එදා ඉන්දු ලංකා දුම්රිය සේවය ක්‍රියාත්මක කිරීමට දායකත්වය දැක්වූ ආයතන


මන්නාරම දුම්රිය මාර්ගය උපයෝගී කර ගෙන භාණ්ඩ හා මගී ප්‍රවාහනය ඉක්මවා ගිය ජාත්‍යන්තර දුම්රිය සේවයක් පවත්වා ගැනීම නිසා මේ වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අමතරව ආරක්ෂක, සෞඛ්‍ය, ආර්ථික යන අංශවලට සම්බන්ධ දේශීය සහ විදේශීය රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන රැසක් සිය දායකත්වය දක්වා තිබේ. මේ නිසාවෙන් තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ ඉන්දු ලංකා දුම්රිය සේවය තවත් ආයතන කිහිපයක එකතුවක් බවට පත්වූයේ නිරායාසයෙනි. 

තලෙයිමන්නාරම් තොටුපොළ රේගු කාර්යාලය

ඉන්දු ලංකා දුම්රිය සේවය ආරම්භ කිරීමත් සමග මගීන්ගේ ගමන් මලු පරීක්ෂාවට අමතරව රැගෙන යනු ලබන මෙන්ම රැගෙන එනු ලබන භාණ්ඩ වෙනුවෙන් ද බදු අය කිරීම වෙනුවෙන් රේගු කාර්යාලයක් සහ රේගු නිලධාරී නිල නිවාස පෙළක් තලෙයිමන්නාරම තොටුපොළ දුම්රිය ස්ථානය ආසන්නයේ වෙනම ගොඩනැගිල්ලක පිහිටුවන ලදී. මෙහි සේවය කිරීම වෙනුවෙන් අතිරේක සහකාර රේගු නිලධාරියෙක් 1914 වර්ෂයේදී අලුතින් සේවයට එක් කර ගෙන ඇති අතර, එම නිලධාරියා යටතේ තවත් සහකාර රේගු නිලධාරීන් කිහිප දෙනෙක්ම සේවය කර ඇත. තලෙයිමන්නාරම තොටුපොළ අතිරේක සහකාර රේගු නිලධාරීවරයා සෘජුවම කොළඹ සිටි ප්‍රධාන රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට වගකීමට බැඳී සිටියේය. එසේම සෑම මාස තුනකට වරක්ම මෙහි සේවය කළ සියලුම රේගු නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දී ඇත. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් 1984 වසරේ දී ඉන්දු ලංකා දුම්රිය සේවය අත්හිටුවීමත්, 1990 දී මන්නාරම් දුම්රිය මාර්ගය භාවිතයෙන් අතහැර දැමීමත් සමග තලෙයිමන්නාරම තොටුපොළ රේගු කාර්යාලය ද වසා දැමීමට මෙරට රේගු දෙපාර්තමේන්තුවට සිදුවිය. 

තලෙයිමන්නාරම බාහිර කුලී කම්කරු සේවාව

1914 වර්ෂයේ දී ඉන්දු ලංකා දුම්රිය සේවය ආරම්භ කිරීමත් සමග බාහිර කුලී කම්කරු සේවාවක් තලෙයිමන්නාරම තොටුපොළ දුම්රිය ස්ථානය ආශ්‍රිතව ද ක්‍රියාත්මක විය. එහි ආරම්භ වූ මෙම බාහිර කුලී කම්කරු සේවාවට එක්වී තිබෙන අය ගෙන් බහුතරයක් එවකට මෙරට වතුබිම් වල සේවය සඳහා පැමිණි දකුණු ඉන්දීය ද්‍රවිඩ කම්කරුවන් අතරින් කොටසකි. ඔවුනට Out Side Porter පලඳනාව ලබා නොදුන් අතර, ඒ වෙනුවට ලබා දී ඇත්තේ  Cooly Railway Person – Ceylon Government Railway Talaimannar Pier යනුවෙන් මුද්‍රණය කර තිබූ එඩ්මන්ඩ්සන් ආකෘතියේ කුඩා දුම්රිය ප්‍රවේශ පත්‍රයකි.

