උපතින් රුගෙන එන පෙරභව ලෙඩ රෝග


  • පෙර භවයෙන් ගෙනන රුධිර වමනය 
  • හිසෙන් ලේ ගලමින් උපන් දරුවෙක් 
  • ඉදිමුණු දෙපා එක්ක ඉපදුණු දරුවා 
  • පෙර භවයේ සෙම් රෝග එක්ක උපන් දැරිය 

 

මේ දිනවල පැතිර යන ලෙඩ රෝග පිළිබඳව සෞඛ්‍ය අංශ මගින් ජනතාව දැනුවත් කිරීමේ වැඩටසහන් ක්‍රියාත්මක කෙරේ. ඇතැම් රෝග විනිශ්චය කර ගැනීමද අපහසුවී ඇත. මේ නිසා කල් ඇතිව රෝග නිධාන සොයා ගැනීමට උනන්දු වන ලෙස අවවාද කරනු ලැබේ. වෛද්‍ය අංශ කොතරම් දියුණු තත්ත්වයක තිබුණද ඇතැම් රෝග විනිශ්චය  කරගත නොහැකි වන අවස්ථාද ඇත. එවැනි අවස්ථාවල දී වෛද්‍ය අංශ දැඩි ලෙස විවේචනය වන බැව්ද ඇතැම් විට දක්නට ලැබේ. 

පුනර්භව පර්‌යේෂණවල දී අනාවරණය වන පෙර භවය හෙළි කළ ඇතැම් දරුවන්ගේ ලෙඩ රෝග විනිශ්චය කිරීම වෛද්‍ය අංශවලට අපහසු වූ අවස්ථා තිබේ. එවැනි දරුවන්ගේ එම රෝගී තත්ත්වයන් පෙර භවය හා සම්බන්ධ බවට සාධක අනාවරණය වූ අවස්ථා ඇත. ඇතැම් විට ඔවුන්ට ඇතිවූ රෝගී තත්ත්වයන් උපතින්ම ඇතිවූ එවා (BY BIRTH) යනුවෙන් ද හඳුන්වනු ලැබේ. 

මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාඥයන් සහ මනෝ විද්‍යාඥයන් එකතුව සිදුකරනු ලබන පර්‌යේෂණ REINCARNATION AND BIOLOGY යනුවෙන් ද විමර්ශනය කෙරේ. 

ජීව විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාවට අදාළව සිදු කරනු ලබන පුනර්භව පර්‌යේෂණ ලොව රටවල් රැසකින් එළි දක්වා ඇත. මේ පිළිබඳ දිගින් දිගටම පර්‌යේෂණ පවත්වන ලොව ප්‍රධාන පෙලේ සරසවි රැසක් තිබේ. ඒ අතරින් ඇමරිකාවේ වර්ජීනියා විශ්වවිද්‍යාලය ප්‍රධාන තැනක් ගනී. එහි හිටපු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් ද පුනර්භව සාධක පර්‌යේෂණ රැසක් සිදුකර ඇත. මෙවැනි පුනර්භව සාධක හෙළිවූ රටවල් අතර ඉන්දියාව, බුරුමය, තායිලන්තය, ජර්මනිය, එංගලන්තය, ලෙබනනය යන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත්වී ඇත. 

පුනර්භව  පර්‌යේෂණවලට යොමුවූ ලෙඩ රෝග පිළිබඳ විමර්ශන ILLNESSES OF SUBJECT CORRESPONDING TO ILLNESSES AND CONDITIONS OF SUBJECTS CORRESPONDING TO PREYIOUS LIVES  යනුවෙන්ද හඳුන්වාදී තිබේ. තවත් විටෙක ලෙඩ රෝග සම්බන්ධ පුනර්භව සාධකවලින් අනාවරණය වූ සිදුවීම් INTERNAL DISEASES RELATED TO PREVIOUS LIVES  යනුවෙන් ද පර්‌යේෂණ වාර්තාවලට ඇතුළත් කර තිබේ. 

