
මෙරට විදේශීය තානාපති කාර්යාංශ හා සබැඳි සංස්කෘතික මධ්‍යස්ථාන ගැන විස්තර ගෙන එන ලිපි මාලාව යටතේ මෙවර අප විස්තර කරන්නේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගැනය.
ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය මෙරට ආරම්භ කර ඇත්තේ 1998 වසරේදීය, වත්මනෙහි මෙය නම් කර ඇත්තේ කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය නමිනි. ICCR හෙවත්, ඉන්දියානු සංස්කෘතික සබඳතා කවුන්සිලයේ මධ්‍යස්ථානයක් ලෙස එය ක්‍රියාත්මක වේ. කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය ලෙස ක්‍රියාත්මක වන්නේ මෙම ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයයි. මෙය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති අවබෝධතා ගිවිසුම යටතේ සංස්කෘතික කටයුතු හුවමාරු කර ගැනීම මෙන්ම, අන්‍යෝන්‍ය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම ඇතුළු කාරණාය. ඒ අනුව 1998 දී ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය යටතේ පිහිටුවන ලද සංස්කෘතික මධ්‍යස්ථානයකි. මෙහි අධ්‍යක්ෂ ලෙස අද කටයුතු කරන්නේ, ආචාර්ය අංකුරන් දත්තා ය.
“හින්දුස්ථානි සහ කර්ණාටක ගායනය, වයලීන, සිතාර්, තබ්ලා, හින්දු භාෂා සහ යෝග ඇතුළු, සංස්කෘතික පොදු ලක්ෂණ සමග එකී සියලු අංශ වෙතින් ඉන්දියානු සංස්කෘතිය පිළිබඳ දැනුම්වත් බව ලබාදීම අපේ ප්‍රධාන අරමුණයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතාව ප්‍රවර්ධනය කිරීමට එය ඉවහල් වෙනවා.”
ආචාර්ය අංකූරන් දත්තා මෙම සංස්කෘතික ආයතනයේ මූඛ්‍ය පරමාර්ථ ගැන එසේ සඳහන් කරයි. ඉන්දියාව යනු අපට දුරස්ථ සංස්කෘතියක් හෝ සහයෝගීතාව දුරස්ථ වූ රටක් නොවේ. ලංකාවේ ළඟම ඥාතියා, ළඟම සහෝදරයා, සමීපතම හිතවතා වෙන්නේ මහා භාරතයයි. අපට උදවු අවැසි වූ විට නිරන්තරයෙන්ම මුලින්ම පෙරමුණ ගන්නා රට වන්නේ ඉන්දියාවයි. ඉන්දියානු සංගීතයට, ඉන්දියානු නර්තනය ඇතුළු අනෙකුත් කලා අංශ මෙන්ම අධ්‍යාපනික වශයෙන් පවා අප දෙරට අතර ඇත්තේ ඉතාම සමීප බැඳීමකි. භරත නාට්‍යම්, කතක් ඇතුළු නර්තන හැදෑරීම් වෙනුවෙන් මෙම මධ්‍යස්ථානයේදී පන්ති පැවැත්වෙයි. මෙම විවිධ අංශ වෙතින් හැදෑරීමට සිසුන් එකදහස් පන්සීයයකට වඩා අවස්ථා ලබාගන්නා බව සඳහන් කළ හැකිය. ඉහත සඳහන් කළ ඉගැන්වීම්වලට අමතරව, ඉන්දියානු සංස්කෘතික සබඳතා කවුන්සිලයේ මෙන්ම මෙරට සිටින කලා සහ විවිධ අංශයන්හි ප්‍රවීණයන්, විද්වතුන් සහ කලාකරුවන් සම්බන්ධ කර ගනිමින්, දෘශ්‍ය කලා ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ වැඩමුළු, දේශන සහ නිරූපණ ප්‍රසංග සංවිධානය කිරීම නිරන්තරයෙන් සිදුවෙයි. සංගීත රසයෙන් මත්වී ඉන්දියානු අහරක රසය ලබන්නට අකමැති කවරහුද? ඉන්දියානු අහරක රස විඳීමට ඕනෑම කෙනෙක් කැමතිය. ඉන්දියාව යනු විචිත්‍ර ආහාර සංස්කෘතියක් ඇති රටක් වීම ඊට හේතුවය. එහි රසය වින්දනය කිරීමට අවස්ථාවක් ලබාදීම වෙනුවෙන්, සෑම වසරකදීම වාගේ “ෆුඩ් ෆෙස්ටිවල්” සංවිධානය වීම සිදු කෙරේ.
