ඔව්... ඔව්... ඔව්... තෙන්ඩුල්කාර් ගේ දෝණි තමයි...


ලොව කාගේත් ආදරය දිනූ, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ගේ සුරූපී දියණිය සාරා තෙන්ඩුල්කාර් කැපී පෙනෙන චරිතයකි. 

විසිහත් හැවිරිදි ඇය - බොලිවුඩ් රංගන ශිල්පිනියක නොවුණත්,  බොලිවුඩ් රංගන ශිල්පිනියන්ටත් වඩා ජනප්‍රිය ය. ජනප්‍රිය පියකු ගේ දියණියක වුවත්, ස්වකීයම වූ අනන්‍යතාවක් ගොඩනඟා ගනිමින් ඉදිරියට යන යෞවනියක ලෙස ඈ කැපී පෙනෙයි. 

විවිධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙමින්, සමාජ මාධ්‍ය ඔස්සේ සාරා පළ කරන වීඩියෝ කා අතරේත් ප්‍රසිද්ධය. අධ්‍යාපනය, සමාජ සේවය, සහ නවීන විලාසිතා යනාදී වශයෙන් වන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අනන්‍යතාවක් නිර්මාණය කරගෙන සිටින ඈ ලබා ඇති ජනප්‍රියත්වයට සිය පියාගේ නාමය සෘජුව උපස්තම්භක කර ගෙන නැත. මේ වෙන විට ඈ - ඔස්ට්‍රේලියාවේ සංචාරක කර්මාන්තයට ද නැතුවම බැරි චරිතයක් වී අවසන්ය.

සාරා තෙන්ඩුල්කාර් වටා සිටින සමාජ මාධ්‍ය පරිශීලකයන් ගණන මිලියන ගණනකි. ඉන් වැඩි පිරිසක් තරුණ තරුණියන්ය. සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා සාරා විලාසිතා ගැන කතා කරයි. ලස්සනට මෙන්ම නිරෝගීව සිටින්නේ මෙන්න මේ විදියටයි කියමින් - රූපලාවණ්‍ය උපදෙස් ලබා දෙයි.  සංචාරයට ප්‍රිය ඈ ආකර්ෂණීය සංචාරක ස්ථාන කරා ඇගේ ප්‍රේක්ෂකයා රැගෙන යන්නීය. එතැකිනිදු නොනැවතී සිය පෞද්ගලික ජීවිතය ගැන පවා විවෘතව හා අවංකව  කරුණු දක්වමින් අභියෝග ජය ගනිමින් ජීවිතය දිනන හැටි උගන්වන්නීය.

ඕස්ට්‍රේලියා සංචාරක අමාත්‍යාංශයේ ඇසට ඇය හසුවූයේ මේ සුවිශේෂීතා නිසා විය යුතුය. අනෙක, ඕස්ට්‍රේලියාව යනු ක්‍රිකට්ලෝලීන් ගෙන් සපිරි රටකි. ක්‍රිකට්ලෝලීන්ට, සාරා ගේ පියා සචින් තෙන්ඩුල්කාර් කවුරුන් දැයි කීමට අටුවා ටීකා අවශ්‍ය නැත. 

සංචාරක කර්මාන්තය නංවාලීමට සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය තරුණ තරුණියන් සොයද්දී, සාරා ගැන ද ඕස්ට්‍රේලියා රජයේ සහ සංචාරක අමත්‍යාංශයේ අවධානය යොමු විය. සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා සාරාට ඇරැයුම් කෙරුණි. ඒ අනුව පසුගිය දා ඕස්ට්‍රේලියාවේ ’කම් ඇන්ඩ් සේ ගුඩ් ඩේ’ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයේ සන්නාම තානාපතිනිය ලෙස සාරා පත් වූවාය. මෙය ගෝලීය වශයෙන් ඇයට ඇති පිළිගැනීම ප්‍රකාශවත් වීමක් බව අමුතුවෙන් කිවයුතු නැත. සාරා තෙන්ඩුල්කාර් සිය සන්නාම තානාපතිනිය ලෙස තෝරා ගත්තේ, විශ්ව තරුණ ප්‍රජාව අතරෙහි ඇය ලබා ඇති ජනප්‍රියත්වය සහ විශද කර ඇති බලපෑම් සහගත බව සැලකිල්ලට ගනිමින් යැයි - ඕස්ට්‍රේලියානු රජය සඳහන් කර ඇත. නව පත්වීමත් සමග සාරා ජාත්‍යන්තර මට්ටමේ දීප්තිමත් චරිතයක් බවට පත්ව සිටී.

