ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගය ඇරඹෙන්නේ එළැඹෙන බදාදා දිනයේ, එනම් 25 වැනිදාය. පළමු තරගය නිමාවට පත්වීමට පෙර මේ සටහන ලියැවෙන නිසා, එහි ප්‍රතිඵලය ගැන අවධානයක් යොමු කළ නොහැකිය. එහෙත් පළමු ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශය හොඳින් පන්දුවට පහරදුන් අතර, ශ්‍රී ලංකාව පැත්තෙන් පන්දු රැකීමේ සහ පන්දු යැවීමේ දුර්වලතා දැකගත හැකි විය. එහෙත් තරගයේ තෙවැනි දිනයේ දී ශ්‍රී ලංකා පිතිකරුවෝ හොඳින් පන්දුවට පහර දුන්හ.
පළමු තරගයේ දී ආරම්භක පිතිකරු ස්ථානය ළහිරු උදාරට ලබා දීමට තේරීම් කමිටුව තීරණය කර තිබුණි. එය සිදුවිය යුතු දෙයක් වූයේ, අප පසුගිය සතියේ කියූ පරිදිම, ඕෂධ ප්‍රනාන්දු ලැබෙන අවස්ථාවලදී අසාර්ථක වීම නිසාය. මේ නිසා තේරීම් කමිටුව වර්තමාන රිද්මයට යමින්, අවස්ථාව ළහිරු උදාරට ලබා දුන්නේය. ළහිරු පළමු ඉනිමේ දී තමන්ගේ හැකියාව පෙන්වූ අතර, යම් ආකාරයක කලබලයක් පෙන්වීමෙන් දැවී ගියේය. එහෙත් වඩාත් වටින්නේ, පළමු පෙළ තරගවලදී කාලයක් තිස්සේ ලකුණු අතර සිටි, එසේම අවස්ථාවක් ඉල්ලමින් සිටි ක්‍රීඩකයෙකුට අවස්ථාව ලැබීමයි. මේ නිසා දෙවැනි තරගයේ දී ළහිරු උදාරගෙන් විශාල යමක් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටියි. විශේෂයෙන්ම වසර ගණනාවක් පළමු පෙළ ක්‍රීඩා කළ අයෙකු, තමන්ගේම රටේ දී පළමු ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කරද්දී විශාල චකිතයක් ඇති නොවේ. එය වාසියකි. ළහිරු මේ වාසිය දෙවැනි තරගයට ගෙන ආ යුතුය.
පළමු තරගයේ දී දේශීය තරගාවලියේ දී වැඩි කඩුලු ගණනක් ලැබූ අකිල ධනංජය වෙනුවෙට දකුණතින් පිට දඟ පන්දුත් වමතින් පා දඟ පන්දුත් යනව තරිඳු රත්නායකට අවස්ථාව ලැබුණි. තරිඳු තමන්ගේ හැකියාවන් දෙකම ප්‍රදර්ශනය කළ, පන්දු යවන ආකාර දෙකෙන්ම කඩුලු ලබා ගත්තේය. කෙසේ වුවද, තරිඳු දකුණත් පිටදඟ පන්දු යවන්නෙකු ලෙස වැඩි වශයෙන් ක්‍රීඩා කිරීම ඔහුටත් කණ්ඩායමටත් වැදගත් වෙනු ඇතැයි අපේ විශ්වාසයයි. පළමු තරගයේ බංග්ලාදේශ පළමු ඉනිමේ දී, කවදත් ශ්‍රී ලංකාව හමුවේ විශ්වාසයෙන් ක්‍රීඩා කරන මුෂ්ෆිකර් රහීම් ශතකයක් ලැබූ අතර, රිද්මය සොයමින් සිටි බංග්ලාදේශ නායක ශාන්තෝ රිද්මය සොයාගත්තේය. මේ දෙදෙනාගේ සම්බන්ධයට ඉඩ සැලසීම ශ්‍රී ලංකාව පැත්තෙන් වූ වැරැද්දයි. ඒ නිසාම තරගයේ ජයග්‍රහණයක අපේක්ෂාවන් තරමක් දුරස් විය. කෙසේ වුවද, පළමු තරගයේ දී ශ්‍රී ලංකාව බලාපොරොත්තු නොවූ ලෙස බංග්ලාදේශයට එරෙහිව සටන් කළේ වේග පන්දු යවන්නන් දෙදෙනාය. මිලාන් රත්නායක සහ අසිත ප්‍රනාන්දු ඉතාම හොඳින් ඉනිම පුරාම පන්දු යැවූහ. මේ දෙදෙනා සමග තව එක් වේග පන්දු යවන්නෙකු ක්‍රීඩා කළේ නම් තත්ත්වය වෙනස් විය හැකිව තිබුණි. අපේ අදහස නම් එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවැනි තරගයට එද්දී ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් පන්දු යැවීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. ඒ අනුව දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාව එක් දඟ පන්දු යවන්නෙකු සමග ක්‍රීඩා කර අතිරේක වේග පන්දු යවන්නෙකු එක් කරන්නේ නම් වාසිය වැඩි විය හැකි බව අපේ අදහසයි. එහෙත් ප්‍රභාත් ජයසූරිය සහ තරිඳු රත්නායක යන දෙදෙනාටම එස්.එස්.සී තණතිල්ල සමග ඇති සම්බන්ධතාව නිසා, දඟ පන්දු යවන්නන් දෙදෙනාම ක්‍රීඩා කිරීමට අවස්ථාව වැඩිය.
