එකට උපන් එක වගේ කුමාර වරුන් දෙන්නා


වීර පරාක්‍රමබාහු හෙවත් අටවැනි පරාක්‍රමබාහු ලෙස රජ පදවිය ලබන්නේ අම්බුළුගල කුමාරයා ය. අම්බුළුගල කුමාරයා වූයේ සපුමල් කුමාරයාගේ සොහොයුරා ය. සපුමල් ද අම්බුළුගල ද ඒකාත්මිකව කරන ලද ජාතික සටන නිසා සයවෙනි පරාක්‍රමබාහු කෝට්ටේ යුගයට ආරම්භය ගෙන එමින් රජ ​ෙවන්නේ ය. මේ තිදෙනා ම කුඩා වියේ පටන් ලෙන්ගතු බැඳුමෙන් හැදී වැඩුණු මලයාලම් පරපුරකින් සිංහලකරණය වූ කුමාරවරුන් තිදෙනෙකි. එත් තිදෙනා ලක් ඉතිහාසය තුළ වැජඹෙන්නේ ද්‍රවිඩ ජාතිවාදී ආක්‍රමණයට එරෙහිව සිංහල ජාතික ප්‍රාර්ථනාව මුදුන්පත් කළ චරිත තුනක් ලෙසය.

ඒත් සයවැනි පරාක්‍රමබාහු රජතුමා රජපද සමය ඇරඹීමත් සමඟ මෙම තිදෙනාගේ හෘද බන්ධන පුපුරා ඇද වැටුනහ. ඉතිහාස පොත පෙළින් පෙළ කියවන විට පුදුමාකාර වියෝගයක් ද මේ තිදෙනා අරභයා දිස්වේ. ඒ සවෙනි පරාක්‍රමබාහුට ඔටුන්න උරුම කිරීමට පුත්‍රයෙකු නොවීම ය. ඒ අනුවේදනාව සවැනි පරාක්‍රමබාහුට පසු හත්වැනි බුවනෙකබාහු නමින් රජවන සපුමල් කුමරුට ද අටවැනි පරාක්‍රමබාහු හෙවත් වීර පරාක්‍රමබාහු නමින් රජ පද ලබන අම්බුළුගල කුමරුට ද පොදු වූ එකම දුක්ඛ දොම්නසක් විය. ඒත් මේ ලෙන්ගතු තිදෙනා ම පුතුන් නැතිව ශෝක බරිත වූ ලෙස ම ඔවුන් අතර, තවත් සමානතාවයක් දිස්වේ. ඒ සවැනි පරාක්‍රමබාහුට රජ ​ෙවන්නට දිවිය කැප කළ සපුමල්ට රජ වීමට සවැනි පරාක්‍රමබාහු බාධා කිරීම ය. එලෙසම සපුමල්ට රජ ​ෙවන්න දිවි කැප කළ අම්බුළුගල කුමරුට රජවීමට ද සපුමල් බාධා කළේය. අම්බුළුගල කුමරුට අවසානයේ උරුමය වුයේ ද ඒ උරුමය ය.   


ඒත් මෙහි අපූරුව ​ෙවන්නේ තිදෙනා අතරින් මහත් දුක් දොම්නසක් එකතු කළ ඉතිහාසයෙ අනුවේදනාව අම්බුළුගල රජතුමා තුළින් හමු වීම ය. ඔවුහු රජ වන්නේ එක දිගට ම පුතුන්ට රජකම පවරන්න නොහැකි වූ රාජ යුගයක රජවරු ලෙස වෙති. තිදෙනාගේ ම පැතුම වූයේ ද පුත් කුමරෙකු රජ පදවියට පත් කර ලක් කිරුළ තම ජාන උරුමයට ලියා තබා ගන්නට ය. ඒත් කෝට්ටේ යුගයේ කිසිදු රජෙකුට මේ වරම හිමි නොවීම ද කෝට්ටේ යුගය සමග අතිනත බැඳ ගෙන ඇති තවත් සුවිශේෂී සිදුවීමකි. සවැනි පරාක්‍රමබාහු ආරම්භ කොට දොන් ජුවන් ධර්මපාලගෙන් අවසන් ​ෙවන කෝට්ටේ සමය නිමා ​ෙවන්නේ එහි රජ පද දැරූ බහුතරයක් පුත්‍ර වියෝගයට පාත්‍රව ය.   


