කඩවසම් ගොළුබෙල්ලා ‘නෙඩ්’


මේ ආදරය අහිමි තනිකඩයෙකු ගේ කතාවකි. මෙහි කතා නායකයා “නෙඩ්” ය. නෙඩ් ලස්සන දුඹුරු පාට කඩවසම් ගොළුබෙල්ලෙකි.

ශාක පත්‍ර , එළවළු, පලතුරු, දිලීර හා ඇල්ගී සහ දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය රස බලමින් ජීවත්වන ගොළුබෙල්ලන් ලොව නන් දෙස දැකිය හැකිය. ඇතැම් අවස්ථාවල කෘෂිකර්මාන්තයේ දී සහ ගෙවතු වගාවේ දී, ගොළුබෙල්ලන් පළිබෝධකයන් ලෙස ද ගැනෙයි. 

ආක්‍රමණශීලී ගොළුබෙලි විශේෂ - එළවළු, පලතුරු සහ අනෙකුත් භෝග ආදියට හානි කරයි. එසේ වුවත් සියලු‍ම ගොළුබෙල්ලන් පළිබෝධකයන් නොවේ. ස්වාභාවික පරිසර පද්ධතියේ පැවැත්මට උන් ගේ දායකත්වය ඉතා වැදගත්ය. කාබනික ද්‍රව්‍ය දිරාපත් කිරීම සිදුවන්නේ ගොළුබෙල්ලන් ගේ උදව්වෙනි. ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය, පෘතුගාලය, මොරොක්කෝව යන රටවලත්, වියට්නාමය, චීනය, පිලිපීනය, ජපානය සහ කොරියාව වැනි ආසියානු රටවලත් ගොළුබෙල්ලන් යනු කට දිව පිනවන රස කෑමකි. 

කාන්තාවන් ගේ සම නිරෝගී කිරීමට, සම සුමුදු කිරීමට ගොළුබෙල්ලන් සහ උන් ගේ ස්‍රාවය යොදා ගනිමින් කරන රූපලාවණ්‍ය සත්කාර උපයෝගී කර ගැනේ. මෙම රූපලාවණ්‍ය සත්කාර ජපානය සහ බටහිර රටවල ප්‍රකටය. ගොබෙලි ස්‍රාවය - ඛනිජ ලවණ, ග්ලයිකොලික් අම්ලය, විටමින් ඒ, සී, සහ ඊ සහ කොලජන් වැනි සංඝටකවලින් සමන්විත බැව් විශ්වාස කෙරේ. 

පළිබෝධකයකු වුණත් නැතත්, ආහාරයක් වුණත් නැතත්, රූපලාවණ්‍ය ප්‍රතිකර්මයක් වුණත් නැතත්, ගොළුබෙල්ලා යනු ගොළුබෙල්ලා ය. ප්‍රමාණයෙන් සහ පැහැයෙන් වෙනස් වුණත් සියලු‍ම ගොළුබෙල්ලන් බැලූ බැල්මට එක වගේය. කට්ටක් ඇත. හිසේ දිග ඇන්ටනා ඇත. 

සාමාන්‍යයෙන්, ගොළු‍බෙල්ලන් ගේ වර්ණය දුඹුරුය. කහ, තැඹිලි ආදී වර්ණවල ගොළුබෙල්ලෝ ද සිටිති. ගොළුබෙල්ලකු ගේ අනන්‍යතාව වන්නේ උගේ දිලිසෙන කටුවය. එය උගේ ආරක්ෂක නිවහන ද වෙයි. 

ඒ කෙසේ වෙතත් අප කියන්න යන මේ කතාවට අදාළ කථානායකයා වන නෙඩ් එබඳු සාමාන්‍ය ගොළුබෙල්ලකු නම් නොවේ. 

නෙඩ් යනු දේහ විකසනයේ යම් විකෘතිතාවක් සහිතව ජනිත වූ - දුර්ලභ, එනිසාම සුවිශේෂී වූ ගොළුබෙල්ලෙකි.  මේ උත්පත්ති ආබාධය නිසා නෙඩ්ට ජීවිත කාලයම සහකාරියක නොමැතිව තනිකඩ අපිස් දිවියක් ගතකිරීමට දෛවය නියම කර ඇත. කෙසේ වෙතත් මේ වෙන විට නෙඩ්ට ගැළපෙන සහකාරියක සොයා දීමේ ’ජාත්‍යන්තර මෙහෙයුමක්’ ජීවවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ආරම්භ කර ඇත. 