සාරා තෙන්ඩුල්කාර් යනු හුදෙක් ප්‍රසිද්ධ නාමයක් පිටුපස සැඟවී සිටින සුරූපිනියක පමණක් නම් නොවේ. ඇය ඇගේ දැනුම, දක්ෂතා, සහ පෞද්ගලිකත්වය මුල් කරගෙන ස්වකීයම වූ මාවතක් නිර්මාණය කරගත් සහ තවදුරටත් කරගනිමින් ඉදිරියට යන තරුණියකි. ඇගේ ජීවිතය, අධ්‍යාපනය, වෘත්තීය ගමන් මග, සහ සමාජ සේවය පිළිබඳ උනන්දුව නව පරපුරට විශාල ආදර්ශයක් සපයයි. අනාගතයේ දී තවත් බොහෝ ජයග්‍රහණ කරා ඇය ගමන් කරනු ඇති බවට සැකයක් නැතැයි ඇය ගැන ආදරයෙන් කතා කරන බොහෝ දෙනාගේ අදහසය.

ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික උපාධිය ලබා ඇති  සාරා - ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් විශ්වවිද්‍යාලයේ සායනික සහ මහජන සෞඛ්‍ය පෝෂණය පිළිබඳ පශ්චාත් උපාධිය ද සම්පූර්ණ කර ඇත. සාරා, එක්සත් රාජධානියේ පෝෂණ සංගමයේ ලියාපදිංචි පෝෂණවේදිනියක ලෙස ද කටයුතු කර ඇත. ඒ සිය දැනුම සහ වෘත්තීය කැපවීම පෙන්නුම් කරමිනි.  

‘කම් ඇන්ඩ් සේ ගුඩ් ඩේ’ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ ඕස්ට්‍රේලියාවට සංචාරය කිරීමට ජාත්‍යන්තර සංචාරකයන් දිරි ගැන්වීමය. සුප්‍රසිද්ධ ආර්ථික සඟරාවක් වන ඉකොනොමික් ටයිම්ස් වාර්තාවකට අනුව - ‘කම් ඇන්ඩ් සේ ගුඩ් ඩේ’ සමග අත්වැල් බැඳ ගෙන සිටින තවත් ජනප්‍රිය පුද්ගලයෝ කීප දෙනෙක් ද සිටිති. එක්සත් රාජධානියේ විවිධාකාරයේ ආහාර වර්ග සම්බන්ධයෙන් ගුණ දොස් සහ අදහස් පළ කරන ලේඛිකාවක සහ රූපවාහිනී සූපවේදිනියක වන නයිජෙලා ලෝසන්, ඕස්ට්‍රේලියා වනජීවී සංරක්ෂකයකු ලෙස කටයුතු කරන ජනප්‍රිය රූපවාහිනී තරුවක් ද වන රොබට් අර්වින්, චීන නළු යොෂ් යූ සහ ජපන් විකට නළු අබරේරු-කුන් ඒ අතරේ සිටිති.

