කාපිරි ජනයා නැති කාපිරි මුඩුක්කුව


 

කොළඹ නගරයේ කාර්ය බහුලම තැන වන ‘පිටකොටුව’ යුග ගණනක මතක සුරකින හරි අපූරු බිමකි. ගහක් කොළක් නැති මේ වීදිවල භය භිරාන්ත වූ පෘතුගීසි ලන්දේසින්ගේ ගොඩනැගිලි ලොකු කණුවලට බරවී එහා මෙහා යන මිනිසුන් දිහා බලා සිටින අයුරු හරි අපූරුය. පෘතුගීසි හා ලන්දේසි යුගයේ මේ වීදි අද මෙන් ජනාකීර්ණ නැත. මේ වීදිවල එකල වාසය කර ඇත්තේ පෘතුගීසින් හා ලන්දේසීන්ගෙන් පැවත ආ ධනවතුන්ය. පිටකොටුව සෑම පැත්තටම විහිදී තිබූ ගුරු පාරවල් වූ මේ වීදි හැඩ වූයේ කළු ගල් බොරලු ඇතිරීමෙනි. ගස් තුරු ලතා අලංකාර මලින් වසා ගෙන තිබූ මේ වීදිවල ලන්දේසි කාන්තාවන් සවස් යාමයට ඇවිදීමට ප්‍රිය කළ බව බ්‍රෝහියර් ගේ පොතපතේ සඳහන්ය. මේ සුන්දර මනරම් චිත්‍රය ජීවමානව ඇඳෙන්නේ අතීතයේ දවසකය. පිටකොටුව වීදිවල වර්තමානය උඩු යටිකුරුය. මේ වීදිවල අද ඇවිදින අයෙකුට අතීතයේ ඒ මනරම් චිත්‍රය මනසේ ඇඳ ගැනීමට තියා සිතීමත් අසීරුය. 

මේ වීදි ලස්සනම වන්නේ රාත්‍රියටය. රාත්‍රියට දිලෙන තරුවත්, පායන සඳත් දහසක් දේ පැවසුවත් කරත්තය උඩම නිදියන නාට්ටාමිට සඳ තරු පෑයුවත් නැතත් වෙනසක් නැත. රාත්‍රිය මනරම් වුවත් මේ බිමට ඉර උදා වන්නේම කාක්කන්ගේ කන්කරච්චලයෙන්ය. 


කමකට නැති ගිනි මද්දහන අණක් ගුණක් නැත. සුන්දර වූත් අසුන්දර වූත් පිටකොටුව වීදි දිගේ මෙවර අපේ සංචාරය වූයේ යුග ගණනක මතකය අවදි කරන අදටත් නම කියූ පමණින් හිත ගස්සන හරි අපූරු වීදියකය. 