නෙඩ් ජීවත් වන්නේ නවසීලන්තයේය. මේ වන විට නෙඩ් ගේ භාරකාරිය ලෙස කටයුතු කරන්නේ වයිරරප්පා ප්‍රදේශ වෙසෙන පරිසරවේදිනියක මෙන්ම ලේඛිකාවක ද වන ජිසෙල් ක්ලාක්සන් ය. ජිසෙල් නවසීලන්තයේ නිව්සීලන්ඩ් ජියොග්‍රැපික් සඟරාවට පරිසර ලිපි ලියන්නියකි‍. 

පසුගිය දා ජිසෙල්, වයිරරප්පා පිහිටි සිය නිවසේ ගෙවත්තේ වල් උගුල්ලමින් සිටිද්දී ඇයට ගොළුබෙල්ලකු දකින්න ලැබුණි. ගොළුබෙල්ලා කටුවෙන් අල්ලා ගෙන ඌ ඈතට රැගෙන යෑමට ජිසෙල් උත්සාහ ගනිද්දී, ඇය ගොළුබෙල්ලා ගේ වෙනසක් දුටුවාය.

ගිසෙල් මුලින් සිතුවේ, ඇයට හමුවුණු ගොළුබෙල්ලා අලු‍ත් විශේෂයකට අයත් එකකු බවය. “මම ගොළුබෙල්ලන් ගැන දන්නවා. ඉගෙනගෙන තියෙනවා. බැලූ බැල්මට මට මේ ගොළුබෙල්ලා ගේ අමුත්තක් දකින්න ලැබුණා.” ඇය මෙසේ කීවේ නිව්සීලන්ඩ් ජියොග්‍රැෆික් සඟරාවට ඒ ගැන ලිපියක් ද ලියමිනි. 

ගොළුබෙල්ලකු ගේ කටුවේ සර්පිලාකාර හෝ කේන්ද්‍රීය වෘත්තාකාර රටාවක් දකින්න ලැබේ. ගොළුබෙල්ලන් අතිබහුතරයක ගේ මෙම සර්පිලාකාර රටාව පිහිටා ඇත්තේ, දකුණු පැත්තට දඟරයක් ලෙසය. එසේ වුවත් ගොළුබෙල්ලන් 40,000 ක් ගත්තොත්, ඒ අතරින් එක් ගොළුබෙල්ලකු ගේ මේ රටාව වම් පැත්තට දඟර ගැසී පිහිටයි. ජිසෙල්ට හමුවුණු පසුව නෙඩ් යනුවෙන් නම් තැබූ ගොළුබෙල්ලා ගේ කටුවේ රටාව ඇත්තේ වම් පැත්තේය. 

ගොළුබෙල්ලන් අසමමිතික ජීවීන්ය. අසමමිතික ජීවීන් යැයි කියන්නේ උන්ගේ ශරීරයේ එක් පැත්තක් අනෙක් පැත්තට සමාන නොවන නිසාය. වර්ගයා බෝ කිරීමට එක් වෙන්නේ දකුණු පැත්තට දඟර ගැසුණු කටුවක් ඇති ගොළුබෙල්ලන් දෙදෙනෙකි. ගොළුබෙල්ලන් දෙදෙනා ගේ පෑහීම සිදුවන්නේ ඒ අනුවය. වම් පැත්තට දඟර ගැසුණු කටුවක් ඇති ගොළුබෙල්ලකු සහ දකුණු පැත්තට දඟර ගැසුණු කටුවක් ඇති ගොළුබෙල්ලකු වර්ගයා බෝ කිරීම සඳහා එක් වන්නේ නැත.

බහුලව සිටින්නේ දකුණු පැත්තට දඟර ගැසුණු කටු සහිත ගොළුබෙල්ලන් වීම නිසා, කලාතුරකින් හමුවන වම් පැත්තට දඟර ගැසුණු කටුවක් ඇති ගොළුබෙල්ලකුට සහකාරියක සොයා ගැනීම ගැටලු‍වකි. නෙඩ් මුහුණ දී ඇති ගැටලු‍ව එයයි.

ජිසෙල් ඇයට හමුවුණු ගොළුබෙල්ලා ’නෙඩ්’ යනුවෙන් නම් කර ඇත්තේ, සුප්‍රකට ඇමෙරිකන් ටෙලි කාටූන් කතා මාලාවක් වන ’සිම්ප්සන්’ කතා මාලාවේ නෙඩ් ෆ්ලෙන්ඩර්ස් ගේ චරිතය සිහි ගන්වමිනි. 
‘සිම්ප්සන් කතා මාලාවේ දකින්න ලැබෙන නෙඩ් ෆ්ලෙන්ඩර්ස් වමත්කරුවෙකි. 