මණ්ඩපම් නිරෝධායන කඳවුර

රෝගී වූ වතු කම්කරුවන් ලංකාව හා ඉන්දියාව අතර ගමනාගමනය මගින් රෝග වහනය වීම වැළැක්වීම මූලික අරමුණ කරගනිමින් ඉන්දියාවේ මරික්කාර් පට්ටනම් ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලබන මණ්ඩපම් නිරෝධායන කඳවුර Mandapam Segregate Camp  ලංකාවේ වතුවල සේවයට එන ද්‍රවිඩ කුලී කම්කරුවන් එරටින් පිටත් වීමට පෙර නිරෝධායනය කිරීමටත්, ලංකාවේ සිට යන කම්කරුවන් ඉන්දියාවට ඇතුළු වීමට පෙර නිරෝධායනය කිරීමටත් උපයෝගී කරගන්නා ලදී. දුම්රිය ප්‍රවාහන මාධ්‍යය කර ගනිමින් දෙරට අතර සංක්‍රමණය වන ද්‍රවිඩ වතු කම්කරුවන් සහ සාමාන්‍ය මගීන් මෙම කඳවුරේ තබාගෙන නිරෝධායනය කිරීම සිදුවී තිබේ. 1917 වසරෙන් පසුව වඩාත් විධිමත්ව ක්‍රියාත්මක වී ඇති මෙම මධ්‍යස්ථානය වර්ෂ 1963 පමණ වනතුරු සක්‍රීයව ක්‍රියාත්මක වී ඇති අතර, පසුව ක්‍රමයෙන් මෙහෙයුම් කටයුතු අතහැර දමා ඇත.

ලංකා වැවිලිකරුවන් ගේ සංගමය

මෙරට වාණිජමය වගා ක්ෂේත්‍රයේ නිරතව සිටි වතු හිමියන්ට සිය අභිලාෂයන් විධිමත් පරිදි රජයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් 1854 පෙබරවාරි මස 17 වැනිදා ලංකා වැවිලිකරුවන් ගේ සංගමය ආරම්භ කරන ලදී. මෙම සංගමය 1916 වසරේදී පාර්ලිමේන්තු ආඥා පනතක් මගින් සංස්ථාගත කිරීම සිදුවිය. ඉන්දු ලංකා ඒකාබද්ධ දුම්රිය සේවයක් ආරම්භ කිරීමට ද මෙම සංගමය හරහා කිරීට රජය වෙත විටින් විට යෝජනා ඉදිරිපත් වූයේ - 1855 තරම් ඈත කාලයක දී ය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 1914 වර්ෂයේ දී ඉන්දු ලංකා ඒකාබද්ධ දුම්රිය සේවය ආරම්භ කිරීමයි. ඉන් අනතුරුව වතු බිම්වල සේවය සඳහා පැමිණෙන සහ සේවය අවසන් වී නැවත මෙරටින් පිටවී යන ඉන්දීය ශ්‍රමිකයන්ට ප්‍රමාණවත් හා වඩාත් පහසු මෙන්ම විධිමත් ප්‍රවාහන මාධ්‍යයක් නිර්මාණය වීම සිදුවිය. 

බ්‍රිතාන්‍ය – ඉන්දීය වාෂ්ප නෞකා සමාගම 

BISNC සමාගම ලංකාව සහ ඉන්දියාව අතර මගී සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් එකතු වන්නේ 1912 වසරේ පමණ සිටයි. පළමුවෙන්ම ඉන්දියාවේ තුතිකොරින් හෙවත් තූත්තුකුඩිය සිට ලංකාවේ කොළඹ වරාය දක්වා මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුකර තිබෙන මෙම සමාගම 1914 වසරේ දී ඉන්දු ලංකා ඒකාබද්ධ දුම්රිය සේවය ආරම්භ කිරීමෙන් පසුව ඉන්දියාවේ ධනුෂ්කොඩිය සිට ලංකාවේ තලෙයිමන්නාරම තොටුපොළ වරාය දක්වා මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සිදුකර තිබේ. 1964 සුළි කුණාටුවෙන් පසුව රාමේෂ්වරම සහ තලෙයිමන්නාරම තොටුපොළ වරාය ලෙස එම ගමනාන්ත වෙනස් වූයේය. ඉන්දු ලංකා දුම්රිය සේවය අවසන් වන තුරුම ධනුෂ්කොඩිය හා රාමේෂ්වරම සිට තලෙයිමන්නාරම තොටුපොළ දක්වා මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් මෙම ආයතනය විසින් ඉටුකර තිබේ.

තලෙයිමන්නාරම් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලය

තලෙයිමන්නාරම් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයට අනුයුක්තව සිටි සෞඛ්‍ය නිලධාරිවරයා ගේ මූලික රාජකාරිය වී ඇත්තේ ඒකාබද්ධ දුම්රිය සේවය මගින් සිය ප්‍රවාහන පහසුකම් සපයා ගන්නා මගීන්ට ඇතිවන සුළු අසනීප තත්ත්ව වැනි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් මූලික ප්‍රතිකාර ලබාදීම සහ වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වෙතොත් ඒ සඳහා ඔවුන්ව රෝහල් වෙත යොමු කරවීමයි. 1963 වසරේ ජනවාරි මස 31 වැනි දින තලෙයිමන්නාරම්තොට සෞඛ්‍ය කාර්යාලයට අනුබද්ධ නව නිරෝධායන රෝහල විවෘත කරන ලදී. මේ අතර 1964 වසරේ හමාගිය ප්‍රබල සුළි කුණාටුවෙන් පසුව කෙටි කාලයක් සඳහා තලෙයිමන්නාරම්තොට සෞඛ්‍ය කාර්යාලයේ රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවන්නේ ඊට අනුබද්ධ නිරෝධායන කඳවුරට සහ ආරෝග්‍ය ශාලාවට සිදුවූ දරුණු හානිය නිසාවෙනි. පිළිසකර කිරීම් වලින් අනතුරුව කෙටි කාලයකට පසු එහි රාජකාරි කටයුතු නැවත ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව

1914 වර්ෂයේ මාර්තු මස 01 වැනිදා සිට ලංකාව හා ඉන්දියාව අතර ලිපි හුවමාරු කිරීමේ ප්‍රධානතම මාධ්‍ය වශයෙන් නව ඉන්දු ලංකා ඒකාබද්ධ දුම්රිය සේවය උපයෝගී කරගැනීම ආරම්භ වූයේය. මෙහිදී තලෙයිමන්නාරම් තොටුපොළ සහ ධනුෂ්කොඩිය අතර මුහුදු සීමාව තුළ British India Steam Navigation Company (BISNC)  සමාගමට අයත් යාත්‍රා සේවය මගින් තැපැල් මලු ප්‍රවාහනය කිරීම සිදුවිය. ධනුෂ්කොඩිය සිට මදුරාසිය දක්වා වන ගොඩබිම් සීමාව තුළ දක්ෂිණ ඉන්දීය දුම්රිය සේවය Southern Indian Railway  ට අයත්  Boat Mail Express දුම්රිය මගිනුත්, තලෙයිමන්නාරම් තොටුපොළ සිට කොළඹ කොටුව දක්වා වන ගොඩබිම් සීමාව තුළ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත්  තෛලෙයිමන්නාරම් රාත්‍රි දුම්රිය නම් දුම්රිය මගිනුත් තැපැල් මලු ප්‍රවාහනය කිරීම සිදුවිය. 

මේ වෙනුවෙන් ඉහත සඳහන් කළ දින සිට අදාළ දුම්රිය ගමන්වාර සඳහා ජංගම තැපැල් මැදිරියක්  Travaling Post Office - TPO එක් කිරීමත් සිදුවිය. මෙම තැපැල් සේවාව හරහා හුවමාරු වූ ලිපි කවර අදටත් කොළඹ ජාතික තැපැල් කෞතුකාගාරයේ මුහුදු තැපැල් අංශයේ ප්‍රදර්ශනයට තබා ඇති ආකාරය දැකගත හැකිය. 

පසුව දෙරට අතර දුම්රිය මගින් සිදුකළ ලිපි හුවමාරු කිරීමේ සම්පූර්ණ වගකීම නව ගුවන් තැපැල් සේවයට පවරමින් 1942 වසරේ මැද භාගයේදී ඉන්දු ලංකා මුහුදු තැපැල් සේවය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යව ගියේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ තලෙයිමන්නාරම් තොටුපොළ රජයේ පශු වෛද්‍ය සේවය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ධූමායන සහතික නොමැතිව ඉන්දු ලංකා දුම්රිය සේවය භාවිතා කරමින් තලෙයිමන්නාරම් තොටුපොළ හරහා ඉන්දියාවේ සිට ලංකාවට ශාක වර්ග ආනයනය කිරීම තහනම් කර තිබුණි. එසේම එම සහතිකය නොමැතිව මෙරට ශාක වර්ග ඉන්දියාව වෙත යැවීම ද තහනම් වූයේය. ඊට අමතරව සුනඛයින්, අශ්වයින්, කොටළුවන් සහ පරවියන් වැනි සතුන් මෙම දුම්රිය සේවය භාවිතා කරමින් මෙරටට රැගෙන ඒමේදී සෑම විටෙකදී ම සුදුසුකම් ලත් පශු වෛද්‍යවරයෙකුගේ පරීක්ෂණ සහතිකයක් මගින් එම සතුන් පිළිබඳව විස්තරාත්මකව තොරතුරු සඳහන් කළ යුතු වූ අතර, එම සතුන්ව ඉන්දියාවෙන් නැව්ගත කිරීමට පෙර රෝග වලින් තොර බව සහතික කර තිබිය යුතුය. මෙම නිලධාරීන් ගේ ප්‍රධාන වගකීම වී ඇත්තේ මෙම ඉන්දු ලංකා දුම්රිය සේවය හරහා මෙරටට ප්‍රවාහනය කරන සතුන්, ශාඛ සහ වෙනත් පැළෑටි විශේෂ වැනි දෑ මෙරට පරිසරයට හානිදායක නොවන බවට තත්ව සහතික නිකුත් කිරීම සහ එසේ හානිදායක විය හැකි ශාක වර්ග හා සතුන් ලංකාවට රැගෙන ඒම වැළැක්වීමයි.

(ලබන සතියේ තලෙයි මන්නාරම් මාර්ගයේ දුම්රිය ධාවනයට එල්ල වූ අභියෝග සහ ඉන්දු ලංකා ඒකාබද්ධ දුම්රිය සේවය අඩපණ වීම.)

එම්.ජී. නාපේවිතාන