ඕස්ට්‍රේලියාවේ ධනවත්ම සුපර්මාර්කට් ජාලය


 

  • වුල් වර්ත්ස් පටන් ගන්නෙ 1924 දී එක් සාප්පුවකින්
  • සාමාන්‍ය ජනතාවගේ සිට ක්‍රිකට් තරු ඇතුළු බොහෝ දෙනා වුල්වර්ත්ස් වෙත එන්නේ විකිණෙන බොහෝ දේ අලුත්ම සහ නැවුම් දේ නිසා
  • ව්‍යාපාරිකයන් පස් දෙනෙකුගේ එකතුවෙන් පටන් ගත් ‘වුල්වර්ත්ස්’ අද ඕස්ට්‍රේලියාවේ ධනවත්ම සමාගමක්

 

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් හට මේ දිනවල ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ආදරය හා ගෞරව කරන බව කිව හැකිය. එදා මෙදාතුර ශ්‍රී ලංකාව පාලනය කළ පාලක පැලැන්තිය සහ නිලධාරි පැලැන්තිය විසින් ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අවපාතයට ඇද දමා ඇති මොහොතක, අප හැමෝම ගත කරන්නේ දැඩි පීඩනයක් යටතේය. එවැනි මොහොතක දී ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝකය හමුවේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ලෝකයේ සංචාරකයන්ට මෙහි පැමිණෙන සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්නට දායක වෙන්න යන ඉල්ලීමය. 

 

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් හට අන් කවරදාකටත් වඩා ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරය ආදරය, ගෞරවය කරන්නේ ඔවුන් දැක් වූ මෙම ආදරණීය ප්‍රතිචාර හේතුවෙනි. මෙලෙසින් ශ්‍රී ලාංකීය ජනතාව ඕස්ට්‍රේලියානුවන් හට බෙහෙවින් ආදරය කරන මොහොතක ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අප තෝරා ගත්තේ ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වී වඩාත් ජනප්‍රිය වූ ‘‘වුල්වර්ත්’’ සුපර්මාකට් ජාලය ගැන විස්තර සඳහන් කිරීමටය.   


වුල්වර්ත්ස් සුපර් මාකට් ජාලය ගැන කරුණු විස්තර දැන ගැනීමට පෙර, ඕස්ට්‍රේලියාව ගැන කෙටියෙන් විස්තර අපි දැන ගනිමු.   


ලේකයේ භූමි ප්‍රමාණය අනුව විශාලත්වයෙන් හයවැනි ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවය. ජීවත්වීමට වඩාත් යහපත් රටක් ලෙස හැඳින්වෙන්නේ, සෑම අංශයකින්ම සෞභාග්‍යමත් රාජ්‍යයක් වන බැවිනි. ඕස්ට්‍රේලියාව හා ඕස්ට්‍රේලියානු භූමියට සහ එකී කලාපයේ දූපත්වලට අයත් වෙරළ තීරයන් 7000ක් පමණ පිහිටා තිබීම සුවිශේෂත්වයකි. සුවිශාල භූමියක් හිමි වුව ද ඕස්ට්‍රේලියානු ජනතාව වැඩි වශයෙන් වාස භූමිය ලෙස තෝරාගෙන ඇත්තේ වෙරළ කලාපයන්ට සමීප වූ ප්‍රදේශවීම ද විශේෂත්වයකි. ලෝකයේ නන් දෙසින් සංචාරක පිරිස් පැමිණෙන්නේ සංචාරකයන් හට වඩාත් මිත්‍රශීලී පරිසරයක් ඇති නිසාය.  


• ලෝකයේ ලොකුම වැට (Fence) ඇත්තේ ඕස්​ට්‍රේලියාවේය. මෙය කෙතරම් නම් දුරට විහිදී ගිය වැවක් ද යත්, සම්පූර්ණ දිග කි.මී. 5600කි. (සැතපුම් 3488) මෙය නම් කර ඇත්තේ ද ඩින්ගෝ ෆෙන්ස් යනුවෙනි.  


• ලෝකයේ දිගම ගොල්ෆ් පිටිය නැතහොත් ගොල්ෆ් ක්‍රීඩා පරිශ්‍ර භූමිය සතු වන්නේ ද ඕස්ට්‍රේලියාවටය.  