ගෙවත්තේ වල් උගුල්ලමින් සිටිද්දී හමුවුණු නෙඩ් ගේ සුවිශේෂීත්වය දුටු ජිසෙල් නෙඩ් ගේ ඡායාරූප කීපයක් නිව්සීලන්ඩ් ජියොග්‍රැෆික් සඟරාවට යැවීය. ඒ නෙඩ් ගැන ලිපිය ලිවීමට පෙරය‍. නිව්සීලන්ඩ් ජියොග්‍රැෆික් කර්තෘ මණ්ඩලයේ සිය සගයන් නෙඩ් ගැන උනන්දුවක් දැක්වූ අතර, සඟරාව මාර්ගයෙන් නෙඩ්ට සුදුසු ගැලපෙන සහකාරියක සොයා සෙවීමේ ’ජාත්‍යන්තර මංගල සේවය’ ආරම්භ කෙරුණි. 

නෙඩ්ට ගැළපෙන සහකාරියක සිටින්නේ නම් ඒ බව දන්වන්නැයි නිව්සීලන්ඩ් ජියොග්‍රැෆික් කර්තෘවරයා පාඨකයන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ. ලෝකයේ කොතැනක හෝ නෙඩ්ට සහකාරියක සිටිනවා නම්, ඒ සහකාරිය වෙත යෑමට නෙඩ්ට අවශ්‍ය ගුවන් ගමන් සැපයීමට ද නිව්සීලන්ඩ් ජියොග්‍රැෆික් සඟරාව සූදානම් බව පවසා ඇත.

ගොළුබෙල්ලන්ගේ වම් පසට දඟර ගැසුණු කටුවක් තිබීම මනුෂ්‍යයන්ගේ ’ඩෙක්ස්ට්රොකාර්ඩියා’ නමැති තත්ත්වයට සමාන යැයි විද්‍යාඥයන්ගේ අදහසය. ඩෙක්ස්ට්රොකාර්ඩියා යනු හෘද වස්තුව පපුවේ වැරදි පැත්තේ පිහිටීමය. 10,000 කට එක් කෙනකු ගේ හදවත මේ අයුරින් වම් පැත්තට නොව, දකුණු පැත්තට බරව පිහිටයි. 

ගොළුබෙල්ලන් සැලකෙන්නේ ’හර්මෆ්රොඩයිට්ස්’ සත්ත්වයන් ලෙසය. ගොළු‍බෙල්ලකු‌‌ ගේ සිරු‌‌රේ පිරිමි සහ ගැහැනු ශරීර කොටස් (ගෙල මත පිහිටා ඇත) දෙකම පිහිටයි. සහකරුවකු හෝ සහකාරියක නොමැතිව වුවත් වර්ගයා බෝ කිරීමට ගොළුබෙල්ලාට හැකියාව ඇත. එසේ වුවත් ගොළුබෙල්ලන් සහකාරියක හෝ සහකරුවකු සොයාගැනීම සිදු කරයි. ඒ උන් සැබෑ ආදරවන්තයන් බව පෙන්වමිනි. 

මේ වනවිට නෙඩ් ලෝකයේ අවධානය දිනාගෙන අවසන්ය. එහෙත්  මේ අයුරින් ලෝකයේ අවධානය දිනූ තවත් ගොළුබෙල්ලකු ගැන කතාවක් ද ඇත. ලන්ඩන් සත්වෝද්‍යානයක සාමාජිකයකු වූ මේ ගොළුබෙල්ලා “ජෙරමි” ය. 2017 වසර දී ජෙරමි කරළියට පැමිණියේය. ජෙරමි යනුවෙන් ඌ නම් කෙරුණේ, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ජෙරමි කෝබින් නිසාය.

ජෙරමි ද දුර්ලභ වම්පසට දඟර ගැසුණු කටුවක් තිබූ ගොළුබෙල්ලෙකි. සත්වෝද්‍යානයේ බලධාරීහු කෙසේ හෝ ජෙරමිට වම් පසට දඟර ගැසුණු කටුවක් තිබූ තවත් ගොළුබෙල්ලන් දෙදෙනකු සොයා දුන්හ. අවාසනාවකට එම ගොළුබෙල්ලන් දෙදෙනා එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වූ අතර  තනි වූ ජෙරමි අපිස් දිවිපෙවෙතක් ගෙවා හුදෙකලාව මියගියේ ය‍.

ලු‍සිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි