ඕලෝ මායාවක් ද? සැබෑවක් ද?


මින් පෙර කිසිවෙක් දැක නොමැති අලුත්ම වර්ණයක් නැත්නම් පාටක් ඇමරිකන් විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වෙන අතර, එම ප්‍රවෘත්තිය සැබෑවක් වුවහොත් එය සමස්ත ලෝකයේම භෞතික විද්‍යා ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් වෙනු නොඅනුමානය.

විද්‍යාඥයන් මෙම නව වර්ණය සොයාගෙන ඇති බව පවසන්නේ දෑස්වලට ලේසර් කිරණ යොමු කිරීමෙන් සිදු කෙරුණු සුවිශේෂ පර් යේෂණයක ප්‍රතිඵලයක් වශයෙනි.

ලේසර් කිරණ හරහා දෘෂ්ටි විතානයේ ඇති විශේෂිත සෛල වර්ගයක් උත්තේජනය කිරීමෙන් පසු - පර් යේෂණයට සම්බන්ධ වූ විද්‍යාඥයන්ට මෙම නව වර්ණය දකින්න ලැබුණු බවත්, විද්‍යාඥයන් එම වර්ණය “ඕලෝ” නමින් නම් කළ බවත් පැවැසෙයි. විද්‍යාඥයන්ට දකින්න ලැබුණු මෙම නව වර්ණය - ඔවුන් පවසන ආකාරයට නිල්-කොළ මුසු පැහැයකි. මෙම සටහන සමග ඇත්තේ, නව “ඕලෝ” වර්ණයට ඉතාමත් ආසන්නයෙන් සකස් කළ වර්ණයකි.

කෙසේ නමුත් මෙම නව වර්ණය පිළිබඳව හැමෝම ධනාත්මක ස්වරයෙන් කතා කරන්නේ නැත. ඇතැම් විද්‍යාඥයන් මේ ගැන අවිනිශ්චිත හැඟුමින් පවසන්නේ - “ඕලෝ” නව වර්ණයක් යැයි පැවැසිය නොහැකි බවත්, එය සංවාදයට විවෘත මාතෘකාවක් බවත් ය. ඊට හේතුව “ඕලෝ” වර්ණය දැක ඇත්තේ එම පර් යේෂණයට සම්බන්ධ විද්‍යාඥ කණ්ඩායම පමණක් වීම නිසාය.

මේ සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් පළ වූයේ “සයන්ස් ඇඩ්වාන්ස්” නැමැති විද්‍යා සඟරාවේ ය. නව වර්ණය සොයාගැනීමේ පර් යේෂණයට දායක වූයේ ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෙන් එන්ග් ඇතුළු පර් යේෂණ කණ්ඩායමය. මහාචාර්ය රෙන් එන්ග් සහ ඔහුගේ සහායක පර් යේෂකයින් විශ්වාස කරන්නේ - මෙම පර් යේෂණයෙන් ඔවුන් ලබාගත් ප්‍රතිඵල වලින් වර්ණ අන්ධතාව පිළිබඳ පර් යේෂණ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යා හැකි බවය. 

ලේසර් කිරණ කණිකාවට එල්ල කිරීමේ එම පර් යේෂණයට පස් දෙනකු සම්බන්ධ වුණු අතර, එයින් එක් අයකු වන්නේ මහාචාර්ය රෙන් එන්ග් ය. ඉතිරි සිවු දෙනා ද මහාචාර්ය රෙන් එන්ග් ගේ කණ්ඩායමේ සාමාජිකයන් ය. එම සිවු දෙනා අතරේ එක් කාන්තාවක ද සිටී. මහාචාර්ය රෙන් එන්ග් සහ මෙම සියලු‍ දෙනා කිසිදු ආකාරයක අක්ෂි ආබාධවලින් පෙළෙන අය නොවන බව ද තහවුරු කර ඇත.

බී.බී.සී. පුවත් සේවය සමග අදහස් දක්වමින් මහාචාර්ය රෙන් එන්ග් පවසා ඇත්තේ “ඕලෝ” නමැති නව වර්ණය සැබෑ ලෝකයේ ඔබට දැකිය හැකි ඕනෑම වර්ණයකට වඩා දීප්තිමත් එකක් බවය.

පර් යේෂණයට සම්බන්ධ වූ මහාචාර්ය රෙන් එන්ග් සහ ඔහුගේ සහායකයින් ඔවුන්ගේ ඇස්වලට ලේසර් කිරණ පතිත කර ගැනීම සිදු කළේ දර්පණ සහ දෘශ්‍ය උපාංගවලින් සමන්විත “ඕස්” නමැති විශේෂ උපකරණය ආධාරයෙනි. මෙම උපකරණය කැලිෆෝනියා බර්ක්ලි සහ වොෂින්ටන් විශ්වවිද්‍යාලවල විද්‍යාඥයන් විසින් නිපදවනු ලැබූවකි. නවතම පර් යේෂණය සඳහා ඊට අදාළව මහාචාර්ය රෙන් එන්ග් සහ කණ්ඩායම එහි නව වෙනස්කම් කීපයක් කළ බව පැවැසෙයි.

