන පෙන්වන්න පුළුවනි.” 

මොනරාගල පොලිසියේ එවකට ස්ථානාධිපති තනතුර හෙබවූ පොලිස් පරීක්ෂක ඊටින් ද සිල්වාට - උප පොලිස් පරීක්ෂක ගම්මන්පිල මේ ගැන දැනුම් දෙන ලදුව, වැටලීමට අනුමැතිය ලැබී ඇත.

මෙම ගංජා හේන වැටලීමට යාමේ මෙහෙයුමට ගම්මන්පිල සමග - සැරයන් කුලතුංග (3014) කොස්තාපල්වරුන් වන ඩේවිඩ් (1253) හා සිරිපාල (13194) ඇතුළු නිලධාරීහු පිරිසක්  සහභාගි වූහ.

නියෝජ්‍ය පොලිස්පති නිලයෙන් මේ වන විට විශ්‍රාම ලබා සිටින ජයන්ත ගම්මන්පිල මීට වසර පනහකට ඉහත දී අලි ඇතුන්, කොටින්, වලසුන් ගහන මහ කැලෑවේ පැය විසි අටකට ආසන්න කාලයක් කුසට ආහාරයක් නොමැතිව අතරමංව සිට නිරුපද්‍රිතව ජීවිතය බේරා ගෙන පැමිණි ආකාරය ගැන තොරතුරු හෙළි කළේ මේ අයුරිනි.

“මාව හමුවෙන්න ආපු ඒ මනුස්සයා කිව්ව තොරතුරු අනුව ඔහුත් කැටිව බුත්තල කතරගම මාර්ගයට පොලිස් ජීප් රථයකින් අපි කණ්ඩායම ගියා. රයිෆල් වර්ගයේ එක ගිනි අවියක් පමණක් අපේ ආරක්ෂාවට රැගෙන ගියේ. බුත්තල කතරගම මාර්ගය ඒ කාලේ වැලි පාරක්. ඉස්සර අද වගේ පොලිසියට වාහන නොතිබූ නිසා පොලිස් ජීප් රථය පිටත් කර හැරලා ගංජාහේන වැටලීමට ගියා. 1975 වසරේ දවසක තමයි මේ ගංජා හේන වටලන්න ගියේ. මට දිනය දැන් මතක නැහැ.”

“ගංජාහේන වටලන්න එදා දවල් 12ට විතර කතරගම බුත්තල පාරෙන් කැලේ ඇතුළට යන්න පටන් ගත්තා. මෙම කැලෑව පොතුවිල් ලාහුගල දක්වා විහි දී යන ගන කැලෑවක්. යාල කැලයට මායිම්ව තමයි මේ මහ කැලෑව පිහිටා තියෙන්නේ. පැය දෙකක් විතර මහ කැලේ    හැතැක්ම දෙකක් විතර ගියත් ගංජාහේන හොයා ගන්න බැරිව ගියා. ‘සර් පාර වැරදුණා’ වගේ කියලා අපිත් එක්ක ගිය ඔත්තුකරුගෙන් විමසුවාම කිව්වා. මේ වෙනකොට හවස තුන පහුවෙලා තිබුණා. දැන් අපිට ආපහු බුත්තල කතරගම මාර්ගයට එන්න පාර හොයා ගන්න විදියක් නෑ. ප්‍රධාන මාර්ගයට එන්න පාර හොයමින් කැලේ ඒ මේ අත ඇවිදින කොට ‘තුන්පත් රෑනක්’ අපි ආසන්නයේ හිටියා. ඇතින්න අපි පසු පස එළවා ගෙන ආවා. අපි දුවලා යාන්තම් ජීවිතය බේරාගත්තා.”