පසුගිය වසර දෙකේ දී එස්.එස්.සී පිටියේ දී ටෙස්ට් තරග දෙකක් පැවැත්වුණි. ඒ පාකිස්ථානයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිවය. මේ තරග දෙකෙන් පාකිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර ඇෆ්ගනිස්ථාන තරගය ජයගත්තේය. පාකිස්ථානයට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදී අඩු ලකුණු ගණනකට දැවී ගිය ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේ දී ඇෆ්ගන් කණ්ඩායම අඩු ලකුණු ගණනකට දවා ගැනීමට සමත් විය. මේ අනුව තවමත් එස්.එස්.සී පිටියේ පළමුව පන්දුවට පහරදීමේ අවාසිය දැක ගත හැකිය. වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවිය හැකි නම් තරගයේ වාසිය බොහෝ සෙයින් ශ්‍රී ලංකාව දෙසට යොමු කර ගැනීමට හැකිය. එහෙත් කාසියේ වාසිය පරාජයට පත්වී පන්දුවට පහර දෙන්නට සිදුවුවහොත් නහිද් රාණාගේ වේගපන්දු එස්. එස්.සී පිටියේ පළමු දිනයට දරා ගත නොහැකි වේගයක් වෙනු ඇත.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට මෙවර ලෝක ටෙස්ට් ශූරතාවයේ දී ඇත්තේ තරග 12 ක් පමණි. අනෙක් රටවල් සමග බලන විට එය ඉතා අඩු ප්‍රමාණයකි. මේ නිසා ලැබෙන ටෙස්ට් තරගවලදී වැඩි දස්කම් දැක්විය යුතුවෙයි. එවිට ලැබෙන ටෙස්ට් තරග ප්‍රමාණය වැඩිවෙනු ඇත.
ටෙස්ට් කණ්ඩායම එසේ ක්‍රීඩා කරද්දී, අන්තර් සමාජ විස්සයි20 තරගාවලිය පසුගිය සතියේ නිමාවිය. එහි පළමු කොටසේ ශූරතාව සී.සී.සී. කණ්ඩායම දිනා ගත්තේය. වනිඳු හසරංගගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ සී.සී.සී. කණ්ඩායම වඩාත් පහසුවෙන් අවසන් තරගය ජයගත්තද පානදුර ක්‍රීඩා සමාජයේ විෂේන් හැළඹගේ තම දස්කම් ලියා තැබීමට සමත් විය. තරගාවලිය පුරා දස්කම් දැක්වූ ඔහු, තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරු වූයේ අනෙක් පිතිකරුවන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටිමිනි. එසේම සී.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාවන ලසිත් කෲස්පුල්ලේ සහ නිශාන් මධුෂ්කද තරගාවලිය පුරා ලකුණු අතර සිටියහ. මේ තරගාවලියෙන් මතු වූ ක්‍රීඩකයන් බංග්ලාදේශයට එරෙහි විස්සයි20 තරගවලට ක්‍රීඩා කළ යුතු යැයි කෙනෙකු කියන්නේ නම් එය නිවැරදි නොවේ. එහෙත් මේ ක්‍රීඩකයන් රේඩාරයේ තබාගැනීම අත්‍යවශ්‍යය. විශේෂයෙන් දුෂාන් හේමන්ත පන්දු යවන්නෙකු ලෙස ඉතා හොඳ තරගාවලියක් නිමා කළ බව මතක් කළ යුතුව තිබේ.
සී.සී.සී කණ්ඩායම වැනි දේශීය ක්‍රීඩා පිටියේ අති ප්‍රබල කණ්ඩායමක් විස්සයි20 ශූරතාව දිනාගැනීම අරුමයක් නොවුණ,ද විස්සයි20 තරගාවලියේ දෙවැනි කොටසේ ශූරතාව මැලේ ක්‍රීඩා සමාජය විසින් දිනාගැනීම වඩාත් කතාබහට ලක්වූ සිදුවීම විය. ශ්‍රී ලංකාව නියෝජනය කරන සහ නියෝජනය කළ ක්‍රීඩකයන් රැසක් සිටින එස්.එස්.සී කණ්ඩායමට එරෙහිව අවසන් තරගය ක්‍රීඩා කළ මැලේ කණ්ඩායම, ජයග්‍රහණය තමන් සතු කර ගැනීම සුවිශේෂ අවස්ථාවක් විය. සුවිශේෂ නම් නොමැති මැලේ පන්දු යවන්නන් හමුවේ එස්.එස්.සී කණ්ඩායම ලකුණු 100 කට සීමා වූ අතර වඩත් කල්පනාවෙන් පන්දුවට පහර දෙමින් ශූරතාව දිනා ගැනීමට මැලේ කණ්ඩායම සමත් විය. මැලේ කණ්ඩායම තරුණ ක්‍රීඩකයන්ගෙන් පිරුණු කණ්ඩායමක් වෙන අතර ඔවුන් තරගාවලිය පුරා කණ්ඩායම් හැඟීම උපරිමයෙන් පෙන්වූ කණ්ඩායම බව සමස්ත තරගාවලියට සම්බන්ධ වූ අයගේ අදසයි.
අනෙක් අතින්, වර්තමාන විස්සයි20 රටාව, බය නැති තරුණයන් අතට පත්වෙන බව ශ්‍රී ලංකාවෙන් පෙන්වන සාක්ෂිය බවටද මැලේ කණ්ඩායම පත්ව තිබේ. මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා කැපී පෙනුන අතර එහිදී විස්සයි20 අත්දැකීම් ඇති ක්‍රීඩකයන්ගෙන් මිදී වේගවත් තරුණයන් අතට පත්වෙන බව පළමුව පෙන්නුම් කෙරුණි. මැලේ කණ්ඩායම අන්තර් සමාජ දෙවැනි (බී) කොටසේ ශූරයන් වෙමින් මේ අපූර්වත්වය පෙන්වමින් සිටියි.
කාංචන දසනායක