කෙල්ලෙකුගෙ හිතේ තියන දේවල් දැනෙන්නේ අම්මටම විතරයි


ඉසිහින් හිදැසක්වත් ශේෂ නොකර මුළු ආත්මය පුරාම ශෝකය ලැගුම් ගත්තාට පසුව දැඩි සිතැත්තෙකු වුවත් එහෙම පිටින්ම අකර්මණ්‍ය වන්නේය. ඉනික්බිතිව ඔහුට තමන්ගේ සිතැඟි පරිදි ක්‍රියා කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැත. රූකඩයක් ලෙසින් ඔහු අනෙක් අයගේ ඕනෑ එපාකම් පමණක් ඉටු කරන්නේය. එහෙත් ශෝකයේ නිමිත්ත හාරා පාරා බැලීමට සිත හැම විටම ඔහු පොළඹවන්නේය. කිත්සිරි ද පත් වී සිටියේ ඒ තත්ත්වයටමය.

 

 

 

ජිනාදරී ගේ මරණය දැනගත් මොහොතේ සිට ඔහු එකදිගටම හඬා වැටුණේය. ඔහු පාලනය කරගන්නට කාටවත්ම පුළුවන්කමක් නොවිණි. එහෙත් ලොකු දියණියගේ මල්වර නැකතේ දෝෂයක් බිරිඳගේ මරණයට බලපාන්නට ඇති බැව් අම්මාගෙන් කියැවුණ මොහොතේම කිත්සිරි සිය කඳුළු පිස ලා ගත්තේය. එම අමිහිරි මතය පවනට බඳු වේගයකින් හැම දෙනා අතරම පැතිර යන බැව් ඔහු දැන සිටියේය. අහිංසක කෙල්ලට ඒ වේදනාව දරාගන්නට පිටස්තර ශක්තියක් වුවමනාමය. ඇය වෙනුවෙන් පමණක් නොව අනෙක් දරු තිදෙනා වෙනුවෙන් ද තමා සිත ගලක් කර ගත යුතු බැව් කවුරුවත් නොකියාම ඔහු වටහාගෙන සිටියේය.   

 

මළ සිරුරක් ලෙසින් උපන් බිලිඳිය දෙපා අතරේ තබාගෙන, දෙණ තුළ වැතිර සිටි ජිනාදරී ගේ නිසල දේහය ඇස ගැටෙන හැම දෙනාගේම සිත් ශෝකයෙන් වෙව්ලු‍ම් කෑවේය. දැඩි සිතැත්තෝ පවා ඉවත බලාගෙන උරහිසින් කඳුළු පිසලා ගත්හ. හැම සියුම් රුධිර නාලිකාවක්ම සිඳී වියළී ඒවා තුළින් ශෝකය පමණක්ම ඇදී ගියේ වී නමුදු, හඬන දරු තිදෙනා ද තුරුළු කරගෙන දේහය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියා මිස කිත්සිරි හැඬුවේ නැත. වරින්වර තදින් සැපීම නිසා ඔහුගේ තොල් නම් තුවාල වී තිබිණි.   


වදෙන් පොරෙන් දරුවන් තිදෙනා නිදි කෙරෙව්වාට පසුව කිත්සිරි දේහය අසලම පුටුවේ හිඳ ගත්තේය. ඉස ඉද්දර දැල්වෙන පහනේ මලානික එළිය පතිත වූ ජිනාදරී ගේ ශාන්ත මුහුණ දෙස බලාගෙන ඔහු අතීතයේ සොඳුරු නිමේෂයන් වෙතට ඇදී ගියේය. වැඩ ඇරී පැමිණ ඇය සමඟ සැහැල්ලු‍වෙන්, සතුටින් දොඩමළු වූ ආකාරයටම බොහෝ දේවල් මිමිණුවේය. එහෙත් ඇගේ දෙපා මත රැඳී උන් බිලිඳිය දෙස බලන්නට තරම් ශක්තියක් ඔහුට තිබුණේ නැත. අහම්බෙන් හෝ ඇය නෙත ගැටුණ විට ඔහුගේ සිරුරේ හැම අංශුවක්ම අමුතු ආකාරයකට හිරි වැටී ගියේය.   


“උඹ අම්මත් මරාගෙන, අපිත් මරාගෙන මැරුණා දුවේ..”   
සිත ඇතුළත සිට කවුරුන් හෝ කොඳුරන්නාක් මෙන් ඔහුට දැනුණේ වරක් දෙවරක් නොවේ. ඒ හැඟීම ඔහු දැඩිව බියපත් කළේය. පාන්දර යාමය වන විට මළ ගෙදරට තනි රකින්නට පැමිණ කැරම් ලෑල්ලේ, කාඩ් කුට්ටමේ රැඳී සිටි ඇත්තන් ද සිටියේ වැටුණ තැන්වලම නිදාගෙනය. කිත්සිරිට පාළුව, තනිකම තදින්ම දැනෙන්නට වූයේය.   
“ලොකු දුවේ.. ඉක්මනට එන්න පුතේ.. මට තනියි..”   


ඔහු අසරණ හඬින් මුමුණා ගත්තේය. වැඩි වියට පත් දියණිය නාවන නැකත ඔහුට අමතක වූයේ නැත. එම මොහොත ළං වෙද්දී ඔහු වෙනත් ආකාරයකට දැවෙන්නට පටන් ගත්තේය. නෑමෙන් අනතුරුව ඇය පැමිණිය යුතුව තිබුණේ සාද බිමකට නොවේ. ගතින් මියගිය මවක් සහ හදවතින් මියගිය පියෙක් සහිත නිවසකටය. එමෙන්ම මේ වන විටත් ඇගේ නැකතේ අසුබ බව පිළිබඳව ගම පුරා පැතිර ඇතුවා නිසැකය. මේවා ඇගේ යොවුන් සිතට කුමනාකාරයට බලපානු ඇද්දැයි ඔහුට අනුමාන කරන්නටවත් නොහැකි වූයේය.   
“කෙල්ලෙකුගෙ හිතේ තියෙන දේවල් දැනෙන්නෙ අම්මටම විතරයි කියලා ඔයාට අමතක වුණා ද..? කෙල්ලො දෙන්නා ගැන හිතලා හරි ඔයාට ඉන්න තිබ්බා ජිනා.. ඇයි ඔයා මෙහෙම ඉක්මන් වුණේ..? ”   
ඔහු ඇගේ සීතලම සීතල මුහුණ වෙව්ලන අතැඟිලි තුඩකින් ස්පර්ශ කරමින් පැවසුවේය.   
හිමිදිරියේම මහා විලාපයක් නඟාගෙන දිනේෂි නිවසට දුව එද්දී කිත්සිරි ඉද්ද ගැසුවා සේ නැගීසිටියේ අලු‍තින් තිගැස්සෙමිනි. දියණිය වෙනුවෙන් කළ යුත්තේ මොනවාද, ඇය කෙසේ සැනසිය යුතුදැයි ඔහු දැන සිටියේ නැත. ගිනි හුලකින් දවනු ලබන කලෙක මෙන් ඔහුගේ පපුව ඇවිලු‍ණේය.   


“අම්මා... නංගියෙක් අරන් එනවා කිව්වෙ මේ විදියට ද මගෙ අම්මා..? අනේ නැගිටින්නකෝ...”   
ඇය දේහය බදාගෙන උස් හඬින් නැඟූ විලාපය මුළු පොළෝ තලයම ප්‍රකම්පනය කරන්නට ඇත. නිවසේ තැන තැන පමණක් නොව අවට නිවෙස්වල තද නින්දේ සිටියහු පවා අවදි වූහ. ඔවුන් නිදිබර මුහුණු පිස දමමින් වහා එතැනට එක්රොක් වූයේ ඇය සමඟ දුක බෙදා ගැනීමේ අරමුණින්ම නොවේ. මියගිය කෙනෙකුගේ සමීපතමයන් විලාප කියමින් හඬා වැටෙද්දී බොහෝ දෙනෙකු එය නැරඹීමෙන් ශෝකය මුසු වින්දනයක් ලබති. එතැන නොසිටි අය සමඟ ඒ අත්දැකීම බෙදාහදා ගන්නටත් ප්‍රිය කරති. එය කුමනාකාර මනෝ භාවයක්දැයි කිසිවෙකුත් දන්නේ නැත.   


“පුතේ.. නැගිටින්න..”   
කිත්සිරි මහා වෙහෙසක් දරා දිනේෂි එතැනින් මෑත් කර ගත්තේය. මෙතෙක් ආයාසයෙන් ගල් කරගෙන සිටි හදවත සියුම් අංශු දහස් ගණනකට බිඳී ඔහුගේ ඇස්වලින් පිට වෙන්නට පටන් ගත්තේය. “තාත්තා.. ඔයා හැමදාම කිව්වෙ හීරීමක්වත් වෙන්න නොදී අපි බලාගන්නවා කියලා.. මෙච්චර කල් ඔයා එහෙම කෙරුවා.. ඒත් අම්මයි නංගියි අපිව දාලා යනකම් ඔයා බලාගෙන හිටියෙ ඇයි තාත්තා..? ඇයි..? දැන් අපිට කවුද ඉන්නේ...?”   
ඇය ඔහුගේ පපුවට දෑතින්ම ගසමින් කෑ ගැසුවාය. ඔහු එක අතකින් ඒ දෑත තදින් අල්ලාගෙන අනෙක් අතින් ඇය තුරුළු කර ගත්තේය. හඬා වැටෙමින් එදෙස බලා සිටි හීන් නෝනාට හීල්ලිණි. වැඩිවිය පත් වී පැය විසි හතරක් ගත වෙන්නටත් මත්තෙන් දැරියක සිය පියාටවත් ළං වී නොසිටිය යුතු යයි මතය දරන ඇයට කරකියා ගත හැකි දෙයක් නැති වූයේය. දිනේෂි අරබයා හැම දෙයක්ම සිදුවන්නේ සිදුනොවිය යුතු අන්දමටම නොවේදැයි ඇයට සිතිණි.   


“පුතේ.. අඬන්න.. ඇති වෙනකල් අඬලා දැන් කඳුළු ඉවර කර ගන්න.. ඊට පස්සෙ ආයෙ අඬන්න එපා.. මමත් ආයෙ අඬන්නෙ නෑ..”   
කිත්සිරි මහා සුසුමක් හෙළා උරහිස්වලින් දෑස් පිසලා ගනිමින් කීවේය.   
“අම්මා නැතුව ඉන්නෙ කොහොමද කියලා මට හිතා ගන්න බෑ තාත්තා.. ඉතින් කොහොමද මම අඬන්නෙ නැතුව ඉන්නෙ..?”   
ඇය ඔහුගේ පපුවේ හිස හොවාගෙන හඬා වැටෙද්දී නින්දෙන් අවදි වුණ සසංක ඔවුන් වෙත ආවේය. ඔහුගේ ඇස්වලින් ද කඳුළු වැල් බේරෙමින් තිබිණි.   
“ලොකු මල්ලී...”   
දිනේෂි තාත්තා අත්හැර ඔහු වැලඳගෙන අලු‍තින් හඬන්නට වූවාය. කිත්සිරි ඔවුන් දෙදෙනා වටාම දෑත් යැව්වේය.   


“පුතේ.. අම්මා අපිව දාලා යන්න හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.. ඒත් එයා ගෙනාව ආයුෂ ඉවර හින්දා එයාට යන්න සිද්ද වුණා.. නංගිත් අපිට අයිති කෙනෙක් නෙමෙයි හින්දා අම්මා එයාවත් අරන්ම ගිහින්.. දැන් ලොකුම වගකීම තියෙන්නෙ ඔයාට පුතේ.. නංගිටයි, මල්ලිලා දෙන්නටයි අම්මා වෙන්න ඕන ඔයා.. ඒ හින්දා හිත හයිය කරගෙන නාඬා ඉන්න.. අම්මගෙ ආත්මය කොහේ හරි ඉඳන් මේ වෙලාවෙත් අපි දිහා බලාගෙන ඇති.. අපි අඬනකොට දුක හිතිලා එයාට හොඳ තැනකට යන්න බැරි වෙයි..”   
ඔහු බොහෝ සංයමයෙන් කියාගෙන යද්දී දිනේෂි තිගැස්සී වටපිට බැලු‍වාය. අම්මාට මේ ලෝකය හැර දා යන්නට සිදු වූයේ තමාගේ වරදින් නම් ඇගේ ආත්මය පහසුවෙන් සමාවක් නොදෙන බැව් සහතිකය.   
“අනේ අම්මා.. මම වරදක් කළේ නෑ අම්මා.. මට සමාවෙන්න..”   


එවර ඇය තාත්තාත්, මල්ලීත් අත්හැර බිම වැතිරගෙන හඬා වැටෙන්නට වූවාය. 

 
෴ ලබන සතියට ෴