“මේ වෙන කොට රෑ බෝවෙමින් තිබුණා. අස්වැන්න කපා දමා තිබූ ගංජා හේනක ගරා වැටී තිබූ පොඩි පැල්පතක් තිබුණා. මේ පැල්පතේ තිබුණු බෝතලයක භූමිතෙල් කාලක් විතර තිබී අපට හමු වුණා. අපි ඒ භූමිතෙල් කාල අරගෙන තවත් ඉදිරියට ගමන් කළා. හවස පහ විතර වෙනකොට විශාල ගල්තලාවක් තිබෙනවා දැක්කා. අපි බොහොම අමාරුවෙන් ඒ ගල්තලාවට ගොඩ වුණා. ගංජා හේන පෙන්නන්න අපිත් එක්ක ගිය පුද්ගලයා කිව්වා, ’සර්ලා ඔහොම ඉන්න මම ගල්තලාවෙන් පහළට බැහැලා කැලෑවෙන් එළියට යන්න තියෙන පාරක් හොයාගෙන එන්නම්’ කියලා. ඒ වෙලාවේ මට මේ මිනිහා ගැන ලොකු සැකයක් ඇතිවුණා. මේ මිනිහා අපෙන් ගැලවිලා යන පොතක් තමයි මේ පෙරළන්නේ කියලා මට විචිකිච්ඡාවක් ඇති වුණා. ඒ මනුස්සයාට නොතේරෙන්න මම අනික් පොලිස් නිලධාරීන් ගෙන් ඇහැව්වා මේ මනුස්සයාව හඳුනනවා ද කියලා. ‘නැහැ සර්. අපි අඳුරන්නේ නෑ. සර් ගේ ඉන්ෆෝමන් කෙනෙක් කියලයි අපි හිතුවේ.’  යනුවෙන් ඔවුන් කිව්වා. මගේ සැකය වැඩි වුණා. ඒ නිසා අපි ඔහුට යන්න දුන්නේ නැහැ. සැකය ඔහුට දැනෙන්න ඉඩ තිබ්බෙත් නෑ. රෑ බෝවෙන්න කලින් අපි ඒ මහ ගල්තලාවෙන් සීරුවට බිමට බැහැ ගත්තා.”

“හොඳටම රෑ වුණාට පස්සේ අපිත් එක්ක හිටිය එක් පොලිස් නිලධාරියෙක් ඔහු යටට ඇඳලා හිටිය බැනියම ගලවලා අරගෙන කෝටු කැබැල්ලක ඔතලා පන්දමක් හදාගෙන ඒකට භූමි තෙල් වක්කළා. තවත් නිලධාරියෙකු ළඟ ගිනිපෙට්ටියක් තිබුණා. ඒ ගිනිපෙට්ටියේ තිබුණේ කූරු තුනක් විතරයි. ගිනිකූරක් ගහලා ඒ පන්දම දල්වා ගෙන ඒ ආලෝකයෙන් තවත් ඉදිරියටම ගමන් කළා. ඒ පන්දම නිමී ගියාට පස්සේ තවත් පොලිස් නිලධාරියෙක් පැලඳගෙන සිටි සෙරෙප්පු ජෝඩුව ගලවලා මුලින්ම එක් සෙරෙප්පූකට ගිනි තියලා ඒ ආලෝකයෙන් ඉදිරියට ගියා. ගිනි අවුලපු ඒ සෙරෙප්පු ආලෝකෙ අවසන් වුණාම අනිත් සෙරෙප්පුවටත් ගිනි තියලා ආලෝකය ලබා ගත්තා.”

“ඔහොම පැය ගණනාවක් කැලේ එනකොට හිඳී ගොස් තිබූ මැණික් ගඟ හමු වුණා. ඒ වෙනකොට අපි හොඳටම බඩගින්නේ හිටියේ. පොලිසියෙන් උදේට කාලා ආපු කෑම ටික විතරයි බඩවල්වල තිබුණේ. අපි මැණික් ගඟේ වතුර බීලා බඩ පුරෝගත්තා. ගඟ හරහා රූස්ස ගසක් වැටිලා තිබුණා.ඒ ගහ දිරාපත් වෙලා තිබුණේ. අපි ගහට ගිනි තිබ්බා. ඒ ආලෝකයෙන් වැලිතලාවේ රාත්‍රිය ගත කරන්න තීරණය කළා. අපේ සමහර නිලධාරීන්ට ඇගේ පතේ මහන්සියටත් එක්ක නින්ද ගොස් තිබුණා. ගංජා හේන පෙන්නන්න ආපු මනුස්සයා අපෙන් ගැලවිලා පැනලා යයි කියලා ඒ මිනිහා ගැනත් හොඳ සෝදිසියෙන් තමා අපි හිටියේ.”