මෙහි ඇති ශ්‍රවණාගාරයේ ඉන්දියානු චිත්‍රපට මෙන්ම වාර්තාමය වැඩසටහන් නිරන්තරයෙන් ප්‍රදර්ශනය කෙරේ. එහි 120 දෙනෙකුට පමණ ඉඩ පහසුකම් ඇත. ඉහත සඳහන් කළ විෂයයන් ඉගෙන්වීම වෙනුවෙන්, නවීන තාක්ෂණික පහසුකම් යටතේ ඇති පන්ති කාමර මෙහිදී දැක ගත හැකිය. හින්දි භාෂාව ඉගෙන්වීම සඳහා ඇත්තේ විද්‍යාගාරයක් බඳු ස්ථානයකි. කලා කෘති සහ චිත්‍ර ඇතුළු ප්‍රදර්ශන පැවැත්වීම සඳහා අවකාශයද සලස්වා දී ඇත. නර්තන ඉගැන්වීම් සහ නර්තන කටයුතු සඳහා වෙන්කළ නවීන තාක්ෂණයෙන් යුතු මැදිරියක් මෙම මධ්‍යස්ථානය සතුය. සැටලයිට් රූපවාහිනී නාළිකාව මෙහි ඇත්තේ, ඉන්දියානු සංස්කෘතියේ වත්මන් තොරතුරු ගැන දැනගැනීම සහ නැරඹීම වෙනුවෙනි. මෙහි ඇති පුස්තකාලය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුමය. එය මාර්ගගත දත්ත සමුදායකින් සහ නවීනත්වයෙන් යුතු පුස්තකාලයකි. ඉන්දියාව ගැන තොරතුරු දැන ගැනීමට, සඟරා වැනි දේ සහ පුවත්පත් කියැවීමට අවැසි නම්, ඒ වෙනුවෙන් වෙන් කරන ලද ස්ථානය ඊට කදිම තැනෙකි. මෙවැනි සංස්කෘතික මධ්‍යස්ථාන අතරින් සී ඩී සහ ඩීවීඩී තැටි වැඩිම ප්‍රමාණයක් සතු තැනක් ලෙස මෙය සඳහන් කළ හැකිය. 4500 ට වඩා වැඩි ප්‍රමාණයක සීඩී සහ ඩීවීඩී මෙම පුස්තකාලය සතුය. ඉන්දියාවට නොගොස් ඉන්දියාව ගැන විවිධාකාරයෙන් විස්තර දැන ගැනීමට මෙන්ම දැනුම්වත් වීමට ඒ නිසා ඇත්තේ විශාල අවකාශයකි.
ලාංකීය ප්‍රජාවට ලැබෙන වැදගත් දේ මොනවාද?
ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය වෙතින් ලාංකීය ප්‍රජාවට බොහෝ දේ ලබා ගත හැකි බව සඳහන් කළ හැකිය. අද පවතින කාර්යබහුල ජීවිතය හමුවේ බොහෝ දෙනා ආධ්‍යාත්මික හා ශාරීරික මෙන්ම මානසික සුවතාව වෙනුවෙන් යෝග වැනි ව්‍යායාම් සහ භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමට උනන්දු වෙති. යෝගී සුවතාව වෙනුවෙන් නිතිපතා යෝග පන්ති සහ වැඩමුළු මෙහිදී සංවිධානය වෙයි. ජාත්‍යන්තර යෝග දිනයට සමගාමීව ද වැඩසටහනක් ක්‍රියාත්මක වෙන අතර, සියලුම වයස් කාණ්ඩවල අයට ඒ මගින් පරිපූර්ණ ජීවිතයකට සහ මානසික යහපැවැත්මට අවශ්‍ය පසුබිම ලබාදීම එහි අරමුණය.

සංස්කෘතික හා කලා කටයුතු මෙන්ම ප්‍රාසාංගික ඉසව් යනු විවිධ ජාතීන් සහ මිනිසුන් එකට ඒකරාශී කරවන පාලමකි. ඒ අරමුණ ඇතිව අන්තර් සමගිය දිරිමත් කිරීම උදෙසා, ඉන්දියානු සහ ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් උත්සව පැවැත්වේ. එවැනි උත්සව මෙන්ම චිත්‍රපට දර්ශන වැනි දේ සංවිධානය කිරීම මගින් අන්‍යයන්ට ගරු කරමින් විවිධත්වය සමරන මිනිසුන් අතර සබඳතා ශක්තිමත් කෙරෙන සහ අදහස් බෙදා හදාගැනීමට සංස්කෘතික වේදිකාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.
වාර්ෂිකව හින්දි භාෂා සැමරුම් දින පවත්වන අතර, හින්දි බස ඉගෙනීමට උනන්දුවෙන සිසුන්ට සහ වෘත්තීකයින් හට පාඨමාලා හැදෑරීමේ අවස්ථා ලබා දී ඇත. ඉන්දියාවේ නව අධ්‍යාපන ක්‍රමවේද ගැන ගවේෂණය කිරීමට අවකාශය සලසා දී ඇත්තේ මෙහි අධ්‍යාපන සහ භාෂා සංවර්ධන අංශය වෙතිනි.
තාරුණ්‍යයට
තාරුණ්‍යය බලගැන්වීම සහ කලාත්මක සංවර්ධනය උදෙසා, ඉන්දියානු සංස්කෘතික සබඳතා කවුන්සිලය විසින් වැඩමුළු, ශිෂ්‍යත්ව සහ තරග වෙනුවෙන් අවස්ථා ලබා දී ඇත. ලාංකික තරුණ පිරිස් කලා, සංස්කෘතික සහ අධ්‍යාපනික වශයෙන් හැදෑරීමට පෙලඹවීම සහ ඊළඟ පරම්පරාවේ ඔවුන් සංස්කෘතික තානාපතිවරුන් ලෙස කටයුතු කිරීමට සැලැස්වීම එහි අරමුණය.
සාම්ප්‍රදායික කලාව රැකගැනීම වෙනුවෙන්
සම්භාව්‍ය සහ ජන කලා ආකෘති ප්‍රදර්ශනය කිරීම මෙන්ම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙහි වේදිකාවක් නිර්මාණය කර ඇත. ඉන්දියානු සහ ලාංකීය සම්ප්‍රදායික සංස්කෘතීන් දෙකම සැමරීම සහ ආරක්ෂා කර ගැනීම සහ අනාගත පරම්පරාව වෙත උරුම කර දීම සහතික කිරීම සිදුවෙතැයි ඒ මගින් අපේක්ෂා කෙරේ.
භාරතයෙන් ලැබෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව
ඉන්දියානු සංස්කෘතික සබඳතා කවුන්සිලය විසින්, පිරිනමනු ලබන ශිෂ්‍යත්ව මොනවාදැයි අපි මොහොතකට විපරම් කර බලමු, සංස්කෘතික කටයුතුවලට අමතරව, මහා භාරතයෙන් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව මෙරට බොහෝ දෙනා අතර ප්‍රචලිතය.
නේරු අනුස්මරණ ශිෂ්‍යත්වය, ඒ අතරින් බොහෝ දෙනා අතර ප්‍රකටය. ඉංජිනේරු, කලා, විද්‍යා, වාණිජ, සහ සමාජ විද්‍යා විෂය ඔස්සේ උපාධි අපේක්ෂිත සහ පශ්චාත් උපාධිය හදාරන අය මේ සඳහා සුදුසුකම් මත තෝරා ගෙන පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදුකරයි.