පෙරභවයේ පැවැති රෝගී තත්ත්වයන් එලෙසින්ම පෙරභවය හෙළිකළ දරුවන් මගින් හෙළිවූ ලෙඩ රෝග අතර හෘදය සම්බන්ධ රෝග, චර්මය සම්බන්ධ රෝග, උදරාබාධ සම්බන්ධ රෝග සහ ඇස් පෙනීම දුර්වල වූ අක්ෂි රෝගීහු ද ඇතුළත් වී තිබේ. ඉන්දියාවේදී උපත ලද දරුවකුගේ උපතින්ම චර්මයේ ගැටිති හටගැනීම දක්නට ලැබිණි. සුක්ලා නම් එම දරුවා පිළිබඳව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී එයට හේතු සොයාගැනීම වෛද්‍ය අංශවලට දුෂ්කර වීය. පසුව එම දරුවා පෙරභවය අනාවරණය කරමින් පෙරභව ජීවිතයක තොරතුරු හෙළි කළේය. එහිදී සනාථ වූයේ පෙරභවයේ එම තැනැත්තාගේ ද චර්මයේ ඒ අයුරින්ම ගැටිති පිහිටා තිබියදී ඔහු මරණයට පත්ව ඇති බවය. 

බ්‍රසීලයේදී උපත ලද දරුවකු පෙරභවය අනාවරණය කරනවිට එම දරුවාගේ උපතින්ම ඇස් පෙනීමේ දුර්වලතාවක් දක්නට ලැබුණි. උපතින්ම ඇතිවූ අක්ෂි රෝගයක් ලෙස වෛද්‍ය අංශ එය හඳුන්වනු ලැබීය. එම දරුවා හෙළි කළ පෙරභව ජීවිත තොරතුරු විමර්ශනය කිරීමේ දී පෙරභවයේ මරණයට පත්වූ තැනැත්තාද අක්ෂි රෝගයකින් පෙළෙමින් සිටි බැව් තහවුරු කර ගැනීමට හැකිවිය. 

ඇමරිකාවේදී උපත ලද දරුවෙකුට ද අක්ෂි දුර්වලතාවක් නිසා ඉතා කුඩා කලදීම උපැස් යුවල පාවිච්චි කිරීමට සිදුවිය. ඔහු අනාවරණය කළ  පෙරභවය පිළිබඳ සිදුකළ පර්‌යේෂණයේ දී අනාවරණය වූයේ පෙරභවයේ දී වයස අවුරුදු හතරේදී මියයන විට අන්ධව සිටි බවය. 

තුර්කියේ දී උපත ලද දැරියක උපතින්ම ඇගේ දෙපා ඉදිමී ඇති බවක් දක්නට ලැබුණි. ඒ පිළිබඳව දැරියගේ මාපියෝ වෛද්‍ය අංශවලට ඇයව ඉදිරිපත් කළ නමුත් දැරියගේ දෙපා ඉදිමීමට හේතු ඉදිරිපත් කිරීම වෛද්‍ය අංශවලට අපහසු විය. පසුව ඇය හෙළි කළ පෙරභරයේ ජීවිතය විමර්ශනය කිරීමේ දී දරු ගැබක් ඇතිව සිට දරු ප්‍රසූතියේ දී ඇය මරණයට පත් ඇති බැව් සනාථ විය. ඒ අවස්ථාවේ ඇයගේ දෙපා ඉදිමී තිබූ බැව් තහවුරු විය. එම සිදුවීම අදාළව මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදු කළ පර්‌යේෂණයේ දී එය සඳහන් කර ඇත්තේ පෙරභවයේදී (PREGNANT AT TERM WITH SWOLLEN LEGS DIED BURING LABOR  යනුවෙන් වූ අතර උපත ලද දරුවාගේ දෙපා (SWALLEN AT BIRTH) යනුවෙන් දක්වා ඇත. 

පෙර භවයේ තිබූ රෝගී තත්ත්වයන් පෙරභවය හෙලි කළ දරුවාගේ උපතින් දන්නට ලැබුණු සිදුවීම් කීපයක්ම ශ්‍රී ලංකාවේ පුනර්භව පර්‌යේෂණ අතර ද තිබේ. ඉන් එක් දරුවකු මීට වසර ගණනකට උඩදී කොළඹ දී උපත ලැබීය. එම දරුවා ඉපදී ඉතා කුඩා කාලයේ දී ඔහු තුළින් දක්නට ලැබුණේ අතිශය පුදුමාකාර රෝගී තත්ත්වයකි. එනම් කිරි බීමෙන් අනතුරුව දරුවා වමනය කළේය. ඒ සමගම රත් පැහැති වර්ණයක් මවට දක්නට ලැබුණි. එය පරීක්ෂා කිරීමේ දී මවට තේරුම් ගැනීම අපහසු විය. යළිත් වරක් තවත් දිනෙක ඔහු වමනය කළේය. ඒ මගින් දක්නට ලැබුණේ වමනය සමග රුධිරය පිටවන බවකි. දෙමාපියෝ අතිශය බියට පත්වූහ. දින කිහිපයක් එම අයුරින්ම වමනය කළ දරුවාගෙන් රුධිරය වමනය වන බැව් පැහැදිලි දක්නට ලැබුණි. ඔහු රුධිරය වමනය කරනු ලබන්නේ කිරි බීමෙන් අනතුරුව බවද නිරීක්ෂණය කළ හැකිවිය. 