“පහුවදා පාන්දර ජාමයේ අලි තිහක හතළිහක විතර රංචුවක් අපි නිදා ගෙන සිටි තැනට තරමක ඈතින් ගියා. අපි කෑකෝ ගහලා ඒ අලි රංචුව පන්නා ගත්තා. පස්සේ තමයි අපි දැන ගත්තේ අලිමංකඩක් ආසන්නයේ නිදාගෙන ඉඳලා තියෙන්නේ කියලා.”

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගම්මන්පිල වැඩිදුරටත්  තොරතුරු හෙළි කරමින් මෙසේ පැවසීය.

“මැණික් ගඟේ බටහිර පැත්තට ගියහම කතරගම හමුවෙන බව දන්නා නිසා, අපිට උදේ පාන්දරින්ම යළිත් මැණික් ගඟට සමාන්තරව  කැලේ මැදින් ගමන් ආරම්භ කළා. බඩගින්න ඉවසන්න බැහැ. එදා පැය කීපයකට පසු කැලෙන් එළියට එන්න හම්බවුණා. එතැන ඉඳලා කතරගමට සැතපුම් තුනක පමණ දුරක් තිබෙන බව දැනගැනීමට ලැබුණා. අපි අසල වූ පොඩි කඩයකට ගොස් වෙච්ච ඇබැද්දිය කිව්වා. කඩේ හිටි මුදලාලි පුදුමයට පත්වෙලා ඔළුවේ අත ගහගත්තා. ‘සර් ලා ජීවිතයේ බේරගෙන ආපු එක ලොකු පුදුමයක්’ කියලා කිව්වා. ඒ මුදලාලි අපිට බඩකට පිරෙන්න කන්න බොන්න දුන්නා. අපි බස් එකක නැගලා ආවා. ඒ වෙන කොටත් පොලිසියේ කට්ටියක් අපිව හොයන්න පටන්  අරන් තිබුණා.

කැලේ අතරමං වෙලා පැය විසි නවයකට විතර පස්සේ අපි එළියට ආවේ. බොහොම අමාරුවෙන් ජීවිතය බේරා ගෙන එදා කැලෙන් එළියට ආපු වෙලාවේ අපිට කන්න බොන්න දීලා සත්කාර කළ කඩේ මුදලාලිව ඊට මාස දෙක තුනකට පස්සේ වෙඩි තබා මරා දාලා තිබුණා.”   

“අපිව ගංජා හේනක් පෙන්නන්න කියලා  එක්ක ගෙන ගිය මනුස්සයා අත්අඩංගුවට ගන්න තරම් සාධක ඒ වෙලාවේ අපට තිබුණේ නැහැ. ඒ නිසා අපි කට උත්තරයක් අරගෙන මිනිහාව යැව්වා. අපිට මේ සිද්ධිය වෙලා අවුරුදු හයකට විතර පස්සේ වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ද ලොකු ගංජා හේනක් පෙන්නන්න මිනිහෙක්  එක්කගෙන ගිහින් අතරමං කර තිබෙනවා. එදා අපිව එක්ක ගෙන ගිය මිනිහම තමා මේ පොලිස් කණ්ඩායමත් කැඳවා ගෙන ගිහින් තියෙන්නේ. වනයේ අතරමං කොට වනසතුන් ලවා අපිව ඝාතනය කරවන්න ගංජා මුදලාලි කෙනෙක් ගේ ප්ලෑන් එකක් අනුව ඔත්තුකරුවෙකුගේ වේශයෙන් සිටි තැනැත්තා කටයුතු කරලා තියෙන්නේ කියන එක දැනගත්තේ වසර හයකට පසුවයි.”

ඒ ගැන කියන්නේ එවක මොනරාගල පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවය කර උප පොලිස් පරීක්ෂක නිලයෙන් විශ්‍රාම ලැබ මේ වෙන විට මොනරාගල නගරයේ පදිංචිව සිටින එල්.බී. ගුණවර්ධන ය.

ගංජා හේනක් වැටලීමට ගොස් දින තුනක කාලයක් යාල මහා කැලේ අතරමං ව සිටි වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායම සොයාගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් පහක් පමණ පත් කර තිබූ අතර, එක් කණ්ඩායමකට ගුණවර්ධන ද ඇතුළත්ව සිටියේය.
“මගේ මතකයේ හැටියට1980 වසරේ දී විතර තමා මෙම සිද්ධිය වුණේ. එතකොට මම මොනරාගල මූලස්ථාන පොලිසියේ කොස්තාපල්වරයකු ලෙස රාජකාරි කරනවා. වැල්ලවාය පොලිසියේ එවක පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ සුනිල් පෙරේරා මහත්තයා.  පෙරේරා මහත්තයා හමුවෙන්න ආපු කෙනෙක් කියලා තියෙනවා යාල කැලේ විශාල ගංජා හේනක් තියෙනවා. සර්ලට ඕන නම් මට ඒ ගංජහේන පෙන්වන්න පුළුවන් කියා. ඊට පස්සේ පෙරේරා මහත්තයා හය දෙනෙකු ගෙන් සමන්විත පොලිස් ටීම් එකක් එක්ක ඔත්තුව දුන්න කෙනාත් සමග ගංජා හේන වටලන්න ගිහින් තියෙනවා. යාල කැලේ සැතපුම් ගාණක් දුරක දී මේ පොලිස් ටීම් එක කැලේ අතරමං කරලා මිනිහා පැනලා ගිහින්.”

“අතරමං වුණු පොලිස් ටීම් එක මහ ගල්තලාවකට නැගගෙන තිබෙනවා. හාමත් වෙලා ගල්තලාව මත වැතිරී ඉන්න කොට එදිරිසූරිය කියන කොස්තාපල්වරයා බොහොම අමාරුවෙන් ගල්තලාව මත තිබුණු ගහකට නැගලා අවට සෝදිසි කර කර ඉන්න කොට ගහෙන් බිම ඇද වැටිලා කකුල්වලට හානි සිදුවී ඇවිද ගන්නත් බැරිව ගිහින්. දින තුනක් ගත වෙලාත් කට්ටියට කැලෙන් එළියට එන්න පාර හොයා ගන්න බැරිව ගිහින්.“

“කන්න බොන්න නැතිව බඩගින්න ඉවසාගන්න බැරිව, යන එන මං හොයාගන්න බැරිව, හරියට ඇවිද කියා ගන්නවත් බැරිව සිටි මෙම පොලිස් නිලධාරීන් ඔවුන් ළඟ තිබූ ගිනි අවියෙන් එකිනෙකා වෙඩි තබා ගෙන සියදිවි නසාගැනීමට තීරණයක් අරගෙන තිබෙනවා. එසේ ඉන්නා විට හෙලිකොප්ටර් යානයක් ඔවුන් වැතිරී සිටි ගල්තලාවට ආසන්න යෙන්  පියාසර කරන හඬ ඇසී තිබෙනවා.”

“පොලිස් ටීම් එකේ සිටි එක් පොලිස් කොස්තාපල්වරයෙක් ඔහු ඇඳ සිටි නිල ඇඳුම ගලවා ඇඳුමත් අරගෙන ගහක් උඩට නැග එය වනන්න පටන් අරන් තිබෙනවා. නියමුවා මේ බව දැකලා හෙලිකොප්ටර් යානය ගල්තලාවට ගොඩ බාලා, යාල කැලේ දින තුනක කාලයක් තිස්සේ අතරමංව සිටි පිරිස මොනරාගල නගර සභා ක්‍රීඩාංගණයට අරගෙන ආවා. මේ විස්තර අපි දැනගත්තේ  ජීවිතය බේරාගෙන පැමිණි වැල්ලවාය පොලිසියේ ඒ නිලධාරීන් ගෙන්.”