මේ අතර අටවැනි පරාක්‍රමබාහු හෙවත් අම්බුළුගල කුමරුට පුතුන් සිටිය ද ඔවුන්ට කිරුළ උරුම කර දෙන්නට අපොහොසත් වූ රජු ය. අම්බුළුගල කුමරු රජ වූ ආසන්නයේ ම ඔහුගේ අග බිසෝ මිය ගිය අතර, දෙවැනි බිසෝවට පුතුන් ලද්දේ ය. ඈ ලද පුතුන් දෙදෙනා නිවුන් පුත් කුමාරවරු වූහ. දෙටුපත් කුමරු “සකලකලා අභය” නමින් ද කණිටු පුත් “තමවල අභය” නමින් ද නම් වූයේ ය. උපතින් නිවුන් සොයුරන් වූ සෙයින් ම ඇවතුම් - පැවතුම්වලින් සකලකලා අභය සහ තමවල අභය හෘද සමාන සොයුරන් මෙන්ම ප්‍රාණ සමාන මිතුරන් සේ ද විය. තම පිය රජ මෙන් ම මනකාන්ත රූ වරුණාවෙන් ද ප්‍රතාපවත් පුරුෂ ලකුණින් ද සාරසුබා පුරුෂ කුමරුන් විය. එත් මිතුරන් සේ සමරිසි ගුණව දිවි ගෙවූ සකලවල අභය මෙන්ම තමවල අභයව රාජ නෑ පරපුර අතර ඊර්ෂ්‍යාවට ද ක්‍රෝධයට ද ලක් විය. අම්බුළුගල හෙවත් අටවැනි පරාක්‍රමබාහුගේ මිය ගිය අග බිසෝගේ ඥාතීන්ගේ එකම වෑයම වූයේ පිය-පුතුන් දුරස්කර තැබීම ය.   


මිතුරන් සේ හැසිරෙන එකම යහනේ, එකම කුටියේ දිවිගෙවන, එකම උසින් යුතු එකම පැහැයේ අශ්වයන් මත නැඟී යන මේ ගැටවර කුමරුන් දෙදෙනා එකල ජනතාවට ද පුදුමයකි. ඔවුන්ට මිතුරන් නොවීය. එත් රණ භූමියට ඔබින දස්කම් - විස්කම්වලින් කුමරුන් දෙදෙනා ම සමානයෝ වූහ. මෙලෙස වැඩුණු ස්වකීය පුතුන් දෙදෙනා මතු දිනෙක රජ පදවියට ගෙන ඒමට පළමු පියවර ලෙස ඔවුන්ට ප්‍රාදේශීය රජ පදවිය පිරිනමන්නට පිය රජුට හැකි විය. ඒ අනුව සකලකලා අභය උඩුගම්පොල රජ ලෙස ද තමවල අභය මාදම්පේ රජ ලෙස ද ප්‍රභූ රාජ කුමරුන්ව ඒ ප්‍රදේශ තුළ වැජඹෙන්නට වූහ.   


මෙම සමය සටන්කාමී මුස්ලිම් ආක්‍රමණය උතුරු භාරතය ද මධ්‍යම භාරතය ද තම අණසකට ගෙන තිබූ කාලය ය. ඒ අනුව මුස්ලිම් වෙළෙඳ සේනාවක් එක්විටම ලංකාව ආක්‍රමණය කරන්න පටන් ගත්තේ ය. ඒ කායෙල්පට්ටලමේ අයිරායන ලෙබ්බේගේ නායකත්වයෙනි. අයිරායන මහත් වූ මුස්ලිම් සේනාව සමඟ ලක්දිවට විත් බලහත්කාරයෙන් හලාවත මුතු පරය අත්පත් කර ගත්තේ ය. මේ සිදුවීම් සිදුවන විට අටවැනි පරාක්‍රමබාහු මියගොස් ය. ඔහු මිය යාමත් සමඟ ඔහු පුතුන්ට රජ පදවිය නොලැබී ගියේය. රජුගේ මිය ගිය අග බිසෝගේ දුවණිගේ පුතු ධර්ම පරාක්‍රමබාහු නමින් රජ පද ලැබ සිටියේ ය. ඒ නිසාම මේ නිවුන් කුමාරවරු දෙදෙනා රාජ්‍ය පාලනයෙන් කොන්කර තබා තිබුණේ ය. ඒත් සිදුවූයේ අයිරායනගේ මුස්ලිම් කොල්ල කල්ලියට වේගයෙන් සිරිලක වෙ​ෙළඳ තොටමුණ යටත් වීමය. හලාවත මුතු තොටමුණින් පටන් ගෙන මන්නාරමේ සිට ඔහු රට වටා තම අණසක විහිදවන්නට විය. එයින් කෝට්ටේ රාජධානියේ ආදායම් මාර්ග වැසී ගියේය. එක් අතකින් පෘතුගීසින් ද රට වට කරමින් කෝට්ටේ රාජධානිය ගිල ගන්නට මාන බලමින් සිටියේ ය. මේ සියල්ල තුළ ලද බොළඳ ධර්ම පරාක්‍රමබාහුට උපාය ක්‍රියාමාර්ග හෝ අලුතින් සිතා කිසිවක් කරන්න පුහුණුවක් හෝ සිතුවිලි ද නොවීය. ඔහු අවසානයේ ආයාචනා කළේ තමන් පැහැරගත් සිංහල කිරුළේ උරුම කුමරුව පසෙකට තල්ලුවී ගිය සකල කලා අභය සහ තමවල අභයට ය.

 
“කායෙල්පට්ටලමේ අයිරායන ලෙබ්බේගේ” ආක්‍රමණය සිඳ දමන්නට මේ නිවුන් කුමරුන් එක් වූයේ ය. අතිශය රණකාමී ද කෲර ද වූ මුස්ලිම් බලමුළු සිඳ බිඳ දැමීමට සම්මත රාජ හමුදා බියව සිටියේ ය. භාරත සමාජ පෙරමුණ බිඳගෙන ලක්දිවට ගොඩබැස සිටි අයිරායනගේ බල කල්ලිය ඒ තරමට බියමුසු කෲර වෙ​ෙළඳ චෞර කල්ලියක් විය. ඒත් අභය සොහොයුරන් දෙමුණෙන් ගොස් මුස්ලිම් සේනාව මැද කොට වට කොට සිඳ බිඳ වනසා දැමූ ආශ්චර්ය එකල ලක්වැසි දන මන තුඩ පුබුදු කළ සිදුවීම වී ඇත. ඒත් රට සතර ඉම තුටු කරමින් නිවුන් කුමරුන් ලද ජය උද්දාමයට වඩාත් බිය වූයේ කෝට්ටේ රජ ගෙදර ය. ඒ භිතීය තවත් දෙගුණව දැනී ඇත්තේ පෘතුගීසින්ට ය. දුර්වලව යමින් තිබූ කෝට්ටේ සිංහල රජ පෙළපතට මෙමඟින් යුද විකුමැති රාජ උරුම කුමරුන් දෙදෙනකු මතු වෙතැයි ඔවුහු වඩාත් බිය වූහ. “සකලවල අභය කුමරු” ද, “තමවල අභය කුමරු” ද ධර්ම පරාක්‍රමබාහු හමුව තම යුද ජය වාර්තා කිරීමේ රාජ චාරිත්‍රයට ආයේ දැවැන්ත මුතු සම්පතහි ඵල ද දරාගෙන ය. වීර විකුමැති නිවුන් කුමරුන් කෝට්ටේ රාජ මැදුරට නීල අශ්වයන් පිට නැගී පැමිණ ඇත. එම විසිතුර නැරඹීමට කෝට්ටේ නුවරට එකල පැමිණි ජනී ජනයා නිසා නුගේවිල ද බෙලිවිල ද දිය සිඳී ගිය බව අතීත තතුවල වාර්තා වේ. 