මේ අතර දරුවා තුළින් දක්නට ලැබුණේ ඔහු මනය කරන අවස්ථාවලදී පපුවට අත තබා කිසියම් වේදනාවක් දැනෙන බවක් නිරූපණය වන බවය. දෙමාපියෝ සිය දරුවා වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළහ. දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරයාට කිසියම් හේතුවක් ඉදිරිපත් කළ නොහැකි විය. ඔහු තරුණ වියට පත්වූ දරුවාගේ එම රුධිරය වමනය නතරවී තිබුණි. 

එහෙත් ඔහු වරින් වර පපුවෙන් වේදනාවක් දැනෙන බව කියන්නට විය. ඒ සමගම තරමට වඩා පැසුණු බුද්ධියකින් ඔහු සිටින බවක්ද දෙමාපියන්ට අවබෝධ විය. ජීප් රථවලට ඔහු දැඩි ඇල්මක් දක්වන බැව්ද දක්නට ලැබුණි. අනතුරුව එම දරුවා ඔහුගේ පෙර භව ජීවිත තොරතුරු හෙළිකළේය. පෙර භවයේ දී ජීප් රථයක් හිමිව සිටි බවත්, බිරිය සහ දියණියක සිටි බවත් පැවැසීය. මෙම පුනර්භව සාධකය පිළිබඳව පූර්ණ පර්‌යේෂණයක් පැවැත්වීමට වර්ජීනියා විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ද ශ්‍රී ලංකාවට පැමිණියේය. එම දරුවා හෙළිකළ පෙර භව තොරතුරු අනුව ඔහු පෙර භවයේදී වෙළෙඳ ව්‍යාපාරිකයකු ලෙස සිටි බැව් ද අනාවරණය වීය. ඒ අනුව ඔහුගේ පෙර භව නිවෙස සොයා යෑමට එදා එම දරුවාට අවස්ථාව ලැබිණ. එහිදී හඳුනාගැනීම් රැසක් සිදුවූ අතර අතිශය පුදුම කරුණක්ද හෙළිවිය. එනම් පෙර භවයේදී ඔහුට තිබූ මරණසන්න රෝගී තත්ත්වයයි.

හෘදයාබාධයක් නිසා ඔහු ගාල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර මුළු රාත්‍රියක්ම පුරා ඔහු ඇතුළත්ව සිටි රෝහල් ඇඳේ රුධිරය වමනය කරමින් සිට ඇති බවය. රුධිර වමනයත් සමග ඔහුගේ මරණය සිදුවී තිබුණි. රෝග නිධාන පෙර භවයට සම්බන්ධ සිදුකර ඇති පර්‌යේෂණ වාර්තාවක මෙම දරුවා පිළිබඳව වාර්තා වී ඇත්තේ මෙසේය. පෙර භවයේදී VOMITED BLOOD FOR SEVERAL DAYS BEFORE HE DIED ලෙසය. පෙර භවය හෙළිකළ දරුවාගේ රුධිර වමනය සඳහන් වී ඇත්තේ (VOMITED BLOOD ABOUT ONCE AT THE SAME TIME COMPLANED OF CHEST PAIN) යනුවෙනි.