“ඒ වෙනකොට මොනරාගල සහ ඒ අවට පොලීසිවල විශේෂ කණ්ඩායම් හයක් විතර යාල කැලේ අතරමංව සිටි මේ පොලිස් නිලධාරීන්  හොයන මෙහෙයුම ආරම්භ කර තිබුණා. මොනරාගල පොලිසියෙන් පත් කර තිබුණු උප පොලිස් පරීක්ෂක ජමාල් ඩීන් මහත්තයාගේ කණ්ඩායමට මමත් ඇතුළත්ව සිටියා. අතරමං වුණු පොලිස් කණ්ඩායම මොනරාගල නගර සභා ක්‍රීඩාංගණයට රැගෙන ඇවිත් බව රේඩියෝ මැසේජ් වලින් අපට දැන ගැනීමට ලැබුණා. අපි මෙහෙයුම අතරමග නතර කර වහා මොනරාගල නගර සභා ක්‍රීඩාංගණයට පැමිණියා.”

“සුළු මොහොතකින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් නගර සභා ක්‍රීඩාංගණයට ලෑන්ඩ් කළා. ආහාර පාන නොමැති නිසා නැගිට ගන්න හෝ නොහැකිව සිටි ඕ.අයි.සී. මහත්තයාව චොපර් එකෙන් උස්සලා ගිලන් රථයට දැම්මේ මමයි. අනික් නිලධාරින්ව  ඔසවා ගෙන ගොස් ගිලන් රථයට දැම්මේ එතන හිටිය අනිත් නිලධාරීන්. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔවුන්ව මොනරාගල රෝහලට රැගෙන ගියා.”

“මෙම සිද්ධියට අදාළව මොනරාගල පොලිසියෙන් පරීක්ෂණයක් ආරම්භ කළා. ඒ පරීක්ෂණ කණ්ඩායමටත් මම ඇතුළත්ව සිටියා. වැල්ලවාය  ඕ.අයි.සී. මහත්තයා ඇතුළු ටීම් එක යාල කැලේ ගංජා හේන වටලන්න කියා එක්ක ගෙන ගිය ඔත්තුකාරයාව අත්අඩංගුවට ගැනීමට හොයන්න පටන් ගත්තා. මිනිහා බදුල්ල කන්දකැටිය රෝහලට හොර රහසේ ඇතුළු වෙලා වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බවට අපට ආරංචියක් ලැබිලා, ඒ රෝහලට ගිහින් ඔහුව අත්අඩංගුවට ගත්තා. මේ මිනිහා බොරුවට තමා රෝහලට ඇතුළත්ව තිබෙන්නේ. පොලිසියෙන් බේරෙන්න තමා මේ වගේ උපක්‍රමයක් අනුගමනය කර තියෙන්නේ කියා පසුව දැන ගැනීමට ලැබුණා.”

අත්අඩංගුවට ගත් තැනැත්තා මොනරාගල මූලස්ථාන පොලිසියට රැගෙන ඇවිත් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා. ගංජා මුදලාලි කෙනෙකු ගෙන් ලැබුණු මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙහෙම දෙයක් කළා කියා ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් වලදී කිව්වා. යාල කැලේ අතරමං වෙලා කන්න බොන්න නොමැතිවී සිහිසුන්ව ඉන්න කොට අලි ගහලා හෝ වන සතුන් ගේ ගොදුරක් වෙලා මිය යාමට සැලැස්වීමට එසේ කළේ යැයි හෙතෙම කීවා. ඊට අවුරුදු හයකට විතර කලින් මොනරාගල පොලිසියේ රාජකාරි කළ ගම්මන්පිල සර් ඇතුළු පිරිස රැගෙන ගොස් ඇත්තේත් මේ මනුස්සයාම තමා කියා ප්‍රශ්න කිරීමේ දී හෙළි කර ගත්තා.” 

මෙම සිද්ධියට මුහුණ පෑ එවක වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපති වූ පොලිස් පරීක්ෂක සුනිල් පෙරේරා - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලයෙන් විශ්‍රාම ලබා නිරෝගී සුවයෙන් පසුවේ.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය