උතුරේ ඉන්ධන ගෑස් පෝලිම් අඩු වීමේ රහස ?


යාපනයේ ඉන්ධනහලක තිබූ යතුරුපැදි පෝලිමක්.

 

රටේ තැන තැන කිලෝමීටර් ගණනින් පෝලිම් ඇති වෙලාය. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, අත්‍යවශ්‍ය ආහාර පෝලිම් නිසා සියලු ජනයාගේ දවසේ වැඩ කරන කාලය රටට අහිමි වෙලාය.   

ජනතාව රට වටේට සැතපුම් ගණන් දිගු පෝලිම්වල සිටියත්, උතුරෙන් එතරම් හඬක් නෑසුණි. පසුගියදා පැවැති සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් උතුරේ තැනින් තැන ඉන්ධන පෝලිම් දැකගන්නට ලැබුණ ද සමස්තයක් වශයෙන් රටේ පැවැති ඉන්ධන පෝලිම් සහ ගෑස් පෝලිම් සැසඳීමේදී කතාවට හෝ කිය වුණේ උතුරට නම් ඉන්ධන සහ ගෑස් ගැටලුවක් නැති බවත්, හිඟයකින් තොරව ඉන්ධන සහ ගෑස් ලැබෙන බවත්ය.   
නමුත් සත්‍යය වූයේ එය නොවේ. වෙනත් ප්‍රදේශයන්ට සමානවම උතුරටත් ඉන්ධන ගෑස් සැපැයීම සිදුවෙද්දී පාරිභෝගික ජනතාව සරල දිවි පෙවෙතකට පෙරළීම හේතුවෙන් තෙල් ගෑස් ගැටලුව එතරම් පීඩනයක් නොවීමය.   


එයට ද යටගියාවක් ඇත. තිස් වසරක යුද්ධය එයට හේතු දක්වයි. එදා යුද්ධය හේතුවෙන් විදුලි එළියක් නොදැල්වුණු උතුරේ බහුතර ප්‍රදේශයක ජනතාව ජීවත් වූයේ කළුවරේ හෝ කුප්පි ලාම්පු එළියෙනි. දැන් උතුරේ බොහෝ තැන්වල ලාම්පු එළියෙන් ජීවත් වෙන ජනතාව වැඩි වෙමින් පවතී.   


වෙනත් පළාත්වල අසල්වැසි නිවෙසකට යෑමට පවා අද වාහනයක් භාවිත කරද්දී උතුරට එතරම් වාහන අවශ්‍යතාවක් නැත. වෙනත් ප්‍රදේශයන්ට සාපේක්ෂව උතුරේ වාහන ද අඩුය. එසේම නාගරික ප්‍රදේශයන්හි හැරෙන්නට ග්‍රාමීය ජනතාවගෙන් බහුතරයක් භාවිත කරන්නේ පාපැදියයි. යතුරුපැදියක් නිවෙසේ තිබුණ ද එය හදිසි අවශ්‍යතාවකට හැරෙන්නට පාවිච්චි නොවේ. පාපැදියම බහුල වශයෙන් භාවිත කෙරෙයි.   
පසුගියදා ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් උතුරේ දිස්ත්‍රික්ක පහේම වාහන පෝලිම් දක්නට ලැබුණු අතර, බහුතරය වූයේ යතුරුපැදි පෝලිම්ය. කෙසේ නමුත් ගෑස් පෝලිමක් ඇත්නම් වැඩි වශයෙන් දක්නට ලැබුණේ යාපනය නගරයේය. එසේ නොවන්නට වෙනත් ප්‍රදේශවල එතරම් පීඩනයක් දක්නට නොලැබුණි.   


මේ අතරවාරයේදී උතුරේ දර කපන්නන්ට නම් වාසි වූ බවක් දක්නට ලැබුණි. දර කපන්නන් දර මිටි රැගෙන එනතුරු ජනතාව බලා සිටියහ. බහුතරයක් උතුරේ ජනතාව දර ළිප් ආධාරයෙන් ආහාර පිසීම හේතුවෙන් ගෑස් පෝලිම් දක්නට නොලැබෙයි. එමෙන්ම දර ළිප් උතුරට සාමාන්‍ය දෙයකි.


යාපනයේ සුපර්මඩම් ප්‍රදේශයේ පදිංචි ජේ. රාජන් ධීවරයා කියා සිටියේ මෙවැන්නකි.   