සාරා තෙන්ඩුල්කාර් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට සම්බන්ධ කර ගැනීම - ඕස්ට්‍රේලියාවට සංචාර සඳහා ඉන්දීය තරුණ ප්‍රජාව දිරි ගැන්වීමක් පමණක් නොව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ උපාය මාර්ගික පියවරක් ද වනු ඇත. සාරා ගේ මැදිහත් වීමෙන් මේ වනවිට, ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය විදහා දැක්වෙන රූපවාහිනී කතා මාලා සහ අන්තර් ජාලය ඔස්සේ පළ වන වීඩියෝ දැන්වීම් නිර්මාණය වෙමින් පවතින බව එන්.ඩී.ටී.වී. පුවත් සේවය පවසයි. 

ඕස්ට්‍රේලියාව පාදක කරගත් සුවිශේෂී වික්‍රමාන්විත අත්දැකීම්, ඕස්ට්‍රේලියාවේ සංස්කෘතිය සහ ස්වභාවික සුන්දරත්වය එයින් විදහා පෑමක් සිදුවෙයි. සාරා තෙන්ඩුල්කාර් විවිධ ඩිජිටල් මාධ්‍ය වේදිකා හරහා ඉන්දීය තරුණ තරුණියන් ඕස්ට්‍රේලියාව ගවේෂණය කිරීමට දිරිගන්වනු ඇති බව තම විශ්වාසය යැයි - ටුවරිසම් ඕස්ට්‍රේලියා කළමනාකාර අධ්‍යක්ෂ පිලිප් හැරිසන් ප්‍රකාශ කර ඇත. වසර දෙක බැගින් අදියර දෙකකින් ක්‍රියාවට නැංවෙන මෙම සංචාරක ප්‍රවර්ධන වැඩ සටහන සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 255 ඉක්මවයි.

සාරා තෙන්ඩුල්කාර් ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මිලියන 7.4කට අධික පරිශීලකයන් පිරිසක් සිටිති. ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා පවුලේ අය සහ මිතුරන් සමග ගත කරන අවස්ථා, දේශීය හා විදේශීය සංචාර, සචින් තෙන්ඩුල්කාර් පදනම සමග කරන වැඩ කටයුතු, සහ විවිධ සන්නාම සමග ඇති කරගත් ගෙවන ලද සහයෝගීතා පිළිබඳ තොරතුරු දක්නට ලැබේ. 

සාරා උපන්නේ 1997 ඔක්තෝබර් 12 වැනිදා මුම්බායි නුවරදී ය. සාරා ගේ මව අංජලී ය. සාරා ගේ මිත්තණිය ඇනබෙල් මෙහෙතා බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති තැනැත්තියකි. ඇනබෙල් මෙහෙතා සාරා ගේ සීයා වන ආනන්ද් මෙහෙතා සමග විවාහ වීමෙන් පසු ඉන්දියාවට පැමිණ තිබේ. සාරාට බාල සොහොයුරෙක් සිටී. ඔහු අර්ජුන් තෙන්ඩුල්කාර් ය. සාරා සුරතල් සතුන්ට ප්‍රිය කරන අතර - ඇයට බළල් සුරතලු‍න් තිදෙනකු, බලු‍ සුරතලු‍න් දෙදෙනකු සහ සුරතල් මසුන් සිටින බව පැවැසෙයි. ක්‍රීඩාවට සහ ශරීර සුවතාවට ඇය ඉතා ප්‍රිය කරයි. ඇය වැඩි කාලයක් ගත කරන්නේ ශරීර සුවතා මධ්‍යස්ථානවල ය. සාරා ඉන්දීය කෑම වර්ගවලට පමණක් නොව, ජපන් සුෂීවලටත්, ඉතාලි කෑම වර්ග වලටත් විශේෂයෙන් කැමැත්තක් දක්වන තරුණියකි. සාරා ටෙන්ඩුල්කාර් ගේ ප්‍රියතම සංචාරක ගමනාන්තයන් වන්නේ බාලි සහ ඉතාලියයි. 

ෆෙමිනා ඉන්දියා සඟරාව මෙම තොරතුරු අනාවරණය කරයි. 

ලු‍සිත ජයමාන්න
එන්.ඩී.ටීවී ඇසුරිනි