• ඍජුව එක් දිශාවකට හරි කෙළින් විහිදී ගිය ලොව දිගම දුම්රිය මග අයත් වන්නේ ද ඕස්ට්‍රේලියාවටය. පර්ත් නුවර සිට සිඩ්නි දක්වා ඇඩ්ලේඩ් හරහා දිවෙන මෙම දුම්රිය මග ‘‘ද ඉන්ඩියන් පැසිපික්’’ ලෙස හැඳින්වේ. සම්පූර්ණ දිග කිලෝමීටර් 478 කි. එක් රේඛාවකට මෙලෙසින් මාර්ගයක් පිහිටා තිබීම ​මොනතරම් නම් දුලබ දසුනක් ද?  


• ඕස්ට්‍රේලියානු භූමිය වසරක දී සෙන්ටිමීටර් 6ක් උතුරට තල්ලු වී යන බව භූ විද්‍යාඥයෝ සඳහන් කරයි.  
• ‘මෙල්බර්න්’ නමැති සුන්දර නගරය හා ඒ කලාපයේ දෙවැනියට විශාලතම පිරිසක් ලෙස ජීවත් වන්නේ ‘ග්‍රීක’ ජාතිකයන්ය.  


• ඕස්ට්‍රේලියාවට පමණක් ආවේනික වූ සත්ව වර්ග කීපයක් සිටීම සහ ඒ සතුන් ඕස්ට්‍රේලියාවේ දී පමණක් දැක ගත හැකිවීම විශේ‍ෂත්වයකි. උදාහරණයකට ‘කොආලා බෙයර්’ (කෙවිලා වලසා) නම් කළ හැකිය. ‘කැන්ගරු’ අනෙක් සත්වයාය. මෙලෙසින් ඕස්ට්‍රේලියාව ගැන තවත් විශේෂ වූ බොහෝ දේ කීමට ඇත. ඒ අතරින් ඕස්ට්‍රේලියාවට විශේෂ වූ මෙම වුල්වර්ක්ස් සුපර්මාකට් ජාලය මොන වගේ ද බලමු.  

 

 

ඕස්ට්‍රේලියාවේ ඇති විශාලතම සුපර්මාකට් ජාලය වන්නේ මෙම ‘‘වුල්වර්ත්ස්’ය. මහා ඕස්ට්‍රේලියානු රාජ්‍යයේ මෙය ස්ථාපිත වූයේ 1924 වසරේදීය. 2020 වන විට පමණක් ඕස්ට්‍රේලියාව පුරා විහිදී ගිය වුල්වර්ක්ස් මහා පරිමාණයේ සුපර් මාකට් ශාඛා දහසකට ආසන්න විය. ඊට අමතරව කුඩා ප්‍රමාණයේ ග්‍රොසරි මෙන්ම (සිල්ලර සාප්පු) ස්ථාන හැත්තෑවකට ආසන්න විය. වුල්වර්ත්ස් ලිමිටඩ් ලෙස ආරම්භ වූ මෙම සමාගම අද හැඳින්වෙන්නේ වුල්වර්ත්ස් ගෲප් (සමූහය) ලෙසය. 1924 සැප්තැම්බර් මස වුල්වර්ත්ස් බිහි කිරීමට පුරෝගාමී වූ චරිත ලෙස හැඳින්වෙන්නේ, පර්සි ක්‍රිස්මස්, ස්ටැන්ලි චැටර්ටන්, සිසිල් ස්කොට්වේන්, ජෝජ් ක්‍රීඩ් සහ අර්නස් විලියම්ය. මේ ව්‍යාපාරිකයින්ගේ පුරෝගාමීත්වයෙන් වුල්වර්ත්ස් ප්‍රථම ශාඛාව විවෘත වූයේ 1924 දෙසැම්බර් 5 වැනිදාය. ඒ සිඩ්නි නුවර ඉම්පීරියල් ආකේඩ්හිදීය. ඕස්ට්‍රේලියානු භූමියේ වගා කෙරෙන සහ නිෂ්පාදනය කෙරෙන නැවුම් ආහාරපාන සියයට අනූ නවයකට එහා ගිය ප්‍රතිශතයක් අලෙවියට තිබීම විශේෂිත දෙයකි. එනම් ඕස්ට්‍රේලියාවේ නැවුම් ආහාර පාන ඔවුනගේ ජනතාවට යනු වුල්වර්ත්ස්හි තේමා පාඨය වේ. ‘ද ​​ෆ්‍රෙෂ් ෆුඩ් පීපල්’ වෙළඳ නාම​ තේමා පාඨය සහිතව ප්‍රවර්ධන කටයුතු සිදු කළේ ද ඒ අනුවය.  


සාමාන්‍යයෙන් වුලීස් (woolies) යන වචනය ඕස්ට්‍රේලියානුවන්ගේ කට වචනයෙහි නිතර භාවිත වචනයකි. වුලීස් යන්නෙහි තේරුම ලොම් සහිත යන්නය. එහෙත් ඒ වචනය නිතර භාවිත වන්නක් නිසා. මිනිසුන්ට අමුතුවෙන් මතක් කළ යුතු ද නොවන බැවින් ‘වුල් වර්ත්ස්’ යනුවෙන් නම් තැබීම නිසා, ඕස්ට්‍රේලියානුවන් අතර පමණක් නොවී, ලෝකයේ නන් දෙසින් ඕස්ට්‍රෙලියාවට පැමිණෙන සංචාරකයන් අතර ද ‘වුල් වර්ත්ස්’ සුපර්මාකට් ජාලය ඉතා ජනප්‍රිය වී තිබේ. 2020 වන විට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 43ක පමණ මහා ධනයකට හිමිකම් කී ‘වුල්වර්ත්ස්‘ සමූහය සතු සේවක සංඛ්‍යාව දෙලක්ෂ තිස්දහසකට ආසන්න විය.  


වුල්වර්ත්ස් සුපර්මාකට් ජාලය එරට ජනතාව අතර වඩා ප්‍රචලිත වූයේ කළමනාකාරීත්වය ඉතා පහසු මිලකට සියලු දේ අලෙවි කළ නිසාය. ඉස්තරම්ම දේ කළුකඩ මිලට නොවී අඩු මුදලකට විකිණීම නිසා ජනතාව වඩාත් වැළඳගත් බව සඳහන් කළ හැකිය. සුපර්මාකට් විෂය ජනප්‍රිය වීම සහ සාර්ථක වීම නිසා ග්‍රොසරි (කුඩා ප්‍රමාණයේ) වුල්වර්ත්ස් ශාඛා ජාලය ද ස්ථාපිත කිරීමට කළමනාකාරීත්වය පියවර ගත්තේය. එළවළු, පළතුරු සහ වෙනත් ආහාර පාන අලෙවියේ දී නැවුම් සහ අලුත්ම දේ අලෙවි කිරීම නිසා සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීමට දායක වන වුල්වර්ත්ස් කළමනාකාරත්වයේ අදහස වේ.  


ආදායම් ලැබීම අතින් ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම ලෙස හැඳින්වෙන්නේ මෙම වුල්වර්ත්ස්ය. වුල්වර්ත්ස් ඔවුනගේ සහෝදර රට වන නවසීලන්තයේ ද ස්ථාපිතව ඇති අතර, එරට ආදායම් ලබන දෙවැනි විශාලතම සමාගම ලෙස හැඳින්වෙන්නේ වුල්වර්ත්ස්ය. වුල්වර්ත්ස් නවසීලන්තය ආක්‍රමණය කළේ ද අද ඊයෙක නොවේ. එය ආරම්භ වී වසර 5කට පසුවය. එනම් 1929 දීය. ඉනික්බිතිව ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ප්‍රධාන නගර ඇතුළු ප්‍රදේශවල මෙම ශාඛා ජාලය ව්‍යාප්ත වී තිබේ. මෙම සුපර්මාකට් ජාලය මෙහෙයවන කළමනාකාරීත්වය ජනතාවගෙන් ගසා කෑමට වඩා ජනතාවට වඩාත් ඵලදායී ක්‍රම හඳුන්වා දීම සිදු කරන්නේ, වට්ටම් ලබා දීම ආදිය වෙනුවෙනි. සෑම දිනකම ‘ත්‍යාග’ මෙන්ම වට්ටම් ක්‍රමයක් සහ ‘ලෝයලිට් කාඩ්පත්’ ක්‍රමය අනුව ඒවා සතු ග්‍රාහකයන්ට වට්ටම් පිරිනැමීම සිදු කරන්නේ මෙම සුපර්මාකට් ජාලයෙහි භාණ්ඩ මිලදී ගැනීමෙන් පමණක්ම නොවේ. ඉන්ධන ලබා ගැනීම සහ තවත් ස්ථානවලින් භාණ්ඩ ගැනීමේ දී වට්ටම් ලබා ගත හැකි පරිදි ‘​ලෝයලිට් කාඩ් පත්’ භාවිත කළ හැකිය.  


වුල්වර්ත් සතු ප්‍රථම ආහාර ගබඩා අංගනය ස්ථාපිත කර ඇත්තේ 1957 දීය. වුල්වර්ත්ස්ලාට තරගයක් ඇති නොවීම ගැන සිතා කළමනාකාරීත්වය විසින් තස්මේනියානු ප්‍රාන්තයේ ප්‍රකට වෛද්‍ය සැල් සමාගම් වූ රොඑල්ෆ් වොස් සහ පියුරිටි අත්පත් කර ගත්තේ 1982 දීය. ඊට පෙර 1958 දී බ්‍රිස්බේන්හි කෑෂ් ඇන්ඩ් කැරී යන සුපර් මාකට් ජාලය සතු ශාඛා 32 ඇතුළුව එම සමාගම ද අත්පත් කර ගත්තේය. වුල්වර්ත්ස් නාමය යටතේ ඒවාට නව සන්නාමයක් ලබා දීමට ද ඔවුන් විසින් කටයුතු කරන ලද්දේය. වෙළෙඳපළ කොටස් ප්‍රතිශතකය අනුව 37% ක් හිමිකරගෙන ප්‍රමුඛස්ථානයේ වුල්වර්ත්ස් පසුවන අතර ඔවුනට දෙවැනි වන්නේ කෝල්ස් ගෲප්ය. ඕස්ට්‍රේයානු සුපර් මාකට් අංශයේ ආධිපත්‍ය දරන්නේ මෙ වුල්වර්ත් සහ කෝල්ස්ය.  


‘වුල්වර්ත්ස්’ වෙබ් අඩවියේ සඳහන් කර ඇති පරිදි ඕස්ට්‍රේලයාව පුරා වෙළඳසැල් 1076ක් පමණ තිබේ.  
‘‘අපේ විශේෂත්වයවන්නේ ඕස්ට්‍රේලියාවේ ගොවි පරපුර සහ වගාකරුවන් වෙතින් හොඳම - අනර්ඝතම දේ ලබාගෙන පාරිභෝගික ජනතාවට බෙදා හැරීමයි. එළවළු සහ පළතුරු වර්ග සියයට 96% ක් ලබා ගන්නෙ ඕස්ට්‍රේලියානු ගොවි සහ වගාකරුවන්ගෙන්. අද ලබාගත් දේ හෙට විකිණීම අපි කරන්නෙ නැහැ. නැවුම් බව අප පාරිභෝගික ජනතාවට ලබා දුන් විශ්වාසයයි. පුණ්‍යායතන 500කට වඩා විෂයකට අපි අපගේ භාණ්ඩ මිලියන දෙකක් (2) ආසන්නව බෙදාදී තිබෙනවා. අවශ්‍යතා අවශ්‍ය පවුල්වලට උපකාර ලබා දී තිබෙනවා. මේ විදියට තමයි ‘වුල්වර්ත්ස්’ අප දේශයට ජීවගුණයක් ලබා දී තිබෙන්නේ.  