‘කාපිරි මුඩුක්කුව’ එදා බොහෝ දෙනා කිව්වේ එහෙමය. එකට එක ගෑවුණු එකට එක එතුනු ගෙවල් මණ්ඩිය. ගොඩක් දෙනා කළේ මුට්ට කර ගහන එකය. පෙලක් අය රස්සාවට කළේ කුණු ඇදිල්ලය. වතුර පොදක් බොන්නට ගමේ මෙන් ළිං නැත. වත්තටම පිහිට වූයේ එකම එක වතුර පයිප්පයය. එක් අයකුට නාන්න පයිප්පයෙන් දුන්නේ වතුර බාල්දි දෙකකි. නාවර හොටු පෙරා ගත් පොඩි පැටවුන් රස්සාවට යන නොයන වුන් රස්සාවලින් දොට්ට දාපු වුන් එකී නොකී නානා විදි වුන්ගෙන් හැදුනු වතුර පයිප්ප පෝලිම හරි අපූරුය. 
නම කාපිරි මුඩුක්කුව වුවත් වර්ග වාද, ජාති ආගම් වාද මෙන්ම කාපිරි ද නැත. උන් ගරු කළේ හිතේ හයියට නොව අැඟ පත හයිහත්තිය ඇති සිරුර හැඩි දැඩි එකාටය. සිරුර හැඩි දැඩි චණ්ඩින්ට මේ වත්තේ නාන පෝලිම්, වැසිකිළි පෝලිම් නැත. රටේ පොත් පිරෙන්න නීති තිබ්බත් කාපිරි මුඩුක්කුවට ඒ නීති තිබී නැත. ඒ කාපිරි මුඩුක්කුවේ හැටිය. වෙනම ආණ්ඩුවකට වෙනම ව්‍යවස්ථාවකට හැදුන කාපිරි මුඩුක්කුවේ එහි යාවජීව සාමාජිකයන් නොවන ඕනෑම කෙනෙකුට මේ වත්තේ සෙල්ලම් බැරිය. එක එක කාලවල මේ කාපිරි මුඩුක්කුවේ එක එක චණ්ඩි අයියලා බිහිවිය. ඡන්ද නැත, පරමාධිපත්‍ය බලය නැත. අවම නීතිය නැත. දණහිසින් පහළට කියා දෙයක් නැත. ඔලුවට උනත් ගස්සන කොකාගේ අවුලක් නැත. රන් දෝලියක වුනත් යකඩ දෝලියක වුනත් අවුලක් නැත. ඒරියා එක රන් කරන්න ඕන වූයේ දැනුමට වඩා හැඩි දැඩි සිරුරය. අසාධාරණයට එරෙහි වූ දුප්පතාගේ හදවත කියවූ චණ්ඩින්ද ඒ අතර ප්‍රධාන විය. 

 


නැති එකා ගැහුවේ බීඩිය. තියෙන එකා මලය. කාලකන්නියෙක් හිටියොත් ඌ බිව්වේ කුඩුය. පුලුවන් එකා බිව්වේ වැඩිපුර වතුරය. වැඩ කරන එකා හවසට සප්පායම් වූයේ රාය. එහෙමත් නැත්නම් කසිප්පුය. පුළුවන් එකා රට අරක්කුය. අනං මනං ජල්තර්, මරිසි, පිට්පොකට් හැම එකම නතර වූයේ මේ කාපිරි මුඩුක්කුවේය. කාකි කලිසංකාරයාද කාපිරි මුඩුක්කුව දැක අහක බලා ගන්න අවස්ථා අනන්තය අප්‍රමාණය. මන්ද එකල චණ්ඩින්ගෙත් චණ්ඩින්ට වෙන්වූ ස්වර්ණම යුගයක් වූ නිසාය. 
මේ කාපිරි මුඩුක්කුවේ එක් යුගයක්ය. අද මෙම කාපිරි මුඩුක්කුව හඳුන්වන්නේ කෝසල පටුමග ලෙසය. කාපිරි මුඩුක්කුවට බද්ධ තවත් මාවතක් ඇත. එය අද හඳුන්වන්නේ කීර්ති මාවත ලෙසය. කාපිරි මුඩුක්කුව යන නම මේ වනවිට බොහෝ දෙනා ව්‍යවහාරයෙන් ඈත් කොට අැත. 
මල්වත්ත පාර ඔස්සේ වරාය ප්‍රධාන පිවිසුම දෙසට ගමනේ යෙදුන අපට කෝසල පටුමග නමින් නම්කොට ඇති මාවතට පිවිසීමට ගතවූයේ කෙටි වේලාවකි. දැන් අප සිටින්නේ කලක් කාපිරි මුඩුක්කුව නමින් හැඳින්වූ පටු මාවතේය. අතීතයේ මිනිස් වාසස්ථාන වූ මේ මාවත් වල කම්කරුවන් ජීවත් වූ පෞරාණික නිවාස අතුරින් නිවාස දෙක තුනකට වඩා අද ඉතිරි වී නැත. යායට බැඳී තිබුණු කුඩා ගෙවල් බිමට සමතලා කරමින් ඉහළට නැගී ඇති නවීන ගොඩනැගිලි ආදියෙන් සෙවණ වී ඇති කෝසල පටුමග ඔස්සේ අප පිවිසුණේ රෝහිනී පටුමග දෙසටය. 


කාපිරි මුඩුක්කුවේ ඉතිහාසය පිළිබඳ ජනවහරේද පොත පතේද ඇත්තේ එකිනෙකට වෙනස් වූ කතාවන්ය. 
පෘතුගීසි සමයේ 1630 දී මැඩගස්කර් වැනි රටවලින් නැව් මගින් කාපිරි කණ්ඩායම් ලංකාවට ගෙන්වා ඇත්තේ ලංකාවේ වහල් සේවයේ යෙදවීමටය. කාපිරින්ව ප්‍රථමයෙන්ම ලංකාවට ගෙන්වා ගෙන ඇත්තේ පරංගින්ය. ලන්දේසි යුගයේද කාපිරි ජාතිකයෝ 4000ක් පමණ කොළඹ නගරයේ ජීවත් වී ඇති බවද රොබට් නොක්ස්ගේ වාර්තාවල සඳහන්ය. බොකුටු හිසකෙස් එළියට තෙරපුණු තොල් හා තද කළු පාට සමක් ඇති ‘මිනී කන මිනිස්සු’ ලෙස ලංකාවේ විසූ කාපිරින් රොබට් නොක්ස් වාර්තාවල සඳහන්ව ඇති අතර සුදු ජාතීන්ගේ පාලන සමයේ වර්තමානයේ කොම්පඤ්ඤවීදිය නමින් හඳුන්වන වහල් දූපත ‘ස්ලේව් අයිලන්ඩ්’ කාපිරි ජාතිකයින් රඳවා තිබූ ස්ථානය ලෙස සඳහන්ය. එය පොත්පත්වලත් බොහෝ දෙනා දන්නා කරුණකි. 


ඒත් පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ එදා ඇත්තටම කාපිරි ජාතිකයන් ජීවත් වුණාද? අපි ඒ ඉතිහාසය සොයා ගියේ මේ විදියට. 
‘මම බෙවන් ගුණවර්ධන.... 


මම ඉපදෙන්නේ අතීතයේ කාපිරි මුඩුක්කු කියලා හඳුන්වන භූමි ප්‍රදේශයේ සියඹලාගහ වත්ත කියන ගෙදර. පොත් පත්වලින් මේ කාපිරි මුඩුක්කුව පිළිබඳ විවිධ කතා කිව්වත් කාපිරි මුඩුක්කුවේ කාපිරි ජාතිකයින් පවුල් පිටින් ජීවත් වුණේ නැහැ. පෘතුගීසි පාලන කාලේ වහල් සේවයට ගෙනාපු කාපිරින් ඔය වීදිවල ඒකාලේ සංචාරය කරලා තියෙනවා. ඔය වරාය ඉදිරියේ තියෙන කාන් ඔරලෝසු කනුව අවට ඒ කාලේ තිබුණේ පැල්පත්. ඔය කාපිරි ලංකාවට විටින් විට ගෙනැල්ලා බෝ වුණත් වරාය ආශ්‍රිත වහල් සේවයට ගෙනාපු කාපිරි කණ්ඩායම නැවත නැවක දාලා පිටත් කරන්න හදද්දි නැවෙන් කාපිරි දෙන්නෙක් පැනලා එක කාපිරියෙක් මල්වත්ත පාරෙන් වැටිලා තිබුණ වීදි පැත්තට ඇවිත් කුමාර වීදිය, රෝහිණි වීදිය ආශ්‍රිතව ජීවත් වෙලා තියෙනවා. ඒ කාලේ එහෙම පැන්න කියලා අල්ලන්න නීතියක් බලවත්ව තිබිලා නැහැ. කුමාර වීදිය කිට්ටුව ඒකාලේ මස් කඩ සහ රා කඩ තිබුණා. ඔය කාපිරියා ඒ කඩවලින් බලෙන්ම රා බීලා, මස් කඩවලින් කොක්කේ එල්ලලා තියෙන අමු මස් ගාත ඇදගෙන යන්න පටන් ගත්තාලු. ඒ කාලෙ මේ මුළු පරිසරයම ඝන කැලෑව. ඔය කාපිරි මනුස්සයා මිනිස්සුන්ට හරියට කරදර කළාලු. බලෙන් අමු මස් උදුරාගෙන කෑවලු. ගෙවල්වලට බලෙන් ඇතුළු වෙනවලු. කාන්තාවන්ට කරදර කරනවලු. හැඩි දැඩි මිනිහෙක් හන්දා මිනිස්සු බයට හයෙන් පස්සේ ඒ කාලේ එළියට බැස්සෙම නැතිලු. මම ගොඩක්ම පොඩියි. ඒ කාලේ කාපිරි මිනිස්සු හරියට අමු මිරිස් කනවා. ඉතින් ඔය කාපිරි මනුස්සයා දරුණු වේගන එනකොට එදා සමාජයේ හිටපු වැඩිමහල් අය ඒ කාපිරි ජාතිකයාට ගහලා මරලා වළක් කපලා වළලලා තියෙනවා. එදා ඉඳලා තමයි ඔය ප්‍රදේශයට කාපිරි මුඩක්කුව කියලා නම පටබැඳිලා තියෙන්නේ. ඔය කාපිරි මනුස්සයාට ගහලා මැරුවට පස්සේ එය හරියේ හොල්මන් තිබුණා කියලත් මගේ සීයා කියලා තියෙනවා. 
පසු කාලීනව කාපිරි මඩුක්කුව කියන නම කැතයි කියලා තමයි කෝසල පටුමග සහ කීර්ති පටුමග කියලා අපේ සීයල කාලේ නම් කරලා තියෙන්නේ. 
මේ වීදිය ඒ කාලේ හරිම පිරිසිදුයි. රෑට බවුසර්වලින් මේ පාරවල් සෝදනවා. ටයිල් අල්ලලා වගේ. වත්තේ ගෙවල් වල මිනිස්සු වැඩපුර නිදා ගත්තේ පාරේ. රැජින පළවෙනි පාරට ලංකාවට ආපු වෙලාවේ රැජින ගියෙත් මල්වත්ත පාරෙන්. 
කාපිරියාගේ සිද්ධියෙන් පස්සේ ඇත්තටම කාපිරි වත්තේ රජ කළේ චණ්ඩි තමයි. රා ඩේවිඩ් අයියා, රෙජි අයියා, කෝට් සෙල්ලයියා, ගෝරිල්ලා, බණ්ඩා, මුර්ග විලේ අයියා ඒ කාලේ කාපිරි වත්ත රන් කරපු චණ්ඩි තමයි.... යැයි ඔහු පැවසීය. රෙජි අයියා (රෙජිනෝල්ඩ් මෙන්ඩිස්) තමයි කාපිරි වත්තේ ලොකුම චණ්ඩියා. 
කාපිරි මුඩුක්කුව ආශ්‍රිතව අතීතයේ පැවති වෙළෙඳාම් අතර ඉතා ප්‍රසිද්ධම වෙළෙදාම වී තිබෙන්නේ පරණ කෝට් වෙ​ෙළදාමය. පිටකොටුවේ පරණ කෝට් විස්තරයද හරි අපූරුය. විජය කුමාර් පරණ කෝට් රස්සාවේ වගතුග කීවේ මෙසේය. 
මෙතන ගොඩ ගහලා තියෙන්නේ පරණ ඇඳුම් කමීස, කලිසම්, ටී ෂර්ට්, ෂෝර්ට්. මේවා අපි ළඟට ගේන්නේ පරණ කෝට්කාරයින්. ඒ අය ගෙවල් ගානේ ගිහින් එකතු කරන් එන ඇඳුම් තමයි මේ. අඳින්න බැරි ඇඳුම් නෑ. අඳින්න පුළුවන් මට්ටමේ හොඳ ඇඳුම් තමයි ඔක්කොම තියෙන්නේ. සමහර ඇඳුම් අපි සෝදලා අයන් කරලා විකුණනවා. 
අතීතයේ ඔය වසම්වල ගම්මුලාදෑනිවරුන්, ආරච්චිලා මහත්තුරු එහෙමත් කෝට් කබායවල් ගෙනිච්චෙ මේ පිටකොටුවෙන් තමයි. සමහර ඒවා පිටරටින් ගේන රෙදි. සමහර ඒවා ලංකාවේ මිනිස්සු ඇඳලා අයින් කරපු ඒවා. 


හැමෝම අහනවා මේ පරණ ඇඳුම් ගන්නේ කවුද කියලා. මේ ඇඳුම් වැඩි හරියක් ගන්නේ හැටන්, මස්කෙළිය, නුවරඑළිය වගේ පළාත් වල අය. වතුවල ජීවත් වෙන කම්කරු මිනිස්සුන්ට අලුත් ඇඳුම් ගන්න හයියක් නෑ. අලුත් ඇඳුමක් ගන්න රුපියල් 1000ක් යනවා නම් අපෙන් රුපියල් දෙතුන් සීයට ගන්න පුළුවන්. මගුල් ගෙදරකට වුණත් කැත නැතුව අඳින්න අපි ළඟ ඕනම බඩුවක් තියෙනවා. සාරි නම් සාරි. ගවුම් නම් ගවුම්, කෝට් ඕනෑ දෙයක්. 
මේවා පරණ රෙදි කියලා කෑ ගහලා විකුණන්නේ නැහැ. හැබැයි අපට හංගන්න වුවමනාවකුත් නැහැ. අපෙන් කලිසම් ගන්න වැඩි හරියක් එන්නේ රජයේ පෞද්ගලික අංශවල වැඩ කරන මහත්වරු. රටේ ආර්ථිකය එක්ක මිනිස්සුන්ට හරි අමාරුයි. ලස්සන නෝනලත් වටපිට බලලා දන්න අය කවුරුත් පේන්න නැත්නම් ඩෙනිමක් දෙකක් අරගෙන යනවා. 
ඉස්සර මේ විදියේ දිගටම තිබුණේ පරණ කෝට් කඩ, දැන් කඩ තියෙන්නේ එකයි හෝ දෙකයි. ඉස්සර මේ වත්තට යාවජීව සාමාජිකයෙකුට ඇරෙන්න වෙන අයකුට ඇතුල් වෙන්න බැහැ. කාපිරි මුඩුක්කුව කියන්නේ එහෙම රාජ්‍යයක්. ඔය පික්පොකට්, මාල කඩන්, බෑග් උස්සන් දුවන හැම එකාම නතර වෙන්නේ මේ කාපිරි මුඩුක්කුවේ. දැන් ඔක්කොම වෙනස් වෙලා. ඒ චණ්ඩි දැන් කවුරුත් නෑ. දැන් මේ වීදිය පාළුවට ගිහින් තියෙන්නේ. පසුකාලීනව වැඩිපුරම මේ වීදියේ හිටි​ෙය ගාල්ල මාතර පැත්තේ අය මැණික් කැටයම් ව්‍යාපාර කළා. දැන් ඒ අයත් නෑ. ගෙවල් කඩලා ගොඩනැගිලි හදලා. 

 