“දැන් තියෙන තත්ත්වයේ හැටියට අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. මුහුදු යන්න තෙල් ගන්න විදිහක් නැහැ. පෝලිම්ම නෙමෙයි ගැටලුව. අහස උසට තියෙන මේ තෙල් මිල නිසයි. අපිට පෝලිම්වල ඉඳලා මේ මාළු රස්සාව කරන්න බැහැ. කොහොම හරි දැන් තෙල් ගණන් නිසා මාළු මිලත් මිනිස්සුන්ට දරන්න බැරි වෙන්න ගණන් ගිහින්. මේ පළාත්වල මිනිස්සුන්ට පෝලිම්වල ඉන්න වෙලා තියෙන්නේ තෙල් ගෑස්වලට නෙමෙයි. කන්න බොන්න දෙයක් හොයාගන්න. මොකද කොහෙන් හරි ආධාරයක් ලැබෙනකම් දැන් මේ මිනිස්සුත් බලාගෙන ඉන්නෙ ඒක ගන්න. මිනිස්සුන්ට සල්ලි නැහැ. ආදායමකුත් නැහැ.   


ප්‍රධානම දේ තමයි මේ පළාත්වල මිනිස්සුන්ට පෝලිමක ඉඳලා තෙල් ගෑස් ගන්න මුදල් නැති නිසත් පෝලිම් දකින්නේ නැහැ. අනික මිනිස්සු දර ළිපටම හුරු වෙලා දැන් ඉන්නේ. සීයට එකක් හෝ දෙකක් තමයි ගෑස් එකක් දකින්න තියෙන්නේ. එක අතකට ඒක ලොකු මුදල් ඉතුරුවක්.   


අද බලන්න ගෑස් එකක් ගන්න රටේ මිනිස්සු කොයි තරම් දුකක් විඳිනවා ද කියලා සමහරවිට ඒ අයට දර ළිපක් නැතුව ඇති. තවත් අයකුට දර කෑල්ලක් හොයාගන්න නැතුව ඇති. නමුත් මේ දෙකම තිබිලත් ගෑස් පස්සේ පන්නන අය ඇති කියලයි මම හිතන්නේ. අද ඒ තරමට අපේ මිනිස්සු කම්මැලි වෙලා කියලයි මම හිතන්නේ.   
යුද්ධ කාලේ අපිත් පෝලිම්වල ඉඳලා තියෙනවා. යුද්දේ ඉවර වෙලා මිනිස්සුන්ට කන්න බොන්න දෙයක් නැතිව ඉන්න වෙලාවේ කවුරු හරි සංවිධානයකින් ඇවිත් කන්න දෙයක් දෙනකොට ඒක ගන්නත් පොරකාගෙන පෝලිම්වල හිටියා. නමුත් දැන් රටේ තියෙන පෝලිම් දැක්කම යුද්දෙ කාලේ හොඳයි කියලා හිතෙනවා. මොකද ඉස්සරහට කන්න බොන්න දෙයක් නැතිව මැරෙන්න වෙයි ද කියලා බයක් හිතනවා අපි හැමෝටම.   
දැන් බලන්න කිලිනොච්චිය නගරය උදාහරණයකට ගන්න. කිලිනොච්චි නගරයේ හැරෙන්න මුළු ජනගහනයෙන් සියයට 70කටත් වැඩියෙන් අදටත් දර ළිපයි පාපැදියයි භාවිත කරන නිසා ඔය පෝලිම් ප්‍රශ්නය ඒ පැත්තේ මිනිස්සුන්ට පීඩාවක් වුණේ නැහැ. නමුත් රටේ පෝලිම දැකලා නම් මේ පැත්තේ මිනිස්සු බය වෙලා ඉන්නේ මොකක් ද මේ රටට වෙන්න යන්නේ කියලා. දැන් බලන්න හැම තැනම හොර සතුරන් පෝලිමක හිටියත් බලන්නේ අනෙකාගේ මුදල් පසුම්බිය සොරාගන්න. ගහමරාගෙන තමයි අවසානෙට ඉවර වෙන්නේ.   
කිලිනොච්චිය නගරයේ නම් මිනිස්සුන්ට ඕනෑ තරම් කැලෑ තියෙනවා. දර තියෙනවා. රටේ කිලෝ මීටර් ගණන් දිගට පෝලිම් තියෙද්දී මෙහෙම කිසිම පෝලිමක් තිබුණේ නැහැ. ගෑසුත් තිබුණා. තෙලුත් තිබුණා.   
කිලිනොච්චියට ඉන්ධන ඕනෑ වුණේ ට්‍රැක්ටර්වලට තමයි. මොකද කිලිනොච්චිය කියන්නේ උතුරේ ආර්ථික මධ්‍යස්ථානය. මෙහෙ කුඹුරු කාලෙට ඩීසල් වැඩි වශයෙන් වැය වෙනවා. නමුත් අනිසි බය කිරීමක් නිසා ගොවීන්ට සමව බෙදිලා යන්න තිබුණු ඩීසල් ටික එක පාර්ශ්වයක් විතරක් ගබඩා කිරීමෙන් බොහෝ ගොවීන් පිරිසකට ඩීසල් නැතිව ගොවිතැන් පවා කරන්න විදිහක් නැති වුණා. ගොවීන්ට කවදාවත් නැතුව පෝලිම්වල ඉන්න වුණා. ඒ හැරෙන්න ඉන්ධන නැතුව මහ ලොකුවට දුකක් වින්දේ නැහැ අනිත් මිනිස්සු. යතුරුපැදිය නැත්නම් පාපැදියක් හැම ගෙදරක තියෙනවාමයි.   


දැන් බලන්න වෙනත් රටවල අගමැතිත් පාපැදියේ යනවා මම දැකලා තියෙනවා. අපේ අය ​කොහොම ද කියන්න ඕනෑ නැහැනේ. අපි විසින්ම තමයි අපව නැති කරගෙන තියෙන්නේ. පාලකයන්ට කෑගහනකොට අපිත් ඒකේ කොටස්කරුවෝ තමයි.   


අපේ පළාතේ කෙනෙක් පෝලිමක දවසක් හිටියොත් මොකද වෙන්නේ එයාට එදාටයි පහුවදාටයි කන්න නැති වෙනවා. මොකද මෙහෙ රජයේ සේවකයන්ට වඩා ඉන්නේ වරුවක් වැඩ කරන අයයි. දවසකට වෙනත් ප්‍රදේශවල අය වාහනවලින් යන කිලෝමීටර් ගාන මෙහෙ අය පයින් යනවා. අදටත් එහෙම ගිහින් තමයි එදා වේල හොයාගන්නේ. ඉතින් කොහොම ද හොයාගන්න තුට්ටු දෙක තෙල් වෙනුවෙන් දෙන්නේ. නමුත් ඒ මුදල සීනි, පරිප්පු ගන්නකොටම ඉවරයි. අපට මොනවා වෙන්න යනවා ද කියලා දෙයියොවත් දන්නේ නැහැ කියලයි මට කියන්න තියෙන්නේ.”   


වව්නියාවේ කුමාන්කුලම් ප්‍රදේශයේ නැවත පදිංචි වැසියකු වූ එස්. කන්නන් කියා සිටියේ මෙවැන්නකි.   
“අපි මුල්ලි වයික්කාල්හි හිර වෙලා හිටපු විදිහ මතක් වෙනවා අද වෙනකොට රටේ තියෙන පෝලිම් දැක්කහම. එදා යුද්දේ කාලේ බෝම්බ අත්දැකීම් අපි තරම් විඳපු කෙනෙක් නැතුව ඇති. තාමත් මගේ ඇඟේ බෝම්බ කෑලි තියෙනවා. ඒවා ඇඟෙන් ඉවත් කරගන්න ශල්‍යකර්මයක් කරගන්නවත් අපිට වත්කමක් නැහැ. ඒ නිසා මැරෙනකන් ඒවත් ඇගේ තියන්ම ජීවත් වෙනවා.   


මම හිතන්නේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් උතුරේ දකින්න අඩු වුණත් වෙනත් ප්‍රදේශවල වගේම ඉදිරියේදී මේ පැතිවලත් පෝලිම් දකින්න ලැබෙයි. ඒ තෙල් ගෑස් නිසා නෙමෙයි කන්න දෙයක් ඉල්ලලා. අද වෙනකොට මිනිස්සු ගෙවල් දොරවල් අතෑරලා වෙනත් තැන්වල යන්න පටන් අරගෙන. තවත් පිරිසක් හොර රහසේ පෝලිම් ගැහෙනවා ඉන්දියාවට පවා යන්න. මෙහෙ කන්න බොන්න දෙයක් හොයාගන්න අමාරු තත්ත්වයක් මිනිස්සුන්ට එන්න එන්නම වැඩි වෙනවා. දැන් තියෙන මේ තෙල් ගෑස් පෝලිම් ආරම්භය විතරයි. පසුවට මොන වගේ අවස්ථාවක් එයි ද කියලා අපිට නම් දැනීගෙන එනවා. ඒ නිසයි පුළුවන් තරම් පොටි කොටුවල හරි එළවළු ටිකක් හරි වවපල්ලා කියලා අපේ මිනිස්සුන්ට කියන්නේ. ඒක බැරිකමකුත් නැහැනේ. දවසේ වැඩි කාලයක් මල් පැළ පැළ කරගන්න වෙහෙසෙන මිනිස්සුන්ට එළවළු පැළයක් වවාගන්න බැරිකමක් නැහැනේ. හිතන්නැති එකයි මෙතන ගැටලුව. දර කෑල්ලේ ඉඳන් තියෙනවා නම් ආයේ මොකට ද මේ අනිසි බයක්. මිනිස්සු පාලකයෝ පන්නන්න පෝලිම් ගැසුනා මෙන් අල බතලයක් පැළ කරන්නත් පෙළ ගැසුණා නම් මේ පෝලිම් දකින්නත් නැති වේවි.” යනුවෙන් ඒ මහතා පැවැසීය.

 

 

 සටහන – ඡායාරූප :
වන්නි රොමේෂ් මධුෂංඛ