නේරු ශිෂ්‍යත්වයට අමතරව, රජීව් ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන, මවුලානා අසාද් ශිෂ්‍යත්ව වැඩසටහන, ආචාර්ය අබ්දුල් කලාම් කොමන්වෙල්ත් ශිෂ්‍යත්වය සහ ලතා මංගේෂ්කාර් නර්තන හා සංගීත ශිෂ්‍යත්ව වැඩ සටහනට අමතරව මෙරට දේශීය වෛද්‍ය විද්‍යාව හදාරන අය අතර වඩා ප්‍රකට ආයුෂ් ශිෂ්‍යත්ව වැඩසටහන සහ සාක් ශිෂ්‍යත්ව වැඩ සටහන යනු අපට ඉන්දීය රජයෙන් ලැබෙන මහඟු අවස්ථා වෙන්නේය. අසල්වැසි රටකින් තම අසල්වැසි රටකට මෙතරම් ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන ලෝකයේ තවත් රටවල් නැති තරම්ය. මෙරට විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් පිටුව වෙත ගොස් අවශ්‍ය සුදුසුකම් අනුව ඒවාට අයැදුම් කළ හැකිය. මූලික උපාධියේ සිට පශ්චාත් උපාධි දක්වා ඒ අනුව ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ. මේ සඳහා අයැදුම් කළ හැකි වෙන්නේ වයස දහ අටත් හතළිහත් දක්වා වන වයස් සීමාවේ පසුවෙන අයට පමණි.
ලලිත කලා අංශයේ, උසස් අධ්‍යාපනය මෙන්ම ප්‍රායෝගිකව හැදෑරීමට භාත්ඛණ්ඩේ සංගීත ආයතනය, සහ තවත් ලලිතකලා ආයතන විසින් මෙරට සිසුන් හට ශිෂ්‍යත්ව අවස්ථා ලබා දී ඇත. එම ශිෂ්‍යත්ව මගින් ගෝලීය වශයෙන් පුහුණුවක් සහ වෘත්තීය මට්ටමේ උසස් හැදෑරීමක් කිරීමට අවකාශය ලැබී තිබේ.
ස්වාමි විවේකානන්ද ගැන
සංගීතය, නර්තනය සහ භාෂා දැනුම මෙන්ම අධ්‍යාපනික සහ ආධ්‍යාත්මික සිරිත් ප්‍රවර්ධනය සඳහා දෙරට අතර සංස්කෘතික පාලමක් ලෙස ඇරඹි, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික නායකයකු වූ ස්වාමි විවේකානන්ද නමින්, නම් කර ඇත්තේ, විශ්වීය අවබෝධය මෙන්ම ආගම් අතර සමගිය අවධාරණය කළ එතුමා හට ගරු කිරීම වෙනුවෙනි. ඒ අනුව මෙම සංස්කෘතික මධ්‍යස්ථානය වෙතින්, ඒ දර්ශනය මූර්තිමත් කිරීම සහ ප්‍රායෝගික කරවීම අරමුණු කර ගෙන ඇත. මෙම සංස්කෘතික ආයතනයේ තේමාව වන්නේ ස්වාමි විවේකානන්ද ශාස්තෘවරයාණන්ගේ ඉගැන්වීම්වලට අනුව යමින්, සාමය, සේවය සහ සමාජීය එකමුතුකම සමාජගත කරවීමය. බටහිර ලෝකයට වේදාන්ත සහ යෝග දර්ශනය හඳුන්වාදීමේ පුරෝගාමියකු වූ මෙම දාර්ශනිකයා හට ශ්‍රී ලංකාව සමග තිබී ඇත්තේ සමීප සබඳතාවකි. සුප්‍රසිද්ධ රාමක්‍රිෂ්ණා ගිවිසුමේ නිර්මාතෘවරයා වූයේ ඔහුය. 1897 දී එතුමාගේ ඵෙතිහාසික සංචාරය සැලකිල්ලට ගෙන මෙම සංස්කෘතික ආයතනය එතුමාගේ නමින් නම් කිරීමට පියවර ගෙන තිබේ.
ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය හෙවත් ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ, කොළඹ 07 ආර්.ජී. සේනානායක මාවතේ අංක 16 යන ස්ථානයේය.
සටහන
සඳුන් ගමගේ