මෙම වුල්වර්ත්ස් සමාගමේ ප්‍රධානීන් පවසන්නේ එලෙසිනි. එදා 1924 දී වුල්වර්ත්ස් ප්‍රථම ශාඛාව විවෘත කළ පසු ආරම්භක ප්‍රධාන විධායක නිලධාරිවරයා වූ පර්සි ක්‍රිස්ටන් පවසා සිටියේ සිඩ්න් නගරයට පමණක් සීමා නොවූ වුල්වර්ත්ස් රටේ සෑම නගරයකම ස්ථාපිත කරවීම යැයි සඳහන් වේ. වුල්වර්ත්ස් සමූහයෙහි තුන්ලක්ෂ පනස් දහසකට අධික කොටස් සතු කොටස් හිමියන් ප්‍රමාණයක් සිටින අතර, ඕස්ට්‍රේලියානු මූල්‍ය වෙළඳපළේ ඉතා ඉහළ කොටස් වටිනාකමක් ඇති සමාගමකි. ‘ප්ලාස්ටික්’ බෑග් වෙනුවට, පරිසර හිතකාමී ‘මලු’ හඳුන්වා දී තිබෙන අතර පරිසර හිතකාමීව කටයුතු කිරීම ද මෙම සුපර්මාකට් ජාලයෙහි පරමාර්ථය වෙයි. ඔබ විශ්වාස කරන්නේ ද? වුල්වර්ත්ස් සුපර්මාකට් ජාලය වෙත, සතියක පැමිණෙන පිරිස මිලියන 18ක් (එක් කෝටි අසූ ලක්ෂයක් පමණ) වේ. ඕස්ට්‍රේලියාවේ ධනවත්ම සුපර්මාකට් ජාලය ගැන එලෙස විස්තර සඳහන් කළ අප මේ සටහන අවසන් කිරීමට පෙර, ඕට්‍රෛ්ලියානු ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණ සිටින මොහොතක, වුල්වර්ත්ස් වෙත නිතර යන ක්‍රීඩකයන් කවුද? සහ දැනට සිටින ක්‍රීඩකයන් අතරින් ධනවත්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් කවු ද කියා විපරම් කර බලමු.  


වුල්වර්ත්ස් සුපර්මාකට් ජාලයට නොයන ක්‍රීඩකයෙක් නොමැති තරම්ය. ඒ සෑම ක්‍රීඩකයෙක්ම ෂොපිං කරන්නට මෙම මාකට් ජාලය වෙත යන බව සඳහන් කළ හැකිය. ඒ විදියට සාප්පු සවාරියේ යන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරු අතරින් වැටුප් ලැබීම අතරින් ධනවත්ම අය කවු ද බලමු.  

ඔහු සතු වත්කම් ඩොලර් මිලියන 34ක් පමණ වේ යැයි සඳහන් වේ. ස්ටීව් ස්මිත් යනු වර්තමානයෙහි ලොව සිටි විශිෂ්ටතම පිතිකරුවන් අතර සිටින ප්‍රමුඛ චරිතයකි.  


• වේග පන්දු යවන ජෝෂ් හේසල් වුඩ් - ඩොලර් මිලියනයකි.  
• පා දඟ පන්දු යවන ඇඩම් සම්පා - ඩොලර් මිලියනයකි.  
• මාකස් ස්ටොයිනිස් (තුන් ඉරියව් දක්ෂතා ඇති ක්‍රීඩක) - ඩොලර් මිලියන 1.2 කි.  
• නායක ආරොන් ෆින්ච් - ඩොලර් මිලියන 5.5 කි.  
• ප්‍රහාරාත්මක පිතිකරු ග්ලේන් මැක්ස්වල් - ඩොලර් මිලියන 11 කි.  
• ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් - ඩොලර් මිලියන 11 කි.  
• වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ග්ස් - ඩොලර් මිලියන 55 කි.  
• කෙසේ නමුත්, ඕස්ට්‍රේලියාවේ ක්‍රීකට් ක්‍රීඩකයන් අතරින් වෙ​ෙළඳ සන්නාම හා අනෙකුත් ලැබීම් අතරින් වැඩිම වටිනාකමක් හිමිකරගෙන සිටින්නේ හිටපු ක්‍රීඩක රිකී පොන්ටින්ය.  


පසුගියදා හෘදයාබාධයකින් නැසී ගිය ලෝක පූජිත ක්‍රීඩක ෂේන් වෝන් හට ඩොලර් මිලියන 52ක ආදායම් තිබූ බව සඳහන්ය.  


(මේවා දළ වශයෙන් ඇස්තමේන්තුගත කළ වාර්තාවලට අනුව දැක් වූ දත්ත මිස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ දත්ත නොවන බව සඳහන් කළ හැකිය)

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ  
[email protected]