අතිශය පුදුම රෝගී තත්ත්වයක් දක්නට ලැබුණු තවත් දැරියක උපත ලබා තිබුණේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේ දී ය. සුනීතා නම් එම දැරිය උපතින් ම හිසේ එක් ස්ථානයක රත් පැහැති සලකුණක් දක්නට ලැබුණි. එහි තිබූ විශේෂත්වය වූයේ එයින් රුධිරය ගැලීමක් සිදුවීමය. දෙමාපියෝ අතිශය බියට පත්ව සිටියහ. දින තුනක් පමණ ලේ ගැලීම වරින් වර සිදුවිය. පසුව එය ස්වභාවිකවම නතරවිණි. ඇය උපත ලබා තිබුණේ 1969 සැප්තැම්බර් මාසයේ දී ය. දෙවසරක් ගතවන විට ඇයට හොඳින් කතා කිරීමට හැකි විය. පෙර භවය පිළිබඳව මතක සටහන් මනසින් හෙළි කළ දැරිය පෙර භවයේ පදිංචිව සිටි ගම් ප්‍රදේශය හෙළි කළාය. ඇයට සොහොයුරන් දෙදෙනකු සිටි බවත් ඇය පවුලේ එකම දියණිය බවත් ඇය හෙළි කළාය. ඒ සමගම හිසේ රුධිරය පිටවූ ස්ථානයට අතැඟිල්ල තබමින් වැටීමක් හේතුවීම නිසා එම ස්ථානය තුවාල වී රුධිරය පිටවූ බවත් ඇය හෙළිකළාය. ඒ සමගම පෙර භවයට සම්බන්ධ තවත් තොරතුරු හෙළිකරමින් පෙර භවයේ දී ඇය වැටීමට ලක්වූයේ පඩිපෙළකින් බව ද කීවා ය. එම වැටීම හේතුවෙන් ඇය මරණයට පත්වන විට වයස අවුරුදු 8ක දැරියක ලෙස ජීවත්ව සිටි බව ද ඇයට මතක තිබුණි.

සුනීතා දැරිය හෙළිකළ මෙම පුනර්භව සාධකය පිළිබඳව ඉන්දීය පුනර්භව පර්යේෂකයකුව සිටි ආචාර්ය එච්.එන්. බැනර්ජි විසින් පූර්ණ පර්‌යේෂණයක් පැවැත්වීමෙන් පසු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ද පර්‌යේෂණයක් පැවැත්වීය. එම දැරිය ප්‍රකාශ කළ පරිදි පෙර භවයේදී හිසට සිදුවූ තුවාලය නිසා එම ස්ථානයෙන් අධික ලෙස රුධිරය ගැලීම සිදුවී ඇති බැව් වෛද්‍ය වාර්තාව මගින් ද පෙන්වා දී තිබුණි. එම දැරියගේ පුනර්භව සාධකය පෙර භවයේ සිදුවූ තුවාලයකින් සිදුවූ රුධිරය ගැලීම පෙර භවය හෙළිකළ දරුවාගේද සිදුවී ඇති බැව් පිළිගැනීමට සිදුවිය. සුනීතාගේ මෙම පුනර්භව පර්‌යේෂණය ඉන්දීය පුවත්පතක් මගින් 1975 ජනවාරි 24 වැනිදා කලාපයෙන්ද ප්‍රකාශයට පත් කළේය.

පෙර භවයේ රෝගී තත්ත්වයක් අනාවරණය කිරීම සඳහා පෙර භවයේ හැසිරීම් රටාවක් ඉදිරිපත් කළ දැරියක බ්‍රසීලයේදී උපත ලැබීය. එම දැරිය බහතෝරන වියට පත්වීමෙන් පසු හැමවිටම මව ඇමතීමට උත්සාහ කළේ ඇගේ මුව මවගේ කනට ළඟා කරමිනි. ඒ බැව් බලා සිටි මව “ඇයි දුවේ ඔයාට දැන් කතා කරන්න පුළුවන්නෙ. ඉතින් ශබ්ද නඟා කතා කරන්න” යැයි කීවාය. එය ඇසූ දියණිය “මට එහෙදි කතා කරන්න බැරිවුණා. මැරෙනතුරු මම අම්මාට කතා කළේ කනට කට තබා” යැයි කීවාය. අනතුරුව ඇගේ පෙරභව තොරතුරු හෙළි කළාය. දෙමාපියන් පිළිබඳවද පැහැදිලි ප්‍රකාශයක් කළ දැරිය ඇයට ඇතිවූ රෝගී තත්ත්වය නිසා මුළුමනින්ම පෙර භවයේදී කටහඬ නැතිව ගිය බැව් ද කීවාය. ඇය හෙළිකළ පෙර භවයේ දී තරුණිය මරණයට පත්වී තිබුණේ (TUBERCHLOSIS) ලෙස හඳුනා ගත්තේය.

ශ්‍රී ලංකාවේ පෙර භවය හෙළිකළ තවත් දරුවකු මගින්ද අතිශය පුදුම උපදවන රෝගී තත්ත්වයක් දක්නට ලැබුණි. එය දක්නට ලැබුණේ එම දරුවාගේ දත් වැඩීම ආරම්භවීමත් සමගය. ගාල්ල ප්‍රදේශයේදී උපත ලද ප්‍රියශාන්ත නම් එම දරුවා ප්‍රකාශ කළේ පෙර භවයේදී ළිඳක වැටීම නිසා මරණයට පත්වූ බවය. පෙර භවයේ ජීවත්ව සිටි ගම් ප්‍රදේශයත් දෙමාපියන් පිළිබඳවත් ඔහු නිවැරදිව හෙළි කළේය. ඒ අනුව පෙර භව නිවෙස සොයාගැනීමට ඔහුට අවස්ථාව උදාවිය.

ඔහුගේ දතක් නොවැඩීම සිදුවිය. එය දක්නට ලැබුණේද ඉදිරිපෙළ දත් ඇන්දේය. දත් අතර හිඩැසක් පිහිටා තිබුණි. එයට හේතුවක් සොයාගැනීමට වෛද්‍ය අංශවලට ද නොහැකි විය. එම දරුවා පෙරභවය හෙළිකිරීමෙන් පසුව පෙර නිවෙස සොයා යාමට ඔහුට අවස්ථාව ලැබුණි. එහිදී අනාවරණය වූයේ පෙර භවයේ මියගිය දරුවා වයස අවුරුදු නවයේ දී මරණයට පත්වන විටත් ඉදිරිපෙළ දත් ඇන්දේ දත් අතර හිඩැසක් පිහිටා තිබී ඇත්තේ දතක් නොවැඩී ඇති අයුරිනි. එම දරුවාගේ දත නොවැඩීමේ රෝගී තත්ත්වය පෙර භවය හා සම්බන්ධ බවට පිළිගැනීමට සිදුවිය. 

මීට වසර කිහිපයකට උඩදී මීගමුව රෝහලේ දී උපත ලද දැරියක මාස දෙකක පමණ වයසේ සිට අධික ලෙස සෙම් රෝගයෙන් පීඩා විඳින බවට දක්නට ලැබුණි. සෙම් රෝගය උත්සන්න වීම නිසා ඇයව රෝහල්ගත කිරීමට ද සිදුවිය. සෙම් රෝගය උත්සන්න වීම පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ ආරම්භ කළේය. එහිදී දක්නට ලැබුණේ ඇය සෙම්ගෙඩි රෝගයෙන් පීඩා විඳින බවය. වසර කිහිපයක් යනතුරුම ඇයට එම තත්ත්වය උදාවී තිබුණි.

කාලය ගෙවී යද්දී ඇය බහතෝරන වියට පත්ව පෙර භවය හෙළි කළාය. වෙනත් ප්‍රදේශයක දී මියගිය තරුණියකගේ ජීවිත තොරතුරු ඇය හෙළිකළ පෙර භවයට සම්බන්ධ වීය. එම ජීවිත තොරතුරු විමර්ශනයේදී දක්නට ලැබුණේ මියගිය තරුණිය මියයාමට පෙර අධික ලෙස සෙම් රෝගය වැලදී සෙම්ගෙඩිවලින් පීඩා විඳි තරුණියක බවය. ඇය ද සෙම්ගෙඩි නිසා කිහිපවිටක්ම රෝහල්ගත වී සිටි බවද අනාවරණය විය. 

පුනර්භව පර්‌යේෂණ සඳහා ශ්‍රී ලංකාවට පැමිණි විදේශ මහාචාර්යවරුන් අතර වර්ජීනියා විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ජිම් ටකර්, ඉන්දියාවේ ආචාර්ය සත්වාන් පශ්රිචා, ජර්මනියේ …හෙවිංගන් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය සුර්ට්බර්ට් අර්ටල් ඉන්දියාවේ ආචාර්ය බැනර්ජි සහ බීබීසී ආයතනයේ පේෆ්රි අයිවර්සන් ද වූහ.

තිස්ස ජයවර්ධන