ඇසේ පිටුපස ඇති ආලෝකයට සංවේදී පටක ස්තරය - දෘෂ්ටි විතානයයි. එමගින් ආලෝකය විද්‍යුත් සංඥා බවට පරිවර්තනය කිරීමෙන් දෘෂ්‍ය තොරතුරු ලබාගැනීම හා විශ්ලේෂණය සිදුවෙයි. ඉන් අනතුරුව ඒවා දෘෂ්ටි ස්නායුව හරහා මොළයට සම්ප්‍රේෂණය කෙරෙන අතර, එමගින් අපට පෙනීම ලැබෙයි.

වර්ණ වටහා ගැනීම සිදු කෙරෙන්නේ දෘෂ්ටි විතානයේ අඩංගු කේතු සෛල වලිනි. ඇසේ කේතු සෛල වර්ග තුනක් ඇති අතර, ඒ සෑම එකක්ම පිළිවෙළින් - එස්, එල්, එම් - නිල්, රතු සහ කොළ යන විවිධ තරංග ආයාමයන්ට සංවේදී වෙයි. මේ පර් යේෂණ පත්‍රිකාව පෙන්වා දෙන්නේ සාමාන්‍ය පෙනීමේදී, එම් කේතු සෛලයක් උත්තේජනය කරන ඕනෑම ආලෝකයකින් එහි අසල්වැසි එල් හෝ එස් කේතු සෛල ද උත්තේජනය වන බවයි. ඒ ඒවා එක මත එක ක්‍රියා කරන බැවිනි.

මේ පර් යේෂණයේ දී ලේසර් කිරණ උත්තේජනය කළේ එම් කේතු සෛල පමණි. එවිට ස්වාභාවික පෙනීමේ දී කිසි විටෙකත් හමු නොවන වර්ණ සංඥාවක් මොළයට යැවීම සිදුවුණි. ඒ අනුව නව වර්ණයක් දකින්න ලැබුණි. ලේසර් කිරණ වැනි විශේෂිත උත්තේජනයක උදවුවක් නැතිව සාමාන්‍ය පුද්ගලයකුට පියවි ඇසින් නව “ඕලෝ”  වර්ණය දැකිය නොහැකිය. 

මෙම පර් යේෂණය දෙස විචිකිච්ඡාවෙන් බලන ඇතැම් විශේෂඥයන් පවසන්නේ‍ මෙම නව වර්ණය සම්බන්ධයෙන් නිවැරදි යමක් ප්‍රකාශ කළ නොහැකි බවය. අදාළ පර් යේෂණයට සම්බන්ධ නොවූ එංගලන්තයේ සාන්ත ජෝර්ජ් නගරයේ පිහිටි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ දෘෂ්ටි විද්‍යාඥ මහාචාර්ය ජෝන් බාබර් පැහැදිලි කරන්නේ තෝරාගත් කේතු සෛල පමණක් උත්තේජනය කිරීමට හැකිවීම මෙම  පර් යේෂණය තාක්ෂණික වශයෙන් ලත් ජයග්‍රහණයක් වන නමුත් - නව වර්ණය සොයාගැනීම සම්බන්ධ කරුණ ගැන යමක් පැවසීමට නම් ඊට අදාළ තවත් තොරතුරු සහ දත්ත අවශ්‍ය බවය.

මහාචාර්යවරයා පැහැදිලි කර ඇත්තේ නිදසුනක් ලෙස රතු කේතු සෛල ‘එල් විශාල වශයෙන් උත්තේජනය කළහොත් මිනිසුන්ට තද රතු පැහැයක් පෙනිය හැකි නමුත්, එහිදී රතු කේතු සංවේදීතාවේ වෙනස්කම් අනුව වටහා ගත් දීප්තිය වෙනස් විය හැකි වන අතර - එවිට ඔවුන්ට තවත් වෙනස් විදියේ නව වර්ණයක් පෙනීමට ඉඩ ඇති බවත් ය.

අප සැමට ලෝකය දකින්න උදවු වෙන්නේ අපේ ඇස් ය. ඇස් යනු අපූරු දෙයකි. ඇස් යනු පුංචි කැමරාවක් වැනිය. ඇස් නමැති මේ කැමරාව, අප දකින හැම දෙයකම පින්තූරය ලබා ගනිමින් අපගේ මොළයට යැවීම සිදු කරයි. මොළයට එම පණිවුඩය ගිය සැණින් - මේ මොකක් ද? මේ පාට මොකක් ද? ආදිය අපට වැටහෙන්න ගනී. ඇස් වටේ රෝම ඇත. ඒ ඇහි පිහාටුය. ඉහළින් ඇත්තේ ඇහිබැම ය. මේවා සුවිශේෂී කාර්යයක් ඉටු කරයි. දූවිලි, කුණු වැනි දෑ ඇස් ඇතුළට යෑම වළක්වන්නේ මේවාය. 

ලු‍සිත ජයමාන්න
බීබීසී ඇසුරිනි