ඉස්සර මේ පාරේ අතුරලා තිබුණා පෘතුගිසී කාලේ කළු ගලක්. හරිම පිරිසිදුයි. ඒ කාලේ මිනිස්සු වැඩිපුර නිදා ගත්තේ පාරේ. නගර සභාවෙන් ඒ කළුගල් ගලවලා තාර දැම්මා. නගර සභාවෙන් ඒ ගල් ගැලෙව්වේ කිසිම වුවමනාවකට නෙමෙයි. ගල් ටිකට තියෙන තන්හාවට යැයි ඔහු පැවසීය. 
කාපිරි මුඩක්කුව ගැන කතා කිරීමේදී (රෙජී) රෙජිනෝල් මෙන්ඩිස් ගැන කතා නොකරම බැරිය. කලක්ම වේ භූමියේ රජකළ චණ්ඩියා නිසාය. කුමාර වීදියේ කඩදාසි පිළිබඳව වසර ගණනක සිට ව්‍යාපාරයේ යෙදෙන ප්‍රවීණ රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස් මහතා සිය පියා ගැන මතකය ආවර්ජනය කෙළ් මෙලෙසය. 
මේ කාපිරි මුඩුක්කුව කියන්නේ ගොඩක්ම පටු මාවතක්, වේ විදිය දුම්රිය ස්ථානය වෙනකම් දිවයනවා. මගේ පියා රෙජි මෙන්ඩිස් මොරටුවේ ඉඳලා පිටකොටුවට ඇවිත් තියෙන්නේ නවසිය තිස් ගණන්වල. ඇවිල්ලා ජීවිතේ ගෙවෙන්නේ මෙන්න මේ කාපිරි මුඩුක්කුවේ. මගේ තාත්තාගේ අම්මා ඒ කියන්නේ අපේ ආච්චි අම්මයි හිටපු අගමැති කෙනකුගේ අම්මයි පිටකොටුව බෝ ගහ ළඟ ලැවරියා, කැවුම් විකුණපු වට්ටි අම්මලා. ඒ කාලේ ඉතින් මේ ප්‍රදෙශයේ ලොකුම චණ්ඩියා මගේ තාත්තා. එයාගේ තරුණ කාලේ හරිම බය හිතෙන නරක දරුණු චරිතයක්. පොලිසියෙන් වත් එන්නේ නෑලු. කාපිරි මුඩුක්කුවම ගහලා එළවනවලු. වරායේ බේරේ වැවට යන ඇළ ළඟ ඉඳලා හඹන්වැල්ල බූරු පොළවල් 13 කින් තාත්තාට තෝං එනවලු. මුළු පිටකොටුවෙම හැම කඩයකින්ම කප්පම් ගත්ත කෙනෙක් අපේ තාත්තා. 


ඒ කාලේ පිටකොටුවේ නැතිවෙන බෑග්, පර්ස්, සොයාගෙන හැමෝම එන්නේ කාපිරි වත්තේ රෙජි අයියා කියන මගේ තාත්තා ළඟට. මිනිහගේ හැඩ රුව තාත්තට කිව්වාම කොයි ලෝකෙන් හරි අර මසුස්සයාගේ බඩු ටික හොයලා දෙන්න හොඳ සන්නිවේදන ක්‍රමයක් තාත්තා ළඟ තිබිලා තියෙනවා. ඔක්කොම කුණු බේරේ වැවට වගේ තාමත් හෙරෙන් ගත්ත බෑග් පර්ස් මේ විදියට ගෙනත් දාලා යන අය ඉන්නවා. මේ ළඟදිත් ආමි නිලධාරීන් දෙදෙනකු​ගේ බෑග් 2ක් මේ වීදියට ගෙනත් දාලා තිබිලා අපි අයිති අය හොයලා බෑග් 2 දුන්නා. ධම්මික පෙරේරත් කෝටිපතියෙක් ​ෙවන්නේ මේ කාපිරි මුඩුක්කුවෙන් තමයි. ධම්මික පෙරේරා මුලින්ම ජැක්පොට් මැෂින් එකක් දාන්නේ මේ කාපිරි මුඩුක්කුවේ. වරායේ කම්කරුවෝ ඇවිල්ලා ජැක් පොට් ගගහ වැඩට යන්නැතුව රස්තියාදු වෙන්න ගත්තාම තාත්තා ධම්මික පෙරේරාට කිව්වලු කරුණාකරලා ඕක ගලවගෙන පලයන් කියලා. ඊට පස්සේ මේ වීදියෙම එහා පැත්තේ උඩ තට්ටුවක කැසිනෝ එකක් දාලා තියෙනවා. 


ලංකා සමසමාජ පක්ෂය බිහිවෙන්නේත් මේ වීදියේ තමයි. ඇන්.ඇම්. පෙරේරා, කොල්විල් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, මගේ පියා රෙජී මෙන්ඩිස් එකතුවෙලා ලංකාවේ පළමුවෙනි තරුණ සමිතියක් විදියට පිහිටවන්නේ පිටකොටුවෙ මේ තරුණ සමිතිය. එහි නායකත්වය දැරුවේ මගේ පියා.

 

 

නදීශා අතුකෝරළ 
ඡායාරූප - චානුක කුලසේකර