 
මේ නුගේවිල නම් නුගේගොඩ ය. බෙලිවිල නම් බෙල්ලන්විල ය. එකල කෝට්ටේ අගනුවරට දිය දුන් විල් දෙක වූයේ මෙම විල් ය. ඒ තරමට මහජන සෙනඟක් නුවර ඒම විල් දෙක ක්‍ෂණිකව සිඳී යන්නට හේතුව වී ඇත. මෙතරම් ජය උද්දාමයක් පළ කළේ රාජ්‍යයත්වය පිළිබඳ ජනතා ප්‍රාර්ථනාව බව වැටුහුණු ධර්ම පරාක්‍රමබාහු යුද ජය සැලකළ කුමාරවරු වහා නුවරින් උඩුගම්පල ද මාදම්පේ බලා ද පිටත් කර යැවූහ. නිවුන් කුමරුන්ට ජනතාව ජන උද්දාමයෙන් අාචාරය පළකරන විට රජ ඔවුන්ට සමු දී දියවන්නා රාජාංගණයෙන් පිටත්ව ඇත.   
කිසිදු තාන්න මාන්නයකට ලොබ බැඳ නැති “සකලකලා අභය” ද, “තමවල අභය” ද නිහඩවම තම ප්‍රදේශ කරා ගමන් කර තිබේ. ඒත් මේ රාජ කුමරුන් දෙදෙනාට කුමක් සිදුවූවා ද? උඩුගම්පොළ අයත් වන්නේ අලුත්කූරු කෝරළේ දාසිය පත්තුවට ය. “සකලකලා අභය” කුමාර තෙමේ එහි තනවා තිබූ නුවර අදත් උඩුගම්පොල භූමියේ පොළෝ ගැබ මත වේ. මතුපිට මදින් මද එහි ප්‍රතාපවත් නටබුන් ද වේ. මේ කෝරළය පිළිබඳ “කඩඉම් විත්ති” කෘතිය ද සඳහන් කරයි. මෙකල ද මහත් නගර මැද උඩුගම්පොල සහ මාදම්පේ ප්‍රචලිත භුමි ප්‍රදේශය. මේ සමයේ ද රට බබලවන චරිත ගණනාවක් මෙම ප්‍රදේශ දෙක තුළින් බිහිව දායාද වී ඇත්තාහ. එත් ප්‍රශ්නය අම්බුළුගල කුමරු හෙවත් අටවැනි පරාක්‍රමබාහු රජතුමාගේ නිවුන් පුත් කුමරු දෙදෙනාට ඉන්පසු කුමක් වූවේද? ඔවුහු විවාහ පාත්‍රව නොසිටි බව ද සැලවේ. ඒ නිවුන් දෙදෙනාගේ සමරිසි බව සමග සමාන වන කුමරියන් නොලද නිසා වන්නට ද ඇත. සොයුරු ආලයෙන් ආතුරව පූර්ණ හෘද බන්ධනයෙන් පිරිපුන් මේ නිවුන් සොයුරන්ට සැබැවින්ම කුමක් ​ෙවන්නට ඇතිද? මෙම නිවුන් කුමරුන් අතීත තතු විත්ති අතර දී හමු වී ඔවුන් අරභයා අවසානයක් නැති ප්‍රශ්නයක් නැඟුණු විට ඉතිහාසය මෙපමණ ශෝකාන්තයක් ශේෂ කොට ඇත්තේ මන්දැයි සිතේ.   


අතීත කාමයට වැදී ශාස්ත්‍රකාමීව ඇවිද ගිය ද හෘද බන්ධනය සහිත බැඳීමක් තුළ ඒ ජීව බන්ධන ගුණ සුවද, රුවගුණ, සංවේදනා ද, අප තුළ උත්පාදනය වන විට උපදින්නේ ශෝකී සිතුවිල්ලකි. “සකලකලා අභය” මෙන්ම ඔහු සොයුරු “තමවල අභය”ට රජ පදවි නොලැබීම වෙනම කතාවකි. නමුත් ඉතිහාසය ඔවුන් උපත ලද තැන සිට මරණය දක්වා ගිය අපූරුව ලියා නොතැබීම මහත් අඩුවකි. අප හමුවේ නැති ඔවුන්ගේ ශේෂ ඉතිහාසය තුළින් අහිමිව ඇත්තේ මෙරට ජාතික ඉතිහාස පරිච්ඡේදයකි. එම නිසා ක්‍රි.ව. 1556 සිට අවම තරමින් පනස් වසක් ලක් ඉතිහාසට මුල චරිත ද්විත්වයක් වූ නිවුන් කුමරුන් දෙදෙනා සොයාගත යුතුය. එය නොවන කල ඒ සමයේ ඉතිහාස පරිච්ඡේද වටහා ගත නොහැකිය. තිබෙන ඉතිහාසය ද අමතක කරන රටක නැති ඉතිහාසයක් පිළිබඳ සොයා යෑම විහිළුවකැයි සිතෙනු ඇත. නැත. ඉතිහාසය අමතක ​ෙවන්නේ මෙවැනි හිස්තැන් බහුල වූ විටය. ලක්දිව ඉතිහාසකරණයේ නේතෘ මහානාම හිමි ඇති කළ හිස්තැන් නැති ඉතිහාස කථාව මහාවංශය විය. එත් එයට චූලවංශය එක් වු දා පටන් ඉතිහාසය හිස් තැන්වලින් පිරී ඇත. ඒ නිසාම හිස් තැන් ඇති ඉතිහාසය අමතකව ඇත. ඒ අනුව සකලකලා අභය ද තමවල අභය ද ඉතිහාසයෙන් වසන් කර ඇත්තේ ඒ හිස්තැන්වලින් පිරි ඉතිහාස පොතය.

 

 

සටහන
සුජිත් අක්කරවත්ත